නිවෙස් තක්සලාව හඳුන්වාදුන් අමුතු ගුරුතුමා

 ඡායාරූපය:

නිවෙස් තක්සලාව හඳුන්වාදුන් අමුතු ගුරුතුමා

 

නිමාෂා සඳරුවනි

සැබෑ ගුරුවරයා තෘප්තියට පත්වන්නේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමෙන්ම පමණක් නොවේ. දැනුමින් මෙන්ම ගුණ නුවණින් පිරිපුන් අනාගත පරපුරක් සමාජයට දායාද කිරීමෙන් ගුරුවරයකු ලබන ආත්ම තෘප්තිය වචනවලින් කිව නොහැකිය. වදුරැස්ස ශ්‍රී බුද්ධරක්ඛිත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කරන නිමල් චන්ද්‍රසිරි එවැනි ආත්ම තෘප්තියෙන් පිරිපුන් ගුරුවරයෙකි. මේ ඔහු සමඟ 'රැස' කළ පිළිසඳරකි.  

 

මේ වන විට ඔබේ ගුරු වෘත්තියට වසර කීයක් සපිරෙනවද?
මගේ ගුරු ජීවිතයට දැන් වසර විසි හයක් සම්පූර්ණයි.  


ගුරු වෘත්තියට පිවිසීමට කුඩා කාලයේ සිට බලාපොරොත්තුවක් තිබුණද?
ඇත්තෙන්ම ඔව්. මම කුඩා වියේ සිට හීන දැක්කේ ප්‍රාදේශීය ලේකම්වරයෙක් හෝ ගුරුවරයෙක් වීමටයි. අද මම ඒ ඉලක්කය සපුරාගෙන තියෙනවා. ඒ පිළිබඳව ඇත්තටම මට සතුටුයි.  


ඔබ ගුරු වෘත්තියට අවතීර්ණ වන්නේ කුමන කාලයේදීද?
මට මුලින්ම ගුරු පත්වීම ලැබෙන්නේ 1993 වසරේ අප්‍රේල් මාසයේ අටවැනිදා.  


මුල්ම පත්වීම ලැබුණ පාසල පිළිබඳ සඳහන් කළොත්?
කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ හොරොව්පතාන අධ්‍යාපන කොට්ඨාසයේ පුලියංකඩවල කනිෂ්ඨ විද්‍යාලයට තමයි මගේ මුල්ම පත්වීම ලැබුණේ. ඒ පාසල අතිශය දුෂ්කර පාසලක් කිව්වොත් නිවැරදියි. 1993 වසරේ සිට 2010 වසර දක්වා මම ඒ පාසලේ දරුවන්ට ප්‍රාථමික විෂය ධාරාවන් ඉගැන්නුවා. මම මුලින්ම පාසලට යද්දි ඒ පාසලේ හිටියේ ගුරුවරු හතරදෙනයි.

 
ඒ පාසලට ගිය මුල් අවධියේ මුහුණදුන් අත්දැකීම් කුමනාකාරද?
ප්‍රධාන පාරේ ඉඳන් පුලියංකඩවල කනිෂ්ඨ විද්‍යාලයට කිලෝ මීටර් දහයක දුර පයින් යන්න ඕනේ. ඒ කාලේ ගමටම තිබුණේ උළු සෙවිළි කරපු එක ගෙයක් විතරයි. ගමේ තිබුණ අනික් සේරම ගෙවල්වල වහලවල් හෙවිල්ලලා තිබුණේ ඉළුක්, පිඳුරු, මානා වගේ ශාක ද්‍රව්‍යවලින්. පාසලට යාම සදහා නිසි මාර්ග පද්ධතියක් තිබුණේ නැහැ. ඒ විදිහේ ඉතාම කර්කශ පරිසරයක තමයි පාසල පිහිටා තිබුණේ. අඩුම තරමේ ගුරුවරුන්ට නවතින්න ගුරු නිවාසයක්වත් තිබුණේ නැහැ. ගමේ කවුරුවත් ගුරුවරුන් ගෙවල්වල නවත්තගන්න කැමති වුණෙත් නැහැ. ඒ වගේම ඒ කාලේ ඒ ගමට වැසිකිලි පහසුකම් තිබුණෙත් නැහැ. ඉතින් ඒ වගේ පරිසරයක් තිබුණු ඒ ගමේදී බෙහෙවින් දුෂ්කර ජීවිතයක් තමයි මම ගතකළේ. කෙටියෙන් කියනවා නම් තුන්වේලම කාපු දවස් තිබුණේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. නමුත් මම එයින් සැලෙන්නේ නැතුව දරුවන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරමින් ඔවුන් ඉදිරියට ගෙනගියා.  


ඒ පාසලින් පසුව ඔබ ඉගැන්වූ අනෙක් පාසල් මොනවාද?
ගුරුවරයෙක් විදිහට මම මුල්ම පත්වීම ලැබූ හොරොව්පතාන පුලියංකඩවල කනිෂ්ඨ විද්‍යාලයේ 
1993 – 2010 වසර දක්වා සේවය කළාට පස්සේ 2010 වසරේ සිට 2013 දක්වා හොරොව්පතාන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා විදිහට කටයුතු කළා. 
2013 වසරේ ජනවාරි දහඅට වැනිදා සිට මේ දක්වා වදුරැස්ස ශ්‍රී බුද්ධරක්ඛිත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කරනවා.  


ඔබ බුද්ධරක්ඛිත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පැමිණෙන විට පාසල පැවතියේ කුමන තත්ත්වයකද?
2013 වසරේදී මම මේ පාසලට එන විට පාසලේ ළමුන් එකසිය දොළොස්දෙනෙකු අධ්‍යාපනය ලැබුවා. ගුරුවරුන් දොළොස් දෙනෙකු සේවය කළා. පාසලේ ගොඩනැඟිලි ප්‍රමාණවත් මට්ටමක තිබුණා. නමුත් මේ වෙද්දි මගේ පාසලේ ගුරුවරුන් දහඅට දෙනෙකු සේවය කරනවා. දරුවන් එකසිය තිස්තුන් දෙනෙකු අධ්‍යාපනය හදාරනවා. අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් දෙදෙනෙක් රාජකාරි කටයුතුවල නියැළෙනවා. පාසල පෙර පැවති තත්ත්වයට වඩා සංවර්ධනය කර තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව සිදු කිරීමට, ප්‍රතිඵල සාධනීය මට්ටමක පවත්වා ගැනීමට, විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීමට මා ඇතුළු පාසලේ ගුරුවරුන් විශාල වෙහෙසක් දරනවා. ඒ වගේම වර්තමානයේදී මගේ පාසලට ලැබෙන ප්‍රජා දායකත්වය සහ විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් ලැබෙන ජයග්‍රහණ සියයට සියයක මට්ටමේ පවතිනවා.

 
මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඔබේ පාසලෙන් දරුවන් කී දෙනෙක් පෙනී සිටියාද?
මෙවර පැවති ශිෂ්‍යත්ව විභාගය සඳහා මගේ පාසලෙන් දරුවන් දොළොස් දෙනෙක් ඉදිරිපත් වුණා. ඔවුන් අතරින් ඩබ්ලිව්. බී. ගඟන බණ්ඩාර කියන පුතා ලකුණු 174ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා. එය අපේ පාසලට මහත් ආඩම්බරයක්. අනික් දරුවන් එකොළොස් දෙනාම ලකුණු සියයට වඩා අරන් තිබෙනවා. එයත් විශේෂත්වයක්.  


මේ වන විට ඔබගේ විදුහල්පති දිවියට වසර කීයක් වනවාද?
මගේ විදුහල්පති ජීවිතයට මේ වෙද්දි වසර දහඅටක් සපිරෙනවා.  


විදුහල්පතිවරයා ලෙස පාසල වෙනුවෙන් ඔබ කළ කැපකිරීම් පිළිබඳ සඳහන් කළොත්?
මම මුලින් කිව්වා වගේ මේ පාසල පිහිටා තිබෙන්නේ ඉතාමත් දුෂ්කර, කර්කශ පරිසරයකයි. පාසලට පැමිණෙන බහුතරයක් දරුවන්ගේ මවුපියන් ජීවිකාව ගෙනියන්නේ කුඹුරු ගොවිතැන් කරලා. ඔවුන් එදා වේල කන්න මුදල් සොයා ගන්නේ බොහෝම අසීරුවෙන්. ඒ නිසා මට ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකදීම ගමේ ජනතාවට අධ්‍යාපනයේ වටිනාකම් පිළිබඳ දැනුවත් කිරීම් කරනවා. මා විසින් හැදූ “දුප්පත් ජනතාවට අධ්‍යාපනයෙන් තොර හෙටක් නැත” යන සංකල්පය යටතේ මම ප්‍රජාවගේ ඔළුවට දැනෙන යමක් දීමට හැමවිටම උත්සාහ කරනවා. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව මම පාසලේ ගුරුවරුන්ට උපදෙස් දී ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ගුරුවරුන්ගේ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා නොයකුත් වැඩසටහන් දියත් කර තිබෙනවා. මුදල් මතම යැපෙන්නේ නැතිව මේ වගේ දුප්පත් ගම්වල දිවි ගෙවන දරුවන්ට සිප් සතර කියා දී ඔවුන් යහමඟට ගැනීම මහත් ආනිශංස ගෙන දෙන පුණ්‍යකර්මයක් ලෙසයි මා දකින්නේ. ප්‍රතිඵල සංවර්ධනය, සාරධර්ම සංවර්ධනය හා පරිසරය අලංකාර කිරීම යන තේමා තුන යටතේ ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට මා ඇතුළු ගුරු මණ්ඩලය උපරිමයෙන් මහන්සි වෙනවා.  

 

අධ්‍යාපන අමාත්‍යාංශය, කලාප අධ්‍යාපන කාර්යාලය වැනි ආයතනවලින් ඔබේ පාසලට ලැබෙන සහයෝගය මොන වගේද?
අධ්‍යාපන අමාත්‍යාංශය සහ කලාප අධ්‍යාපන කාර්යාලය යන රජයේ ආයතන දෙකෙන්ම අපේ පාසලට විශාල සහයෝගයක් ලබාදෙනවා.  


වර්තමානයේදී බොහෝ ගුරුවරුන් තෝරාගන්නේ ජනප්‍රිය පාසල් සහ නගරයේ තිබෙන සුපිරි ගනයට වැටෙන පාසල්. නමුත් ඔබ දුෂ්කර පාසල් පමණක් තෝරාගන්න යම් කිසි විශේෂ හේතුවක් තිබෙනවාද?
ඔව්. ඇත්තෙන්ම කිව්වොත් මම බොහෝම අමාරුවෙන් අධ්‍යාපනය ලබලා තමයි මේ තත්ත්වයට පත් වුණේ. ගුරුවරු විදියට අපි සේවය කරන්න ඕනේ මේ වගේ ඉතාම දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන, ආර්ථිකමය වශයෙන් ඉතාම පහළ මට්ටමක සිටින දරුවන් වෙනුවෙන් බව මම විශ්වාස කරනවා. වර්තමානයේදී බොහෝ ගුරුවරුන් තමාගේ සුඛ විහරණය, සුව පහසුව තකා නගරබද පාසල් තෝරා ගැනීම සිදු කළත් මේ වගේ දුප්පත් ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරන්න, ඔවුන්ව යහමඟට ගැනීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැහැ. එහෙම පිරිස් වර්තමානයේ ඉතාම අල්පයි. ඒ හේතුව නිසා තමයි මම දුෂ්කර පාසල් පමණක් තෝරා ගන්නේ. සමාජයේ ගරු බුහුමනට පාත්‍ර වන ගුරු වෘත්තියට පිවිසීමට මට හැකියාව ලැබුණේ නිදහස් අධ්‍යාපනය හැදෑරීම තුළින් කියලයි මගේ මතය වෙන්නේ. ඉතින් මේ වගේ දුෂ්කර ගම්වල ඉන්න දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සංවර්ධනය කිරීමටත්, සැඟවුණු දක්ෂතා ඇති දරුවන් සමාජගත කිරීමටත් මට මගේ වෘත්තිය ජීවිතය තුළදී හැකිවී තිබෙනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය කියලා පැරණි රුවන් වැකියකුත් තියෙනවනේ. අන්න ඒක නිසා මම සමස්ත සමාජයටම ආදර්ශයක් වෙමින් දුෂ්කර පාසල් පමණක් තෝරා ගන්නවා. මගේ අඩි පාරේ යමින් එක්කෙනෙක් හරි මේ දුෂ්කර මාර්ගය තෝරා ගනියි කියලා මා විශ්වාස කරනවා.  


දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?
වර්තමානයේදී බොහෝ දරුවන් රාත්‍රී කාලයේදී ඉන්දියානු ටෙලිනාට්‍ය නැරඹීමට රුචිකත්වයක් දක්වනවා. එමඟින් දරුවන්ට ලැබෙන්නේ වැරදි පණිවුඩයක්. ඒ හේතුව නිසා මගේ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වැඩසටහන තුළින් ගෙවල්වල ‘නිවෙස් තක්සලාව’ නමින් දරුවන් පාඩම් කරන ස්ථානයේ කුඩා පන්ති කාමරයක් පවත්වාගෙන යනවා. මම ගුරු මණ්ඩලයත් සමඟ එක්වෙලා රාත්‍රී 7 – 9 අතර කාලය තුළ දරුවන්ට කලින් නොදන්වා ඔවුනගේ නිවෙස්වලට යනවා දරුවෝ පාඩම් කටයුතු නිසි පරිදි සිදු කරනවාද කියලා බලන්න. ඒ හේතුව නිසා දරුවන් නිසි පරිදි අධ්‍යාපන කටයුතුවල නිරතවීමක් දක්නට ලැබෙනවා. රූපවාහිනිය නැරඹීමේ ප්‍රවණතාවත් අඩු වී තිබෙනවා.  


මෙම පාසල් පරිසරය තුළ ඔබට මුහුණදීමට සිදු වූ අභියෝග මොනවාද?
මේ පළාතේ ජනතාව මුහුණදෙන ලොකුම ප්‍රශ්නය තමයි වන අලින් ගමට කඩා වැදීම. ගමේ බහුතරයක් ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තය හෝ හේන් ගොවිතැන් කිරීමෙන්. වන අලි ගම් වැදී වගා විනාශ කිරීම නිසා ඔවුන් විශාල වශයෙන් පීඩාවට පත්වෙනවා. ඒ හැර වෙනත් අභියෝගවලට මේ පාසල් පරිසරය තුළදී මට මුහුණදීමට සිදුවෙලා නැහැ.

 
වසර විසි හයක වෘත්තිය ජීවිතය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද?
 මගේ වෘත්තිය ජීවිතේ පිළිබඳව ආපස්සට හැරිලා බැලුවොත් මට නිහතමානීව සතුටු වෙන්න පුළුවන්. නොයෙක් දුෂ්කරතා, තාඩන පීඩන, අභියෝගවලට මුහුණ දීලා තමයි මම අද මෙතැන ඉන්නේ. දුප්පත් දරුවන්ට සිප් සතර කියා දීමෙන් මම අපමණ සතුටක් ලබනවා.  

 

 

මාතෘකා