මළවුන් නිදන සුසානයේ අසිරිමත් පුදබිම

 ඡායාරූපය:

මළවුන් නිදන සුසානයේ අසිරිමත් පුදබිම

හිටිහැටියේ අනෝරා වැසි වැටෙන, හිරු එළිය විටින් විට පොළොව සිපගන්නා මේ නොවැම්බරය මළවුන්ගේ මාසයයි. කිතුනු බැතිමත්හු දෙව්ලොව ගිය තම ආදරණීයයන් සැමරීම සඳහා සෑම වසරකම නොවැම්බර් මාසය විශේෂයෙන් වෙන්කරගෙන සිටිති. මළවුන්ට වෙන්කළ නොවැම්බර් මාසය පුරාවට සුවඳ මලින් සහ දැල්වූ ඉටිපහන්වලින් තම ආදරණීයයන් නිදන සොහොන් කොත් සරසමින් සුසාන භූමි කලඑළි කරන්නට ඔවුහු අමතක නොකරති.

මළවුන් සහ සුසානය අතර සබඳතාව අරුමයක් නොවූවද සුසානය සහ දෙවියන් අතර සබඳතාව තරමක අරුමයකි. දෙවියන් හමුවන්නට සුසානයකට යන්නට එන්නැයි මම ඔබට ඇරයුම් කරමි. සුසානයකැයි කීවද මෙය කතෝලික සිද්ධස්ථානයකි. පුත්තලම කොළඹ පාරේ මාරවිල හන්දියෙන් හැරී කිලෝමීටරයක් පමණ ඇතුළට ආ විට හමුවන එම සිද්ධස්ථානය ප්‍රකටව ඇත්තේ "මාරවිල ශ්‍රී කුරුස පල්ලිය" ලෙසටය. දෙව්මැදුරේ ඉදිරිපස ඇත්තේ ලතින් භාෂාවෙන් ලියැවුණු පාඨයකි. ඉංග්‍රීසි බසින් එහි අරුත “මේ සලකුණෙන් ඔබ ජය ගනී” යන්නය. එහි අරුත කෙසේවුවද සිද්ධස්ථාන බිමට ඇතුළු වන මොහොතේ සිට ඕනෑම අයකුගේ සිතට දැනෙන්නේ නවමු හැඟීමකි.

සිනිඳු වැල්ලේ දෙපා තබමින් සිද්ධස්ථානය ඇතුළට යන ඔබේ දෙපයට පෑගෙන්නේ ටයිල් හෝ සිමෙන්ති ඇතිරූ බිමක් නොවේ. සිද්ධස්ථානය මැද පමණක් සිමෙන්ති තීරුවක් තිබෙන අතර එහි දෙපසම ඇත්තේ වැල්ලය. හිඳගන්නට බංකු හෝ අසුන් පනවා නැත. බොහෝ සිද්ධස්ථානවල මෙන් ලොකු පල්ලි, පොඩි පල්ලි කියා කොටස් දෙකතුනක් නැත. එකම ශාලාවක් ලෙසට ඉදිකර ඇති කුඩා පල්ලියේ අල්තාරය පිටුපසින් පෙනෙන්නේ කුරුසියේ ඇණ ගැසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවකි. සිද්ධස්ථානය දෙපස ඇත්තේ විවිධාකාර සොහොන්කොත් සහිත සුසානයයි. දෙව්මැදුර පිටුපසින් දිස්වන්නේ මුතු පන්තිය ලෙස විරුදාවලි ලත් හලාවත මුහුදු තීරයට අයත් සුන්දර මාරවිල මුහුදු වෙරළයි. සිද්ධස්ථානයෙන් පිටතට පා තැබූ විට දෙපසින්ම ඔබේ නෙත ගැටෙන්නේ හත් අටසියයක් පමණ සොහොන් කොත් සහ ස්මාරකය. ගොඩනඟා ඇති එම සොහොන් කොත් ස්මාරකවලට අමතරව දහස් ගණන් මෘත දේහයන් එම සුසාන භූමියේ මිහිදන් කර ඇත. ඔබට සිද්ධස්ථාන භූමිය පුරා ඇවිද යන්නට සිදුවන්නේද එසේ මළවුන් අතර නිදන දහස් ගණනකගේ අවසන් නින්දට බාධා නොවන්නටය. එහෙත් සාමාන්‍ය සුසානයකදී සිතට දැනෙන තැතිගැන්ම වෙනුවට මෙම සිද්ධස්ථාන බිමේදී ඔබේ සිතට දැනෙන්නේ වෙනස්ම හැඟීමකි. ජීවිතයේ විවිධාකාර ප්‍රශ්නවලින් සහනය පතා දෙවිඳුන් යදින්නන්ට එය සුසානයක් වීම කිසිසේත්ම ගැටලුවක් නොවන බව පසක් කරමින් දිවයිනේ නන් දෙසින් බැතිමත්හු දිනපතා වේලාවක් අවේලාවක් නැතිව මෙම ශ්‍රී කුරුස සිද්ධස්ථානය කරා පැමිණෙති.

හලාවත රදගුරු වසමට අයත් වන මාරවිල ශ්‍රී කුරුස සිද්ධස්ථානය දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. 1921දී පමණ අක්කර 100ක පමණ පොල් වත්තක් මැද පිහිටි මෙම සුසාන භූමියේ කුරුසියේ ඇණ ගසන ලද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවක් ස්ථාපිත කොට ඇත්තේ ගරු ෆර්ඩිනන්ඩ් තිරි නම් පියතුමා විසිනි. ධීවර කර්මාන්තයෙන් ජීවිතය රැකගන්නා බහුතර ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් වීම නිසා ධීවරයන්ගේ බුහුමනටත් යැදුමටත් පාත්‍ර වූ එම ප්‍රතිමාව වන්දනා කිරීම ක්‍රමක්‍රමයෙන් සෙසු ප්‍රදේශවල බැතිමතුන් තුළද ප්‍රචලිත විය. මෙසේ කාලයක් ගතවත්ම වර්ෂ 1947දී වෙරළබඩ ගම්මානවල සමේ රෝගයක් පැතිර ගොස් තිබේ. එම රෝගයට ගොදුරු වූ දරුවකුගේ මවක් තුවාල හේතුවෙන් තම දරුවා විඳින දරුණු වේදනාව දරාගත නොහැකිව ශ්‍රී කුරුස ප්‍රතිමාව ඉදිරියේ හඬමින් යාච්ඥා කරන්නට වූවාය. ඇය ශ්‍රී කුරුසියේ පාද පොල්තෙල්වලින් නහවා එම පොල්තෙල් දරුවාගේ තුවාල මත තවරමින් දිගින් දිගටම කුරුස ප්‍රතිමාව ඉදිරියේ යාච්ඥා කර ඇති අතර පසුදින දරුවා සම්පූර්ණයෙන් සුවය ලබා තිබේ. එම ආශ්චර්යමත් සුව කිරීමේ පුවත ප්‍රදේශවාසීන් අතර පැතිරයෑමත් සමඟ සුවය පතා ශ්‍රී කුරුස ප්‍රතිමාවේ ආශීර්වාදය ලබාගැනීමට නන් දෙසින් බැතිමත්හු පැමිණෙන්නට පටන් ගෙන තිබේ. සුව කළ නොහැකි රෝගයකින් පීඩා විඳිද්දී මෙන්ම ජීවිතයේ විවිධාකාර අවශ්‍යතාවලදී එම ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටී යාච්ඥා කරන්නට ඔවුන් පුරුදු වී ඇති අතර, පසුකලෙක එම ප්‍රතිමාව වටකොට දෙව්මැදුරක් ගොඩනැඟීම දක්වා ශ්‍රී කුරුස බැතිය ප්‍රචලිත විය. ඒ අනුව 1948දී පමණ එතෙක් සොහොන් බිමක් ලෙස භාවිත කළ භූමියේ දේවස්ථානයක් ඉදිකොට තිබේ.

එසේ සුසානයක දේවස්ථානයක් ඉදිකිරීමට තරම් ආශ්චර්යමත් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වැඩ සිටින ප්‍රතිමාව ස්වභාවය අනුවද ඉතා සුවිශේෂී වූවකි. සාමාන්‍යයෙන් බොහෝ දේවස්ථානවල තිබෙන හුරුපුරුදු සංකේතයක් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වැඩ සිටින ප්‍රතිමාවන්හි උන්වහන්සේගේ මුහුණ වේදනාත්මක සහ තැතිගන්වන සුළු ස්වරූපයක් පෙන්නුම් කරන අතර, බොහෝ එවැනි ප්‍රතිමාවල ජේසුස්වහන්සේ නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේ දෙනෙත් වසාගෙන ඉන්නා ආකාරයෙනි. එහෙත් මාරවිල ශ්‍රී කුරුස සිද්ධස්ථානයේ ඇති කුරුස ප්‍රතිමාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෘදුකමින් හා දයාවෙන් ලෝකය දෙස බලා සිටින බවක් පෙන්නුම් කරයි.

විවිධාකාර ලෙඩදුක්, රැකියා ප්‍රශ්න ඇතුළු ජීවිතයේ එළැඹෙන අනපේක්ෂිත ප්‍රශ්න කරදරවලදී මෙම දේවස්ථානයට පැමිණ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටී යාච්ඥා කිරීමෙන් සහ බාරහාර වීමෙන් සහනය ලැබෙන බව මෙහි පැමිණෙන බොහෝ බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම සිද්ධස්ථානය වෙත පැමිණෙන්නට ඕනෑම අයකුට දොරටු විවර අතර, දවස පුරාම එය විවෘතව තිබෙන බවද මෙම සිද්ධස්ථානයේ වත්මන් පාලක ගරු ෆයස් නිහාල් ප්‍රනාන්දු පියතුමා පැවසීය. තලවිල සාන්ත ආනා ජාතික පුදබිම වෙත යන බොහෝ වන්දනාකරුවෝ ඒ ගමනේදී මාරවිල ශ්‍රී කුරුස සිද්ධස්ථානය වන්දනා කරන්නටද අමතක නොකරති. මාසයේ පළමු සිකුරාදා දින සහ සෑම සිකුරාදා දිනකම බැතිමත්හු දහස් ගණනින් මෙම සිද්ධස්ථානය වෙත පැමිණෙන අතර, සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් මාසයේ 14 වැනිදායින් පසුව එන ඉරුදින සිදුකෙරේ. ආගම් භේදයකින් තොරව අන්‍යාගමිකයන්ගේද බුහුමනට පත් මෙම සුසාන භූමියේ සිද්ධස්ථානය තිඹිරිගෙය සහ සුසානය දක්වා අතර ජීවිත ගමනේ යථාර්ථය මිනිසාට කියාදෙන නිහඬ පාඩමක් වැනිය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා