නිදහසේ හුස්ම ඉල්ලන සිරගත සතුන්ගේ කතාව

 ඡායාරූපය:

නිදහසේ හුස්ම ඉල්ලන සිරගත සතුන්ගේ කතාව

කැලෑ බැදිවල උන්ගේම වාසභූමිවල වෙසෙන වනසතුන් ක්‍රෑර ලෙස අල්ලා, ක්‍රෑර ලෙස ප්‍රවාහනය කර නගරයේ විකිණීම අද මෙරට ජාවාරමකි. කෙතරම් ජාවාරමක්දැයි කිවහොත්  සතෙකුට තබා ක්ෂුද්‍රජීවියකුටවත් විසීමට නොහැකි තරම් අපිරිසිදු, දුම්දමන, ගෙන්දගම් පොළොවේ කුඩා කූඩුවල උන් මියැදෙමින් අලෙවි වනුයේ නීතිය රකින සියලු බලධරයන්ගේ ඇස්පනාපිටමය. පොලිසිය, වනජීවී නිලධාරීන්, වනසතුන් භාර මැති ඇමතිවරු ආදී සැමෙකෙක්ම මහදවල් සිදු වන ඒ අපරාදය නොදුටූ ඇසින් බලා සිටීම එහි මහත්ම ඛේදවාචකයයි. ඉදින් අප මේ පෑන මෙහෙයවන්නේ ඒ අපරාදය අභිමුව ඔවුන් දැන්වත් ඇස්කන් හරීයැයි ඉමහත් බලාපොරොත්තුවෙනි. අසන්න, මේ වූකලී මිනිසා ම්ලේච්ඡත්වය කරා පසුගමන් ගන්නා අයුරු විදහාපාන කතාන්තරයයි.

මේ කියන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නගරයක් ගැනය. වේලාව දහවල් එක පසු වූවා පමණය. සතුන් දසදෙනෙකුවත් දැමීමට ඉඩකඩ නොමැති අඩි එකහමාරක පළලින් හා උසින් යුතු යකඩ කූඩුවක ගාල්කළ හාපැටවුන් විසිහතර දෙනෙකි. මහා දවාලේ ගිනිගහන අව්වේ එම සත්තු පීඩාවෙන් පසුවෙති. ඉන් එක් පැටවෙක් වැතිරී සිටි අතර ඌ රෝගී තත්වයෙන් පසුවන ආකාරයක් දක්නට ලැබිණි. හැම සතෙකුම අනෙකාට වඩා තමාට ඉඩක් ලබා ගැනීමේ අරගලයක නිරතව සිටිති. අප මේ පිළිබඳව එම වෙළඳ සැලේ අයිතිකරුවාගෙන් ඇසු විට ඔහු මඳක් තැතිගෙන පැවසුවේ එක සතෙකුට එක කූඩුවක් ගානේ ලබාදීමට තරම් තමන් පොහොසත් නම් මෙම වෙළඳාම නොකරන බවයි. එවැනි අපහසුතාවයෙන් පසුවූයේ හාවුන් පමණක් නොවේ. කුඩා බලු පැටවුන් ද මෙවැනිම අපහසුතාවයෙන් සිටිනු පෙනුණි.  

කුඩා කූඩුවක බලු පැටවුන් තිදෙනෙකි. වෙළෙඳසැලේ වැඩකරන වයසක පුද්ගලයෙකු පැවසුවේ එම කුඩුවෙහි බලු පැටවුන් සිව් දෙනෙකු සිටි බවත් මීට සුළු වෙලාවකට පෙර එක් පැටවකු මිලට ගෙන  ගිය බවත්ය. හාවුන් දමා සිටි කුඩුවට වඩා ස්වල්පයක් පළලින් වැඩි මෙම කූඩුවෙහි බලු පැටවුන් දෙදෙනෙකුට ඉඩ මදිය. එම සත්තු වේගයෙන් හුස්ම ගනිති. වැටුණු වැටුණු තැන්වල වැතිරී සිටිති. එම සතුන්ගේ මළපහ ද එම කූඩුවෙහිම එක් රැස් වී තිබිණි.  

අව්වට කර වෙන සුව නින්ද 

මාලඹේ අරංගල හංදියේ සතුන් අලෙවි කරන ස්ථානයේ  තත්ත්වයත් එසේමය. හාවුන්, බලුපැටවුන් සහ කුරුල්ලන් වැනි සතුන් කූඩු කර ඇත්තේ එම සතුන්ට කිසිසේත්ම ජීවත්විය හැකි පරිසරයක නම් නොවේ. එම සතුන්  තොරතෝංචියක් නැතිව යන එ රථවාහනවල දුමෙන්, දූවිල්ලෙන් හා දහවල් ගිනි අවුවට කරවෙද්දී එම වෙළඳසැල් අයිතිකරුවන් මර නින්දේය. මේවාට වගකිව යුත්තෝ කවුරුන්දැයි කිසිවෙක් නොදනිති.   

මීට අමතරව ජාඇල සතුන් වෙළඳාම් කරන ස්ථාන කිහිපයකද, හොරණ හා මාතර ප්‍රදේශයේ ස්ථානවලද තත්ත්වය ඉහත තත්වයට වෙනස් නොවේ. අප මෙපරිද්දෙන් එක් ස්ථානයක හෝ දෙකක නම් සඳහන් කිරීම නුසුදුසු වන්නේ ලංකාවෙහි සමස්ත තත්ත්වය මෙපරිදි වන බැවිනි. බොහෝ සත්තු ඉතා අපහසුවෙන් කූඩුවල දිවා කාලය ගෙවා දමා රාත්‍රියට කිසිදු ආලෝකයක් නොමැතිව එක පිට එක පැටවූ කූඩුවල සිරවී සිටිති. මෙහි වඩාත් අපහසුතාවට ලක්වන්නේ සුනඛ පැටවුන්ය. එකම කූඩුවක සුනඛ පැටවුන් කිහිපදෙනෙකු රඳවා තබයි. එම සතුන්ට කුඩා කාලයේ ලබා දිය යුතු පෝෂණය හෝ රැකවරණය තබා මානසික සෞඛ්‍යය හෝ නොලැබේ. සති තුනක් වැනි කෙටි කලකදී තම මවගෙන් වෙන්කරන එම සුනඛයන් කවුරුන් හෝ මිලදී ගන්නා තුරු මෙම අපහසුතා විඳිති. එම කූඩුව තුළම යට කොටසෙහි මළමුත්‍රා එකතුවීමට ඉඩ සකස්කර ඇති අතර අපිරිසිදුව දවස ගෙවා දැමීම මෙන්ම ඒ හේතුවෙන් විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරු වීම දැකගත හැකිය.  

අඟල් ගණනක සිරවුණු විසිතුරු

මෙවැනි අසාධාරණයට ලක්වන තවත් සත්ත්ව කොට්ඨාසයක් වන්නේ විසිතුරු මසුන්ය. සෑම දිනකම කුඩා පොලිතින් බෑගයකට මත්ස්‍යයන් දමා උන් එළිමහනක රඳවා තබයි. හවස් වන තුරු කුඩා පොලිතින් බෑගයක සිරවී සිටිනවාට අමතරව මුළු දිනය පුරාම අවුවේ කරවීමට එම මත්ස්‍යයන්ට සිදුවේ. බොහෝ මත්ස්‍යයෝ මේ හේතුවෙන් මියයති. මෙය එක් ස්ථානයක නොවේ, රට පුරා විසිතුරු මසුන් විකුණන සියලුම ස්ථානවල දැකිය හැකි තත්ත්වයකි. විශාල ජලාශවල හෝ මුහුදේ පිහිනීමට නිදහස ලැබිය යුතු මෙම ජීවීන් අඟල් ගණනක ඉඩක සිරකර තැබීම කෙතරම් යුක්තිසහගත දැයි කිසිදු සත්ත්ව සංවිධානයක් හෝ සතුන් සුරැකීමට ඇප කැප වී සිටින්නකු සොයා බලන්නේ නැත.  

වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්ෂක ආඥ පනත ශ්‍රී ලංකාවේ දේශීය සත්ත්ව විශේෂ හා ශාක විශේෂ ආරක්ෂා කිරීමත් ඒවායේ වාසභූමි ආරක්ෂා කිරීමත් ඒවා වාණිජ ලෙස අවභාවිතය වැළක්වීමත් සඳහා ගොඩනැගී ඇත. එහෙත් ඒ සියල්ල ඇත්තේ දේශීය සතුන් තම ස්වභාවික වාසභූමිවලින් ඉවත් කර විකිණීම සඳහා යොදාගන්නවා නම් පමණි. එවිට මෙම කූඩු කර ඇති සතුන් සත්වයයන් නොවේද? එම සතුන් සුරැකීම ඇත්තේ කා අතේද? කූඩුකර විකුණන බොහෝ සතුන් විදේශයෙන් ගෙන්වන සතුන් වීම හේතුවෙන් කිසිදු පරිසර සංවිධානයක් මේ සඳහා අතගසන්නේ නැත. එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව හෝ සත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටින කිසිදු සංවිධානයක් මේ සඳහා මැදිහත් වන්නේ නැත. විශේෂයෙන්ම සතුන් රඳවා තබා ගැනීමේදී සතුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ කිසිවෙක් අවධානය යොමු නොකරති. සතුන්ට ජීවත් වීමට තරම් වන ඉඩ පහසුකම් තිබේද, පිරිසිදු වාතාශ්‍රය ලැබේද, අවශ්‍ය මානසික නිදහස එම පරිසරයේ ඇත්ද යන්න සොයා බැලිය යුතුය. එහෙත් ගැටලුව වන්නේ ඒ පිළිබඳව පියවරක් ගැනීමට මෙරට කිසිදු වගකිවයුතු ආයතනයක්, ලිඛිත ලියවිල්ලක් හෝ නීතියක් නොමැති වීමයි. පරිසරවේදී සජීව චාමිකරගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු.  

නිර්ණායක නොමැති නිදහස

“ලංකාවේ සතුන් සම්බන්ධව එක් එක් සත්ත්ව කාණ්ඩ විදියට අරගෙන වෙන වෙනම නිර්ණායක හැදිලා නැහැ. කොටින්ම කියනවා නම් සිවුපාවෙක් විකිණීම සඳහා රඳවා ගන්නවා නම් මේ තරම් ඉඩක්, පක්ෂියෙක් විකිණීම සඳහා රඳවා ගන්නවා නම් මේ තරම් ඉඩක් යනාදී වශයෙන් කිසිම නිර්ණායකයක් නැහැ. අඩුම තරමේ සත්වෝද්‍යානවලවත් මෙවැනි නිර්ණායක තිබිය යුතුයි. ලංකාවේ පළමු වතාවට අලි ඇත්තු සම්බන්ධයෙන් මෙවැනි නිර්ණායකයක් හැදිලා තියෙනවා. අලියෙක් හෝ ඇතෙක් රඳවා තබා ගැනීමට මෙවැනි දේ තෘප්ත විය යුතුයි යනාදී වශයෙන්. එත් එය තවමත් ගැසට් වෙලා සම්මත වෙලා නැහැ. මේ හැමදේකටම ගොදුරු වෙන්නේ ගෘහාශ්‍රිතව ඇතිකරන විදේශීය සත්ත්ව විශේෂ පමණයි, මොකද දේශීය සත්ත්ව විශේෂ මෙවැනි කිසිදු ආකාරයකින් වෙළෙඳාම් කිරීම හෝ රඳවා තබාගැනීම තහනම්. 

මෙහෙම කූඩුකරලා තියාගනිද්දී වෙළඳුන් සමහර පක්ෂීන් වීදුරු කූඩුවල රඳවනවා. මේ සතුන්ට තමන්ගේම ප්‍රතිබිම්බය පේනවා. ඉතින් උන් වීදුරුවට කොටනවා. බොහෝ අවස්ථාවල හොට තුවාල වෙලා උන් මියයනවා. 

ඒ වගේම සමහර සතුන්ට තමන්ට අවශ්‍ය තරම් පිරිසිදු වාතාශ්‍රය නැති නිසා විවිධ ලෙඩ රෝග හැදිලා මැරිලා යනවා. මම කීවේ එක සිදුවීමක් ගැන විතරයි. එ්ත් නොපෙනුණාට මේක රට තුළ තියෙන දරුණු ඛේදවාචකයක්. එත් පියවර ගන්න ති‍ෙයන නීතිමය රාමුව බොහොම පටුයි. හිංසාකාරී ලෙස සතුන් රඳවා තබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගන්න පොලිසියට බලතල තියෙනවා. 

ඒ වගේම විශේෂඥ වාර්තා කැඳවීම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව හෝ රජයේ පශුවෛද්‍යවරු සිදුකරනවා. මේ හැරුණම වෙන කිසිදු නීතිමය මැදිහත්වීමක් දැනට කරන්න ලංකාවේ නීති නැහැ”.  
පක්ෂීන් වෙළඳාම සම්බන්ධයෙන් ලංකාවෙහි ඇති තත්ත්වය ඉතා ඛේදනීය වූවකි. මේ පිළිබඳ පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් කරුණු දැක්වීය.  

“විසිතුරු සතුන් විකුණන වෙළෙන්දන් කුරුල්ලන් විකුණන්නත් අවසර පත්‍රයක් අරගෙන තියෙනවා. ඒත් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ පුංචි කූඩුවක ගොඩක් කුරුල්ලන් හිරකරගෙන ඉන්න. කුරුල්ලෝ කියන්නේ නිදහසේ ඉන්න කැමති සත්ත්ව කොට්ඨාසයක්. මේ පිළිබඳ අපිට බොහෝ පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ වගේම එවැනි අයට අපි නඩු පවරලත් තියෙනව.    

අපිට තොරතුරු එන හැම තැනක්ම වනජීවී වැටලීම් අංශයෙන් වැටලීම් කරවලා තියෙනවා. බෙල්ලන්විල පන්සල, පිල්ලෑව පන්සල ළඟ කුරුල්ලන් ජාවාරම අපි නවත්තලා තියෙනවා. ඒ වගේම මහවැව, මාදම්පේ ප්‍රදේශයේ පහුගිය කාලයේ මහා පරිමාණයෙන් කුරුලු ජාවාරම සිදුවුණා. එවැනි ස්ථාන ගණනාවක් වියළි කලාපයෙන් අපට වාර්තා වෙනවා.   

බොහෝ අය නොදන්නවා වුණාට කුරුලු ජාවාරම සිදු වෙන්නේ කුඹුරු ආශ්‍රිතව. නිදසුන් විදියට අම්පාර දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව, රඹුක්කන වැනි ප්‍රදේශවල මේ වගේ කුරුල්ලන් එකතු කිරීම සිදුකරනවා. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රදේශයත් මෙවැනි ජාවාරම් සිදුවන ප්‍රදේශ ලෙස හඳුනගෙන තියෙනවා. බුත්තල, කතරගම පාරේ මේ වගේ තැන් තියෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ පක්ෂීන් ලගින ස්ථාන සොයාගෙන උන් අල්ලා ගැනීම කරනවා. තිත් වී කුරුල්ලා, පිට සුදු වී කුරුල්ලා සහ රෑන ගිරවා මේ වගේ හසුවන කුරුල්ලන්”.   

පිං වෙනුවෙන් පව් කිරීම

මීට අමතරව කුඩා රවුම් කූඩුවල දමා වී කුරුල්ලන්, රෑන ගිරවුන්, පරෙවියන් විකිණීම අදටද පිළියන්දල, බෙල්ලන්විල ප්‍රදේශයේ ගජරාමෙට සිදුවේ. එමෙන්ම ඔබ මොරටුව හෝ දෙල්කඳ පොළට ගොස් බැලුවහොත් අප කියනදේ නිදසුන් සහිතව දැකගත හැකි වනු ඇත. කොළඹ අවට පමණක් නොවේ, මෙය ලංකාවෙහි අස්සක් මුල්ලක් නෑර සිදුවන්නකි.  

මේ පිළිබඳව පොලිසියට කළ හැකි මැදිහත්වීම පිළිබඳව අපි විමසා බැලුවෙමු. පොලිස් මූලස්ථානයේ ඉහල නිලධාරියෙක් පැවසුවේ කිසිවෙක් මෙවැනි සතුන් පිළිබඳ පැමිණිල්ලක් කළහොත් සත්ත්ව හිංසාව යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ බලතල පොලිසියට ඇති බවයි.  

පැන යා නොහැකි නීති

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පොලිස් බලතල පිළිබඳ පැවසුවේ මෙවන් අදහසකි.   

“සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත යටතේ සතුන්ට හිංසා පීඩා වන ආකාරයට ඔවුන් කොටුකර තැබීමක් සිදුවෙනවා නම් පොලිසියට එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ නීතිය වලංගු වෙන්නේ ගෘහාශ්‍රිත සතුන්ට. මෙහිදී වාතාශ්‍රය නැද්ද, ඉඩකඩ තියේද නැද්ද යන්න වගේම එම සතුන්ට අවශ්‍ය ඖෂධ ආදිය නිසියාකාරව ලැබෙනවාද යනාදී වශයෙන් විවිධ නිර්ණායක තියෙනවා. ඊට අමතරව මාළුන්ට, කුරුල්ලන්ට ආදී වශයෙන් සෑම සතෙක්ටම විවිධ නීති සකස්වෙලා තියෙනවා. කිසි කෙනෙක්ට මේ නීතිවලින් පැනලා යන්න බැහැ”. 

වනජීවී වෙළඳාම තුන්වන ලෝකයේ බොහෝ රටවල ඉතා ජනප්‍රිය සහ ලාභ උපයන කර්මාන්තයකි. එමෙන්ම ඔවුහු එය අනර්ඝ තත්වයෙන් යුතුව පවත්වාගනිති. නිදසුනක් ලෙස තායිලන්තය සතුව සතුන් වෙළඳාම පිළිබඳ පැහැදිලි නිර්ණායක පවතී. ශ්‍රී ලංකාවද මේ වනවිට වනජීවී වෙළඳාම කරගෙන යන බැවින් එය වර්ධිත අවස්ථාවේ පවතිනවානම් කළ යුත්තේ අවැසි නිර්නායක සකස් කිරීමයි. එසේ නොමැතිව මිනිසුන්ගේ විනෝදාංශ හෝ පුරුදු වෙනුවෙන් අහිංසක සතුන් පීඩාවට පත්කිරීම නොවේ. මෙය ඔබේ අවස්ථාවයි. රට තුළ කිසිදු නීතියක් වගකිව යුත්තෝ සකස් නොකරයි නම් එම අහිංසක ජීවිත වෙනුවෙන් අපි පෙලගැසෙමු. හිඩැස් ඇත්තේ මනුෂ්‍යත්වයේ ද නීතියේ ද යන්න තීරණය කිරීම ඔබට භාරය. 

ඉදින්, ඔබ මුලින් සතුන් පිළිබඳව ඇති ඔබේ අදහස් වෙනස් කරගන්න. එම ජීවිත ද අප වැනිම හුස්ම වෙනුවෙන් සටන් කරන්නෝ බව සිහියේ රඳවාගන්න. එම නිදහසට බාධා කිරීමේ කිසිදු අයිතියක් මනුෂ්‍යයෙකු වූ පළියට ඔබට නැත. නීති කඩිනමින් සකස් විය යුතුය. එහෙත් ඊට පෙර ඔබේ ආකල්ප සංවර්ධනය විය යුතුය. එසේ නොමැති නම් එකී නීති උල්ලංඝනය කරන්නන් පමණක් ඉතිරි වනු ඇත.

මාතෘකා