ගල්ලෙනෙන් පැමිණ පන්සලක් හදා ගමක් එළිය කරන හාමුදුරුවෝ

 ඡායාරූපය:

ගල්ලෙනෙන් පැමිණ පන්සලක් හදා ගමක් එළිය කරන හාමුදුරුවෝ

සියවස් ගණනාවක් පුරාවට දහස්‌ ගණනක් ‌වූ මහ සඟරුවනට සෙවණ දුන් දිඹුලාගල ඉතිහාසය පණ්‌ඩුකාභය රජ දවස දක්‌වාම දිවෙන්නෙකි. අනුරාධපුර, පොළොන්නරු යුගවලදී දෙස්‌ විදෙස්‌ භික්ෂුන් වහන්සේලා දහස් සංඛ්‍යාත පිරිසකගේ ධර්ම ඥානය ප්‍රගුණ කළ විද්‍යා පීඨයක්‌ බඳු වූ එම පුදබිම දකුණු ඉන්දියානු ආක්‍රමණත් සමඟ සියවස්‌ ගණනක්‌ කැලයෙන් වැසී ගොස් තිබිණ.

මාතර, කිතලගම සිරි සීලාලංකාර මහා යතිවරයාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යේ ප්‍රතිඵලයක් ලෙස 1960 දශකයේ සිට උදුම්බරගිරියේ ශ්‍රී විභූතිය යළි දැක ගැනීමට ලෝ වැසියෝ වාසනාවන්ත වූහ. රුදුරු කොටි ත්‍රස්තයෝ මේ මහා සංඝ පීතෘවරයා අදින් වසර විසි තුනකට පෙර දැයට අහිමි කළහ. ඉන්පසු ත්‍රස්තවාදීන්ට අභියෝගයක් වෙමින් මල්දෙණියේ ජිනාලංකාර නාහිමියෝ සීලාලංකාර නාහිමිගේ සාසනික හා සමාජීය මෙහෙවර ඉදිරියටම ගෙන ගියහ. එනමුදු උන් වහන්සේගේ අමිල වූ සේවාවද විසි වසරකට සීමා විය.

අද දිඹුලාගල වන සේනාසනයේ නායකත්වය දරන්නේ මිල්ලානේ සිරියාලංකාර හිමිපාණන් වහන්සේය. ආදිවාසී පරපුරෙන් සසුනට ඇතුළු වූ මුල්ම තැනැත්තා උන්වහන්සේය. දිඹුලාගල නා හිමියෝ තම සාසනික සේවාව ආවර්ජනය කළේ මෙලෙසිනි.

“දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉතිහාසය පණ්ඩුකාභය රජු සමය දක්වා දිවෙනවා. අනුරාධපුර සහ පොළොන්නරු යුගවල මෙම දිඹුලාගල කීර්තිමත් විද්‍යායතනයක් වී තිබුණා. ගුරුළුගෝමී, විද්‍යා චක්‍රවර්තී වැනි පඬිවරු මෙම විද්‍යායතනයේ සිප්සතර හදාරා තිබෙනවා. දිඹුලාගල සහ නාමල්පොකුණ විහාරස්ථාන අද තිබෙන තත්ත්වයට ගෙන ආවේ අපේ හිටපු නායක ස්වාමීන් වහන්සේලා. උදුම්බරගිරි පර්වතය වැදගත් නටඹුන්වලින් පිරී පවතිනවා. අපේ රටේ අපේ අතීත මුතුන්මිත්තන්ගේ හපන්කම් මේ නිර්මාණවලින් විදහා දැක්වෙනවා. ලංකාවේ අවසන් වරට වැඩසිටි මලියදේව මහරහතන් වහන්සේ මෙම පූජනීය ස්ථානයේ වැඩසිටි බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

අපි පුංචිම කා‍ලේ හිටියේ ගල්ලෙන්වල. ඒ දවස්වල අපිට තිබුණේ සරල අවශ්‍යතා. අපිට සල්ලි උවමනා වුණේ හරි අඩුවෙන්. සල්ලිවලට අපි කිව්වේ රිදී පෝරු, තඹ පෝරු කියලා. යම් උවමනාවක් වුණාම මී පැණි, වේළපු දඩමස්, ගල් සියඹලා වීර, පළු වගේ දේවල් කදුරුවෙලට අරගෙන යනවා. මේවා ගොඩවල් විදිහට විකුණනවා. ඒවා කඩවලට දීලා ලුණු, සීනි, තේකොළ, බුලත් පුවක් ගන්නවා. ලෙඩක් වුණාම කැලෑ බෙහෙත් කරනවා. බෙහෙත්වලට සනීප නොවුණොත් නෑ යකා, ඉදි ගොපල්ල යකා වැනි අයට ස්තෝත්‍ර කියනවා. එයිනුත් සනීප නොවුණොත් ඖෂධ පොකුණෙන් නාවනවා. මේ පොකුණෙන් නෑවම ඕනෑම ලෙඩක් සනීප වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ කාලේ අපි පරිසරයත් එක්ක ලොකු බැඳීමකින් කටයුතු කළා. අපි පරිසරය ආරක්ෂා කළා. ගහකොළ සතා සිව්පාවා කිසිවක් විනාශ කළේ නැහැ.

අපේ ආදිවාසී පරම්පරාවේ ගල්ලෙන් දිඹුලාගල නායක හාමුදුරුවන්ට පූජා කළාට පස්සේ නායක හාමුදුරුවෝ අපිට මැටි ගෙවල් හදලා දුන්නා. පොළොන්නරුව, මැදිරිගිරිය පැත්තෙන් පැමිණි ජනතාව ගෙවල් හදාගන්න අපිට උදවු කළා. නායක හාමුදුරුවන් අපේ වරිගේ අයට ධර්මය දේශනා කළා. ආදිවාසී අපේ අය දඩයම් කිරීම අතහැර දාලා හදලා දුන්න පැල්පත්වල ඉඳගෙන හේන් වගා කළා. අපේ තාත්තා ආදිවාසී නායකයා. එයාගේ නම මිල්ලානා. නමුත් නායක හාමුදුරුවෝ යාපා විදිහට ඒ නම වෙනස් කළා. තාත්තා අපේ ගමට නායකත්වය දුන්නා. අපිට කිරි හරක් හිටියා. හේන්වල කුරක්කන්,බඩ ඉරිඟු, මිරිස් වගේ වගාවන් කළා. සතුන්ගෙන් වගා හානි නැහැ. සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න අපි විවිධ කෙම් ක්‍රම භාවිත කළා. වගා නොකරන කාලෙට අපි කැලේට ගිහිං මී, බඹර කඩලා පැණි එකතු කළා. දැන් කාලේ වගේ නෙවෙයි ඌරෝ ඒ දවස්වල එන්නේ කඩිරැළ වාගේ. හදපාන්විල විල්ලුවට සතුන් එනවා කෑම සොයාගෙන. හවස් වෙනකොට හරිම ලස්සනයි."

එහෙත් ඒ හැමටම මිනිසුන් අතර වන බැඳීම් ලස්සන බවද උන්වහන්සේගේ හැඟීමයි. මිල්ලානේ සිරියාලංකාර හිමිපාණන් වහන්සේගේ අතීතාවර්ජනය තුළ ඒ සොඳුරු මතක සටහන්ද බොහොමයකි.

"1960 ගණන් වෙද්දි යක්කුරේ, කළුකැලේ, අලවාකුඹුර, සොරිවිල, මිල්ලාන වගේ ගම්වල මිනිස්සු පදිංචි වෙලා හිටියා. මේ ගම්මාන අතර අපේ නෑදෑ සබඳතා තිබුණා. ඒ කාලේ අපි නෑගම් යන්නේ බඩඉරිඟු ඇට අරගෙන, කැවුම් හදාගෙන. නායක හාමුදුරුවෝ අපිට සොරිවිල ඉස්කොලේ හදලා දුන්නට පස්සේ අපි ඉගෙන ගන්න යොමු වුණා. අපි ගල්ලෑල්ල සහ ගල් කූර අරගෙන ඉස්කෝලේ ගියා. ඉස්කෝලෙන් අපිට බනිස් ගෙඩියක්, කිරි එකක් දුන්නා. ඒක කාලා එන ගමන් වැව්වලට පැනලා නාලා තමයි ගෙදර එන්නේ. ඒ කාලේ හරිම සුන්දර ළමා කාලයක් අපි ගතකළේ."

එතරම් සුන්දර සැහැල්ලු ළමා කාලයක් ගෙවූ ඒ පුංචි කොලුගැටයා දිනක තම ගමටත් හතරවරිගයටත් ආලෝකයක් වූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් බවට පත්වෙතැයි ඔහු පවා එදා නොසිතන්නට ඇත.

"1965 අවුරුද්දේ ජුනි 17 වැනිදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී මම පැවිදි වුණා. එතකොට මගේ වයස් අවුරුදු හතයි. මගෙත් එක්ක තව 11දෙනෙක් පැවිදි වුණා. වැදි දරුවෝ 12ක් පැවිදි බිමට කියලා එදා 'දවස' පත්තරේ ලොකු ලිපියක් දාලා තිබුණා මට මතකයි. අපි එතෙක් ගතකළ සරල කෙළිලොල් ජීවිතය පැවිදි බවත් එක්ක වෙනස් කරගන්න අපට සිද්ධ වුණා. නායක හාමුදුරුවෝ ඒ සඳහා අපට නිසි මඟපෙන්වීමක් ලබා දුන්නා. නායක හාමුදුරුවන්ගේ දැඩි විනය අපේ ජීවිත යහමඟට යොමු කළා. ආදිවාසී දරුවන් විදිහට හිටිය අපිට මහා සමාජයට අනුගතවෙන්න සිද්ධ වුණා. අපිව මේ තත්ත්වයට ගෙන ආ නායක හාමුදුරුවන් වහන්සේව හැම වෙලේම කෘතවේදීව සිහි කරනවා. මගේ ගුරු හාමුදුරුවරු වුණේ කිතලගම සීලාලංකාර නායක හාමුදුරුවෝ සහ උඩුපිල්ලේගොඩ ප්‍රඥාලංකාර හාමුදුරුවෝ.

අපි දොළොස්දෙනා පාන්දර හතරට අවදි වෙනවා. දානේ දෙන්න එන අය අපිට කැඳ දෙනවා. අපි පාන්දරින්ම මූණකට හොදලා කැඳ වළඳා සක්මන් කරන ගමන් පිළිකුල් භාවනාව කරනවා. ඊට පස්සේ බුද්ධ පූජාවට වඩිනවා. බුද්ධ පූජාව ඉවරවෙලා දානෙට වඩිනවා. දානේ වැළඳුවාම උදේ නවය වනතුරු අපිට විවේකය ලැබෙනවා. 9.30ට පැන් පහසු වෙන්න මහවැලි ගඟට යනවා. සමහර දවස්වලට ගල්පොත්ත නමැති ස්ථානයට යනවා. පැන් පහසුවෙලා ඇවිත් බුද්ධ පූජාව තියලා දානේ වළඳනවා. ඊට පස්සේ අපි පිරිවෙනට යනවා. ඒ කාලේ පිරිවෙන් නිවාඩු දුන්නේ හතරපෝයට විතරයි. 1968 කාලේ වෙද්දි පිරිවෙන් පටන්ගෙන තිබුණා. යක්කුරේ රතනසාර කියලා හාමුදුරුවන් වහන්සේ නමක් ඒ කාලේ අපිට පිරිවෙනේ ඉගැන්නුවා."

කාලයත් සමඟ ගමේත් රටේත් සිදුවූ පෙරළි උන්වහන්සේගේ මතකයෙන් ගලාඑන්නේ පෙරහනකින් වතුර පෙරී එන්නා සේය.

"1980 දශකයෙන් පස්සේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් එක්ක ලංකාවේ විවිධ පළාත්වලින් ජනතාව ඇවිත් මෙහේ පදිංචි වුණා. අපේ පරම්පරාවේ අයටත් කුඹුරු ඉඩම් ලැබුණා. ඒත් එක්ක අපේ අය සාම්ප්‍රදායික කෘෂිකර්මය අතහැර වී වගාවට යොමු වුණා. මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් එක්ක රාජ්‍ය ආයතන බොහෝමයක් මේ ප්‍රදේශවලත් ආරම්භ වුණා. ඒ වගේම අසූව දශකයේ ආරම්භයත් එක්ක කොටි කරදරත් ඇති වුණා. කොටින්ගෙන් බේරෙන්න මිනිස්සුන්ට තුවක්කු දුන්නා. මිනිස්සු ඉවක්බවක් නැතිව සතුන් දඩයම් කළා. ඒ හින්දම අද මුවෙක්, ගෝනෙක් ආසාවටවත් දකින්න නැහැ. අහිංසක සතුන් සේරම අද ඉවරයි."

උන්වහන්සේ වදාරන්නේ සංවේගයෙනි. මුලින් නාමල්පොකුණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ මිල්ලානේ සිරියාලංකාර නාහිමියෝ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති ධුරයට පත්වන්නේ 2012 ජූලි මස 12 වැනිදාය. හිටපු නායක හිමිවරුන්ගේ සාසනික හා සමාජීය සේවාව ඉදිරියටම ගෙනයෑමේ අදිටනින් කටයුතු කරන සිරියාලංකාර නායක හාමුදුරුවන් වහන්සේ දිඹුලාගලින් ජාතික සංහිඳියාවට ආදර්ශයක් සපයා තිබේ.

'අපේ විහාරස්ථානයේ මේ වනවිට සිංහල, දෙමළ, වැදි පරම්පරාවලින් පැවිදි වූ අය ඉන්නවා. මේ අතර දිඹුලාගල ඉතිහාසයේ පළමු වතාවට පසුගිය වසරේ මුස්ලිම් දරුවකුත් පැවිදි වුණා. මේ සියලුම ස්වාමීන් වහන්සේලා ඉතා සමඟියෙන් සාසනික සේවාවේ නිරත වී සිටිනවා. මෙම ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා මම කටයුතු කරනවා. මේ වන විට රජයේ විශේෂ අවධානය මෙම විහාරස්ථානයට යොමුවී තිබෙනවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට දෙමහල් සංඝාවාසයක් සහ දාන ශාලාවක් රජයෙන් හදාදුන්නා. දිඹුලාගල කේන්ද්‍ර කොටගෙන උතුරුමැද, නැඟෙනහිර යන පළාත්වල විහාරස්ථාන අසූවක් පමණ ආරම්භ වී තිබෙනවා. අපි ළඟ වැඩ ඉන්න දෙමළ ජාතික හාමුදුරුවරු අනාගතේ යම් දවසක බණ දහම් හදාරා දෙමළ සමාජයටද උතුම් බුදු දහමේ මඟ පෙන්වීම ලබාදෙයි කියා මම විශ්වාස කරනවා."

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය තුළ ජාති භේද, කුල මල , උස් පහත් ආදී කිසිදු භේදයක් නැති බව පසක් කරමින් උන්වහන්සේ පවසති.

"ජාතික සංහිඳියාව ගොඩනැඟීමට මෙවැනි අර්ථවත් දීර්ඝකාලීන ප්‍රතිඵල ගෙනදෙන දේවල් කළ යුතු බව මගේ හැඟීමයි. මේ ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි අපේ නායක හාමුදුරුවරු හැම ජාතියකම මිනිස්සුන්ට එක වගේ සැලකුවා. ජාතීන් වශයෙන් හා කතා කරන භාෂාව අනුව අපි වෙන් වී සිටියා හොඳටෝම ඇති. අපි හැමෝම මිනිසුන් විදිහට සිතා කටයුතු කළ යුතු කාලය දැන් ඇවිත් තිබෙනවා."

මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්ගේ එවදන් අදාළ වන්නේ දිඹුලාගලට පමණක් නොවේ. බෙදී වෙන්වී සිටින සියලු පටු සීමා මායිම් බිඳ හෙළා රටක් ලෙස සියලුදෙනා එක්සත් වන්නට හෙට වනතුරු ප්‍රමාද වුවහොත් ජාතික සංහිඳියාව සදාකාලයටම සිහිනයක් පමණක්ම වනු ඇත.

දිඹුලාගල සමූහ [ප්‍රසන්න සිල්වා]

 

මාතෘකා