කවුද මේ හේමසිරි ප්‍රනාන්දු

 ඡායාරූපය:

කවුද මේ හේමසිරි ප්‍රනාන්දු

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරනු ලැබ තිබේ. කීර්තිමත් පරිපාලන සේවා ඉතිහාසයක් හා ඍජු තීන්දු තීරණ ගැනීමෙහිලා ජනප්‍රියත්වය කුසුලන හේමසිරි ප්‍රනාන්දු මහතා වැන්නකු එවැනි තරනතුරකට පත්කිරීම කදිම තීන්දුවක් යැයි විශ්වාස කළ හැකිය.

කොළඹ සීවලි විද්‍යාලයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් ආධ්‍යාපනය නිමාකොට 1971 වසරේ දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ හේමසිරි ප්‍රනාන්දු මහතා ආර්ථික විද්‍යාවේ දී විශේෂ උපාධිය ලබා ගත්තේ ය. පාසල් සමයේ දී මෙන්ම විශ්වවිද්‍යාලයේ දී ද ක්‍රීඩා ගණනාවකට දක්ෂතා දැක් වූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාද විය.

ඉන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්වූ හෙතෙම දශක එකහමාරකට ආසන්න සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගනු ලබන්නේ නාවික කමාන්ඩර්වරයකු ලෙසයි. සිය නාවික හමුදා සේවය තුළ ක්‍රියාන්විත ප්‍රදේශයන්හි නායකත්ව වගකීම්ද ඇතුළු විවිධ වගකීම් උසුලා ඇත. ඔහු 1982 වසරේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නවදිල්ලියේ පැවැති ආසියානු ක්‍රීඩා තරඟාවලියේ වෙඩි තැබීමේ ඉසව්ව නියෝජනය කළ දක්ෂ වෙඩික්කරුවෙකි. එසේම, ඔහු තෙවතාවක්ම ලංකාවේ වෙඩි තැබීමේ ශූරයා බවට පත්ව තිබේ.

1994 වසරේ දී දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය යටතේ අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත්වූ හේමසිරි ප්‍රනාන්දු මහතා එවැනි තනතුරකට පත් ළාබාලතම අයකු ලෙස ඉතිහාසයට එක්ව තිබේ. 1997 වසරේ දී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිධුරයට පත්වූ අතර දශක දෙකක පමණ කාලයක් එම තනතුර අඛණ්ඩව හෙබවීය.

එසේම, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ හා ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ උප සභාපතිධුරයට පත්විය. ඔහු කිර්ගීස් ජනරජයේ ශ්‍රී ලංකා ගෞරව කොන්සල්වරයා ලෙසද කටයුතු කරමින් සිටියි.

තවද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වෙමින් පරිවර්තන යුගයට නායකත්ව දුන් ඔහු පසුව ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධිකාරියේ ද සභාපතිධුරයට පත්විය. තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වසර හතරක් පමණ සේවය කළ ඔහු නව රජය යටතේ ස්වාධීන රූපවාහිනී සේවයේ සහ මහජන බැංකුවේ සභාපතිධුරයට පත්කරනු ලැබීය.

එම ආයතන දෙකේම විප්ලවීය වෙනසකට භාජනය කිරීමේ ක්‍රියාවලියට ඔහු නායකත්වය ලබා දුන්නේය. මහජන බැංකුවේ වත්මන් සංවර්ධනයේ හා ආකර්ශනීයම වෙනස්කම් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ හේමසිරි ප්‍රනාන්දු මහතාය.

දුම්රිය සංස්කෘතිය හා දුම්රිය සේවය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ඔහු කතුවරයකු ලෙස, වයිස්රෝයි ස්පෙෂල්, ද ඌව රේල්වේ - රේල්වේ ටුද මූන් සහ එසේස් ඔන් සිලෝන් රේල්වේස් නමින් දුම්රිය සම්බන්ධයෙන් කෘති තුනක් රචනාකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද ජනාධිපති උපදේශකවරයකු ලෙස ද කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපතිතුමන් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කෙරිණි.

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියි.

ඒ අනුව, පරිපාලන ක්ෂේත්‍රයේ මෙන්ම හමුදා සේවයේද අත්දැකීම් ඇති කීර්තිමත් හා දක්ෂයකු වන හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම්ධුරයට පත්කිරීමට ජනාධිපතිතුමන් විසින් ගනු ලැබූ තීන්දුව මේ මොහොතේ ලබා ගත් ඉතාම ඥානාන්විතම හා ප්‍රගතිශීලීම තීන්දුවන් බැව් බොහෝදෙනාගේ අදහසයි.

[භාරත තෙන්නකෝන්]

මාතෘකා