ශබ්ද මාලාව-: ස්වර, ව්‍යංජන හා අර්ධ ස්වර

 ඡායාරූපය:

ශබ්ද මාලාව-: ස්වර, ව්‍යංජන හා අර්ධ ස්වර

මානව භාෂා සැදී ඇත්තේ ශබ්දවලිනි, මුවින් පිට වන ශබ්දවලිනි. හුස්ම ගන්නා විට පෙණහැල්ලෙන් ගලා එන වාතය විවිධාකාරයෙන් හැසිරවීමෙන් මේ ශබ්ද උපදවනු ලැබේ. කිසියම් භාෂාවකට අයත් ශබ්ද සංඛ්‍යාව සීමාසහිත ය.

සිංහල භාෂාවේ ශබ්ද මාලාව ශබ්ද හතළිස් ඒකකින් (41) සමන්විත ය. ඒ ශබ්ද විවිධ සාධක අනුව වර්ග කෙරේ.

ශබ්ද නිකුත් කරන විට පෙණහැල්ලෙන් ගලා එන වාතයට කිසිදු අවහිරයක් හෝ බාධකයක් සිදු වේ ද නොවේ ද යන කරුණ මත ශබ්ද සියල්ල දෙ වර්ගයකට වැටෙයි. 'ස්වර ශබ්ද' හා 'ව්‍යංජන ශබද' යනුවෙනි.

ස්වර ශබ්ද

පෙණහැල්ලෙන් ගලා එන වායු ධාරාවට කිසිදු බාධකයක් නැතිව නිකුත් වන ශබ්ද 'ස්වර ශබ්ද' නම් වෙයි. 'අ' ශබ්දය හෝ 'ඉ' ශබ්දය මෙනි. සිංහලයෙහි ස්වර ශබ්ද 14 කි. ඉන් 7 ක් කෙටි ස්වර ද 7 ක් දික් ස්වර ද වෙයි. ඉන් 12 ක් ලියා දැක්වීම පිණිස අක්ෂර ඇත.

කෙටි ස්වර: අ ඇ ඉ උ එ ඔ

දික් ස්වර : ආ ඈ ඊ ඌ ඒ ඔි

'කෙටි සංවෘත අ-යන්න' හා 'දික් සංවෘත අ-යන්න' යනුවෙන් හැඳින්වෙන ස්වර ශබ්ද දෙක ලියා දැක්වීමට අකුරු දෙකක් නැත.

කෙටි සංවෘත 'අ' ශබ්දය

'මම' යන පදයෙහි දෙවෙනි ම-යන්නෙහි 'සස' යන පදයෙහි දෙවෙනි 'ස' යන්නෙහි ද ගැබ් වන්නේ කෙටි සංවෘත 'අ' ශබ්දය යි.

දික් සංවෘත 'අ' ශබ්දය

'ඉතා පැරණි' යන අර්ථය දෙනු පිණිස කට වහරෙහි යෙදෙන 'පරන' යන පදයේ ර-යන්න දික් කොට උච්චාරණය කළහොත් උපදින්නේ දික් සංවෘත 'අ' ශබ්දය යි. "මේක පරන පොතක්" යනුවෙන් කියන විට මෙනි.

ව්‍යංජන ශබ්ද

පෙණහැල්ලෙන් ගලා එන වායු ධාරාවට කිසියම් තැනක දී කිසියම් බාධකයක් සිදු කිරීමෙන් අනතුරුව නිකුත් කෙරෙන ශබ්ද 'ව්‍යංජන ශබ්ද' නම් වෙයි. 'ක්' ශබ්දය හෝ 'ල්' ශබ්දය මෙනි. සිංහලයෙහි ව්‍යංජන ශබ්ද 27 කි.

ක ග ං ඟ

ච ජ ඤ ඦ

ට ඩ - ඬ

ත ද න ඳ

ප බ ම ඹ

ය ර ල ව

ශ ස හ ෆ

සිංහලයෙකු කතා බස් කිරීම සඳහා යොදා ගන්නේ මේ ස්වර ශබ්ද 14 ත් මේ ව්‍යංජන ශබ්ද 27 ත් ඇතුළත් ශබ්ද 41 පමණකි.

මේ ශබ්ද උපදින ස්ථානය අනුව මේ ශබ්ද යළිත් මෙසේ වෙන් කොට නම් කෙරේ. මේ නම් සියල්ල ම සංස්කෘත තත්සම පද වේ.

ඕෂ්ඨජ ශබ්ද

'ඕෂ්ඨ' යනු 'තොල' යි. තොල ඇසුරින් උපදින්නේ 'ඕෂ්ඨජ ශබ්ද' යි. සිංහලයෙහි ඕෂ්ඨජ ශබ්ද 5 කි:

ප බ ම ඹ ෆ

දන්තජ ශබ්ද

'දන්ත' යනු දත් ය. උඩු දත් ඇන්ද ඇසුරින් උපදින ශබ්ද 'දන්තජ ශබ්ද' යි. සිංහලයෙහි දන්තජ ශබ්ද 5 කි:

ත ද න ඳ ස

තාලුජ ශබ්ද

'තාලු' යනු තල්ල යි. තල්ල ඇසුරින් උපදින ශබ්ද 'තාලුජ ශබ්ද' යි. සිංහලයෙහි තාලුජ ශබ්ද 5 කි:

ච ජ ඤ ඦ ශ

මූර්ධජ ශබ්ද

'මූර්ධන්' යනු මුදුන යි. තල්ලේ උඩු කොටස ඇසුරින් උපදින ශබ්ද 'මූර්ධජ ශබ්ද' යි. සිංහලයෙහි මූර්ධජ ශබ්ද 3 කි:

ට ඩ ඬ

සිංහල කථා ව්‍යවහාරයෙහි මූර්ධජ ණ-යන්නක් නැත.

කණ්ඨජ ශබ්ද

'කණ්ඨ' යනු උගුර යි. උගුර ඇසුරින් උපදින ශබ්ද 'කණ්ඨජ ශබ්ද' යි. සිංහලයෙහි කණ්ඨජ ශබ්ද 5 කි:

ක ග ං ඟ හ

අර්ධ ස්වර

'අර්ධ ස්වර' යනු ස්වර ශබ්දත් ව්‍යංජන ශබ්දත් අතර පවත්නා ශබ්ද විශේෂයකි. සංස්කෘත භාෂාවෙහි අර්ධ ස්වර 4ක ඇතත් සිංහලයෙහි ඇත්තේ අර්ධ ස්වර 2ක් පමණකි.

ය ව

'අර්ධ ස්වර' අළලා මහාචාර්ය සුගතපාල ද සිල්වා සිය 'භාෂා විමර්ශනය' නම් කෘතියෙහි දක්වන විවරණය මෙහි ලා වැදගත් ය: "අර්ධ ස්වර යනු උච්චාරණයෙන් ස්වරවලට සමාන වූත් ඒහෙත් භාෂා ව්‍යවහාරයෙහි දී ව්‍යඤ්ජන සෙයින් ව්‍යවහාර වන්නාවූත් ශබ්ද යි. අර්ධ ස්වර යන නම දෙන ලද්දේ උච්චාරණයත් භාෂාවේ ව්‍යවහාර වන ආකාරයත් යන දෙකම බලා ගෙන ය. 'ය්' ශබ්දය උච්චාරණයෙහි දී 'ඉ' ශබ්දය උච්චාරණයෙහි දී ඇති වන ලක්ෂණ සියල්ල ම දක්නට ලැබේ. ඒහෙත් ව්‍යවහාරයේ දී 'ය්' යන්න සමග 'අ' ආදි ස්වර,'ක්' යන්න සමග මෙන් ම, ඒක් කළ හැකි ය. මෙසේ 'ය' 'යා' ආදී රූප සදා ගත හැකි ය." (39 පිට)

මීට අමතරව 'රේඵ' යනුවෙන් හැඳින්වෙන 'ර' යන්නක් ද 'පාර්ශ්වීය ස්පර්ශ' යනුවෙන් හැඳින්වෙන 'ල' යන්නක් ද සිංහල ශබ්ද මාලාවට අයත් වෙයි.

මාතෘකා