සලාද කොළ ගැන වෙනස් කතාවක්

 ඡායාරූපය:

සලාද කොළ ගැන වෙනස් කතාවක්

පහුගිය දිනවල රට පුරාම පැවති දැඩි වර්ෂාව වගාවලට ගෙනදුන්නේ සුළුපටු කරදරයක් නොවේ. විශේෂයෙන් එළවළු අස්වැන්නට විශාල හානියක් සිදුවිය. එය වැඩිපුරම බලපෑවේ එදිනෙදා විශාල එළවළු ප්‍රමාණයක් භාවිත කරන හෝටල්වලටය. සුපිරි හෝටල්, අවන්හල්වල සූපවේදීන් විසින් ආහාරපාන සැරසීමට බහුල ලෙස භාවිත කරන සලාද කොළ වගාවටද වර්ෂාවෙන් හානි වූ අතර, එය හෝටල්වලට විශාල ප්‍රශ්නයක් විය. එහෙත් දැඩි වර්ෂාව අතරවුවද අඛණ්ඩව වෙළෙඳපොළට සලාද කොළ සැපයීමට එක්තරා ආයතනයක් සමත් විය. ඒ, හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පිහිටි 'ද ලංකා සැලඩ්' ෙපෟද්ගලික ආයතනයයි. වැස්ස නිසා බොහෝ වගාබිම්වල එළවළු අස්වැන්න විනාශ වද්දී ඔවුන්ගේ ගොවිපළේ අස්වැන්න පමණක් වැස්සෙන් බේරුණේ කොහොමද? ඒ ගැන සොයා බැලීමට අපි ඔවුන්ගේ ගොවිපළට ගියෙමු.   
එයට මූලිකම හේතුව වන්නේ එම ගොවිපළේ වගා කටයුතු සිදුකරන්නේ දේශගුණ විපර්යාසවලට අනුගත වීමේ ක්‍රමවේදයක් යටතේ වීමයි. එනම්, පාලිත තත්ත්වයන් යටතේ බෝග වගාකිරීමයි. වර්ෂාව අධික කාලයේ පවා වගාවට කිසිදු හානියකින් තොරව සුපුරුදු පරිදි තම ගැණුම්කරුවන්ට සලාද තොග පිටින් සැපයීමට ඔවුන්ට හැකිවූයේ ඒ නිසාය. GAP හෙවත් යහපත් කෘෂි පිළිවෙත් වැඩසටහන යටතේ කටයුතු කරන හරිත ආයතනයක් වන 'ද සැලඩ් ලංකා 'ආයතනයේ විවිධ වර්ගයේ, විවිධ හැඩයේ සහ විවිධ වර්ණයේ සලාද කොළ ප්‍ර‍ෙභ්ද 16ක් වගා කෙරේ. සාමාන්‍යයෙන් සලාද කොළ සරුවට වැවෙන්නේ නුවරඑළිය වැනි සීතල දේශගුණයක් සහිත ප්‍රදේශවල පමණකැයි බොහෝදෙනා සිතුවත් 'ද සැලඩ් ලංකා'ආයතනය එම සිතිවිල්ල හිතළුවක් බවට පත්කර තිබේ. ඒ, හලාවත වැනි වියළි දේශගුණයක් පවතින ප්‍රදේශයක සාර්ථකව සලාද වගා කිරීම තුළිනි. එපමණක් නොව නුවරඑළියේ හෝටල්වලට තොග පිටින් සලාද කොළ සපයන පාංශු රහිත ජල රෝපිත ක්‍රමයට සලාද වගා කරන ලංකාවේ එකම හරිතාගාරය වන්නේද එම ආයතනයයි. එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පියුස් ඇන්තනී මහතා ඒ අපූරු සලාද කොළ වගාව ගැන අපට පැහැදිලි කළේ මෙසේය.   
"අපි භාවිත කරන්නේ වෙනස් වගා ක්‍රමයක්. සරලව කියනවා නම් මේ සලාද වගාකරන්නේ පසේ නෙවෙයි. ඉතා හොඳින් පිරිසිදු කරගත් ගලාගෙන යන ජලය තුළයි. ඒ වගේම පැළය වැඩෙන්න අවශ්‍ය වන ආහාර එකතු කරන්නේ ගලාගෙන යන ජලයටමයි. "  
පියුස් ඇන්තනී මහත්මයා එසේ කී විට ඔබේ මෙන්ම අපේ සිත් තුළද උපන්නේ කුතුහලයකි. "පස් නැතුව කොහොමද ශාකයක් වැඩෙන්නේ? ඊටත් මේ තරම් ලස්සනට, සරුවට.. "  
පියුස් මහත්මයා අපිට ඒ ගැන පැහැදිලි කළේ මේ ආකාරයටය.  
" පස් නැතිව ශාකයක් වැඩෙන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තමයි. අපේ ගොවිපළේ තිබෙන විශේෂත්වයත් එයම තමයි. අපි භාවිත කරන්නේ 'ජල රෝපිත' වගා ක්‍රමයක්. ඒ කියන්නේ, බීජ රෝපණයේ සිට අස්වනු නෙළන අවස්ථාව දක්වා සියලුම කටයුතු සිදුවන්නේ ජලයෙයි. අපි ප්‍රධාන මාධ්‍යය විදිහට යොදාගන්නේ වැසි ජලයයි. භූගත ජලය මේ සඳහා භාවිත කරන්නේ නැහැ. එයට හේතුව භූගත ජලයේ විද්‍යුත් සන්නායකතාව  වැඩිවීමයි. වැසි ජලයේ එම ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම අපිට වැසි ජලය නොමිලේ ලැබෙනවා. ඒ නිසා අපි අපේ හරිතාගාරයේ වැහි වතුර රැස්කර ගන්න පුළුවන් විදිහට වතුර තටාකයක් නිර්මාණය කර තිබෙනවා. වැහි ජලය ප්‍රති ආශුතකරණ තාක්ෂණය ඔස්සේ පහසුවෙන් පිරිපහදු කරන්න පුළුවන් වීම අපේ වගා ක්‍රමවේදයට පහසුවක්. එසේ පිරිසිදු කරගත් වතුර ගලාගෙන යන ආකාරයට සකස් කර තිබෙනවා. මෙහිදී අපි විශේෂ කාරණා කිහිපයක් ගැන සැලකිලිමත් වෙනවා. වාතයේ ආර්ද්‍රවතාව සහ ජලයේ පී.එච්. අගය හරියට සමබර වෙන්න ඕන. උෂ්ණත්වය පාලනය වෙන්න ඕන. ඒ වගේම පිරිසිදුකමත් හොඳින්ම තිබිය යුතුයි. ඒ සියලුම කරුණු සම්පූර්ණ වුණාට පස්සේ තමයි පැළයක් මේ විදිහට ලස්සනට වගේම සරුවට වැඩෙන්නේ. ශාකය වැඩෙන්න අවශ්‍ය මූලික සංයුතියන් එකතු කළාට පස්සේ තමයි ශාකයට වැඩෙන්න අවශ්‍ය ආහාර ලබාදෙන්නේ. සාමාන්‍යයෙන් අපි පොළොවේ වැඩෙන පැළයකට පොහොර දාන විට අපතේ යන ප්‍රමාණය වැඩියි. නමුත් අපි සංවෘත පද්ධතියක් යටතේ ශාකයට පොහොර දමන නිසා අපතේ යන ප්‍රමාණය අවම වනවා. ඊට හේතුව මේ වගා ක්‍රමයේදී ශාකය තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණයි ලබාගන්නේ. එහෙම වුණා කියලා පැළයේ ගුණාත්මක බව අඩුවක් වෙන්නේ නැහැ. ගුණාත්මක බවින් ඉතා ඉහළයි වගේම පැළය ඉතා සරුවට ලස්සනට වැඩෙනවා."  
ඔහු කියූ දෙය සනාථ වන්නට මේ හරිතාගාරය තුළ නිදසුන් බොහෝය. දකින දකින තැන පෙනෙන්නේ ඉතා සරුවට කොළ ගොඩක් සහිතව විවිධ වර්ණයෙන් හැඩයෙන් අස්වනු පීදී ඇති සලාද වගාවන්ය. මේ සලාද වගාව මෙන්ම අස්වනු නෙළීමද සිදුවන්නේ වෙනස් ආකාරයකට බව අපට දැනගන්නට ලැබිණ.   
" අස්වන නෙළීම බොහොම පරිස්සමින් කළයුතු දෙයක්. අස්වනු නෙළන්න පැළයට දවස් 45ක් සම්පූර්ණ විය යුතුයි. මුල් කැඩෙන්නේ නැති විදිහට තමයි අස්වනු නෙළන්නේ. මුල් පිටින් තමයි අපි ගැනුම්කරුවන්ට සලාද අස්වැන්න දෙන්නේ. මුල සමඟ තියෙන නිසා පැළය ඉක්මනින් මැරෙන්නේ නැහැ. කිහිප දවසක් තියාගන්න පුළුවන්. ඒ නිසා දවස් 7ක් විතර ප්‍රාණවත්ව තියාගන්න පුළුවන්"  
මේ අපූරු හරිත යාය පුරා ඇවිදගෙන යද්දි ගතට මෙන්ම නෙතටද දැනෙන්නේ සිසිලකි. විවිධ පාටින්, විවිධ හැඩයෙන් දිදුලන සලාද වර්ග ගැන තවත් විස්තර අපි දැනගත්තේ මෙම අපූරු හරිත ගොවිපළේ නිෂ්පාදන කළමනාකරු විදිහට කටයුතු කරන කෘෂිවේදී සංජන සිල්වා මහතාගෙනි.  
" මේ හැම සලාද වර්ගයක්ම ග්‍රීන් හවුස් එකක් ඇතුළේ තමයි වවන්නේ. ඒ හැම එකකම කූලින් සිස්ටම් එකක් තියෙනවා. විශේෂම කාරණාව තමයි අපි කිසිම සලාද වර්ගයක් සඳහා කෘමිනාශක භාවිත කරන්නේ නැහැ. වස විසෙන් තොරව නිසි ක්‍රමවේදයක් තුළයි වගාකරන්නේ. සලාද කොළයක නැවුම් බව, ක්‍රිස්පි බව උපරිමයෙන්ම ආරක්ෂා වෙනවා. ඒ වගේම සාර්ථක වගාවකට අවශ්‍ය මූලිකම දේ තමයි උසස් තත්ත්වයේ බීජ භාවිත කිරීම. අපි මෙම ගොවිපළේ සලාද ප්‍රභේද 16ක් වගා කරනවා. ඒ සියල්ලම සඳහා ඉතා උසස් තත්ත්වයේ ගුණාත්මක බීජ භාවිත කරනවා. වගා මාධ්‍ය විදිහට නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද විශේෂ ස්පොන්ජ් වර්ගයක් පාවිච්චි කරනවා."  
ඒ ආකාරයට වවන සලාද වගාවට මෙරට වෙළෙඳපොළේ තිබෙන ඉල්ලුම කෙසේදැයි අපි සංජන සිල්වා මහතාගෙන් ඇසුවෙමු.  
" හෝටල් ක්ෂේත්‍රයේ සහ සූපවේදීන් අතර ජනප්‍රිය ආහාරයක් තමයි 'සීසර් සැලඩ්' කියලා හඳුන්වන්නේ. නමුත් ඒකට අවශ්‍ය නියම සලාද වර්ගය වන 'ග්‍රීන්කොස්' කියන වර්ගය ලංකාවේ මිලදී ගන්න අසීරු වීම නිසා බොහෝවෙලාවට සූපවේදීන් ඒ සඳහා පාවිච්චි කරන්නේ 'අයිස් බර්ග්' කියන සලාද වර්ගයයි. මේ ගොවිපළේ අපි වැඩිපුරම වගා කරන්නේ 'ග්‍රීන්කොස්' එහෙමත් නැත්නම් 'ග්‍රීන් රොමේන් 'කියන සලාද වර්ග. ඒ වගේම ග්‍රීන් කොරල්, ඕක් ලීප්ස්, රෙඩ් ඕක්, රෙඩ් බටාවියා, ග්‍රීන් බටර් හෙඩ්, රොකට් සලාද නමින් ජනප්‍රිය 'අරුගුලා' කියන ජනප්‍රිය සලාද වර්ග අපි වගා කරනවා. ඒ සලාද වර්ගවලට හෝටල් ක්ෂේත්‍රයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව විශේෂ තත්ත්වයන් යටතේ වගා කරන සලාද ප්‍රභේදත් තියෙනවා. ඒවාට වැඩි සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි වගේම ඒවා මිලෙනුත් ඉහළයි. "  
සලාද කොළවලට වෙළෙඳපොළේ තියෙන ඉල්ලුම කුමනාකාරදැයි අපි ඇසුවේ මෙහි අලෙවි කළමනාකාර ලෙස කටයුතු කරන වැලන්ටයින් වික්‍රමරත්න මහතාගෙනි.  
"සලාද කොළවලට තියෙන්නේ වසරකට වරක් වෙනස් වන ස්ථාවර මිලක්. සාමාන්‍යයෙන් සලාද කිලෝ එකක් රුපියල් 700-1000 අතර අලෙවි වනවා. මිල වැඩිම සලාද වර්ගය වන 'රොකට්' සලාද වර්ගයේ කිලෝ එකක් රුපියල් දාහක් වනවා. අපි මේ වනවිට මීගමුව, හලාවත, කොළඹ, අලුත්ගම, බේරුවල, ගාල්ල, වැලිගම, මහනුවර, දඹුල්ල සහ නුවරඑළියේ හෝටල්වලට සලාද සපයනවා. ඒ වගේම මාලදිවයිනටත් අපනයනය කරනවා. 'යහපත් කෘෂි පිළිවෙත්' කියන සහතිකය අපේ සලාද වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම දිවයින පුරා අපෙන් සලාද මිලදී ගන්න හෝටල් ඇතුළු ආයතනවලින් හොඳ සැපයුම්කරුවන් විදිහට අපේ ආයතනයට හොඳ පිළිගැනීමක් ලැබිලා තිබෙනවා. කුමන පරිසර තත්ත්වයක් යටතේ වුවත් ජල කළමනාකරණය සහ නිසි තාක්ෂණය භාවිත කිරීමෙන් සාර්ථකව වගාකරන්න පුළුවන් කියලා අපි සනාථ කරලා තිබෙනවා. "  
එවැනි ඉහළ ඉල්ලුමක් තිබෙන සලාද වගාව නිවසේදී කරගත නොහැකිදැයි කෙනෙකුට සිතිය හැකිය. අමතර නිවසේ ඉඩකඩ තිබෙව ආකාරයට සලාද වගාකළ හැකි නම් ගෘහණියකට එයින් අමතර ආදායමක් ලබාගත හැකි හොඳ මාර්ගයක් වනු නිසැකය.  
"නිවෙසේදී මේ වගා ක්‍රමය භාවිත කරන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කර බැලුවා. ඒ කියන්නේ සාමාන්‍ය පරිසරය තුළ සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ මේ ක්‍රමයට සලාද වගාකරන්න පුළුවන්ද කියන කාරණාව ගැන. ඒ සඳහා අපි සලාද කිහිපයක් තෝරාගත්තා. ශාකයට අවශ්‍ය ආහාර සහ වටා පිටාව හරියට හදාගත්තොත් වගාකරන්න පුළුවන්. මෙම තාක්ෂණය ගැන වැඩි විස්තර අන්තර්ජාලය තුළින් දැනගත හැකියි. ඒ විදිහට උත්සාහ කළොත් ස්වංය රැකියාවක් විදිහට සාර්ථකව කරගෙන යන්න පුළුවන්"  
මේ වන විට මෙරට ජනගහනය මිලියන 22ක් දක්වා වර්ධනය වී තිබේ. එම ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා ස්ථාවර, අඛණ්ඩ සහ දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් අවශ්‍ය වේ. කාබනික සහ පාරම්පරික වගා ක්‍රම මෙන්ම මෙවැනි අලුත් වගා ක්‍රම අත්හදා බැලීමද වඩා වැදගත් වන්නේ ඒ නිසාය.

 

  

මාතෘකා