තව වසර දහයකින් ලොව බිහිසුණුම රෝගය

 ඡායාරූපය:

තව වසර දහයකින් ලොව බිහිසුණුම රෝගය

අදට යෙදෙන ලෝක දියවැඩියා දිනය වෙනුවෙනි

ලොව පුරා මිලියන 422ක් දියවැඩියා රෝගීන්

2030 වසරේදී ලොව සත් වැනි මාරාන්තික රෝගය වීමේ අවදානමක්

ලංකාවේ දිනකට 100කට වැඩි සංඛ්‍යාවක් මරුට

වැඩිහිටි ජනගහනයෙන් සියයට 10.5ක් දියවැඩියා රෝගීන්

 

නිමාෂා සඳරුවනි

 

දියවැඩියාව වර්තමානයේදී මිනිස් ජීවිත සුලබ ලෙස බිල්ලට ගන්නා රෝගයක් බවට පත්ව හමාරය. ඉතිහාසය පිරික්සා බලන කල අපට පෙනී යන කරුණක් වන්නේ එවකට මෙය බොහෝ කලාතුරකින් මිනිසාට වැළඳෙන රෝගයක් බවය. නමුත් වර්තමානයේදී එය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස තරමටම සමාජය තුළ වර්ධනය වී ඇති බව අප කවුරුත් දන්නා රහසකි. රෝහල්වල දියවැඩියා සායනයට කොතරම් රෝගීන් පිරිසක් සහභාගී වන්නේ දැයි කියා අපට සායනය පැවැත්වෙන දිනයේදී රෝහලට ගොස් බැලීමට හැකි නම් මේ සඳහා මීට වඩා නිදසුනක් අවශ්‍ය නොවේ. රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යාම නිසා ඇතිවන රෝගී තත්ත්වය දියවැඩියාව යනුවෙන් සරලව හැඳින්වීමට පුළුවන. ‘මධුමේහය’ යන නමින්ද දියවැඩියාව අර්ථ දැක්විය හැකි අතර අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, ඇස් පෙනීම බොඳ වීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකම යනාදිය දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ ලෙස වෛද්‍යවරු පෙන්වා දෙති.

“ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් බුදු දහමේ දැක්වෙන ගාථාවේ අර්ථය වන්නේද නිරෝගීකම උතුම්ම ධනය යන්නයි. බුදු දහමේ මෙන්ම අනෙකුත් සියලු ආගම්වලද නිරෝගීකම පිළිබඳ විවිධ අර්ථකථන දක්වා තිබේ. තවද “රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් නම්” යන පැරණි කියමනද අප ජන සමාජය තුළ බෙහෙවින් ප්‍රචලිතය. එමඟින් කියැවෙන්නේ සියලු සැප සම්පතෙන් අනූන වූ රජෙකු වුවත් ලෙඩෙක් නම් තමාගේ නිලයෙන්, තනතුරෙන් වැඩක් නැත යන්නයි. ධන, ධාන්‍යයෙන්, මිල මුදලින්, ගේ දොර, ඉඩම් කඩම් කොතරම් තිබුණත් නිරෝගීකම නැත්නම් ඉන් කිසිදු පලක් නැති බව එම කියමනෙන් ගම්‍ය වේ. මේ සියලු කාරණා සලකා බලන විට නිරෝගීකම යනු අප ජීවිතයට කෙතරම් වැදගත්, අත්‍යවශය කරුණක්ද යන්න අපට වැටහේ. ලෙඩ රෝගවලින් වැළකී සිටීමේ හැකියාව තිබෙන්නේත් අපටමය. දිනපතා සෞඛ්‍ය සම්පන්න, නිසි පෝෂණ ගුණයෙන් යුතු සමබල ආහාර වේලක් ලබා ගැනීම, දිනපතා ව්‍යායාමවල නිරත වීම මඟින් අපට පහසුවෙන්ම ලෙඩ රෝගවලින් තොර සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීමේ හැකියාව පවතී.

ලෝක මට්ටම

ලෝක සෞඛ්‍ය සංවිධානය දියවැඩියාව පිළිබඳ පළමු ‍ගෝලීය වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ, ලොව පුරා 1980 වසරේ සිට දියවැඩියා රෝගයට ගොදුරු වූ වැඩිහිටියන් සංඛ්‍යාව මිලියන 108 සිට 422 දක්වා වැඩි වී ඇති බවයි.

එසේ වැඩිවීමේ ප්‍රවණතාව කෙතරම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇද්ද කියතොත් ලොව පුරා වෙසෙන ජනතාවගෙන් මිලියන 422ක් දියවැඩියාවට ගොදුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත වාර්තාවලින් අනාවරණය වේ. එම වැඩිවීමට අධික බර හා තරබාරු බව ආදී සාධක හේතු වී ඇති බවද හෙළි වී තිබේ.

2012 වසරේදී පමණක් ලොව පුරා සිදුවූ මරණවලින් මිලියන 1.5කටම හේතුව දියවැඩියාව බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2013 වසරේදී දියවැඩියා සංගමය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ දියවැඩියා හා පූර්ව දියවැඩියා රෝගීන් ලක්ෂ 44ක් සිටින බවත් එය රටේ ජනගහණයෙන් පහෙන් පංගුවක් පමණ වන බව හෙළි වී තිබේ. එමෙන්ම දියවැඩියාව නිසා දිනකට 100කට වැඩි පිරිසක් ඍජුවම මියයන අතර එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 30කට හේතුව වන බවත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් නාගරිකව සියයට 16ක්, ග්‍රාමීයව සියයට 8ක්, නාගරිකව වයස අවුරුදු 20ට අඩු ජනගහනයෙන් සියයට 8.2ක් දියවැඩියාවෙන් පෙළෙන බවත් එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් තහවුරු වී ඇති බවත් ඔවුහු අවධාරණය කරති. දියවැඩියාව පුද්ගලයකු ඍජුව මරණය කරා ගෙනයාමට හේතු වේ. එහි සංකූලතාද බරපතළ මට්ටමේ ඒවාය. එනම්, හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය, වකුගඩු රෝගය සහ අස්ථි කපා ඉවත් කිරීම ආදී තත්ත්වයන් ඇතිකිරීම දක්වා දියවැඩියාව බරපතල විය හැකිය.

 

බලධාරීන්ගේ වගකීම

මේ තත්ත්වය අනුව 2030 වසර වන විට ලොව සත් වැනි මාරාන්තික රෝගී තත්ත්වය බවට දියවැඩියාව පත්වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කර තිබේ. එම බරපතළ අවදානම් තත්ත්වයෙන් ලෝක ජනතාව ගලවා ගැනීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේදී දියවැඩියාව පිළිබඳව ගෝලීය ක්‍රියාකාරී හමුවක් කැඳවමින් රෝගය වැළැක්වීම හා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය අවධානය යොමුකර තිබේ. එමෙන්ම දියවැඩියාවෙන් වැළකී සිටීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාරපාන තෝරාගැනීමට මෙන්ම දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා රෝග නිර්ණය, ප්‍රතිකාර කිරීම සහ රැකවරණය ලබාගැනීමටත් අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම ලොව පුරා රටවල්වල සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම බවද ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී අවධාරණය කර තිබේ.

එහෙත් දියවැඩියාවෙන් වැළකී සිටීම, පාලනය කරගැනීමේ වැඩි වගකීමක් ඇත්තේ පුද්ගලයන් තුළය. දියවැඩියාවෙන් වැළකීම සඳහා මූලික වශයෙන් කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න ආහාරපාන ගැනීම, ශාරීරිකව ක්‍රියාකාරී වීම සහ අධික තරබාරුවෙන් වැළකී සිරුරේ උසට ගැලපෙන බර පවත්වාගෙන යාමයි.

වැරදි ආහාර පුරුදු, තරබාරුකම, ව්‍යායාම අඩුකර, නාගරීකරණය, අධික උන්නතිකාමය සමඟ ඇති වන මානසික ආතතිය හා ජානමය හේතු සහ ජීවන විලාසය වෙනස් වීම ආදී කරුණු දියවැඩියාව ඇතිවීමට මූලිකව බලපාන බව වෛද්‍ය මතයයි. සෞඛ්‍යවත් ආහාර, ව්‍යායාම, ක්‍රියාකාරී ජීවන විලාසය හා සන්සුන් මානසික තත්ත්වය දියවැඩියාව වැළඳීම වැළැක්වීමට බොහෝ දුරට ඉවහල් වන අතර දියවැඩියාව වළක්වා ගත යුත්තේ, එය වැලඳුණු පසු නිට්ටාවට සුව කිරීම කළ නොහැක්කක් වන නිසාය. දියවැඩියාව යනු පාලනය කරගත හැකි තත්ත්වයක් වන අතර, වර්තමානයේදී ගර්භිණි සමය තුළදී දියවැඩියාව වැළඳීමේ වැඩි ප්‍රවණාතාවක් ඇති වී තිබේ. අහිතකර ආහාර රටා සහ ජීවන රටාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය ඇති වී තිබෙන බව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

දොළහට එකක්

ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම වැඩිහිටියන් දොළොස් දෙනෙකුගෙන්ම එක් අයෙකු දියවැඩියාව රෝගියකු බවත්, ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා අවදානමක පසුවන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ තරුණ තරුණියන් හය දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව වැළඳීමේ අවදානමක පසුවන බවත් වාර්ෂිකව සියයට 7ක් දියවැඩියාව රෝගය වැලඳීම හේතුවෙන් මියයන බවත්ය. එහෙත් දියවැඩියාව විසින් ගිලගෙන ඇත්තේ එක් වයස් මට්ටමක අයත් පිරිසක් පමණක් නොවේ. වර්තමානයේදී මෙරට සියයට 10.5ක වැඩිහිටි ජනගහනය අතර දියවැඩියාව පැතිරී ඇති බවත් එය තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙන බවත් බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවසීය. සිගරට්, දුම්කොළ, මත්පැන් සහ මද්‍යසාර භාවිතා කරන්නන්, මානසික රෝගවලින් පෙලෙන්නන්, අධික ලෙස පැණි රස ආහාර පරිභෝජනය කරන්නන් සහ බර වැඩ නොකරන බොහෝ විට කාර්යාලයක පුටුවක් මත හිඳගෙන රැකියාවල නියැලෙන්නන් අතර දියවැඩියාව පැතිරයාමේ වැඩි අවදානමක් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දියවැඩියාව ඇතිවීමට හේතු ගණනාවක් තිබෙන අතර එය වර්තමානයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට ජාතිකව හා අන්තර්ජාතිකව පත්ව තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් පවසයි. 1991 වසරේදී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක දියවැඩියා දිනය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ඉහළ යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව සෑම වසරකම නොවැම්බර් 14 වැනිදාට ලෝක දියවැඩියා දිනය යෙදී තිබෙන අතර මෙවර තේමාව වී ඇත්තේ 'දියවැඩියාව සහ පවුල' යන්නයි.

ආරක්ෂා වීම

දියවැඩියාව නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක් නිසා නිසි අයුරින් ඹෟෂධ හා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අතර අහාර පාලනය මගින් හා ව්‍යායාමවල යෙදීමෙන් දියවැඩියා රෝගියකුට සාමාන්‍ය අයුරින් ජීවත් වීමේ හැකියාව ලැබේ. එමෙන්ම පුඩින් වර්ග, චොක්ලට්, කේක්, පැණි බීම වර්ග, ග්ලූකෝස්, පැණි හකුරු, රට ඉඳි, සාමාන්‍ය සීනි, මධ්‍යසාර වර්ග, සම්පූර්ණ යොදය සහිත කිරි, චීස්, බටර් සහ බිත්තර කහමද යනාදිය දියවැඩියා රෝගීන්ගේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ.

තැම්බූ රතු නාඩු සහල්, කඩල, උළුඳු පිටි ආහාර, කුරක්කන්, හාල් පිටි ආහාර, මුං ඇට, පළතුරු, එළවළු, මේද රහිත කිරි, කොලෙස්ටරෝල් රහිත මාගරින් වර්ග සහ බිත්තර සුදු මද ආදිය දිනපතා ආහාර වේලට එක්කර ගැනීම තුළින් දියවැඩියා රෝගීන්ට යම්තාක් දුරට රෝගය පාලනය කර ගැනීමේ හැකියාව පවතී.

මධ්‍යම හා අඩු ආදායම් ලබන රටවල දියවැඩියා ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යන බැවින් ශ්‍රී ලංකාවටද එම අවදානමෙන් ගැලවිය නොහැකිය. එබැවින් නිරෝගී පුද්ගලයන් දියවැඩියාව වැළඳීම වළක්වා ගැනීමට සැලකිලිමත් වීම මෙන්ම වැළඳුණු රෝගීන් ප්‍රතිකාර ගන්නා අතරතුර නිසි ආහාරපාන ගැනීම, ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් රෝගය පාලනය කරගැනීමෙන් අකාලයේ මරු තුරුලට යාම වළක්වා ගැනීම හෝ ප්‍රමාද කර ගැනීම කළ හැකි බව අමතක නොකරන්න.

 

මාතෘකා