අපි එකමුතුයි...

 ඡායාරූපය:

අපි එකමුතුයි...

මහනුවර දුම්රිය ස්ථානයෙන් වෙනත් නගරයක් වෙත දිවෙන දුම්රියක් තමන්ගේ ගමන ආරම්භ කරන්න සූදානම් වෙලා නළාව හඬවනවා. වෙනත් වුවමනාවල්වලට එහා මෙහා යන අපට නම් ඒ හඬෙහි කිසිම විශේෂයක් නැහැ. ඒත් තවත් අයෙකුට එය තමන්ගේ හිතේ ගැස්ම, තනිකම වැඩි වෙන්න හේතු වෙන්න ඇති. තවමත් දුම්රියට ගොඩවෙන්න බැරි වූ අයෙකුට, මෙතෙක් තමන් හා එකට සිටි ළැබැඳියන්ගෙන් වෙන්ව යන අයෙකුට නම් මේ හඬ හැබෑම වේදනාවක්. ඒ හැම දෙයක්ම එලෙසින්ම තියෙද්දී දුම්රිය පිටත් වන්නේ බොහෝමයක් හිත්වල මතකයක් ඉතිරි කරලයි.

මට දුම්රිය මතකයට ආවේ පහුගිය දවසක දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති රාසිංදේව් විදුහලට එන්න කියූ සුහද ඇරයුම නිසායි. සාහිත්‍ය දිනය වෙනුවෙන් මටත් පුංචි ඇරයුමක් ලැබිලා. පෙර දවසක මට ඉතිහාස විෂය වගේම බොහෝමයක් ඔවදන්, දිරිදීම් ලබා දුන්න අබේකෝන් ගුරුතුමන් අද ඒ විදුහලේ විදුහල්පතිතුමා. “රසාංජලී” සාහිත්‍ය උත්සවය හරවත් උත්සාහයක් බව ගේට්ටුවෙන් ඇතුළුවෙද්දිම දැනුණේ ඒ වෙද්දිත් කඩිමුඩියේ ලක ලෑස්ති වන විවිධ කලා ඉසව් දැක්කහමයි. පුරන්වෙලා යන සාහිත්‍ය කෙත යළි අස්වද්දන්න මේ හැමෝම ගන්න උත්සාහය මොන තරම්ද?

උත්සවයේ ආරම්භක අංගය වූයේ සම්ප්‍රදායට මුල් තැනක් දුන් “පූජා” නර්තනයයි. පාසලේ සොයුරියන් හරි අපූරු නර්තන හැකියාවක් පෙන්වද්දී එක් පැත්තක තිබුණු තිරය මත මේ රංගනය ඉදිරිපත් කරන ශිල්පිනියන්ගේ නම් සටහන් වෙලා. ඒ නම් අතරින් තුන්වැනි නම ෆාතිමා නිස්ලාම් සොහොයුරියගේ. මගේ ඇස් වේදිකාව පුරා හොයන්නේ ඇයයි. කොහොම හොයා ගන්නද? හැම ශිල්පිණියක්ම එක වගේ සිය නර්තන හැකියාවන් පෙන්වනවා. අපි අතර ජාති, ආගම්, භාෂා භේදයන් නැති බව වේදිකාවක නැගලා කෑ ගසා කියනවාට වඩා මේ වගේ ඇත්තෙන්ම ප්‍රායෝගිකව කර පෙන්වනවා තරම් තවත් අගනා දෙයක් ඇත්ද? මේ පණිවිඩය අපේ බොහෝ වැඩිහිටියන්ට දෙන්න ඇත්නම්...

විදුහල්පතිතුමන්ගේ ආදරය තැවරුණු පිළිගැනීමේ වදන් මගේ හිතට පුංචි ආඩම්බරයක් එක්කාසු කළා. මොනතරම් හැඟීම්බර මොහොතක්ද? පැමිණි අය පිළිගන්න කතාවේදී එතුමන් තමන්ගේ ගෝල ශිෂ්‍යයෙකු ආදරයෙන් පිළිගන්නවා. පාසල් ශිෂ්‍යයෙකු විදිහට මේ තරම් නිහතමානී සතුටක් කෙසේ ලබන්නද? ඒ වගේම සතුටක් එකතු වූයේ එතුමන් කළ තවත් විස්තරයකින්. ඒ වසර හැටකට පසු ආපසු සාහිත්‍ය දිනයක් පවත්වන්නේ අද දිනයේදී වීම. ආපසු මේ කෙත හරිත පැහැ ගොයමෙන් පිරේවි. ඒ ගොයම පීදී රන්වන් කරල් පොළව සිඹිද්දී පැතිරෙන නෑඹුල් සුවඳ හුළඟ එක්ක හැම තැනකම පැතිර යාවි.

අපි මොනතරම් කවි රස විඳලා ඇතිද? නමුත් සමහර කවියක සැඟවිලා ඇති සියුම් අරුත් හොයා ගන්න අපිට තවමත් බැහැ. සේනාරත්න කාරියවසම්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යතුමන් හරි අපූරුවට ඒ අර්ථයන් සීරුවට ලිහද්දී අපේ සහොදර සහෝදරියන්ට ඒ හැම දෙයකින්ම අමිල දැනුම් සම්භාරයක් හිතේ රඳවා ගන්න හැකි වූ බව නම් විශ්වාසයි.

දත් කැකුළු පාළා - සුරතල් සිනා සීලා

බොළඳ බස් දීලා - කෙළි සියොළඟ දූලි ගාලා

මේ කවියේ නිවැරදි අරුත මටත් දැන ගන්න හැකි වූයේ එදිනයි.

මේ හැම දෙයකින් වගේම මට සතුට දැනුණු තවත් මොහොතක් උදා වුණා. ඒ මා දැන සිටි දේ, මට දැනුණු දේ එහි සිටි සහෝදර සහෝදරියන් එක්ක බෙදා හදා ගන්න ලැබුණු මොහොත. තමන් දැන උගත් දේ තවත් කෙනෙකුට ලබා දීමෙන් දැනෙන සතුටට සීමා නැහැ. අවසානයේ ශාලාවේ අසුන් ගෙන හිටිය ගුරු මෑණිවරු, පියවරු මා අසලට එකතු වෙලා. ඒ හදවත් වගේම දෙනෙත් තෙතබරිතයි. ඒ වගේ තෙත් වූ හදවත්වලින් නැගුණු ආශිර්වාදයේ වදන් මගේ හිත ආදරයෙන් වෙළා ගනිද්දී පපුව පිරෙන්න අලුත් හුස්මක් ගන්න මම මොහොතක්වත් ප්‍රමාද වුණේ නැහැ. මේ මොහොතේම දෙමාපියන් අතර හිඳගෙන හිටිය මුස්ලිම් ජාතික අම්මා කෙනෙකු නැගිට මා ගාවට ආ හැටි මේ මොහොතෙත් මැවිලා පේනවා. ඇය “සතුටුයි මගේ පුතේ” කියලා ආදරයෙන් හිස අතගාමින් කියද්දී මව් සෙනෙහස මොනතරම් උණුසුම්ව මට දැනුණාද...?

ඒත් දැන් උණුසුම රැඳෙන මේ බිමෙන් පිටත් වෙන්න කාලය ඇවිත්. ඊළඟ නැවතුම වෙන මාතලේ හෝටල් පාසල් ශාලාව. ඒ, චූලා මාමාගේ “ මා” නව කතාව අපි එනතුරු මඟ බලාගෙන ඉන්න නිසා. පාසල් ගේට්ටුවෙන් පිටතට එද්දී වේදිකාව මත තවත් හැඟීම්බර ගීතයක් ගැයෙනවා.

මං එනතුරු ඉඳිකඩ ළඟ

ඉන්නවා ද අම්මේ....

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා