ග්‍රහයන් ගැන මිථ්‍යා මත

 ඡායාරූපය:

 ග්‍රහයන් ගැන මිථ්‍යා මත

ප්‍රවීණ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා

අපේ සෞරග්‍රහ මණ්ඩලය හැදිලා තියෙන්නේ ග්‍රහලෝක අටකින්. සූර්යයාගෙන් පසු බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන්. කලින් ග්‍රහලෝකයක් කියලා පිළිගැනුණු ප්ලූටෝ දැන් වාමන ග්‍රහයෙක් විදිහට තමයි පිළිගන්නේ. අවුරුදු දසදහස් ගණනකට කලින් දඩයම්, එඬේර හා ගොවි යුගවල එඬේරුන් හා දඩයක්කාරයෝ අහස දිහා බලාගෙන සතුන්ගේ නම් වගේම රජවරුන්ගේ නම් යොදාගෙන රූප මැව්වා. කාලයක් යනකොට ඉර එක පැත්තකින් නැඟලා අනිත් පැත්තෙන් බැහැලා යනවා මිනිස්සු දැක්කා. එහෙම දැක්කාම ඉරට දේවත්වයෙන් සලකන්න පටන් ගත්තා. ඒ වගේම ආකාස වස්තු, උල්කාෂ්ම, උල්කාපාත වගේ දේවල්වලටත් බය වුණා.

ඉතිං ගොවි යුගයෙදී මේ ගැන තරමක් හොයපු මිනිස්සු ඉරේ, හඳේ ගමන නිරීක්ෂණය කරලා හිරු තැටි, දින දර්ශන වගේ දේවල් හැදුවා. තවත් සමහරු ඉරේ, හඳේ ගමන නිරීක්ෂණය කරලා කාලගුණය ගැන හෙව්වා. ඒ වගේම තමන්ට හිතාගන්න බැරිවුණු සූර්ග්‍රහණ, චන්ද්‍රග්‍රහණ දකිද්දී ඒවා දෙවියෝ කරන වැඩ විදිහට හිතුවා. සූර්යග්‍රහණවලට ‘ඉර රාහු ඇල්ලීම’ කිව්වා. චන්ද්‍රග්‍රහණවලට ‘හඳ රාහු ඇල්ලීම’ වගේ දේවල් කිව්වා. මේවායේ ඇත්ත හොයාගෙන දැනට අවුරුදු 500 වගේ කාලයක් ගිහින් තියෙන්නේ.

පෘථිවියේ ඉඳන් චන්ද්‍රයාට දුර කිලෝමීටර් තුන් ලක්ෂ අසූදාහක් වගේ. සූර්යයාට තියෙන දුර කිලෝමීටර් මිලියන එකසිය පනහක් වගේ. නමුත් ඉර විශාල වස්තුවක්. ඒ නිසා චන්ද්‍රයාට ඉර මුවා කරන්න පුළුවන්. එතකොට හඳේ සෙවනැල්ල තමයි පොළොවට වැටෙන්නේ. ඒක තමා සූර්යග්‍රහණය කියන්නේ. ඒකෙදී වැටෙන සෙවනැල්ල පොඩියි. 1955 ජූනි 20 තමා මෑත කාලයේම අපිට සූර්යග්‍රහණයක් දැකගන්න ලැබුණේ. අර්ධ සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ වගේම 2010 ජනවාරි 10 වලයාකාර සූර්යග්‍රහණයකුත් මම දැකලා තියෙනවා. චන්ද්‍රග්‍රහණයක් රතු පාටින්, දුඹුරු පාටින් දැකගන්න පුළුවන්. ඒකට හේතුව පොළොව වටේ වායුගෝලය තුළින් හිරු එළිය ගමන් කිරීම. ඒ නිසා තමයි හඳ රතු පාට වෙන්නේ. වායුගෝලයක් නොතිබුණා නම් හඳ කෙළින්ම කළු පාට වෙනවා.

සූර්යග්‍රහණයකදී ඒ වස්තූන් ගමන් කරනවා වගේ අපේ පෘථිවියත් තත්පරයට කිලෝමීටර් 30ක වේගයකින් ඉරට සාපේක්ෂව පැයට කිලෝමීටර් එක්ලක්ෂ අටදාහක වේගයකින් ගමන් කරනවා. අපි ඇත්තටම ඉන්නේ අභ්‍යවකාශ යානාවක.

ලංකාවේ ප්‍රධාන වශයෙන් තියෙන දෙයක් තමයි කේන්දර. කෙනෙක් උපන් වෙලාව, දිනය ආදිය පදනම් කරගෙන ලග්නයක් ලබාදීලා තියෙනවා. ඒ මඟින් කාලෙන් කාලෙට විවිධ ග්‍රහලෝකවලින් අපලයි කියලා කියනවා. ඒක කොහොමද වෙන්නේ?

ඒක ජ්‍යොතිෂවේදීන් හා ඍෂිවරුන් අතර තියෙන දෙයක්නේ. ඒ කාලේ හිතුවේ අපි වටා සූර්යයා යනවා. අහසේ සූර්යයා යන මාර්ගය වටා රාශි තියෙනවා. රාශි කියන්නේ තරු. සරලව කිව්වොත් තරු රටා. ජ්‍යොතිෂයේ එක් රාශියකට අංශක තිහක් වෙන් කරලා තියෙනවා සමව. ඒත් සමහර රාශි තියෙනවා පොඩියි. මේෂ වගේ අංශක අටක් විතර වෙන ඒවාත් තියෙනවා. නමුත් වෘශ්චික වගේ ඒවාට අංශක තිහකට වඩා අවශ්‍යයි. එතකොට රාශි චක්‍රය තනිකරම වෙනසකට ලක්වෙනවා. ඒ කාලේ නක්ෂත්‍රවේදීන් මේවා බැලුවේ පොළොවේ ඉඳලා. පසු කාලෙක තමා කොපර්නිකස් වගේ අය කිව්වේ සූර්යයා තමා මැද එය වටේ තමා අපි යන්නේ කියලා. ඉස්සර අය හිතුවේ පෘථිවිය වටේ තමා ඉර යන්නේ කියලා. ඒ මත තමා ජ්‍යොතිෂය ගොඩ නැඟුණේ. ඒක විද්‍යත්මක බවට බර නෑ. ඒක මිනිස්සු ගොඩනඟපු දෙයක්. ඒක භූ කේන්ද්‍රවාදය මත ගොඩනඟපු දෙයක්. දැන් පිළිගන්න දේ සූර්යකේන්ද්‍රවාදය. සූර්යයා තමයි මේ චක්‍රාවාටයේ අපිට ළඟම තරුව. ජ්‍යොතිෂයට යොදාගත්තු තරු සමහර ඒවා දෙබිඩි තාරකා, තරු පොකුරු වගේ ඒවා. ජ්‍යෝතිෂය පදනම් වෙලා තියෙන්නේ පියවි ඇහැට පේන තරු මත විතරයි. ඇත්තටම සූර්යයාගේ රාශි ගමනක් නෑ. අපි තමයි රාශි වටා යන්නේ. ඒක තේරෙන්නේ සූර්යයා යනවා වගේ. හරියට කෝච්චියේ යද්දී දෙපැත්තේ ගස් කොළන් යනවා වගේ. රාශි යාම තනිකර මිථ්‍යාවක්. ඒ බලපෑම කියනවානේ මේෂ ලග්නයට අපලයි මේ ග්‍රහයා මෙතනට ආවාම කියලා. ප්‍රධාන දේවල් හරියට ඒ මඟින් කියන්න බෑ. සමහර දේවල් වදිනවා. ගල් කීපයක් ගැහුවාම එකක් දෙකක් වදිනවා වගේ. අපේ මහ ජ්‍යෝතිෂවේදීන්ට ළඟඳී වෙච්ච දේවල් වුණත් කියන්න බෑනේ. ඇමෙරිකාව, චීනය හඳට යනවා, අඟහරුවලට යනවා. අපල ග්‍රහයන්ටමයි යන්නේ. අපේ අය කේන්දර බල බල ඉන්නවා. ඒත් කිසි දියුණුවක් නෑ. ලෝකය එක්ක බලනකොට අපේ දියුණුව හරි අඩුයි.

 

බුදුදහමේ බුදුහාමුදුරුවෝ ග්‍රහයෝ හා කේන්දර පස්සේ යන එක තරයේම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒත් ලංකාවේ බොහෝ පන්සල්වල හා හාමුදුරුවෝ කරන්නේම ඒ ප්‍රතික්ෂේප කරපු දේවල්. බෝධියට පැන් දාපුවාම ග්‍රහ අපල දුරු වෙනවා. චෛත්‍ය වහන්සේට පූජාවන් කළාම ඒ අපල දුරු වෙනවා. ඉතිං මේ ප්‍රතික්ෂේප කරපු පදනම් විරහිත දේවල් වලින් හොඳක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

මං තරුවක් පෙන්නුවොත් මේ තරුවෙන් අපලයි කියලා සමහර විට ඒ තරුව ආලෝක වර්ෂ දහස් ගාණක් දුරින් තියෙන තරුවක්. ඒක විනාස වෙලා ඒ ආලෝකය තමා අපිට එන්නේ. ඉතිං ඒ වගේ නොපවතින දේකට පුළුවන්ද භෞතික දෙයක් වෙනස් කරන්න? ඒ වගේම තරුවක්, ග්‍රහලෝකයක් වගේ දෙයකින් වෙන දෙයක් පාලනය කරන්න භෞතික දේකට පුළුවන්ද ? සිත තමයි ප්‍රධාන. කාට හරි කිව්වොත් ඔයා අසනීප වෙනවා කියලා ඒක තමා හිතේ වැඩ කරන්නේ. ඒක හිතලාම කෙනෙක් අසනීප වෙනවා. එහෙම තමා ගොඩක් දේවල් වෙන්නේ. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දේ ළං කරගන්න මූලිකම දේ තමා ආදායම.

ළඟදී වුණු රතු පාට චන්ද්‍රයා හෙවත් blood moon නිසා ඉන්දියාවේ විශාල බලපෑමක් වුණා. දේව බලපෑමක් වගේ මේ දේ ඉස්මතු වුණා. මේ ගැන අදහස කුමක්ද ?

මිනිස්සු අන්ධ භක්තියෙන්නේ ඉන්නේ. ඒ නිසා ඊට විරුද්ධ දේ මොන පදනමක් යටතේ වුණත් පිළිගන්න කැමති නෑ. පහුගිය කාලේ අසූ අනූ ගණන්වල ලොකු කථාවක් ගියා ගණ දෙවියෝ කිරි බොනවා කියලා. ලෝකේ පුරා ආන්දෝලනයකට ලක්වුණු දෙයක්. ඒක බැලුවාම හැන්ද ළං කරපු ගමන් කිරි බොනවා. හැන්ද හිස් වෙනවා. බලනකොට බටයක් දාලා කාණුව දිගේ කිරි යනවා. ඒකට හේතුව කේෂාකර්ෂණය. ඉතිං මේ ලෝකෙ මිථ්‍යාවෙන් පිරිලා. සත්‍යය බොහොම ටිකයි තියෙන්නේ.

සම්මතයක් වශයෙන් ග්‍රහ බලපෑම් අදහස මොකක්ද?

අපේ හිත හරි සියුම් හිතක්නේ. ලෝකේ ඉස්තරම්ම දේ තමා අපේ හිත. ඒක හොඳට වගේම නරකටත් යොදාගන්න පුළුවන් කියන විදිහට ග්‍රහයින්ට ඔය දේවල් කරන්න පුළුවන් නම් අපිට අපේ වැඩවලට ග්‍රහයින් පාවිච්චි කරන්න බැරි ඇයි? මෙච්චර කේන්දර බලන රටේ අපිට කිසි දියුණුවක් නැත්තේ ඇයි ? ඒ දේවල් පදනම් රහිත දේවල් නිසා.

මාතෘකා