දරුවන්ට එන්නත් දෙන හැටි

 ඡායාරූපය:

දරුවන්ට එන්නත් දෙන හැටි

බිලිඳකුට එන්නත් අවශ්‍ය වන්නේ ඇයි? බිලිඳු වියේ සිටම නිසි පරිදි එන්නත් ලබාදීමෙන් පුද්ගලයකුට අනාගතයේදී ඇතිවිය හැකි රෝග රැසක් පාලනය කර ගැනීමට පුළුවන. එන්නත් ලබාදීම මඟින් සිදුකරන්නේ භයානක රෝගවලට විරුද්ධව සටන් කිරීමට ශරීරය කල් තබා සූදානම් කිරීමය. නිරෝගී අනාගත පරපුරක් තැනීමට නම් දරුවන්ගේ එන්නත්කරණය නිසි පරිදි නිසිකලට සිදුකිරීම වැදගත්ය. මේ ඒ පිළිබඳ දැනුවත් කිරීමකි.

එන්නත්වලට පළමුව ප්‍රතිශක්තිය ගැන කථාකළ යුතුය. රෝග ඇති කරන විසබීජ ශරීර ගතවන හැම විටකම අපට රෝග නොසෑදේ. ඊට හේතුව විසබීජය රෝගය ඇති කිරීමට පෙර සිරුරට එය විනාශ කළ හැකි වීමයි. එය ප්‍රතිශක්තිය ලෙස හැඳින්වේ. සමහර විට සිරුරට මෙය කළ නොහැකි වුවහොත් එවිට රෝගය සෑදේ. මෙවැනි විටක සිරුරේ ප්‍රතිශක්තිකරණය ක්‍රමයෙන් සක්‍රිය වී රෝගකාරකය මැඬ පවත්වා රෝගය පාලනය කරයි. සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු විට සිදුවන්නේ මෙයයි. නමුත් පෝලියෝ, ජලභීතිකාව වැනි රෝගවලදී මෙය සිදුවීමට පෙර රෝගය උත්සන්න වී මරණය හෝ භයානක සංකූලතා ඇතිවිය හැකිය.

එන්නත් ලබාදීම මගින් කරන්නේ එවැනි භයානක රෝගවලට විරුද්ධව සටන් කිරීමට ශරීරය කල් තබා සූදානම් කිරීමය. මෙහි දී අඩපණ කළ හෝ මරණ ලද රෝගකාරකය හෝ එහි කොටසක් සිරුරට එන්නත් කරනු ලැබේ. එන්නත් ලබාදීම යම් කාලසටහනකට අනුව සිදු කෙරේ. මෙය රටින් රටට වෙනස් වේ. රටක රෝග රටාව සහ එහි ආර්ථික ශක්තියද මීට බලපායි. උදාහරණයක් ලෙස මුස්ලිම් රටවල ජැපනීස් එන්සෙපලයිටිස් එන්නත ලබා නොදේ. ඊට හේතුව ඌරන් ඇති නොකරන නිසා එම රටවල එම රෝගය නොමැති වීමයි. ලංකාවේ බී සී ජී එන්නත උපතේ දී ලබා දුන්නද බටහිර රටවල එය ලබා දෙන්නේ අවුරුදු 12දී පමණය. එම නිසා ජීවත් වන රටට අදාළ ප්‍රතිශක්තිකරණ රටාව අනුගමනය කිරීම වඩාත් නුවණට හුරුය. යම් හේතුවක් නිසා එක් එන්නතක් ලබා දීම ප්‍රමාද වුවහොත් ප්‍රමාද වූ එන්නතේ සිට එන්නත් දීම කරගෙන යා හැකිය. නැවත මුල සිට ආරම්භ කිරීමට අවශ්‍ය නැත.

ශ්‍රී ලංකාවේ රජයේ සායනවලින් මෙන්ම ඇතැම් පෞද්ගලික රෝහල්වලින්ද එන්නත් ලබාගත හැකිය. සුළු වෙනස්කම් කිහිපයක් හැරුණු විට රජයේ හෝ පෞද්ගලික රෝහල්වල ලබාදෙන එන්නත් එක සේම ක්‍රියාකාරී ය. එන්නතක ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධානතම සාධකය නම් එන්නත නිෂ්පාදනය කළ මො‍හොතේ පටන් දරුවකුට ලබාදෙන මොහොත දක්වා නියමිත උෂ්ණත්වය පවත්වා ගැනීමයි. මේ නිසා විදුලි බිඳවැටීමකදීත් අඛණ්ඩව එන්නත්වල උෂ්ණත්වය පවත්වා ගැනීමේ හැකියාව ඇති ස්ථානයකින් එන්නත් ලබා ගැනීමට සැලකිලිමත් විය යුතුය. ලංකාවේ උපදින සෑම දරුවකුටම රෝහලින් පිටව යෑමට පෙර බී.සී.ජී එන්නත ලබාදෙන අතර එය දරුවා ඉපදී පැය 24ක් තුළ ලබාදිය යුතුයි යන අදහස වැරදිය. දරුවාට මාස 2, 4, 6 සම්පූර්ණ වූ විට පෙන්ටාවේලන්ට් එන්නත (මෙහි එන්නත් 5ක් අඩංගුය. - ඩිප්තීරියාව, කක්කල් කැස්ස, පිටගැස්ම,හිමෝපිලස් සහ හෙපටයිටිස් බී ) සහ පෝලියෝ එන්නත ලබාදේ. පෞද්ගලික අංශයේ නම් හෙක්සවෙලෙන්ට් එන්නත (මෙහි පෝලියෝ එන්නතත් සමඟ එන්නත් 6ක් අඩංගුය) ලබා දේ.

මාස 9 සම්පූර්ණ වූ විට එම්.එම්.ආර්. එන්නත ලබාදෙන අතර, එයින් සරම්ප, කම්බුල්ගාය, රුබෙල්ලා රෝගවලට ආරක්ෂාව ලබාදේ. අවුරුද්ද සම්පූර්ණ වූ විට දරුවාට ජැපනීස් එන්සෙපලයිටිස් රෝගයට එන්නත ලබාදේ. මාස 18දී ත්‍රිත්ව එන්නත සහ පෝලියෝ එන්නත ලබා දේ. එම්.එම්.ආර් දෙවන මාත්‍රාව අවුරුදු 3දී ලබා දේ. අවුරුදු 5 දී ඩී.ටී. එන්නතත් අවුරුදු 10-12 අතරේදී ඒ. ඩී. ටී එන්නත් ලබා දේ. අලුතින් හඳුන්වා දුන් ගැබ් ගෙල පිළිකා වළක්වන එච්. පී. වී එන්නත 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැනු ළමුන්ට ලබා දේ.

මීට අමතරව අවශ්‍ය නම් පෞද්ගලික අංශයෙන් නුයුමොකොකල් , පැපොල, හෙපටයිටිස් ඒ වැනි එන්නත් ලබාගත හැකිය. මීට අමතරව ඇතැම් රටවල සංචාරය කරන විට ලබාගත යුතු එන්නත් ඇත. යම් රෝගයක් වසංගත තත්ත්වයෙන් පැතිරෙන විට එය පාලනයට අමතර එන්නත් ලබාදෙන අවස්ථාද තිබේ. පසුගිය කාලයේ ලබා දුන් ඉන්ප්ලුවන්සා එන්නත ඊට උදාහරණයකි.

සටහන - [මදාරා මුදලිගේ]

උපදෙස් -

වෛද්‍ය ප්‍රියන්ත ජේ. පෙරේරා

ළමා රෝග විශේෂඥ වෛද්‍ය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

වෛද්‍ය පීඨය - රාගම

මාතෘකා