පනාවත් අරන් එන්න අම්මේ...

 ඡායාරූපය:

පනාවත් අරන් එන්න අම්මේ...

“මේ විශ්වයම ඇගේ නර්තනය අසල නවතින්න ඇති. මම හිතන්නේ මේ කලා උලෙළේ විචිත්‍රවත්ම අංගය එයයි. දියණිය ඔබට අපගේ ස්තුතිය...”

වේදිකාවේ පූරකවරිය විදියට කටයුතු කළ ගුරුතුමිය එහෙම කියද්දී ශාලාව පුරා නැඟුණු අත්පොළසන් නාදය ඇයට ආශිර්වාදයක්ම වෙන්න ඇති. ඒ රංගනයට වශී නොවුණු කෙනෙක් ඒ අතරින් හොයා ගන්න ලැබෙන එකක් නැහැ. රංගනය වගේම එයට ආලෝකයක් වුණු ආභරණයක් ඇයට හිමියි. තම දෙපා රැඟුම් පාන මේ මහ පොළව ආදරයෙන් සිඹින දිගු කෙස් වැටිය තමන්ගේ ආඩම්බරකම පෙන්වන්න වගේ ලතාවකට එහා මෙහා පැද්දෙනවා. ඒ නර්තනය භරත වුවත් කරල් තුනකට ගොතා, සුවඳ පිච්ච මල් ගැවසූ කේශ කලාපය වෙනම රංගනයක යෙදෙනවා. හරියට ගජගා වන්නමේදී ඇත්තටම ඇතකු සෙමෙන් සෙමෙන් තාලයකට සිය හොඬවැල පදවන්නාක් වගේ.

මේ දිනය එන තෙක් ඇය මොන තරම් සිහින දකින්න ඇතිද? හැම දවසකම හවස පියවිගේ ඇඳ උඩ සීරුවට තියන මේ නර්තන ඇඳුම් ආයිත්තම් කොපමණ වාරයක් හැඩ බලන්න ඇතිද? පියවි තමන් ආදරය කරන කලාව විදිහට තෝරා ගත්තේ භරත නැටුම්. ඒ වෙනුවෙන් පුහුණුවීම් කරන්න, සූදානම් වෙන්න ඇය දැක්වූයේ පුදුමාකාර ඇල්මක්. පියවිගේ මේ කැමැත්තට දෙමාපියන් කරන්න පුළුවන් හැම උදව්වක්ම දෙන්න අමතක කළේ නැහැ. පාසලට පියවිගේ මේ නර්තන හැකියාවෙන් හිමි වූ ගෞරවය නිසා ඇයට හැම දෙනාගේම ආදරය අඩු නැතිව අයිති වුණා.

හැමදාම උදෑසනින්ම පියවිගේ අම්මාට තියෙන අමාරුම කටයුත්ත ඇගේ මේ දිග කොණ්ඩය පීරන එක. ඒ වෙනුවෙන් වෙන් කරන්න වෙන කාලයත් ඒ වගේමයි.

“අනේ අම්මේ හෙමින් පීරන්නකෝ... කෙස් ගහක් හරි ගැලවුණෝතින් අපරාදේ ඔන්න. එක කෙස් ගහක්වත් විසි කරන්න එපා අම්මේ.”

මේ දෙබස හැම දවසකම ගෙදර පුරා පැතිරෙනවා. පියවිගේ මේ බේරෙන්න අමාරුම ඉල්ලීම් හින්දා අම්මා පියවිගේ කාමරයේ කැඩපත අසල කුඩා මල්ලක් එල්ලලා, ඇගේ හිස පීරද්දී ගැලවෙන කෙස් ගස් එකතු කරන්න. අධ්‍යාපනයයි නර්තනයයි එක්ක ඇය වෙනදා වගේම තමන්ගේ ලෝකය ගොඩනගද්දී කාලය හැමදාමත් වගේ හැම දෙනාවම පහු කරලා ඉදිරියට යන එකට අභියෝග කරන්න කාටද පුළුවන්? ඇත්තටම කාලය එක එක රටා මවනවා කියලයි පියවිත් හිතුවේ.

“අම්මේ, එදා මම නටද්දී වෙනදා නැති තරම් හිස කකියන්න ගත්තා. මම ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ඒත් අදත් ඔළුව පැලෙන්න තරම් රිදෙනවා...”

“ඉන්න මම තෙල් ටිකක් දානකම්. ඕක ටිකකින් ඇරිලා යයි දුවේ.” ඒත් ඒ වේදනාව දවසින් දවස පියවිව හෙම්බත් කළා මිසක අඩු වුණේ නම් නැහැ. දවසක් හරි පාසල් නොගිහින් ප්‍රතිකාර ගන්න යන එකට ඇයගේ කැමැත්තක්ම නැහැ. ඒත් අම්මාගේ පෙරැත්ත නිසා එදා පාසල් නොගිය පියවි ඇයත් එක්ක ගිහින් වෛද්‍යවරයා මුණ ගැහෙනවා. වෙනදාට වැය කරන්නේ නැති තරම් කාලයක් තමන්ගේ මේ හිසරදය වෙනුවෙන් වැය කරපු එක ගැන නම් පියවිට කිසිම කැමැත්තක් නැහැ. එදා රෑ තාත්තයි අම්මයි තමන්ට නෑහෙන තරමින් කළ කතා බහටත් ඇය ඒ තරම් කැමති නැහැ. දරා ගන්න බැරි හිසේ වේදනාව වගේම නිවස පුරා පැතිරුණු නිහඬකම ඒ අකමැත්ත දෙගුණ කරනවා.

“ දුව, අපි හෙටත් ඉස්කෝලේ නොගිහින් ඉමු. බෙහෙත් හරියට ගන්න නම් ඉස්පිරිතාලේම යන එක හොඳයි. දවසක් දෙකක් නතර වෙලා විවේක ගත්තාම හැම දේම හොඳ වෙයි.”

තාත්තාගේ මේ පණිවිඩය එක පාරටම ඇයට පුදුමයක් වුණත් ඒ කතාව ඉක්මවලා යන්න පියවි තියා අම්මාවත් උත්සාහ කරන්නේ නැහැ.

“ අනේ තාත්තේ...”

“තනි නැහැනේ. අම්මටත් ඔයා ගාවින් ඉන්න කියන්නම්.” අම්මා ළඟ නම් හිතට සහනයක්... . ඒ සිතිවිල්ලත් එක්ක දවස ගෙවිලා.

තාත්තා කියූ දවස් දෙක තුන සති දෙකක් තුනක් වෙද්දී කාලය තවත් රටා මවනවා කියලා පියවි තදින්ම විශ්වාස කළා. දිනය පුරාම ලැබෙන ප්‍රතිකාර ඇයව සිහින් වේදනාවක් දුන්නත් අම්මාගේ ආදරය ඒ හැම දෙයක්ම අමතක කරන්න තරම් ඇය වටා එතිලා.

“මගේ කොණ්ඩෙ හොඳටම අඩු වෙලානේ...” ඒ අඩුව නම් ඇගේ හිත වේදනාවෙන් බර කරලා.

“බෙහෙත් සැරයි පුතේ. බෙහෙත් නතර කළ ගමන් ආපහු වැවෙයි.” අම්මාගේ උත්තරය කෙටියි. ජනේලයෙන් පිටතට බලන ඒ ඇස් තමන්ව මඟ හරින තරමක්.

“අද අම්මා කලින් නිදා ගන්න. බලන්න ඇස් හොදටම ඉදිමිලා නේද...? මම ඔය පුටුවට එන්නම්. මේ ඇඳේ නිදා ගන්න.” නිහඬවම ඇගේ හිස අත ගාන අම්මගේ හිත වගේම අතත් බර වග පියවිගේ හිසට දැනෙන්න ඇති.

තවත් දින කිහිපයක ප්‍රතිකාර ගණනාවකින් පසුව තනිවම මුහුණ සෝදා ගැනීමේ අවසරය පියවිට ලැබුණි. වතුර කරාමය ඉදිරියේ ඇති කැඩපතෙන් බැලූ පියවිට මේ ඉන්නේ තමන්මදැයි හිතා ගන්න තත්පර ගණනක් යන්න ඇති. දැඩි විදිහට ආදරය කළ ආඩම්බරකාර කෙස් වැටිය හොරෙන්ම යන්න ගිහින්.

“හ්ම්. අම්මාගේ ඇස් තවත් රිදවන්න බැහැ මට” ඇය දහස් වාරයක් හිතින් හඬන හඬ කරාමයෙන් වෑහෙන ජල පහර ගිල ගන්න ඇති.

“අම්මේ තාත්තා එද්දී අර බෑග් එකට එකතු කළ කෙස් ටික අරන් එන්න කියන්න. අමතක නොකර පනාවත් ගේන්න කියන්න.”

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා