කඳුකරයේ දුක් සෝ සුසුම් කියන මේර්කුත් තොඩර්ච්චි මලෛ

 ඡායාරූපය:

කඳුකරයේ දුක් සෝ සුසුම් කියන මේර්කුත් තොඩර්ච්චි මලෛ

මේර්කුත් තොඩර්ච්චි මලෛ (Merku Thodarchchi Malai) යනු ලෙනින් භාරතීගේ ප්‍රථම චිත්‍රපටයයි. 2018 වර්ෂයේ අගෝස්තු 24 වන දා ඉන්දියාවේ ප්‍රථම වරට තිරගත වී ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම අරඹා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගිය ද එය අවසන් කරගැනීමට නොහැකි විය. විශේෂයෙන් රූපගත කර ගැනීමේ දුෂ්කරතා ඒ සඳහා බලපෑ බව අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කරයි. මෙම කඳුකර ප්‍රදේශවලට කැමරා ඇතුළත් අනෙකුත් යන්ත්‍ර රැගෙන ඇවිද යෑමට සිදුවීමත් නැවත රූපගත කර දිනෙන් දින කන්දෙන් පහළට බැසීමට සිදුවීමත් ලෙස කාලය ගෙවී ඇත.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ විජේ සේදුපදී ය. ඔහු මෙම චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ඉල්ලා සිටින විට අධ්‍යක්‍ෂවරයා පවසා ඇත්තේ, එසේ වූවේ නම්, මෙය මිනිසුන් බලන්නේ විජේ සේදුපදීගේ චිත්‍රපටයක් ලෙස බවයි. මෙම කතා අන්තර්ගතයේ වන යතාර්ථය නැති නම් තොරතුරු දෙස අවධානය නොලැබෙන බව නිසා මෙම චිත්‍රපටය සඳහා නව නළු නිළියන් පිරිසක් තෝරාගැනීමට අධ්‍යක්‍ෂවරයා තීරණය කර තිබේ. එහෙත් චිත්‍රපටයේ බොහෝ චරිත වී ඇත්තේ එම කඳුකර ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්මය. ඒ නිසාම කතාවට ජීවය ලැබී තිබේ.

කඳුකර ප්‍රජාවගේ ජීවිතය ඉතා අපූරුවට රූපයට හසු කරගන්නේ තේනි ඊශ්වර් ය. මෙම චිත්‍රපටය ඉන්දියාවේ පැවැත්වුණු 21 වන කේරළ ජාත්‍යන්තර සිනමා උලෙළේදී තිරගත වී ඇත. සංගීතය ඉලයරාජා. පන්ජාබ්හි පැවැත්වුණු සිනමා උළෙලේදී හොඳම කැමරාකරණය සඳහා සම්මානයක් මෙම චිත්‍රපටයට ලැබී ඇත. තිරුච්චූර්හි පැවැත්වුණු 12 වන ජාත්‍යන්තර සිනමා උලෙළේදී අධ්‍යක්ෂණයට හිමි කේ.ඩබ්ලිව්. ජෝසප් සම්මානය ලැබී ඇත. එසේම 17 වන නිව්යෝර්ක් ඉන්දීය චිත්‍රපට උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා තේරී ඇත. එසේම මෙම චිත්‍රපටය දකුණු සිංගප්පූර් ජාත්‍යන්තර සිනමා උලෙළේදී මෙන්ම චිකාගෝ දකුණු ආසියානු සිනමා උලෙළේ ද තිරගත වී ඇත.

මෙම චිත්‍රපටයෙන් කතා කරන්නේ ඉඩම් අහිමි මිනිසුන් ගැන ය. (life of landless workers living in Western Ghats) තමන්ට කියා ඉඩමක් නැති අනුන්ගේ ඉඩම්වල සෙවණක් පතා ජීවත් වන මිනිසුන් ගැන ය. වහල තමාගේ වුවද ඒ මතට වැටෙන අව්වේ උණුසුම, වැස්සේ තෙතමනය හිමි නැති මිනිසුන් ගැන ය. එහෙත් මේ දුක වගේම මෙවැනි චිත්‍රපට නිෂ්පාදනය කිරීමේදී කවුරුත් අමතක කරන නැති නම් හිතාමතා බැහැර කරන මේ මිනිසුන්ගේ ආත්මයේ සුවඳ, මේ මිනිස් හදවත් තුළ වන ලෙන්ගතුකම වගේම එකිනෙකා කෙරෙහි වන ආදරය මේ චිත්‍රපටයෙන් අපූරුවට, ප්‍රමාණවත් ලෙස කතා කර ඇත. මේ දෙස බලද්දී අපේ මිනිසත්කම් (Human values) අප කොතරම් අහිමි කරගනිමින්ද සිටින්නේ යැයි කියා සිතෙයි. චිත්‍රපට නැරඹද්දී මෙය චිත්‍රපටයක් කියල නොසිතෙන තරම් වේ. සැබෑවටම මේ ප්‍රදේශවලට ගොසින් ඒ මිනිසුන් දිහා මඳක් ඈතින් ඉද බලා සිටිනවා සේ ය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රන්ගසාමි. මේ චිත්‍රපටය සඳහා ඔහුව තෝරාගන්නේ යම් යම් නිර්නායකයන් මැද. ඒ තමයි ඔහුට සිදු වෙනවා මාස හයක වැනි කාලයක්. මේ කන්ද උඩ ජීවත් වන මිනිසුන් සමඟ ජීවත් වෙන්න. එහෙත් ඒ මිනිසුන්ට මේ ගැන නොදැනෙන ලෙස. ඔහුට සිදු වෙනවා පහළ සිට කන්ද උඩට මූට්ට, ගෝනි කරගහන්න. වගේම ඔවුන් කන කෑම කන්න. මෙවැනි පුහුණුවීම්වලින් පසුව තමයි ඇන්ටනී රන්ගසාමිගේ චරිතයට පණ පොවන්නේ. රන්ගසාමිගේ බලාපොරොත්තුව කෙසේ හෝ ඔහුටම කියල ඉඩමක් මිලට ගන්න සහ එහි ගොවිතැන් කරන්න. මේ චිත්‍රපටයේම තවත් සුවිශේෂී චරිතයක් තමයි චාකෝ. ඔහු කොමියුනිට්ස්වාදියෙක්. මේ වතුකරයේ (චිත්‍රපටයේ හඳුන්වනාකාරයට) නැතිනම් කඳුකරයේ ජනතාව වෙනුවෙන් කවි ලියන කෙනෙකුවත්, මුහුණුපොතේ වාද කරන්නේකුවත් නොවේ, ඔහු ඔවුන් සමඟම ජීවත් වෙමින් ඔහුන්ගේ කම්කරු අයිතිය වෙනුවෙන් සෘජුව මැදිහත් වේ. මෙම චිත්‍රපටයේ කොමියුනිට්ස් ලාංඡනය හා කොඩිය නිතර පෙන්වනු ලබන නිසාම ඉන්දීය වත්මන් පාලනය සහිත රැඟුම් පාලක මණ්ඩලයෙන් කිහිපවරක්ම ප්‍රතික්ෂේප වූ බවද විචාරකයෝ පවසති. මෙම චිත්‍රපටයේ අවසානයේ චාකෝ විශ්වාස කළ ඔහුගේම සගයකු වන කොමියුනිට්ස්වාදියෙකුම වතු හිමිකරුවා සමඟ එකතු වී ජනතාව ඒ බිමෙන් පිටමං කරති.

රන්ගසාමිට කෙසේ හෝ දුක් කරදර මධ්‍යයේ ඉඩමක් මිලට ගැනීමට හැකි වේ. ඔහු ගොවිතැන් කරයි. ඒ ණයට බීජ මිලට ගැනීමෙනි. වැස්සක් කඩා වැටී වගාව පාළු වී යයි. සියලු බලාපොරොත්තු සුන්වී යයි. නැවත ණයක් ගෙන ගොවිතැන් කිරීමට ද නොහැකි වේ. ඔහු ණය ලබා ගත්තේ හිතවතෙක්ගෙන්. ඔහු ඉතා ඕනෑකමින් සෙනෙහසින් එම ණය ලබා දේ. එහෙත් එලෙස කළේ කවදාක හෝ රන්ගසාමිට ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට ඉඩම ලබා ගැනීමේ ආශාවෙන් බව අප දැනගන්නේ චිත්‍රපටයේ අවසානයේ ය. අවසානයේ වතු අයිතිකරුවා ද මිනිසුන්ව එලවා දමයි. ඔවුන් මූට්ට කර තියා ඒ කන්දෙන් පහළට බසිති.

මාතෘකා