ආකාස හීන

 ඡායාරූපය:

ආකාස හීන

මලක් වෙනුවට පොහොරක් වීම

"අවසන් වශයෙන් ඔබ කලාවන් (කවිය, චිත්‍රය) භාවිත කරන්නෙ කුමක් අරබයා ද කියන කාරණාවට ඔබේ පිළිතුර මොකක්ද ?”

මේ ප්‍රශ්නය අසන්නේ භාතිය ගුනසේන ය. roar.media වෙබ් අඩවිය වෙනුවෙන්. ඩොමිනික් චන්ද්‍රසාලි ගෙන්. ටිම්රාන් කීර්තිගේ, දිමුතු ප්‍රදීප්ගේ හා ඔහුගේ කවි පොත් තුනක් එළි දැක්වීම අරභයා වූ සම්මුඛ සාකච්ඡාවක දී.

“ මූලිකව කාංසාව, .....”.

ඩොමිනික් සිය පිළිතුර අරඹන්නේ එසේ ය.. සාකච්ඡාව අරඹමින් ඔහු මෙසේ ද කියන්නේ ය. ඊට පෙර.

“ මිනිස්සු කියන්නෙ අපේක්ෂා භංගත්වය තුළම අපේක්ෂා කරන ජීවින් කොටසක්. මමත් ඒකේ එක මනුස්සයෙක් විතරයි. ...”

අපේක්ෂා භංගත්වය. කාංසාවට මූලිකම හේතුවක් වන්නේ ය. කාංසාවේම ස්වරූපයක් වන්නේ ය. ඒ කාංසාව. සාද සිනා කබොලින් වැසී පැසවන්නේ ය. ඕජස් පුරවන්නේ ය. දෛනික වගකීම්හි ආතතිය නිසා වේදනාව ද නොදනවන්නේ ය. අවසන ඛේදයක් ව පුපුරා හැලෙන්නේ ය.

ඩොමිනික් ඇතුළු බොහෝ නිර්මාණකරුවන් කරන්නේ හෝ ඔවුන් නිර්මාණකරුවන් කරවන ක්‍රියාවලිය තුළ ඇත්තේ කලින් කලට අකුරු අගිසි වල අමුණා එළියට දමන මෙවන් සාංකාවන් යැයි මා ද සිතන්නෙමි. ඩොමිනික් හා එකඟ වෙමින්.

ලියනා සියල්ලෝ ලියන්නේ කාංසාව නිසා ද?

ලියන්නේ ඇයි යන්නට කියා ඇති බොහෝ හේතූන් අතර නිතර මතකයේ රැඳෙනා ලියවිල්ලක් වෙයි. අන්තර්ජාලයෙහි පළවූ. සිංහලෙන්. බ්ලොග් සටහනක් ලෙස. දෙදහස් දහයේ ජූනි හතරවෙනි දා.

ෆේස්බුක් මෙතරම් ප්‍රචලිත නොවී තිබූ කලෙක. 'පුලස්තිගේ සටහන' බ්ලොග් අඩවියෙහි.

පුලස්ති ගේ සටහනින් එම කොටස එළෙසම ගෙන මෙතැන බහාලමි.

“ සයිබර් අවකාසෙ අපි බොලොග් අටවගන්නෙ ඇයි ?

අමුතු අමුතු නං දාගෙන වැඩ කිඩ පෙන්නන්නෙ ඇයි?

ලේසිම ආන්ස්වර් එක තමයි "කෙනෙක්"වෙන්න.

ඇත්ත ජීවිතෙන් නොලැබෙන ආතල් එකක් ගන්න. ජීවිතේ පූර්ණ කරගන්න.

තමුන් කියන දේ කවුරු හරි එකෙක් අහගෙන ඉන්නවට කවුරු කවුරුත් ආසයි.

නිකමෙක් විදිහට ඉන්නවට වැඩිය කෙනෙක් වෙන්න කවුරු කවුරුත් ආසයි.”

ලිවීම මතු නොව ජීවත්වීම ද එසේම ය.

කෙනෙක් වීම වෙනුවෙන් අනෙක් සියළු අපේක්ෂාවන් අතහැර අනෙකුන්ගේ අපේක්ෂාවන් ද බිඳලමින් පිළිලයක්ව පැතිරීම එක් ආකාරයකි. එහි අපේක්ෂා භංගත්වයට ඉඩ අඩු ය. පරපෝෂිත සොබාව හේතුවෙන් ම. මහා අපේක්ෂාවන් නැති හෙයින් ම. අපේක්ෂාවෙන්ම නිර්වින්දනය වීම නිසාවෙන් ම.

එකිනෙකා විශ්වාස කරමින් එකිනෙකාට ගරුකරමින් අනෙකාගේ පැවැත්ම විඳිමින් ඒ තුළම තුටු වෙමින් ඒ වෙනුවෙන් වැඩ කරමින් ආදරයෙන් පිරි සමූහයක් වෙනුවෙන් වූ අපේක්ෂාව අනෙකකි. එවන් අපේක්ෂාවන් බර ය. භංගුර ය. ඒ නිසාම පහසුවෙන් අපේක්ෂා භංගත්වයට පාර කියන්නේ ය. කාංසාවෙන් පුරවන්නේ ය.

නමුත් ලෝකය මලින් ද සුවඳින් ද පුරවා තබන්නේ එවන් අපේක්ෂාවන් ය..

අවසානයට රුවන් බන්දුජීව උපුටමි. අපේක්ෂාවන්ගේ උපරිමය චිත්‍රණය කළ කවිය ද සමඟ.

“ සහෝදර තුරු වැල් මුදුන් මත

මතුව එන ලෙස මියුරු වූ ඵල

පසෙහි මුසු වී තිබුණ වස විස

උරා බොන්නැ'ති නියඟලා අල”

එවන් නියඟලාවක් වන්නට වන අපේක්ෂාවන් විටින් විට භංග වී ගිය ද ඒ සාංකාවම යළි යළිත් අපේක්ෂාවන් දල්වන්නේ ය.

ජීවිතය අරුත් ගන්වන්නේ ය.

[අනිල් ෙහ්රත්]


රසවතිය

නෙලුම්පුරුෂයා- පද්මන්

ශක්තිමත් ගැහැණු; ශක්තිමත් මව්වරු, ශක්තිමත් සහෝදරියන්, එතකොටයි ශක්තිමත් රටක් හැදෙන්නේ. ආක්ෂේ කුමාර් පෑඩ්මෑන් සිනමා පටයේ අවසාන ජවනිකාවේ එසේ කියයි.

පෑඩ්මෑන් (Padman) ඉංග්‍රීසි අක්ෂරයෙන් ලියා එකවර කියවූ විට එය පද්මන් ලෙස කියවෙයි. සූර-පද්මන් යනු ස්කන්ධ පුරාණයේ ප්‍රති වීරයාය. ඔහු කාශ්‍යප සෘෂි ගේ හා සුරසා අප්සරාවගේ පුත්‍රයෙකි. ශිව පිහිට පතා දීර්ඝ වෘතයක් පුරන ඔහු දෙවියන් හා සමාන බල ඇති අසුරයෙක් බවට පත්වෙයි. ඔහුව විනාශ කළ හැක්කේ කාන්තාවකගේ සමාගමයෙන් තොරව උපදින ශිව ගේ දරුවෙකුට පමණකි. ශිව ගේ තෙවැනි නෙතින් නිකුත් වූ පුලිඟු සයකින් උපන් දරුවන් පාර්වතිය අතස්කන්ධ කුමරා බවට පත් වෙයි. උපන්ගෙයි රණශූරයෙකු වූ ඔහු අතින් පරදින සූර-පද්මන්, ස්කන්ධ වාහනය වන මොණරා බවට පත්ව ඔහුට සේවය කරයි. ස්කන්ධ කුමරු, කාර්තිකේය ලෙසද, මුරුගන් (මුරුගනාදම්) ලෙසද හැඳින්වෙයි.

ආක්ෂේ කුමාර් පෑඩ්මෑන් සිනමා පටියේ අනුකරණය කරන්නේ අරුණාසලම් මුරුගනාදම් ගේ චරිතයයි. ඔහු තමිල්නාඩුවේ කොයිම්බතෝර් හි වැසියෙකි. වෘත්තියෙන් වෑල්ඩින් බාස් කෙනෙකි. විවාහ වූ අලුත සිය බිරිඳ ඔසප් දිනයන්හි භාවිතා කරන කඩමාලු රෙදි දුටු ඔහු වෙළඳ පොලේ ඇති සනීපාරක්ෂක තුවා මිළදී ගනී. තමන් දුප්පත් නිසා මසකට වරක් සනීපාරක්ෂක තුවා සඳහා වියදම් කළ නොහැකි බව ඇයගෙන් දැනගත් පසු, ඔහු විවිධ අයුරින් මිළ අඩු සනීපාරක්ෂක තුවා නිපදවීමට උත්සාහ දරයි. එනිසාම ගමේ ද පවුලේ ද අයගෙන් කොන්වීමට පත් වෙන නමුත්, ඔහු සිය උත්සාහය අත් නොහරියි. තමා හැදූ තුවා වල කාන්දුවීම් ආදිය පරික්ෂා කිරීම පිණිස ඔහුට ඒවා පැළඳබැලීමට පවා සිදුවෙයි. අවසානයේ සිය බිරිඳ වෙනුවෙන් පියවර හතරක් අනුව නිපදවූ සරළ උපකරණ හතරකින් වෙළඳ පොළ තත්ත්වයේ සනීපාරක්ෂක තුවා නිපදවීමට ඔහු සමත් වෙයි. දුගී කාන්තාවන් උදෙසා එම යන්ත්‍ර නිපදවා විකුණන ඔහුගේ සමාජ ව්‍යාපාරය මේ වන විට රටවල් ගණනක පැතිර ඇත. එමඟින් කාන්තා කණ්ඩායම් ආදායම් උපදවති. වැඩිවිය පැමිණීමේ සිට ආර්තවාභාවයට පත්වෙන තෙක් මාස 480ක් පමණ, බොහෝ කාන්තාවෝ ඔහුගේ නිෂ්පාදනය නිසා පහසුවෙන් කාලය ගෙවති.

ආර්තවය නිසා කාන්තා දිවිය විවිධ අයුරින් අපහසුවට පත්වෙයි. කායික, මානසික හා ඇඳුම් අපහසුතා කාන්තාවන් විසින් විඳ දරාගත යුතුය. ඒ ඔවුන් මුහුණ දෙන අපහසුතා අතරින් එකක් පමණි. පිටිසර බංග්ලාදේශයේ සිසුවියන් පමණක් නොව ගුරුවරියන් පවා ඔසප් දින වල පාසල් පැමිණෙන්නේ නැත. ආර්තව දුගී බව නිසා බ්‍රිතාන්‍යයේ ද පාසල් සිසුවියන් ඔසප් දිනවල පාසැල මගහරින බව ගාඩියන් පුවත්පත වාර්තා කර තිබුණි. ආර්තව දුගී බව යනු සනීපාරක්ෂක තුවා හෝ වෙනත් උපකාරක වල අධික මිළ නිසා කාන්තාවන්ට ඔසප්කාලය තුළ, සිය දිනපතා කටයුතු වලින් ඉවත් වීමට සිදුවීමයි. ඒ ඔස්සේ ඇරඹුණු ෆ්‍රී පීරියඩ් සමාජ ව්‍යාපාරය සනීපාරක්ෂක නිෂ්පාදන නොමිළේ නිකුත් කළ යුතු යයි උද්ඝෝෂණය කරයි. ඔසප් සෞඛ්‍ය ගැටලු නිසා අපේ රටේ දැරියන් කී දෙනෙක් පාසල මගාරින්නේද, කාන්තාවන් කී දෙනෙක් රැකියාවට නොයන්නේද, ජීවන වෘත්තීය අවුල් කරගන්නේද යන්න කිසිවෙකු නොදනී.

තමන් කළ තාක්ෂණ පහසුකරණය නිසා කෝටිපතියෙක් බවට පත්වීමට හැකියාව තිබූ මුරුගනාදම් ඒ වෙනුවට තෝරාගත් මාවත වූයේ සිය නිෂ්පාදනය සමාජ ව්‍යවසායක් බවට පත්කිරීමයි. ඔහුපවසන අන්දමට ‘හැමෝම සල්ලි පස්සේ යන්නේ, මට සල්ලි ගොඩගහන්න එහෙම උවමනාවක් නෑ’ යන්න අති ප්‍රබල පණිවිඩයකි. එනයින් ඔහු ජීවමාන මුරුගන් කෙනෙකු බවට පත්වෙයි.

සිය සමීපතමයා මසකට වරක් ඔසප් වීම නම් ක්‍රියාවකට යටත් වන බව දැන ගැනීම බොහෝ පිරිමින්ට අත්වෙන අමුතු අත්දැකීමකි. මීට විසිඅට අවුරුද්දකට පෙර මම ද එම අත්දැකීමට මුහුණ දුන්නෙමි. එදින බම්බලපිටියේ ෆාමසියකින් අත තිබුණු මුදලට සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් මිළදී ගත් අපි දෙන්නා, බස් ගාස්තු පියවා ගැනීමට බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සිට පුරහල දක්වා පයින් ගියෙමු. දැන් සමහර විට මම බිරිඳට හා දුවට සනීපාරක්ෂක තුවා මිළදී ගනිමි. ඒ අවස්ථා වලදී වෙළඳසැල් සේවිකාවන් ගේ විවිධ ප්‍රතිචාරයන්ට මුහුණ දී ඇත්තෙමි. අරුණාසලම් මුරුගනාදම් මුහුණ දුන් ගැටලු අනුව ඒවා නොසළකා හැරිය හැකිය.

1950 දශකයේ ඒ කාලයට අනුව සිය බාල සහෝදර සහෝදරියන් උපන් විට, තම මවට සනීපාරක්ෂක තුවා ගෙනවිත් දුන් පුත්‍රයෙකු මම දනිමි. ඔහු සිවිල් සේවය කීර්තිමත් කළ මහත්මයෙකි. දැන් වියපත් වුවද ඔහුගේ පෞරුෂය බිඳකුදු අඩු නැත. අපනිවසක් තැනූයේ ඔහු සිය ඥාති දියණියට තිළිණ කළ ඉඩමේ ය. ඔහු බෝධි සත්ත්වයෙකු යයි අපි දෙදෙන සිතමු. නෙලුම් පුරුෂයින් කියන්නේ බෝධිසත්වයින්ට ය.

[හෂිත අබේවර්ධන]


අතුරු පාර

ආදරයේ නීති

 

“The boy with the topknot කියන අපූරු බ්‍රිතාන්‍ය ඉන්දීය චිත්‍රපටිය නරඹලා අහවර කළේ දැන්. ඒක ලොකුවට ජනප්‍රිය නොවුණු අඩු වියදම් වැඩක් වුණත් මේ මොහොතට අදාල කාරණා ගොඩක් සහෘදව කතා කරනවා. චිත්‍රපටියෙ වැඩිපුරම අපට මුණගැහෙන කෙනා බ්‍රිතාන්‍යයෙ උපන් සික් සම්භවයක් සහිත ප්‍රියමනාප තරුණයෙක්. ඔහු සන්තානම්. සික් ජාතිකයන් කරන තමන්ගෙ දිගු කොණ්ඩය මුදුනට කරලා බැඳලා ඒ මතින් රෙදි ආවරණයක් පළදින එකවත් රැවුළ වවන එකවත් සන්තානම් තවදුරටත් නොකලත් එහෙම තමන්ගෙ දිගු හිසකේ අම්මා පීරලා මුදුනට වෙන්න ගැටගහපු සන්තානම්ගෙ ළමා කාලය වරින් වර ඔහු ඉස්සරහට එනවා. ඇවිත් ඔහු දිහා බලන් ඉන්නවා. සන්තානම්ගෙ සහෝදර සහෝදරියො සහ ඥාති සහෝදරයො සියලු දෙනාම සික් අය එක්කම විවාහ වෙච්චි අය. සන්තානම්ට තමන්ගෙ සුදු පෙම්වතිය ගැන පවුලට කියන්න බැහැ සහ සන්තානම්ගෙ අම්මා සන්තානම්ට සික් ජාතික පවුලකින් මනාලියක් හොයනවා. ඉතින් සුදු බැටළු රංචුවෙ සන්තානම් තමා කළු බැටළු පැටියා.

තමන්ගෙ අම්මා තමන්ට සික් ජාතික තරුණියක්ම විවාහ කර දීමට කරන උත්සාහයේ තර්කය පැහැදිලි කරගන්න සන්තානම් තමන්ගෙ පවුලෙ ඉතිහාසය හාරනවා. එහිදී ඔහු දැනගන්නවා තමන්ගෙ අම්මා අවුරුදු දහසයේදි මානසික රෝගී තරුණයෙකුට විවාහ කර දුන් ළමා මනාලියක් බවත් ඇය නිහඬව දරුවන් හදා වඩාගෙන සැමියාගේ මානසික රෝගයට ප්‍රතිකාර කරගෙන ඉන්න අම්මා සහ බිරිඳ යන අච්චු තුළ හිර කරලා (මරා දාපු ) ස්ත්‍රියක් බව. කතාව කීම නෙමෙයි මගෙ අරමුණ. ඒ අම්මා තමන්ට පරම්පරා ගානක් තිස්සෙ එන්නත් කරපු චින්තන රටාවට හුරුවෙච්චි සිතීමේ හැකියාව අහිමි කරන ලද ශරීරයක්.

“අපි නැති කාලෙක කවුද මේවා බලාගන්නෙ?, ඔයාව බලාගන්න කෙනෙක් වෙන්න ඕනෙ, තව හොඳ පවුලක්ම තමා අපේ පවුලට ගැලපෙන්නෙ, සල්ලි නැතුව මොකුත් කරන්න බැහැ, “

වගේ කතා අම්මලා තාත්තලා විවාහය කියන කාරණයෙදි කියනවා අපි අහලා තියෙනවා. ඒ කතා හරිද වැරදිද කියනවට වඩා ආදරය, විවාහය වගේ කාරණයකදි ඒක පුද්ගලයො දෙන්නෙක් අතර සිද්ධියකින් එහා ගිහින් සමාජ ක්‍රියාවක් දක්වා විශාලනය වෙනකොට ඒ පුද්ගලයො දෙන්නට මොකද වෙන්නෙ?

“රටේ ලෝකෙ ලැජ්ජාව නිසයි ඉන්නෙ, ළමයි නිසයි ඉවසන්නෙ, අම්මාගෙ මූණෙ දැලි ගාන්න බැරි කමට ඉවසනවා”. වගේ කතාත් ඉතාම සුලබව අපි අහනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. තනි මනුස්සයෙක් සමාජ සිතියමක තිතක් හැටියට හිරකරලා ඒක සමාජ ආරක්ෂණය හෝ ක්‍රමය විදිහට අරුත් ගන්වන එක ගොඩක් බය හිතෙනවා. ආදරය, ලිංගිකත්වය වගේ කාරණා වලට දෙන ලද නීති අදෘෂ්‍යමානව තියෙනවා.

මේක ආදර සම්බන්ධතාද හොඳ, යෝජිත විවාහද හොඳ, වගේ තැනකින් එහාට මානව සම්බන්ධතා සඳහා සමාජය විසින් දෙනලද වටිනාකම් නැවත සිතා බැලීමකට ලක්කිරීමකට යන්න ඕනෙ දෙයක්. පවුල කියන ආයතනය කුණු වුණත් ඒක පවුලක් වෙනතාක් හොඳයි වගේ දෙයක් අපි නැවත නැවතත් වර නගනවා. විශේෂයෙන් දරුවන්ව සමාජානුයෝජනය මුලින්ම කරන ස්ත්‍රිය අම්මා සහ බිරිඳ කියන භූමිකාවන් වල දරුණු විධියට ඇන ගහලා හිර කරනවා. අම්මා යනු මෙසේය. ඇය සියල්ල තමාගේ මවුවත් බව වෙනුවෙන් අත්හරින්නේය, බිරිද යනු මෙසේය, සැමියා ඇයගේ දෙවියාය. පිරිමියා යනු මෙසේය. වගේ පවුලේ දේශපාලයන කලින් අලිඛිතව වරනගලා ඒ කරනා සම්බන්ධව අච්චු සහ ආකෘති අපිට දීලම තියෙනවා. ආගම සහ ජනප්‍රිය කලාව මේකට පෝර දාලා උත්කර්ෂයට නඟනවා. ඒක මටනම් බය හිතෙන දෙයක්. දෙයියනේ ඔය දීපු අච්චුවට ෆිට් වෙන්න තමන්ව නැතිකරගන්න වෙනවා. ගොඩක් දෙනාව පොඩි කාලෙම පවුල සහ ආගම හරහා චින්තනමය වශයෙන් මරලමයි සමාජයට නිදහස් කරන්නෙ. සමහර කාරණා සම්බන්ධයෙන් ආයෙමත් හිතමු සහ අනෙකා ගැන සංවේදී වෙමු.

 

අපි ලොකූ මැෂිමක ඇණ මුරිච්චි විතරක්ම නෙමෙයි.

[ඉසුරු චාමර සෝමවීර]

මාතෘකා