හැමදේම දෙන ගසක් යාපනයට එය ජීවිතයක්

 ඡායාරූපය:

හැමදේම දෙන ගසක් යාපනයට එය ජීවිතයක්

අපි පුංචි සන්ධියේදී යාපනයේ සිටින අපේ යාළුවන්ට අපි විහිළු කළේ '' පනං කොට්ටයෝ'' යන නම භාවිතයට ගනිමිනි. වැඩිහිටියන් කියනු අසා අපි මේ නම භාවිත කළත් එහි තෙරුමක් දැන නොසිටියෙමු. කල් යල් පසුවන විට '' පනං කොට්ටයෝ'' යනුවෙන් භාවිත කරන්නේ තල් ඇට සමග ඔවුන් ජීවත් වන නිසා බව වැටහුණි.

තල් ගෙඩි ඉදෙන කාලයට ඒ තල්ගෙඩිවල ඇති කහපාට මස්තු කොටස සූප්පු කරන්නට අපද පුරුදු වූයේ යාපනයේ ''පනං කොට්ට'' යාලුවන්ගේ ආභාසයෙනි. මේ මස්තු කොටස් වියළා සකසනු ලබන තල් පිනාටු ඊට වඩා රසවත් විය. පාසල් යන වයසේ සෑම අයෙකුගේම කලිසම් සාක්කුවේ කඩදාසියක ඔතන ලද තල් පිනාටු පාර්සලයක් විය. යාපනයේ වැසියන්ගේ මුලු ජීවිතයම රැඳී පැවතුණේ මේ තල් ගස හා බැඳුණු ජීවිතයකිනි.

දකුණේ ජනතාව පොල් ගසේ බොහෝ දේ ඉවත දමන ලද නමුත් යාපනයේ වැසියෝ එදා සිටම තල් ගසේ කිසිවක් ඉවත නොදැමීමට වග බලා ගත්හ. යාපනයේ පැරණි වැසියෝ සිය ආර්ථිකය සමෘද්ධිමත් කර ගැනීම පිණිස භාවිත කරන ලද්දේ මේ තල් සම්පතයි. එදා යාපනයේ කිසිම අයෙක් තල් ගස් වගා නොකළහ.

එක් තල්ගසකින් තල්ගෙඩි ඉදෙන කාලයට තල්ගෙඩි සීයක් දෙසීයක් බිමට ඇද වැටෙන්නේය. ඒවා රෝල් වී ගොස් තවත් තැනක ස්ථානගත වීමෙන්ද සතුන් විසින් තල් ඇට වටා පිහිටි මදය කමින් ගොස් ඉතිරිවන ඇටය වෙනත් තැනක දැමීමෙන්ද තල්පැළ පැළවිණි.

මෙසේ පැළවුණු තල් ගස්වලින් යාපනයේ තල් රුප්පාවක්ම ඇති වූයේ ස්වභාවිකත්වයෙන්මය. මේ ස්වභාවික තල් සම්පතෙන් යාපනයේ මිනිසුන් ගන්නා ලද ප්‍රයෝජන අති විශාලය.

යාපනයේ මනිපායි ප්‍රදේශය තල් රා සඳහා ඉතාම ප්‍රසිද්ධ පළාතකි. අදටත් යාපනයට යන පිරිස් මනිපායි රා කඩේකින් තල් රා ටිකක් බොන්නට අමතක කරන්නේ නැත. මනිපායි තැපැල් කන්තෝරුවේ ලියුම් ඇද්ද පොන්නයියා රාසලිංගම් තල් කතාවේ අතීතය සිහිපත් කළේද තල් රා සමඟ බැඳුණු කතාවකිනි.

''අපි පුංචි කාලේ යාපනයේ සිංහල මිනිස්සු ගොඩාක් හිටියා. ඔවුන්ගෙන් සමහරු රස්සාවලට ඇවිත් හිටියේ. අපේ ගමේ තැපැල් කන්තෝරුවේ තැපැල් මහත්තයා පැල්මඩුල්ලේ කෙනෙක්. මිනින්දෝරු මහත්තයා මාතලේ මනුස්සයෙක්.

“මේ සිංහල අය දෙමළ අය එක්ක හරිම හිතවත්. රා විකුණන තැන්වලට හැමදාම හවස් වෙනකොට එනවා. අපේ අයයි ඒ අයයි රා බොන්නේ එකට. එකට රා බීලා සින්දු කියනවා. ඒ වගේම සමහර දවස්වලට ගුටිත් ඇණ ගන්නවා. ඒත් ඒක එතැනින්ම ඉවරයි. ආයෙත් රා බොන්න ඇවිල්ලම යාළු වෙනවා.

“යාපනේ මිනිස්සු මේ තල් ගහෙන් රා බිව්ව එකම විතරක් නෙමෙයි කළේ. අපි පුංචි කාලේ ඉස්කෝලේ යන්නේ ගෙදරින් තල් කොළ කීපයක් අරගෙනයි. ඒකෙන් පුංචි පුංචි මලු වියනවා. ලස්සනට වියපු පුංචි පුංචි මලුවලට තමයි තල් හකුරු වක්කරන්නේ.

“මේ එක මල්ලක් වියළා දුන්නම සතයක් තමයි හම්බ වෙන්නේ. ඒ එක්දාස් නවසිය ගැට ගණන්වල. ඒකට තල් හකුරු පිරෙව්වම සත පහයි. ඉතින් කොහොමහරි සතිකකට අපි තල් හකුරු මලු වියලා රුපියලකට වඩා හම්බ කර ගත්තා. ඒ සල්ලිවලට තමයි ඉස්කෝලෙට ඕනේ බඩු ගත්තේ. සෙනසුරාදට ඉරිදට ගැලරියට ගිහිං චිත්‍රපටියක් බැලුවොත් ඒ සල්ලිවලින්ම තමයි.

“අපේ අම්මලා තල් කොළවලින් පැදුරු වට්ටි මලු මාගල් වගේ හැම දෙයක්ම විව්වා. තාත්තලා තල් ගස් පළලා පරාලවලට වික්කා. ඒ දවස්වල යාපනයේ හැම ගෙදරකම තල් සුවඳයි. මේ තල්කොළ වේලලා ගන්නකොට හරිම සුවඳයි. හැම තැනකම හැම ගෙදරකම තල් කර්මාන්තය තිබුණ නිසා හැම ගෙදරකින්ම තල් සුවඳ තමයි ආවේ.

“කොල්ලෝ කාලේ අපි තල්ගෙඩිවල ලා ගෙඩි තල් කුරුම්බා විදිහට බොනවා. ලොකුම අමාරු වැඩේ තමයි තල් ගස්වලට නගින එක. මුලු ගහ පුරාම තල් පිතිවල කටු පිරිලා. එව්වා ඇනුණම විසයි. ඊට වඩා දැවිල්ලයි රිදුමයි.

“සමහර තල් ගස්වල සර්පයෝ ඉන්නවා. ගොඩක් තල්ගස්වල ඉන්නේ දෙබරු. දෙබරු කූඩු හදන්නේ තල් අතු දෙකක් අතරේ. තල් ගහට නගිනකල් ඒ දෙබර කූඩු පේන්නේ නෑ.

“ගහ උඩට නැගලා තල් අත්ත අල්ලනකොටම දෙබරු අනින්න පටන් ගත්තම එක්කෝ බිමට පනිනවා. නැත්නම් දෙබරු කන අතරේ ඉක්මනින් ගහෙන් බහිනවා. ගෙදර එනකොට අපි ඉදිමිලා එන්නේ. දෙබරු ඇන්නට හපන් ගෙදරින් ගුටි පූජාව හම්බවෙනකොට. ඒත් ලැජ්ජා නෑ. ආයෙත් යනවා තල් කුරුම්බා බොන්න. හරිම රස බීමක් තමයි. ඒක නියම පදමට තියන කාළේ බොන්න ඕනේ. සමහර ගෙඩිවල එක ඇස්සයි. තවත් එව්වගේ දෙකයි. ගොඩක්ම තියෙන්නේ ඇහි තුනක් තියන තල් ගෙඩි තමයි. පස්සේ තල් ඇටයක් වෙන්නේ මේ ඇහි තමයි. හරියට පොල්වල කුරුම්බා පස්සේ පොල් වෙනව වගේම තමයි.

“මේ තල්ගෙඩි ඉදුණම ඒවගෙන් පැණි අරන් තල් කිරි හදනවා. තල් කැවුම් හදනවා. පිනාටු හදනවා. තව නොයෙක් කෑම හදනවා. තල් රා පැහෙන්න කලින් තල් පැණි හදනවා. හකුරු හදනවා. තල් ඉදිලා වැටුණම ඒ තල් ඇට පැළවෙන්න ගොඩකට දාලා පස් යට කරනවා. ටික කාලයක් යනකොට එව්වගෙන් ගොබ ඇදෙනවා. තල් අල කියන්නේ එව්වයි. ඒවා තම්බලා කනවා. විකුණන්නත් ගන්නවා. ඒ අල තම්බලා වේලපුවහම තමයි කොට්ට කිලංගු කියලා කියන්නේ. ඒ වගේ පිටිත් ගන්නවා. තල් ගහෙනුත් පිටි ගන්නවා. ගහේ පිටි එච්චරට ප්‍රයෝජනේට ගන්නේ නෑ. කොට්ට කිලංගු තමයි පිටි කරලා අරන් කෑම ජාති කැඳ ජාති හදන්නේ.

මේ විදිහට තල් ගහේ හැම දෙයක්ම ප්‍රයෝජනයට ගන්න බවයි අපේ කතා නායක පොන්නයියා රාසලිංගම් කියා සිටියේ. මේ යාපනයේ තල් ගහෙන් යාපනයේ මිනිසුන් සාම්ප්‍රදායිකව එදිනෙදා කරගෙන ආව දේවල්වලින් කීපයක් පමණයි. එහෙත් මේ වන විට යාපනයේ තල් ගසට විද්‍යාත්මක පසුබිමක් ලැබී හමාරය. තල් සංවර්ධන මණ්ඩලයත්, තල් පර්යේෂණ ආයතනයත් වරින් වර මේ තල් ගස පිළිබදව බොහෝ පර්යේෂණ සිදු කරනු ලබයි.

උතුරු පළාත් සභාව පිහිටුවීමටත් පෙර සිටම යාපනයේ පමණක් නොව මුලු උතුරේම තල් ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් සමුපකාර සමිතියක් ආරම්භ වී තිබේ.

මේ සමුපකාර සන්ධානයේම සභාපතිවරයා වන්නේ එන්. නඩරාජා මහතායි. ඔහු පවසන්නේ සමුපකාර සමිතියක් පිහිටුවීමෙන් පසුව යාපනයේ තල් ගසටත් තල් ආශ්‍රිත කර්මාන්තයටත් හොඳ කල දසාවක් ලබා ඇති බවයි.

“තල් ආශ්‍රිතව හැම දෙයක්ම එදා ඉඳලා ගම් මට්ටමින් සිද්ධ වුණා. හැමෝම තල් කර්මාන්තයේ නියැලුණා. ඒත් අලෙවිය සදහා නිසි ක්‍රමවේදයක් නොතිබීමත් පිළිවෙළක් නොතිබීමත් නිසා යාපනයේ ජනතාවට ඔවුන්ගේ මහන්සියට මිලක් ලැබුණේ නැහැ.

“දකුණේ ඉඳලා මේ නිෂ්පාදන මිලට ගන්න ආව ව්‍යාපාරිකයෝ තමයි ඒ නිෂ්පාදනවලට මිල තීරණය කළේ. මේ නිසා යාපනයේ තල් ආශ්‍රිත කර්මාන්තවල නිරත වුණු අයට බොහෝ ප්‍රශ්න තිබුණා. මේ දුර්වලකම් මගහරවා ගන්නා තමයි ගම් මට්ටමේ සියලුම දෙනා එකතු වෙලා තල් සම්බන්ධයෙන් වෙනම සමුපකාරයක් ඇති කරගත්තේ. යාපනයේ එස්. වීරසිංහම් කියන මහත්තයා තමයි මුළු යාපනයේම සමුපකාරවල විශාල ප්‍රගතියක් ඇති කළේ. එතුමා සාමාන්‍ය කෙනෙක්. ඒ වුණාට බොහෝ වැඩ කළා. ඒ මහත්තයා සිහිවෙන්න තමයි යාපනයේ සමුපකාර ප්‍රධාන ශාලාව වීරසිංහම් ශාලාව කියලා නම් කළේ.

“ඉතින් එතුමා මේ තල් සම්බන්ධයෙන් සමුපකාර සමිති උතුරේ හැම තැනම ඇති කළා. කවුරුහරි තල්වලින් මොනවාහරි කරනවා නම් එයා මේ කොහේ හරි සමුපකාරයක සාමාජික වෙන්න ඕනේ කියලා කිව්වා. ඒ හදන හැම බඩුවක්ම සමුපකාරය මිලට අරන් වික්කා. මේ නිසා නිෂ්පාදකයින්ට හොද මිලක් ලැබුණා.

“මේ අතරේ රජයෙන් පිහිටුවන ලද තල් සංවර්ධන මණ්ඩලයත් තල් පර්යේෂණ ආයතනයත් යාපනයේ පුළුල් වුණා. තල් සංවර්ධන මණ්ඩලය මුලු උතුරේම තල් වගාව ආරක්ෂා කරනවා. තල් පර්යේෂණ මණ්ඩලය විවිධ පර්යේෂණ කරලා අත්හදා බැලීම් කරලා මුලු උතුරේම ජනතාවට ඒ දැනුම ලබා දෙනවා.

“මේකේ ප්‍රතිඵලයක් විදිහට අද යාපනයේ තල් කර්මාන්තයේ නියැළී සිටින ගොඩක් දෙනෙක් යාපනයේ වයසක උදවිය නෙවෙයි. තරුණියෝ තමයි දැන් තල් කොළයෙන්, තල් ගහෙන් වැඩ දාන්නේ. ඔවුන්ට හොඳ පුහුණුවක් ලැබිලා තියෙනවා. නිෂ්පාදනය, අලෙවිකරණය කියන හැමදේම දැන් ඔවුන් අතට ගිහින් තියෙන්නේ. උපදෙස්, මගපෙන්වීම් වගේ දේවල් අපේ ආයතනවලින් ලබා දෙනවා.

“එක අවුරුද්දකට හතර වතාවක් යාපනය ඇතුළු උතුරේ පළාතේ හැම තල් සමුපකාරයක්ම තල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒකෙන් මේ නිෂ්පාදනවලට හොඳ මිලක් වගේම ඉතා ඉහල ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඊට අමතරව උතුරේ මොන ප්‍රදර්ශනයක් තිබුණත් අපි අපේ සමුපකාරයක වෙළෙඳ කුටියක් විවෘත කරනවා. මේ නිසා උතුරේ ගොඩක් දෙනෙක් ප්ලාස්ටික් භාණ්ඩ මිලදී ගැනීමට වඩා තල්වලින් නිපදවෙන දෙයක් අරන් යන්න උත්සාහ කරනවා.

“උතුරේ තල් සම්බන්ධයෙන් කටයුතු කරන හැම කෙනෙක්ම ජනතාව අතරට ගියා. මේ කාලයේ මිනිසුන්ගෙන් ගොඩාක් අය දියවැඩියාව, වකුගඩු රෝගය, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධිකවීම වගේ රෝගවලින් පීඩා විඳිනවා. අපි වෛද්‍යවරු සමග සාකච්ඡා කරලා තල්පිටිවලින් ඒ රෝගවලට සුදුසු ආහාර වර්ගත් නිපදවන්න පටන් ගත්තා. මේ නිසා දැන් ජනතාව තල් ආශ්‍රිත නිෂ්පාදනත් එක්ක බැඳිලා ඉන්නවා.

“අපි සම්ප්‍රදායෙන් පොඩ්ඩක් ඔබ්බට ගියා. තල් කොළවලින් එදා හදපු මල්ලට වඩා නූතන කාන්තාවට ගැළපෙන විදියට සිත් ගන්නා ආකාරයට තල් කොළවලින් මලු නිෂ්පාදනය කළා. මේ හන්දා තමයි යාපනයේ තල් කොළ මල්ල කොළඹ හතේ නෝනා ළඟට යනකල් නෙමෙයි, යුරෝපය දක්වාම ගිහින් තියෙන්නේ. දැන් කොළඹ වැල්ලවත්තේ තියන අපේ ''කට්පහම්'' (තල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ සැල්) ආයතනයෙනුත් ඒ ලස්සන මලු සල්ලිවලට ගන්න පුලුවන් වෙලා තියෙන්නේ.

“යාපනයේ කාන්තාවන්ට දැන් හොඳ ආදායමක් ලැබෙනවා. තල් කොළවලින් ඔවුන් මලු, තොප්පි, විවිධ භාජන වගේ හදන්න පුලුවන් හැම දෙයක්ම හදනවා. හදලා සමුපකාරයට දුන්නම මුදල් ගෙවනවා. අපිත් ලාබයක් තියාගෙන ඒවා අලෙවි කරනවා.

“තියන එකම ප්‍රශ්නය තමයි මිනිස්සු දේශීය දේ අගය නොකිරීමත්, දේශීයත්වයට නැඹුරු නොවෙන එකත්. අපේ යාපනයේ කාන්තාවොත් පුරුදු වෙලා ඉන්නේ ඉතාලියෙන් එන රබර් හරි ප්ලාස්ටික්වලින් හරි නිපදවපු මල්ලක් අරන් යන එක. මේ ක්‍රමය වෙනස් වෙනව නම් උතුරේ තල් ආශ්‍රිත නිෂ්පාදනවලට මීට වඩා හොඳ තැනක් ලැබෙනවා.

“අනෙක් කාරණය තමයි මේ කර්මාන්තෙට තියන රාජ්‍ය අනුග්‍රහය මදිකම. පොලිතින් තහනම් කරනකොටම රටේ තල් කර්මාන්තයටයි පන් කර්මාන්තයටයි විශේෂ අනුග්‍රහයක් රජය ලබලා දුන්න නම් දකුණේ සිංහල ජනතාව වගේම උතුරේ දෙමළ අයටත් විශාල පහසුවක් වේවි.''

තාල වර්ගයට අයත් එක කඳක් පමණක් ඇති උතුරේ තල් ගසේ නිෂ්පාදන මුළු ලෝකය පුරාම ගෙන යා හැකි වුවත් ඒ ගමනට අවශ්‍ය පුංචි තල්ලුව නොලැබීම තල් ගස යාපනයේම හුදෙකලා වීමට හේතුවක් වී තිබේ.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා