සැහැල්ලු මනස ජීවිතය සැහැල්ලු කරයි

 ඡායාරූපය:

සැහැල්ලු මනස ජීවිතය සැහැල්ලු කරයි

ඔබත් ඔබගේ එදිනෙදා ජීවිතයේදී බොහෝ කටයුතුවලදී මානසික කඩාවැටීම්වලට මුහුණ දෙනවා ඇති. නිවසේදී, රැකියා ස්ථානයේදී හෝ මඟ තොටේදී මුහුණ දීමට සිදුවන සිදුවීම්වලට ඔබ තුළ මානසික නොසන්සුන්භාවයක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ මානසික නොසන්සුන්තාවක් ඇතිවීමට විශේෂ අවස්ථාවක් හෝ සිද්ධියක් අවශ්‍ය වන්නේ නැහැ. එසේ නම් ඔබ තුළ මානසික ගැටලුවක් නිර්මාණය වෙන්නේ කොහොමද කියල ඔබ තුළ ප්‍රශ්නයක් ඇතිවීමට පුළුවන්.

ඔබ වටා පවතින සංකීර්ණ ජීවන වටපිටාව ඔබ මානසිකව නොසන්සුන් කරවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න දායක වෙනවා. නමුත් තමා වටා පරිසරය සංකීර්ණ හා කලබලකාරී වූ පමණින් මානසික ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ. මානසික ගැටලුවක් ඇතිවීමට තමා වටා සිදුවීම ඔබ සංජානනය කර ගන්නා ආකාරය විශාල බලපෑමක් කරනවා.

ඔබගේ බාහිර හෝ අභ්‍යන්තරික පරිසරයේ පවතින යමක් හෝ සිදුවීමක් අර්ථකථනය කර ගන්නා මානසික ක්‍රියාවලිය සංජානනය කියල හඳුන්වන්න පුළුවන්. අපට යමක් සංජානනය කරගැනීමට උපකාරී වන්නේ පංචේන්ද්‍රියයි. මානසික ගැටලුවක් ඔබ තුළ නිර්මාණය කිරීමට බාහිර පරිසරයේ සිදුවන සිදුවීමක් බලපානවා වගේම ඔබගේ මනසේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය තුළින්ද මානසික ගැටලු ඇති වෙන්න පුළුවන්.

මානසික ගැටලුවක් ඇති වීමට නම් බාහිර පරිසරයේ පවතින තත්ත්වය පමණක් නෙමෙයි ඔබ එය සංජානනය කරගන්නේ කොහොමද කියන කාරණාවත් හේතුවක්. අද උදෑසන ඔබ රැකියා ස්ථානයට යන අතරමඟදී ඔබට අධික මාර්ග තදබදයකට මුහුණදීමට සිදුවීමෙන් සේවා ස්ථානයට යෑම මඳක් ප්‍රමාද වෙනවා.

එදා දිනය ඔබට රැකියා ස්ථානයට වේලාසන යා යුතු දිනයක් නම් ඔබ මාර්ග තදබදය පිළිබඳ සිතන්නේ මහා කරදරයක් විදියටයි. එය ඔබගේ මනස තුළ රියැදුරා පිළිබඳව ඔබ වටා සිටින අය පිළිබඳව කෝපයක් නිර්මාණය කරවිය හැකියි. නමුත් රැකියා ස්ථානයට යෑමට ඔබ එතරම් ප්‍රිය නැතිනම් හෝ ඔබ අකමැති රාජකාරියක් ඔබට පැවරී ඇති දිනයක් නම් මේ සිදුවීම ඔබ සංජානනය කරගන්නේ මාර්ග තදබදය පැවතීම 'හොඳක්' ලෙසටයි. මේ අවස්ථා දෙකේදී ඔබ එය අර්ථකථනය කරගත් ආකාරය අනුව ඔබගේ ප්‍රතිවාරය සුබවාදීද අසුබවාදීද යන්න තීරණය වනවා.

ඒ කියන්නේ ඔබ යමක් අර්ථකථනය කර ගන්නා ආකාරය අනුව ඔබගේ මානසික තත්ත්වයේ යහපත් අයහපත් බව තීරණය කරනවා වගේම ඔබ ඊට දක්වන ප්‍රතිචාරයේ ස්වභාවයත් තීරණය කරනවා. මානසික ගැටලු නැතිනම් අපගේ නිරවුල් මානසික නොසන්සුන් ස්වභාවයක් ඇතිවන්නේ සැබෑ ලෙසම ඔබ වටා සිදුවන දේ ඔබ ග්‍රහණය කර ගන්නේ කවරාකාරයෙන්ද යන්න මතයි.

ඕනෑම මානසික ගැටලුකාරී තත්ත්වයක් පසුපසින් යම් ආතතිමය ස්වභාවයක් පවතිනවා. නමුත් මේ ආතතිකාරී ස්වභාවය ප්‍රයෝජනවත් වන අවස්ථාවන්ද තිබෙනවා. ඔබ යම් විභාගයකට පෙනී සිටිනවා නම් විභාගය ළං වන විට යම් ආතතිකාරී ස්වභාවයක් අපගේ මනසේ ඇති වෙනවා. විභාගය සමත් විය යුතුයි, ඒ සඳහා පාඩම් කළ යුතුයි ලෙස විභාගය අර්ථකථනය කරන අයකු තුළ ඇතිවන ආතතිකාරී ස්වභාවය එම පුද්ගලයා තුළ ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඇති කරවීමට සමත් වෙනවා. නමුත් විභාගයට අධික බියක් දක්වන අයකුට විභාගය කියන දේ සමඟ ඇතිවන්නේ විශාල මානසික පීඩනයක්. එය මානසික රෝගී තත්ත්වයක් දක්වා වුවත් ගමන් කරන්න හැකියාව තියෙනවා.

ඔබට යම් සිදුවීමක් හෝ පුද්ගලයකු සම්බන්ධව ඇතිවන තරහ, කලකිරීම, ආදරය වගේ හැඟීම් වුවත් ඇති වන්නේ එය ඔබ සංජානනය කර ගන්නේ කවරාකාරයෙන්ද යන්න මතයි. ඔබට ඔබගේ ස්වාමියා හෝ බිරිය පිළිබඳව ඇත්තේ තරහක් හෝ කලකිරීමක් නම් ඔබගේ බිරිඳ හෝ ස්වාමියාගේ හැඩරුව ගතිගුණ සහිත අයකු සමඟ ගනුදෙනු කිරීම ඔබ තුළ මානසික නොසන්සුන්කාරී ස්වභාවයක් ඇති කරවීමට හේතුවක්. ඔබ එම පුද්ගලයාව අර්ථකථනය කරගන්නේ එම පුද්ගලයා තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ වගේ යන සිතිවිල්ල තමයි මෙයට ප්‍රධානතම හේතුව. ඔබ තුළ මානසික ගැටලුවක් හෝ නොසන්සුන්තාවක් ඇති කිරීමට ඔබ යමක් අර්ථකථනය කර ගන්නා ආකාරය ඉතා ප්‍රබල බලපෑමක් සිදු කරනවා.

මේ විදියට තමන්ට එදිනෙදා ජීවිතයේදී ඇතිවන බාහිර සිදුවීම් අර්ථකථනය කරගැනීම අවබෝධය අත්දැකීම් ආකල්ප මත පදනම් වෙනවා වගේම ඒවා වෙනස් කර ගැනීමේ හැකියාව ඔබ සතුව පවතිනවා. නමුත් සංජානනයේ අසාමාන්‍ය තත්ත්වයක් නිසා ඇතිවන මානසික ගැටලුකාරී ස්වභාවයන් කිහිපයකුත් හඳුනා ගන්න පුළුවන්. මානසික රෝගී තත්ත්වයන් බොහෝමයකදී පවතින තත්ත්වය නිවැරදිව අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවක් දැකගන්න පුළුවන්.

භින්නෝන්මාදය කියන මානසික රෝගී තත්ත්වය අසාමාන්‍ය සංජානනයන් හේතුවෙන් ඇතිවන මානසික රෝගී තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයකුට ඇතිවන සංවේදනයන්ගෙන් වෙනස් වූ සංජානනයන් සහිත බව මෙහි ප්‍රධානම ලක්ෂණයක් වෙනවා. මොවුන්ට ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා සංවේදන නිවැරදිව අර්ථකථනය කර ගැනීමට අපහසුයි. මෙහිදී සැබෑ ලෝකය තුළ නොමැති ශබ්ද ඇසීම, රස දැනීම, ගඳ සුවඳ දැනීම වගේම විවිධ ස්පර්ශයන් දැනීමද සිදුවෙන්න පුළුවන්. නමුත් මෙම තත්ත්වයන් නිවැරදිව සංජානනය කර ගැනීමට හැකියාවක් ඔවුන් තුළ නොපවතින නිසා මානසික ගැටලුකාරී ස්වභාවයක් ඇති කිරීමට මෙය සමත් වෙනවා.

එදිනෙදා ජීවිතයේදී සිදුවන සිදුවීම්වලදී වැරදි අර්ථකථනයන් නිසා ඇතිවන මානසික ගැටලු විසඳා ගැනීමට හැකියාව ඔබ තුළ තිබුණත් වැරදි සංජානනයන් හේතුවෙන් ඇතිවන මානසික රෝගී තත්ත්වයකදී තමාටම සිතා බලා වෙනස් වීමට හැකියාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ග්‍රස්තිය කියන්නේත් මානසික රෝගී තත්ත්වයක්. මනෝ වෛද්‍යවරුන්ට අනුව නම් මෙය සරල මානසික රෝගී තත්ත්වයක්. ග්‍රස්තිය කියන මානසික රෝගී තත්ත්වයේදී යම් සිතිවිල්ලක් ක්‍රියාවක් ‍නිතර කිරීමට පෙලඹීමක් සිදුවෙනවා.

නිතර හෝ ඉතාමත්ම කුඩා ක්‍රියාවකින් පසුව වුවත් අත සේදීමට හුරු වූ ග්‍රස්තිය රෝගියකු එසේ කිරීමට හේතුව එම පුද්ගලයා තමාගේ අතේ විසබීජ තැවරී ඇතැයි සිතීම හා එයින් තමාට හානියක් වේවි යැයි අර්ථකථනය කරගැනීමයි. විෂාද රෝගියකු තමාගේ සමස්ත ජීවිතයම වගේම සමස්ත ලෝකයම අර්ථකථනය කරගන්නේ අසුබවාදී ලෙසයි. තමන්ගේ ජයග්‍රහණයක් වුවත් නිවැරදිව අර්ථකථනය කරගැනීම ඔවුන්ට අපහසුයි. උන්මාද රෝගී තත්ත්වයක් සහිත රෝගියකුගේ සංජානනය විෂාද රෝගියකුගේ සංජානනයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. මෙවන් රෝගීන්ගේ සංජානනය අර්ථකථනයට අනුව ඔවුන්ට කළ නොහැකි දෙයක් නොමැති තරම්ය.

සංජානනය නැතිනම් යමක් අර්ථකථනය කරගන්නා ආකාරය හේතුවෙන් මානසික ගැටලු නිර්මාණය වන තවත් අවස්ථාවක් තමයි සිතන පතන ආකාරයේ වෙනස්කම්. මේක අපට ප්‍රජානනමය ගැටලු යනුවෙන්ද හඳුන්වන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ළග මේ වගේ ප්‍රජානනමය ගැටලු තියෙන්න පුළුවන් වගේම මානසික නොසන්සුන් බවක් නිර්මාණය කිරීමටත් මේවා බලපානවා. එවැනි එක් ප්‍රජානනමය ගැටලුවක් තමයි පෞද්ගලීකරණය කරගැනීම.

මේ වගේ අය වෙන හැමවෙලේම කෙනෙක්ගෙ ගැටලුවක් තමාගේ කරගැනීමට තමයි උත්සාහ කරන්නේ. "එයාට එහෙම වුණා නම් මටත් එහෙම වෙයි" කියල අර්ථකථනයකට ඔවුන්ට යන්න පුළුවන්. ගැටලුවක් නිර්මාණය වෙන්න අවශ්‍ය පසුබිමක් නොමැති වුණත් ඔවුන් ඒ සිතිවිලි නිසා මානසිකව වියවුල්කාරී ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්. පමණට වැඩියෙන් සාමාන්‍යකරණය කිරීමත් මේ වගේම ප්‍රජානනමය ගැටලුවක්. ජීවිතයේ එක් අවස්ථාවක ඇති වූ කඩාවැටීමක් නිසා ජීවිතේ සෑම අවස්ථාවකම එසේ වේ යැයි සිතීම තුළ මානසික සහනය අහිමි වීමකට මුහුණ දෙන්න පුළුවන්.

මෙම ප්‍රජානනමය ගැටලුව සහිත සිසුවකු එක් විභාගයකින් අසමත් වූ විට ඉදිරියට එන විභාග සියල්ලම අසාර්ථක වේ යැයි සිතීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මේ වගේ තත්ත්වයක් දීර්ඝ කාලීනව පැවතීම නිසා විභාග භීතිකා වැනි මානසික ගැටලු නිර්මාණය වීමේ අවදානමක්ද පවතිනවා. තවත් සමහර කෙනෙක් මානසික ආතතිකාරී ස්වභාවයක් නිර්මාණය කරවන වැරදි සිතිවිලි රටාවක් ලෙස ලෝකය සුදු කළු ලෙස දැකීම හඳුනාගන්න පුළුවන්.

මේ වගේ සිතිවිලි රටාවක් ඔබ තුළ පවතිනවා නම් බොහෝ අවස්ථාවකදී ඔබ මානසිකව නොසන්සුන් වනවා ඇති. එයට හේතුව තමයි මේ වගේ අය එය එසේ සිදුවිය යුතුමයි යන ආකාරයට සිතීම. බොහෝ වේලාවට ඔබ මෙය මේ ආකායෙන්ම සිදුවිය යුතුයැයි සිතන බොහෝ දෑ ඒ ආකාරයෙන්ම සිදු වන්නේ නැහැ. නමුත් එයට අනුගත වීමට මෙවැනි චින්තන රටාවක් සහිත අයට ඉතා අපහසුයි.

හැම කෙනෙක්ම තමා කියන දේ පිළිගත යුතුයි යන සිතිවිල්ල සහිත කෙනෙකුට තමාගේ අදහස් ප්‍රතික්ෂේප වූ අවස්ථාවක තරහ, කලකිරීම වගේම මානසික කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක අවසන් ප්‍රතිඵලය තුළ එම පුද්ගලයා තුළ මානසික ගැටලුකාරී ස්වභාවයක් වියවුල් බවක් ඇති වීම වගේම ගැටුම් ඇති වීමත් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සමහර අය හැම දෙයක්ම පෙරීමකට ලක් කිරීමකට පෙලඹෙනවා.

නමුත් මෙහි ගැටලුකාරී ස්වභාවය වන්නේ මොවුන් පෙරනය තුළින් ලබා ගන්නේ සෘනාත්මක සංජානනයන් පමණක් වීමයි. ප්‍රජානනමය ගැටලු සහිත වූවන්ගේ සංජානනය බොහෝ විට සෘනාත්මකයි. මෙවැනි ප්‍රජානනමය ආකෘතියක් දරන පුද්ගලයකු සෑම විටෙකම වාගේ සිටින්නේ කනස්සල්ලෙන්. එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණ දීමට සිදුවන සිදුවීම් සංජානනය කර ගැනීමට ඔබට සහාය වන්නේ ඔබගේ ජීවන අත්දැකීම්, දැනුම, ආකල්ප සහ සංස්කෘතික පසුබිම වගේ සාධකයන්. මානසික රෝගී තත්ත්වයකදී මේ තත්ත්වය වෙනස් විය හැකිය.

මානසික රෝගී තත්ත්වවලදී වගේම එදිනෙදා ජීවිතයේදීත් ඔබට මුහුණදීමට සිදුවන බොහෝමයක් මානසික ගැටලුවලට හේතුව සිදුවීමක් නිවැරදිව සංජානනය කර ගැනීමට ඇති නොහැකියාවයි. සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන බොහෝමයක් මානසික ගැටලු වළක්වාගත හැකියි. නමුත් ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නේ තමා පිළිබඳ තමාට ඇති අවබෝධය වර්ධනය කර ගැනීමයි. ඔබට ඔබ තුළ පවතින ප්‍රජානනමය වැරදි පිළිබඳ අවබෝධයක් පැවතීම වගේම තමාගේ හැසිරීම් රටාවන් තමාගේ ජීවන වටපිටාව පිළිබඳ හොඳ අවබෝධයක් පවතිනවා නම් මානසික ගැටලුවක් නිර්මාණය කළ හැකි අවස්ථා නිවැරදිව අර්ථකථනය කරගෙන ඒවාට සාර්ථකව මුහුණ දීම හෝ එම අවස්ථා මඟහැරීම ඉතා පහසුයි.

සරල මානසික රෝගී තත්ත්වයකදී වුවද රෝගී තත්ත්වය පිළිබඳ ඔබ තුළ පවතින අවබෝධය රෝගී තත්ත්වය හේතුවෙන් ඇතිවන වැරදි සංජානනයන් හඳුනාගෙන ඉන් ඔබ තුළ ඇති කරන මානසික පීඩාකාරී තත්ත්වය අඩුකර ගැනීමටද ප්‍රයෝජනවත් වෙනවා.

[මනෝ උපදේශිකා ඉවෝනි දිල්කි]

මාතෘකා