හමොංග් ගෝත්‍රිකයන්ගේ රම්‍ය ගම්මානය “සාපා”

 ඡායාරූපය:

හමොංග් ගෝත්‍රිකයන්ගේ රම්‍ය ගම්මානය “සාපා”

සාපා කියන්නේ වියට්නාමයේ කඳුකර ප්‍රදේශයේ පිහිටි නගරයකට. හැනොයි ඉඳල කි.මී. 380ක් විතර දුරයි. Kings Express දුම්රියෙන් 27 වැනිදා රාත්‍රි 10ට හැනෝයිවලින් ඇරඹුණු ගමන පහුවදා උදේ 6.30 වෙනකම් ගියා. රෑ නිසා අවට කිසි දෙයක් පෙනුණේ නෑ.

එළිය වැටුණාමයි දැක්කේ ලංකාවෙ බණ්ඩාරවෙල පැත්ත වගේ තැනකට ආවා කියල. ඒ Lao Cai නගරය. රන්වන් හා කොළ පැහැති ඉරි සහිත ප්‍රංශ ආරේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්‍ෂණ සහිත ගොඩනැඟිලි දැකගන්න පුළුවන් වුණා.

ගමන එතැනින් ඉවර නෑ. ඊළඟට කඳුකර මාවත දිගේ බස් රථයකින් යන ගමන සුන්දරයි. සීතල මඳ පවන නිසා වෙහෙස අඩුවුණත් මහන්සිය දැනෙන්න පටන් ගත්තා.

ඒ අපේ නවාතැන වූ විස්ටා හෝටලයට යන්න. පහුවදා තමයි මුවොං හො ආ මිටියාවත ඔස්සේ ඇවිදින්න ගියේ.

‘සාපා’ යනු පා ගමනින් ඇවිද යා හැකි ලොව ඇති මනරම් දිගු සානු 10 අතරින් එකක් හැටියටයි සැලකෙන්නේ.

ඒ වගේම එය ලෝක උරුමයක් හැටියටත් 2003දී යුනෙස්කෝව සටහන් කර තියෙනවා. කොහොම වුණත් සාපා මිටියාවත භූගෝලීය විෂමතාව තුළින් මතු වූ ස්වභාවධර්මයේ මනරම් නිර්මාණයක් බව නොකියා බැහැ.

මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක උසක පිහිටි සාපාවල තියෙන්නෙ සිසිල් දේශගුණයක්. මේ නගරය පිහිටා තියෙන්නෙ චීන දේශ සීමාවට ආසන්නව ගිනිකොන දිග සාපා දිස්ත්‍රික්කයේ.

මෙය එහි වෙළෙඳ නගරයක් හැටියටයි සැලකෙන්නේ. හොවැන්ග් ලීන් යොන් කඳු ප්‍රාන්තයට මායිම්වයි සාපා පිහිටා තියෙන්නෙ. එය වියට්නාමයේ දක්නට ලැබෙන උසම කඳු ප්‍රාන්තය.

මුහුදු මට්ටමේ සිට මීටර් 3143ක් උසයි. හිරු පායන විට හා බැස යන විට අයුරෝරා විස්මිත ආලෝක කදම්බයන් දැකිය හැකි තරම් ඒ කඳු ප්‍රාන්තය වාසනාවන්තයි.

වියට්නාම සම්ප්‍රදායික ගැමි දිවිය තුළ දැකිය හැකි මුවෝ සොයමින් ගං දෑලෙහි ඇති හෙල්මළු කුඹුරු අතරින් වැටුණු පාරවල්වල අපි ඇවිද ගියේ සතුටින්. පාර කොන්ක්‍රීට් කරලා තිබුණු නිසා යන්න අපහසුවක් නෑ. අප ළඟා වුණේ වීටාවෑන් ගම්මානයට. ඉහළ නැඟුණු කඳු බෑවුම්වල අලංකාර ලෙස නිමවා තිබූ කෙත්වතුවල ගෙවිලියන් නිහඬව වැඩකරමින් සිටියා.

සාපාහි සමස්ත ජනගහනය 36,000ක් පමණයි. මෙහි වාසය කරන වැසියන් පාරම්පරික ගෝත්‍රවලට අයත් අයයි. සාපාහි එවැනි ගෝත්‍ර රාශියකි. එයින් ප්‍රධාන ගෝත්‍ර දෙකකට අයත් වන්නේ රතු ගෝත්‍රිකයන් Red Hmong හා කළු ගෝත්‍රිකයන් Black Hmong ය. මෙම ගෝත්‍රික ජනයා බොහෝ ඈත අතීතයේ ලාවෝස් හා තායිලන්ත අන්තර්ජාතික දේශ සීමා හරහා මෙරටට සංක්‍රමණය වූ ජන කොට්ඨාස ලෙසයි සැලකෙන්නේ.

අපට හමුවුණු මිනිසුන්ගේ මුහුණුවල තිබුණේ බෙහෙවින් අහිංසක පෙනුමක්. නගරයෙන් දුරස් වුණත් ඔවුන් මැසිවිලි නොනඟා තමාගේ දෛනික කටයුතු කරගන්නා ආකාරය අපූරුයි. කිලෝමීටර් 4ක පමණ දුරක් පා ගමනින් ඇවිද යායුතු වුවත් ගමන වෙහෙසකර නොවුණේ නිතර හමුවන ජනතාවගේ සුහද පිළිගැනීමත්, පාර කොන්ක්‍රීට් යොදා මැනවින් සකස් කර තිබීමත් නිසා.

ඔවුන් සාමාන්‍ය දුප්පත් ජනතාවක්. හැම කෙනෙක්ම කාලය අපතේ නොහැර කුමන හෝ වැඩක යෙදී සිටිනු අපට දැක ගන්නට ලැබුණා. පුංචි දරුවන් පිරිසක් අප වටා යමින් කිසියම් විසිතුරු භාණ්ඩයක් විකුණා ගැනීමට තැත් කරමින් සිටියා. ඔවුන්ගේ මුහුණු හා වැරහැලි වී ගිය ඇඳුම් පෙන්නුම් කළේ ඔවුන්ගේ දුක්ඛිතභාවය. එය අප තුළ ඇති කළේ වේදනාවක්. එවේලේ පැවති වැසි සහිත කාලගුණය නිසා විනිවිද පෙනෙන ප්ලාස්ටික් වැහි කබා ලා ගෙන සිටි අප ඔවුන්ට පෙනෙන්ට ඇත්තේ වෙනත් ලොවකින් පැමිණි අය විදියට වෙන්න ඇති.

ඒකයි ඔවුන් පුදුමයෙන් වගේ අප දෙස බලා සිටියේ. සොබාදහම සමඟ නිරන්තරයෙන් බැඳී සියල්ලටම වඩා ප්‍රධාන වූ තම දිවිපෙවෙත සඳහා එහි ජනයා මහන්සි නොබලා වැඩකරනු දක්නට ලැබුණා. සාපාහි දේශගුණයත් ඔවුන්ට සහාය දක්වන්නාක් මෙන් යහපත් එකක් වුණා. සාමාන්‍ය සීත දේශගුණයක් ඇති සාපාහි පරිසරය දින 160ක් පුරා මීදුමෙන් වැසී පවතිනවා.

ඔවුන් වගා කරන්නේ වී සහ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයි. ඔවුන් වගා බිමට අවශ්‍ය පමණට දිය ලැබෙන ලෙස ස්වයංක්‍රියව සකස් කරන ලද උපකරණ එහි කෙත් අසල සවිකොට තිබුණා. අප යන මාවත දෙපස විසිතුරු වර්ණ යොදා නිමකරන ලද අත්කම් නිමැවුම් කඩවල ප්‍රදර්ශනය පිණිස තබා තිබුණා.

එහෙත් කොයි අවස්ථාවකවත් ඔවුන් සංචාරකයන්ට ඒවා මිලදී ගන්නා ලෙස බලපෑම් කළේ නැහැ. එම අත්කම් නිමැවුම් අතර වූ ඇඳුම්, හිස්වැසුම් හා ගමන් මලු තම සංස්කෘතික අනන්‍යතාව මතු කරන මොස්තර රටා හා වර්ණ අපූරුවට යොදා තිබුණා.

ඔවුන් ජීවත්වන නිවාස ඉතා සරල ඒවා. ඒවා ඉතා කුඩා වන අතර විදුලිය රහිත ඇතුළත අඳුරින් යුතු ඒවා. අප දුටු විශේෂ දෙයක් ගැන කිව යුතුයි. එක් නිවෙසක විශාල ධාන්‍ය ඇඹරුම් යන්ත්‍රයක් සවිකොට තිබුණා. සාමාන්‍යයෙන් කුරක්කන් අඹරන අපේ නිවෙස්වල පෙර තිබූ ඇඹරුම් ගල්වලට සමාන, එහෙත් ප්‍රමාණයෙන් විශාල එය ක්‍රියාකරනු ලැබුවේ පිටතට විහිදුණු දඬු දෙකක ආධාරයෙන්. අප යන විටත් කාන්තාවක විසින් එම යන්ත්‍රය ක්‍රියාකරවමිනුයි තිබුණේ.

ජීවිතය දුෂ්කර වුවත් ඔවුන් ජීවත් කරන්නෙ පිරිසිදු වාතය සහ නිර්මල ජලය සහිත නිස්කලංක පරිසරය නොවේදැයි අපට සිතුණා. ඔවුන්ට තම ජීවිතවලට සෘජුවම සම්බන්ධ වූ දේ හැර විවිධ අනවශ්‍ය බලාපොරොත්තු හෝ භාණ්ඩ තිබුණේ නෑ. එම ජීවිත සැනසිල්ලේ ගලා යන්නේ ඒ නිසාම වෙන්න ඇති.

අප ඊළඟ දිනයේ ගියේ අප නැවතී සිටි විස්ටා අවන්හලට වම් පසින් ඉහළට වැටී තිබූ කැට්කැට් ගම්මානය (Cat Cat Village) නැරඹීමට. මුල් ගමන තරම් මේ ගමන ලේසි වුණේ නැහැ. එහෙත් දෑසට හසුවන දර්ශනය අතිශය දැකුම්කලුයි. එදින අපි ගියේ පැන්සිපාස් කඳුවැටිය පාමුල ඇතිසින්චායි ගම්මානය දැකීමටයි. පැනසිපාස් හඳුන්වන්නේ වියට්නාමයේ පියස්ස විදියටයි.

අප ගමන් කළේ රමණීය දියඇල්ලක් දෙසටයි. ඒ මාවත දුෂ්කරයි. අපට පඩි නඟිමින් ගමන් කරන්න සිදු වුණා. දැවැන්ත කඳු දෙකකට මැදි වූ සානුවක ගම්මානය පිහිටා තිබුණා. එය ඉතා සුන්දර වටාපිටාවක පිහිටියත් අප කල්පනා කළේ හදිසියකටවත් මේ අය නගරයට යන්නේ කොහොමද කියලයි. ගම්මානයට ළඟා වන්නට නිම නොකරන ලද ගල් පඩි 3000ක් පහළට බසින්ට සිදු වුණා.

කාන්තාවන් ඔවුන්ගේ සම්ප්‍රදායික වර්ණවත් ඇඳුමින් සැරසී සිටිමින් වැඩවල යෙදී සිටියා. ඔවුන් මේ දුෂ්කර දිවියට නිහඬව මුහුණ දුන්නා. ස්වයංක්‍රියව ක්‍රියා කරන පැරණි විදුලි බලාගාරයක් මෙහිදී දක්නට ලැබීම විශේෂයක්. එය ප්‍රංශ යටත් විජිත සමයේ ඉදිකරන ලද්දක් බවයි කියවෙන්නේ. ගමන සඳහා දැඩි මහන්සියක් දරන්න සිදු වුණත් මේ අහිංසක මිනිසුන් හා අවට සුන්දර පරිසරය අපට කිසිදා අමතක වෙන්නේ නැහැ.

[ලීලානන්ද වික්‍රමසිංහ]

මාතෘකා