වෙනස් වෙනස් සමනලුන් ලස්සනයි

 ඡායාරූපය:

වෙනස් වෙනස් සමනලුන් ලස්සනයි

ලෝකයේ සර්ව සමාන කිසිවක් නැත. ඇත්තේ සමාන බවක් පමණි. දරුවන්ට ආදරය නොහිතෙන හදවතක් තිබිය හැකිද? නැත!. දරුවෝ එතරම්ම ආදරබරය. එහෙත් අප ආදරය දෙන්නට දරුවන් තෝරමින් සොයන්නේ නම් අපගේ ආදරයේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් තිබේ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳව සමාජයේ වෙනදා මෙන් කතාබහ කරනු ඇසීම සතුටට කාරණයකි. එවැනි දරුවන් පවුලට මෙන්ම නිවසට බරක් වූ යුගයක්ද පැවතිණි. එවැනි දරුවකු සිටින බවවත් රටට ලෝකයට කියන්නට අකමැති වුණු කාලයක් පැවතිණි. අද ඒ තත්ත්වය වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නිවසේ මුළුගැන්වී සිටිනවා වෙනුවට සාමූහික සමාජයක ඔවුන් සිටින තැනින් ඔසවා තැබීමට හැකි නම් එය එම ජීවිතවලට මහඟු පිටිවහලකි. එම දරුවන්ගේ පවුල්වලට මෙන්ම රටටද ශක්තියකි. කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉත්තෑපානේ කුරුඳුවත්ත සතුටේ නිවහන (ආබාධ සහිතවූවන්ගේ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය) විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට පහන් ප්‍රදීපයක් වන්නේ සංහිඳියාවේ ආලෝකය අපේ රටට බෙදා දෙමිනි.

ශ්‍රී ලාංකිකයන් ලෙස නොව සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස වෙන්ව ආත්මාර්ථකාමීව සහ බෙදී වෙන්වීමේ සිතිවිල්ල වපුරනවා වෙනුවට සතුටේ නිවහන සමාජයට බෙදා දෙන්නේ සමඟියයි. සහජීවනයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවැසි ශක්තියයි.

2012 වර්ෂයේදී භාෂාවේ, ආගමේ, සංස්කෘතියේ වෙනසක් නොමැතිව සිංහල, මුස්ලිම්, දෙමළ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 20 දෙනෙකුගෙන් ආරම්භ කළ සතුටේ නිවහන අද දරුවන් 65 දෙනෙකුට රැකවරණය හා අධ්‍යාපනය ලබාදෙන නිවහනක් වී හමාරය. එම දරුවන්ට වෘත්තිය පුහුණුව ලබාදෙමින් ජීවිතයට අරමුණක් ලබාදෙන සතුටේ නිවහනේ නිර්මාතෘවරයා වන්නේ වලල්ලාවිට සාරානන්ද ස්වාමීන් වහන්සේය. වලල්ලාවිට සාරානන්ද හිමියන්ට සතුටේ නිවහන ගොඩනැංවීමට පාදක වුණු කතාව 2004 සුනාමි ව්‍යසනයට පෙර ඉතිහාසයකට දිවයන්නකි.

“මම මීට වසර 35කට පෙර අලුත්ගම ධර්මදීප යෝගාශ්‍රමයේ ජනතාවට නොයකුත් සේවා කරමින් සිටියා. ඵ් අවස්ථාවේ තමයි අපිට අමිහිරි අත්දැකීම් සමූහයක් ගෙන දුන් සුනාමි ව්‍යාසනය සිදුවුණේ. ඵ් අවස්ථාවේ මගේ හොඳ හිත ඇති මිතුරන් කිහිප දෙනෙකු සමඟ ආපදාවලට ලක්වූ පිරිස්වලට සහන සැලසීමට ගියා. අපිට දැක ගන්නට ලැබුණු සිදුවීම් සමූහයක් අතර අසරණ වූ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අපි දැක්කා. ඵ් දරුවන් වෙනුවෙන් තමයි මේ වැඩසටහන දියත් කරන්න පුළුවන් වුණේ. ආබාධිත දරුවන්ට ඇඳුම් පැලඳුම්, ආහාරපාන, උපකරණ වගේම පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල වශයෙන් උදවු කිරීමට අපට හැකිවුණා. අපි කිහිප දෙනෙකු ඵක්ව සුනාමියෙන් විපතට පත් උදවියට සුබසාදන කටයුතු කිරීම ආරම්භ කළා. ඉන් අනතුරුව අපට අවශ්‍යය වුණා සමාජයට වැඩදායි යමක් කිරීමට.

ඒ අනුව ශිමන්ත ජයවර්ධන, ජර්මන් ජාතික බයර් ලයින්, ඵස්. ඵ්. ඵස්. බී. සුබසිංහ ඇතුළු මාගේ මිතුරන් පිරිසගේ යෝජනා වූයේ කළුතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින විවිධ විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. ඊට සුදුසු ඉඩමක් සොයාගෙන මුලින්ම ළමයින් 45දෙනකුගෙන් යුක්ත පෙරපාසලක් ආරම්භ කළ බවත් අද එහි ළමයි 225ක් අධ්‍යාපනය ලබන බවත් ස්වාමීන් වහන්සේ කීවේ ප්‍රීතියෙනි.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 27,556ක් පමණ රට පුරා අධ්‍යාපන කටයුතුවල නිරත වෙයි. මෙම පිරිසෙන් 7500ක් පමණ සාමාන්‍ය පාසල් දරුවන් සමඟ අධ්‍යාපනය හදාරන බවත්, ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 1220ක් ජාතික පාසල්වල විශේෂිත ඒකකවලත්, ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 6223ක් පළාත් පාසල් විශේෂ ඒකක තුළත්, ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 2613ක් උපකෘත පාසල්වලත් අධ්‍යාපනය හදාරන බව වාර්තා වෙයි.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවතින ආයතන අතර සතුටේ නිවහන සුවිශේෂී වන්නේ එය දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන් අරමුණක් කරා මෙහෙයවන නිසාවෙනි. මෙහි මූලිකවම නව ගොඩනැඟිලි කිහිපයක් ගොඩනංවා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පුනරුත්ථාපනය කිරීමට වැඩසටහන් රැසක් ආරම්භ කර දරුවන්ට වෘත්තිය පුහුණුව ලබාදීමට කටයුතු කර ඇත. ජාති, ආගම් භේදයකින් තොරව සියලුම දෙනාට නොමිලේ වෘත්තිය පුහුණුව, නිල ඇඳුම්, ආහාර ලබා දෙමින් ඔවුන්ව රැකබලා ගැනීමද කරයි. අද වන විට අබාධිත දරුවන් 65 දෙනෙකු පමණ නේවාසිකව සිට පුහුණුව ලබාගෙන එම දරුවන්ගේ නිවසේ මෙන් ජීවිකාව ගෙවන අාකාරය දැක ගැනීමට හැකිවීමත් මහත් සතුටකි. ඔවුන්ට දැන අරමුණක් ඇත. තමාගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කර ගැනීමට මෙන්ම කිසියම් වෘත්තියක නිරතවීමේ හැකියාවද ඔවුන් සතුය.

ජීවිතයකට අරමුණක් දිය හැකි නම් එය උතුම් කාර්යයකි. එයින් ලැබෙන ප්‍රීතිය කියා නිමකළ නොහැකි තරම්ය. “ගෙවල්වලට එපාවෙලා සිටි ආබාධිත දරුවා අද තනිවම විශාල සේවාවක් සිදුකරමින් ස්වයං රැකියාවක් කරගෙන මුදලක් උපයාගත හැකි තත්ත්වයට ගෙනැවිත් තියෙනවා. සමහර දරුවන්ව ගෙදරින් ගෙනියන්න කතා කළත් අද යන්න කැමති නැහැ. ඵ් දරුවන්ට මෙතන ඵච්චරට හිතට අල්ලලා වගේ.”

මේ දරුවෝ රෙදි මැසීම, ඉටිපන්දම් නිෂ්පාදනය, කොහු ඉදල් නිෂ්පාදනය , මාල, පබළු හා පලතුරු වගාවන් කිරීම වැනි නිෂ්පාදන රැසක් කිරීමේ හැකියාවෙන් යුක්තය. ඔවුන් ඒවා කරන්නේ අපමණ සතුටකිනි. සතුටේ නිවහන කැලි කසලවලින් හා ප්ලාස්ටික් පොලිතින්වලින් තොර කලාපයක් ලෙස එහි යන්නකුට දැක බලාගත හැකිය. සතුටේ නිවහන සතුට, සැනසුම උපදවන ප්‍රියජනක ස්ථානයකි. අනාගතයේ සුබ සිහින දකින්නන්ට සොඳුරු නවාතැන්පළකි. විශේෂත්වය වන්නේ ‘සතුටේ නිවහනෙහි’ ගේට්ටුව හරින තැන සිට මුළුතැන්ගෙය දක්වා කටයුතු සියල්ල සිදුවන්නේ මේ දරුවන්ගේ අතින් වීමයි. 2017 වර්ෂයේ බස්නාහිර පළාතේ ක්‍රීඩා අංශයේ විශේෂ දක්ෂතා දැක්වූ දරුවෝ විශාල පිරිසක් මෙහි වෙති. ඒ ඔවුන් කණ්ඩායමක් ලබා ඇති ශක්තිමත් බව, දියුණුව පිළිබිඹු කරන සලකුණකි.

“අපේ ආයතනය 2017 වර්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ හොඳම ආයතනය වශයෙන් තේරී පත් වුණා. මේ වෙද්දි අංගසම්පූර්ණ නේවාසිකාගාරයක් හදලා සෑම දරුවකුටම නේවාසික පහසුකම් දීල තියෙනවා. දැනට දරුවන් 30ක් නේවාසිකව ඉන්නවා. දැනට කාත් කවුරුත් නැති වැඩිහිටියන් වෙනුවෙන් නිවාසයක් හදන්න ජර්මන් ජාතික රේමන් බයර්ලයන් මහතාගේ කැමැත්ත මත කටයුතු සුදානම් කර තිබෙනවා. මේ දරුවන් රැක බලා ගන්න ආයතනයේ දැනට සේවක සේවිකාවන් 30ක් පමණ සේවය කරනවා. මේ දරුවන්ගේම කෘෂි ව්‍යාපෘතියෙන් ලැබෙන එළවළු, පලතුරු දරුවන්ගේ කෑමට ලබාගන්නවා. ඒ දරුවන්ට වෘත්තිය පුහුණුවක් ලබාදෙනවා.

මීට අමතරව මට ප්‍රජා සත්කාර රැසක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ප්‍රදේශයේ අසරණ පුද්ගලයන්ට රෝද පුටු, කිහිලිකරු, නිවාස නැති දුප්පත් අසරණ පවුල් 35කට නිවාස ලබා දීමට හැකියාව ලැබී තියෙනවා.” ඉදිරියේදී මෙවැනි ආගමික සංහිඳියාව රජකරන කටයුතු රැසක් ආරම්භ කිරීමට නියමිත බවත් සාරානන්ද හිමි කීවේ බලාපොරොත්තු සහගතවය.සාරානන්ද හිමියන්ගේ අරමුණ ජිවීතවලට සරණ වීමයි. එසේම මුළු රටේම සංහිඳියාව ඇති කිරීමයි.

සතුටේ නිවහන මේ දරුවන්ගේ බලාපොරොත්තුවේ නිවහන වී හමාරය. සතුටේ නිවහන මේ දරුවන්ට මෙන්ම එහි ගිය අපගේ සිතටද එක් කළේ සැනසීමකි. සාරානන්ද හිමිගේ උත්සාහය පිළිබඳව ඇතිවූයේ අපමණ ගෞරවයකි. ජාති, ආගම් ආදී නොයෙකුත් භේදකම් පසෙකලා උස්මිටිකම් මායිම් නොකරන දවසක මේ රට ශක්තිමත් රටක් කළ හැකි බවට ඉඟිය සතුටේ නිවහන ලබාදෙන බව නම් ලියා තැබිය යුතුය.

කළුතර දිස්ත්‍රික් සමූහ [සරත් සිරිවර්ධන]

මාතෘකා