රට ගිනි තැබීම වෙනුවට මනුෂ්‍යත්වය ඉගෙනගන්න

 ඡායාරූපය:

රට ගිනි තැබීම වෙනුවට මනුෂ්‍යත්වය ඉගෙනගන්න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මේ රට සහ එහි වෙසෙන සියල්ලන් පාලනය වන උත්තරීතර නීතියයි. එහි තුන්වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ මෙරට ජීවත්වන සියලුම පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම් හා ඊට අදාළ ව්‍යතිරේඛයන්ය. එහි දසවැනි උප වගන්තියේ සඳහන් වන්නේ

'සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදසාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය' යන්නය.

එකොළොස්වන උපවගන්තියේ සඳහන් වන්නේ 'කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය.' යන්නය. එහි දොළොස්වන උපවගන්තියේ අනුවගන්ති එක සහ දෙක ප්‍රකාරව කියැවෙන්නේ නීතිය ක්‍රියාත්මක වීමේදී හිමි මූලික අයිතිවාසිකම් පිළිබඳවය.

 'නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණ ද, සර්ව සාධාරණ විය යුත්තේය' යන්න හා ' කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය' යන්නය. එහි පස්වන අනු වගන්තියේ සඳහන් වන්නේ 'වරදකරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තකුම නිර්දෝෂී යයි පූර්වානුමාන කළ යුත්තේය' යන්නය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම උදාකර දී ඇති මෙකී මූලික අයිතීන්ට අමතර තවත් අයිතිවාසිකම් ගණනාවක්ම පුද්ගලික නිදහස හා අයිතීන් වෙනුවෙන් සඳහන්ව ඇත. නමුත් ගෙවුණ දශකය පුරාත්, ඉන් පසුවත් මෙකී අයිතීන් තුට්ටුවකට මායිම්වනු නොදක්නා තරම්ය.

මෙරට පුරවැසියකුට හිමිවිය යුතු මූලික මානුෂවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම සිදුවනවා වෙනුවට දිගින් දිගටම සිදු වූවේ ජාතිවාදී හා ආගම්වාදී කටයුතුය. උක්ත සටහන් කෙරුණු මූලික අයිතිවාසිකම් ප්‍රකාරව සලකා බැලුවහොත් නීතියේ ආධිපත්‍යය හෙවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ව්‍යස්ථාපිත නීතිය අනුව රට පාලනය නොවීමේ ප්‍රතිවිපාක ලෙස මේ සියලුම අයිතිවාසිකම් මහජනතාවගෙන් ගිලිහී ගිය බව පැහැදිලිය.

වසර තිහකට පෙර පාලකයන් විසින්ම අවුලුවාලනු ලැබූ ජාතිවාදී ගින්න හේතුවෙන් උතුර හා එහි වෙසෙන දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් දෙමළ ජාතිවාදය අවුස්සා එක පිරිසක් දේශපාලන වාසි ලබාගත් අතර, එය අවසන් කිරීමෙන් පසුවද එයාකාරයෙන්ම ජාතිවාදී පුහු බිය කේවල් කරමින් නැවත යුද්ධයක් ඒ යැයි කියන බිය සමාජය තුළ ඇති කරන ලදි. එම උත්සාහය එදා තරම් නොඇවිලෙන සුලු වූ බැවින් නැවත එවැනිම බිල්ලක් තමන්ට ගිලිහුණු බලය ලබාගැනීම වෙනුවෙන් පසුගිය පාලනය විසින් ඇති කරන ලද බව මෙරටේ සියල්ලෝම දනිති. ඒ නම් මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ ආගමට පහර දීමය.

එහි ආරම්භක පියවරවල් ඥානසාර හිමි ඇතුළු බොදු බලය එළිපිට ක්‍රියාත්මක කිරීමට පෙර සිටම විවිධ ස්වරූපයන්ගෙන් ආරම්භ වූ අතර එහි කූටප්‍රාප්තිය 2014 ජුනි 15 වෙනිදා අලුත්ගම දර්ගා නගරයට ගිනි තැබීමෙන් ආරම්භ විය. දර්ගාවට ඇදිරි නීතිය දැමුවද රාත්‍රියේදී දර්ගා නගරයේත්, අලුත්ගම, බේරුවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ගැටුම වර්ධනය කර දෙහිවල ඔසුසැලකටද කලහකාරීන් විසින් පහර දෙන ලදි.

ඉන් පසු තත්ත්වය උණුසුම් වූයේත් ඇඳිරි නීතිය තිබියදීය. මුස්ලිම්වරුන්ට අයත් දේපළ විශාල වශයෙන් ගිනිබත් වුයේත්, ඊට ප්‍රථම එහි ගොස් ගිනි අවුලවාලීමට සැලසුම් සකස් කළෙත් ඥානසාර හිමි ඇතුළු ඒ වටා ගොනුව ආරම්භ වූ ජාතිවාදී හා ආගම්වාදී මිලේච්ඡ සංවිධාන නිසාය. නමුත් එහි එකම වගඋත්තරකරුවා වූ බොදු බල සේනාව සම්බන්ධයෙන් නීතියට අනුව ගත යුතු කිසිඳු ක්‍රියාමාර්ගයක් එවක රාජපක්ෂ පාලනය විසින් නොගන්නා ලදි.

එයට රාජ්‍ය ත්‍රස්තවාදයද සහාය දෙමින් පොලිසිය හෝ පොලිස් විශේෂ කාර්ය බළකායද අත් බැඳ සිටියා මිස කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලදි. ඉන්පසුව දිගින් දිගටම බලය අහිමි වීමේ වේදනාව හා බලය ලබාගැනීමේ වුවමනාව මත. මහසෝන් බළකාය, සිංහලේ, රාවණා ආදි වූ එකී මෙකී මිලේච්ඡ සංවිධාන ගණනාවක් නැවත වටයකින් මුස්ලිම් ජාතිවාදය හා අගම්වාදය පතුරවමින් කටයුතු ආරම්භ කරන ලදි.

එහි කූටප්‍රාප්තිය ලෙස ඉකුත් මාර්තු 7 වෙනිදා මහනුවර, පූජාපිටිය, කටුගස්‌තොට, අකුරණ, අඹතැන්න ප්‍රදේශවල ඇති වූ කලබලකාරී සිදුවීම්වලින් නිවාස විසිපහක්‌ පමණ ගිනිගෙන විනාශ වූ අතර ආගමික ස්‌ථාන තුනකටද හානි සිදුකර තිබිණි. මෙම ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් 66 දෙනකු පොලිසිය මගින් පසුව අත්අඩංගුවට ගන්නා ලදී. මහනුවර, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල දින කිහිපයක්‌ තිස්‌සේ පැවැති කලබලකාරී තත්ත්වය දින ගණනාවකට පසුව අවසන් විය.

නමුත් එහි ජාතිවාදී පණිවිඩය රට පුරා ගෙනයමින් අනියත බිය හා උසිගැන්වීමත් සිදු කළ මහසෝන් බළකාය ඇතුළු දේශපාලනයට සම්බන්ධ පිරිස් නිහඬ නොවිණි. ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ හා ඔවුන්ගේ සම්බන්ධතා ජාලා හරහා තවදුරටත් ජාතිවාදී ඇවිලීම් කරමින් සිටින ලදි.

එම පිරිස අත්අඩංගුවට ගත් පසුව එම ජාතිවාදී හා ආගම්වාදී ප්‍රචාරයන් නතර වුණු අතරම කෙමෙන් එම ජාතිවාදී ස්වරූපයන්ද වඩා ප්‍රජාතාන්ත්‍රික තත්වය ත්වරණය වෙමින් තිබෙන බව පෙනේ.

මෙතරම් දීර්ඝ විස්තරයක් ලිවීමට අවශ්‍ය වූවේ සැබැවින්ම මේ රටේ අතිබහුතරයක් වූ ප්‍රඥාවන්ත මහජනතාව දන්නා වූ සත්‍ය පිළිබඳව නැවත නැවත කීමට නොවේ. එහි වටපිටාව සඳහන් කළේ මහසෝන් බළකායේ ප්‍රධානියා වූ අමිත් වීරසිංහට බන්ධනාගාරය තුළදී පහර දීම සම්බන්ධව යමක් සටහන් කිරීමටය.

හුදු බෞද්ධ සංකල්ප එළියට පෙන්වමින් ඇතුළතින් අන්ත මිලේච්ඡ ලෙස සහෝදර ජාතීන්ට හා ආගම්වලට පහර දීමට අමිත් වීරසිංහ සිය කටයුතු මෙහෙයවුවද නීතියෙන් නියම කෙරුණු පටිපාටිය අනුව තවමත් පූර්ණ නිර්දෝශී පුද්ගලයෙකු වන අමිත්ට රිමාන්ඩ් බන්ධනාගාර තුළ සිදු වූ පහර දීම කිසි ලෙසකින් අනුමත නොකළ යුතුය.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින අමිත් වීරසිංහට බන්ධනාගාරය තුළදී දරුණු ලෙස පහරදීමක් සිදුකර ඇති බව ඔහුගේ බිරිඳ පවසා තිබුණේ ඉකුත් 26 වෙනිදාය. එදින බන්ධනාගාර නිලධාරියෙකු විසින් ඔහුට මෙලෙස පහර දී ඇති බව මාධ්‍ය වාර්තා කළ අතර ඒ අනුව අමිත් වීරසිංහ අනුරාධපුර රෝහලේදී ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව 27 වෙනිදා නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

1995 දී ජිනීවාහිදී පවත්වන ලද අපරාධ වැළැක්වීම සහ වරදකරුවන්ට සැලකීම පිළිබඳව පළමුවන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සම්මතකොට, ආර්ථික හා සමාජීය කවුන්සිලයෙදි සහ එහි 663 C ( xxiv) - ( 1957 ජූලි 31) සහ 2076 (Lxxi) - (1977 මැයි 13) දරණ යෝජනා මගින් අනුමත කරමින් ලෝකයේම සිරකරුවන්ට සැලකීම පිළිබඳ අවම ප්‍රමිතීන් හඳුන්වා දෙන ලදි.

ඒ අනුව වරදකරුවන් වූ සහ නොවූ සියල්ලටම හිමි අයිතිවාසිකම් හා ප්‍රමිතීන් හඳුන්වාදී ඇත. වරදකරුවෙකු හෝ නොවූ ඕනෑම පුද්ගලයෙකුට බන්ධනාගාරය තුළ හිමිවිය යුතු ගෞරවයක් සහ මානව හිමිකම් තිබේ. දේශීය වශයෙන් එහි ප්‍රධානතම අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම හිමිකර දී තිබේ. ඊට පසුව බන්ධනාගාර ආඥාපනත, නිත්‍ය නියෝග හා අනෙකුත් බලපවත්නා සියලුම නීතිවලට යටත්ය.

 අමිත් හා ඔහු මෙහෙයවන අන් සියල්ල වෙනත් ආගම් සහ ජාතීන්ට පහර දීමටත්, ඔවුන්ගේ නිවාස ඇතුළු ආගමික ස්ථාන ගිනිබත් කිරීමටත් පෙළඹූහ. සැකකරුවන් වූ මිනිසුන්ට පූර්ව නිගමනයන්ට පැමිණ අපරාධකරුවන් ලෙස ලේබල් අලවා තම දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔසේ ප්‍රචලිත කරන ලදි. ආයුධ පෙන්වා මරා දැමීමේ අනීතික කටයුතු සේම වැලිකඩදී ඝාතනය වූ මිනිසුන් සියල්ල අපරාධකරුවන් බව පුන පුනා කියමින් මිනී මැරීම, පහර දීම අනුමත කරන ලදී. නමුත් එහි ප්‍රතිවිපාක අද අමිත් දෙසටම යොමුව තිබේ.

අමිත් සහ ඔහුගේ මහසොහොන් බළකාය ඇතුළු ව්‍යාජ ලෙස සිවුරු පොරවාගෙන දේශපාලනයත්, ජාතිවාදයත්, ආගම්වාදයත් මෙහෙයවන උදවියද ගෙනගිය ස්වරූපයන් වෙනුවෙන් කිසිදු ආකාරයක පෙනී සිටීමක් කළ නොහැකිය. නමුත් මෙරට නීතිය අගයන, සහෝදරත්වය හා සහජීවනය අගයන අනෙකුත් සංස්කෘතීන්ගේ සුන්දරත්වය දකින මිනිස්සු අමිත් වටා එක දෙයක් වෙනුවෙන් පෙළ ගැසී සිටී.

ඒනම් බන්ධනාගාරය තුළ වේවා සමාජය තුළ වේවා මනුස්සකම පැවතිය යුතුය යන සාධකය සහ ඊට අවශ්‍යම නීතියේ ආධිපත්‍යය තුළ සැමට එක සමාන හිමිකම් හා ගෞරවයෙන් සහිත ජීවිත අවශ්‍ය බව කියන සටන් පාඨය වෙනුවෙනි.

තමන්ට පහර නොදී අනෙකාට පහර දීම එදා අමිත්ට සුන්දර විය. අද අමිත්ට එහි අසුන්දරත්වය විඳීමට සිදුව තිබේ. අදත් ඔබ සිරකරුවන්ට හෝ සැකකරුවන්ට අපරාධකරුවන් ලෙස හංවඩු ගසා මරා දැමීම යෙහෙකැයි සිතන්නේ නම් හෙට ඔබට ඒ ඉරණම හමුවන විට මෙලෙස ඔබ වෙනුවෙන් සටහනක් හෝ තැබීමට කිසිවෙකු ඉතිරි නොවනු ඇත.

[කසුන් පුස්සෙවෙල]

මාතෘකා