බුද්ධංගල අභය භූමියේ මුව දඩයම ජයටම

 ඡායාරූපය:

බුද්ධංගල අභය භූමියේ මුව දඩයම ජයටම

මේ කැලේ පුදුම විදියට සත්තු මරන්නේ. අවුරුද්දකට කලින්, මගේ ළඟ හිටපු එළදෙනක්ව වෙඩි තියලා මරලා ඒ එළදෙනගේ කකුල් තුනක් කපලා අරන් ගිහින් තිබුණා. ඒ එළදෙන මරද්දි පැටියා ලැබිලා සතියයි. තව දවසක් කැලේට යද්දි පුංචි මුව පැටව් තුන් දෙනෙක් මස් කරලා තිබුණා.

නියං සමය අවසාන වෙමින් යාන්තමින් අම්පාරට වැහි පොද වැටෙන්නට පටන්ගෙන තිබේ. වියළි පරඬැල් සේ තිබුණු වන පෙත් ළා කොළ පැහැයට හැරෙමින් පවතී. වන සතුන්ට නැවතත් අහිමි වූ වනපෙත ලැබීමේ ඉඟියකි ඒ. එහෙත් සුන්දරත්වයේ රෙදි පොරවාගත් සැහැසි ක්‍රියාවක් ඒ බිමේ සිදුවෙමින් තිබේ.

බුද්ධංගල වන අරනේ මස් ජාවාරමක් ගැන ලැබුණු තොරතුරක් මත ඒ වන පෙත තුළට රිංගා ගියේ නිරතුරුව ඔබ මොබ සැරිසරන අලි රාලහාමිලාගේ අඩම්තේට්ටම් පිළිබඳව සිතට නොගෙනය. මදු ගසා මුවන් ඇතුළු වන සතුන් අල්ලන මහා ජාවාරමක සුලමුල අනාවරණය කරන්නටය.

රජවැව කරංගාව ආසන්නයේ වන පෙත තුළ අපි හෝරා කිහිපයක් කරක් ගසන්නට වූවෙමු. නමුත් දුටු දෙයින් ඇතිවූයේ අප්‍රමාණ කනස්සල්ලකි. සමස්ත වනපෙතම මස් වැද්දන් විසින් ලේ විලක් කර තිබේ. වන පෙත පුරා ඇත්තේ වන සතුන් අල්ලා ගැනීමට අටවා ඇති තොණ්ඩුය. තවත් තැනෙක මදුවලට හසුව මිය ගොස් මස් දියව ඇති ඇටකටු පෑදුණු මුවකුගේ සිරුරකි.

අං තට්ටුවත් සමඟ මතුව ඇති හිසෙහි තවමත් මරණය ගෙනා ආ මාරක කේබල් තොණ්ඩුව සවිව ඇත්තේය. ඒ ආකාරයෙන් මෙම වන පෙත පුරාම තොණ්ඩුවට හසුව මිය ගොස් මස් වැද්දන්ගේ ඇස නොගැසි කුණුව ගිය මුවන්ගේ සිරුරු රැසක් අපට දකින්නට ලැබුණේ අප සියලු දෙනාම දැඩි සංවේගයට පත් කරලමිනි.

අම්පාර නගරයේ ඇතැම් ආපන ශාලාවන් සහ තානායම්පලවල්වල මුව මස් ඇතුළු අහිංසක වන සතුන්ගේ මාංශයන් රහසිගත ආකාරයෙන් සෑම මොහොතකම අලවි කරමින් සිටින්නේ මෙවැනි මස් වැද්දන්ට පිං සිදු වන්නටය.

මෙම වන පෙත පුරා අහිංසක වන සතුන් පා තබනා අඩිපාරවල් සියල්ලෙහිම කේබල් යොදා මදු සකසා අහිංසක මුව පොව්වන් ඇතුළු සතුන්ගේ ගෙල සිරකිරීම මෙම මස් ජාවාරමේ ප්‍රධාන උපක්‍රමයයි. ඒ ආසන්නයේ ඇති අනෙකුත් මාර්ග ලී කැබලි හෝ කොළ අතු යොදා අවහිර කරමින් තොණුඩුව ඇටවූ මාර්ගයේම වන සතුන් ගමන් කරවීමට මෙම මස් වැද්දෝ උපායශීලි වෙති.

මේ කිසිත් නොදන්නා අහිංසක සත්තු පිපාසයෙන් පීඩිතව සිටින අතරවාරයේ එක්වරම ගෙල තොණ්ඩුවට සිරව යන්නේය. ගෙල සිරව යද්දී බියට පත්වන මුවා හැකි වෙර යොදා පලා යෑමට උත්සාහ දරන්නේය. ඒ සෑම විටම සිදුවන්නේ තව තවත් මන්ද සාදා ඇති කේබලයට ගෙල සිරවීමය. මින් බේරී යෑමට දරන සෑම උත්සාහයකින්ම හුස්ම පොදක් ගන්නට නොහැකි වන සේ ගෙල සිරව ගොස් ඇස් ලොවි ගෙඩිසේ රතුව ඉදිරියට නෙරා එයි. හුස්ම ගැනීමට අපහසුව මුව ඇරී දිව දිගුව එළියට එයි. තම පණ රැක ගන්නට වෙර දරමින් දඟලද්දී කුර පහරවල් බිම වැදී වලවල් හැදෙයි. අවට ගස් වැල් පෙරළී ගියද සවිමත් කේබලයේ පුඩුවට තව තවත් ගෙල සිරව යයි. අවසානයේදී සියලු දැඟලිලි නිමා වෙමින් අවසන් හුස්ම පොද වා තලයට එකතු වෙයි. ඉන්පසු ඒ ශරීරයේ උණුහුම කිසිවකුගේ බත් පිඟානක කොනකට එකතු වේ. මේ ඒ මස් ජාවාරමේ මුල සිට අගට යනතුරු සිදුවන ක්‍රියාකාරකම්ය.

මේ ආකාරයෙන් දිනපතාම වන සත්තු කිහිප දෙනෙක් නොමිනිස්සුන් විසින් ගසනා මන්දට හසුව මිය යති. ඒ ආකාරයෙන් මිය යන මුවන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු වන පෙත තුළම තියුණු මුවහත් පිහිතුඩුවලින් මස් වේ.

කිලෝ ගණනින් කිරා ඒ මොහොතෙහිම ෂොපින් මළුවලට දමා අම්පාරේ තානායම්පලවල්වල ගැණුම්කරුවන්ට කිලෝවක් රුපියල් 500ක වැනි මිලකට අලෙවි කරමින් අතමිට සරු කරගන්නට මෙම තිරිසන් ජාවාරම්කාරයෝ රුසියෝය.

අම්පාරේ වල් ඌරු මස් හෝ මුව මස් වැනි අහිංසක සත්වයන්ගේ මාංස සැමවිටම අලෙවි කරන තානායම්පලවල් සහ අලවිසැලවල් රැසක් ඇත. එහිදී දඩමස් ග්‍රෑම් 200ක් යොදා හදන ඩෙවල් එකක් රුපියල් 400කට අලෙවි කරනු ලබයි. වේළන ලද දඩ මස් සමඟින් ඩෙවල් එකක මිල රුපියල් 450කි. නමුත් කනගාටුව වන්නේ නීතිය රකින සමහර පොලිස් නිලධාරීන් පවා මෙවැනි ස්ථානවලට ගොස් කිසිඳු හිරිකිතක් නොමැතිව දඩමස්වල රස බැලීමය. බොහෝ විට ඔවුන්ට දඩමස් ලැබෙන්නේ නොමිලේය.

කිසිඳු වියදමකින් තොරව කේබල් යොදා සතුන් මරනා මස් වැද්දෝ, අනවසර තුවක්කු භාවිත කරමින් වන සතුන් මරා දැමීමත් බඳින ලද තුවක්කු උපයෝගි කරගනිමින් මෙම ජාවාරමෙහි රිසිසේ නියළෙමින් සිටිති. කුළු හරක් පවා මදු ගසා අල්ලා, ගෝන මස් ලෙසින් මසට අලවි කිරීම මෙම වන පෙතේ නිතැතින් සිදුවන ක්‍රියාකාරකමකි.

“කැලේ ඉන්න කුළු හරක් මදු ගහලා අල්ලගෙන, හීලෑ මී වැස්සියක් දාලා හීලෑ කරගන්න බලනවා. සතියක් විතර අල්ලගත්ත කුළු හරකාට කන්න දෙන්නේ නැතිව බැඳලා තියා ගන්නවා. පස්සේ මෙම සතා හොඳටම අඩපණ වුණාම හිලෑ මී වැස්සියක් එක්ක එකට ගැට ගහලා සමන්තුරය ප්‍රදේශයට ඉතා හොර රහසේ යැවීමේ ජාවාරමක් කාලෙක ඉඳලා ක්‍රියාත්මක වෙනවා. දවසක් අලි පැටියෙක්ගේ හොඬවැලක් මන්දකට අහුවෙලා එම අලි පැටියා මැරිලා තිබුණා. අපිට නිතරම කැලේ රකින්න තනියෙන් ඉන්න බැහැ. නිතරම අලිත් ඉන්නවා. මේ විදියට ගියොත් අනාගතයේ පොඩි දරුවකුටවත් මුවෙක් දකින්න බැරිවෙයි. ඉස්සර මුවෝ විස්ස, විසි පහේ රංචු හිටියා. දැන් ඉන්නේ හතර පස් දෙනාගේ රංචු. කරංගාව රජ වැව ආසන්න ප්‍රදේශයේ මේ ආකාරයෙන් මෙච්චර මදු ප්‍රමාණයක් ගහලා තියෙනවා නම් මුළු බුද්ධංගල කැලේම මදු කොච්චර තියෙනවා ඇත්ද? ඕවට අහුවෙලා කොච්චර නම් වන සත්තු මිය යනවා ඇත්ද? මේ විදියට වන සත්තු මරා දමන එක නවත්තන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි වනපෙත ආසන්නයේ ජීවත්වන පරිසර හිතකාමියෙක් අප සමඟ පැවසුවේය.

අම්පාර රජවැව ආසන්නයේ ජනතාව මේ මස් ජාවාරම හේතුවෙන් බොහෝ පීඩාවට පත්ව සිටිති. මේ අදහස් දැක්වූයේ ඒ ආසන්නයේ ප්‍රදේශවාසියෙකු විසින්ය.

“මේ කැලේ පුදුම විදියට සත්තු මරන්නේ. අවුරුද්දකට කලින්, මගේ ළඟ හිටපු එළදෙනක්ව වෙඩි තියලා මරලා ඒ එළදෙනගේ කකුල් තුනක් කපලා අරන් ගිහින් තිබුණා. ඒ එළදෙන මරද්දි පැටියා ලැබිලා සතියයි. තව දවසක් කැලේට යද්දි පුංචි මුව පැටව් තුන් දෙනෙක් මස් කරලා තිබුණා. ඔළුවට ගල්වලින් ගහලා ඒ පැටව් මරලා තිබුණේ. මන්දට අහුවෙලා ඉන්න සතා මේ අය එන වෙලාවට මැරිලා නැත්නම් කරන්නේ ගලකින් හරි පොලුවලින් හරි ඔළුවට ගහලා මරන එක. ගෙවල්වල ඇතිකරන ගවයන්ට තණකොළ කවන්න කැලේට අරන් එනවා. ඒ ගවයෝ පවා හොරාට අරන් ගිහින් මස් කරලා විකුණනවා. එහෙම නැත්නම් කොහොම හරි හොර පාරෙන් සමන්තුරේ ප්‍රදේශයට දක්කගෙන යනවා. මේ විදියට මහා පරිමාණයෙන් වන සතුන් මරා දැමීම සිදුවෙනවා. මේ මදුවලට අහුවෙලා හරක් මැරෙනවා. සමහර වෙලාවට මේ හරක් දවස් ගාණක් මදුවලට අහුවෙලා ඉන්නවා.

මේ ආකාරයට මස් වැද්දෝ ජයටම මස් ජාවරම කරගෙන යති. වන ජීවි නිලධාරීන්ද නිහඬය. ජීවත්විය යුත්තේ අපි පමණක් නොවේ. සතුන්ටද ජීවත් වීමේ අයිතිය ඇත.

මෙම වනපෙතේ මස් ජාවාරමටත් අමතරව වටිනා ගස් කොළන් කපා දමා අලවි කිරිමේ ජාවාරමද රහසිගතව සිදුවේ. අප සැරිසැරුවේ කරංගාව රජවැව ආසන්නයේ වන පියසේ සුළු කොටසකට පමණක්ය. එහෙත් සමස්ත කැලයම සෝදිසි කළේ නම් අපට මදුවලට හසුව මිය ගිය මුවන් ඇතුළු වන සතුන් කොතෙක් නම් හමුවේද? කපා දැමූ ගස් කොපමණ දැක ගැනීමට හැකිවේද? වන සතුන්ට ඇටවූ කේබල් මදු කීයක් නම් හමුවේද? මේ ආකාරයෙන් මස් වැද්දෝ තමන්ට රිසිසේ අහිංසක වන සතුන් මරා දමද්දී අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම කනගාටුවට කරුණකි. එම නිසා මේ මොහොතේදී හෝ බුද්ධංගල අභය භුමියේ අහිංසක වන සතුන්ට මස් වැද්දන්ගෙන් එල්ලවන පීඩාවකින් තොරව ජීවත් වීමට සුදුසු වටපිටාවක් සකසන ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

[සුසන්ත අමරබන්දු]

මාතෘකා