සමකාමී කාංසාව

 ඡායාරූපය:

සමකාමී කාංසාව

මෙම ලිපිය කියවන ඔබ සමකාමී ආශ්‍රය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන අයෙක් විය හැකියි. එසේත් නැතිනම් ඔබ සමකාමී ඇසුරක් පවත්වනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමලිංගික ඇසුරක් පවත්වන ඔබේ මිතුරෙකු මිතුරියක හෝ සමීපතමයකු පිළිබඳව ඔබ කනස්සල්ලෙන් පසුවනවා විය හැකිය. ඔබ මේ අංශ අතරින් කුමන හෝ අංශයකට අයත් වෙනවා නම් ඔබ තුළ මානසික වශයෙන් ඇතිවන පීඩනයත් සමඟ සමකාමී කාංසාව ඇතිවෙන්න පුළුවන්.

මොකක්ද මේ සමකාමී කාංසාව?

සරළවම කියනවා නම් සමකාමී කාංසාව කියන්නේ සමකාමී කියන වචනයට තියෙන බයට. එහෙමත් නැත්නම් සමාන ලිංගිකයන් කෙරෙහි ඇතිවන ලිංගික ආකර්ෂණයට සමාජයෙන් එල්ලවන විරෝධයට ඇති බිය සමකාමි කාංසාව ලෙස හඳුනාගත හැකිය.

සමකාමී චර්යාව අසාමාන්‍ය චර්යාවක් ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය 1990දී සමලිංගිකත්වය සාමාන්‍ය ලිංගික චර්යාවක් කියල ප්‍රකාශයට පත්කරනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ තවමත් බොහෝ අවස්ථාවන්හිදී මේ චර්යාව සැලකෙන්නේ අසාමාන්‍ය චර්යාවක් ලෙස. ලාංකේය සංස්කෘතික සීමාවන් සමග ලාංකේය මනස තවමත් එම තත්ත්වය සාමාන්‍යකරණය කර පිළිගැනීමට සූදානම් නැහැ.

තවමත් බහුතරයක් දෙනා සමකාමී හැසිරීම සලකන්නේ අසාමාන්‍ය හැසිරීමක් ලෙස. ලිංගික චර්යාවක් අසාමාන්‍ය වෙන අවස්ථා තමයි සත්ත්ව කාමය, ප්‍රදර්ශන කාමය, මෘතදේහ සමඟ ලිංගික හැසිරීම් වගේ ලිංගික චර්යාවන්.

ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට ලිංගික හැගීිම් ඇතිවෙනවා. නමුත් වෙනස තියෙන්නේ. මේ ලිංගික නැමියාවෙ. ලිංගික නැමියාව විරුද්ධ ලිංගික, සමකාමි, ද්වී ලිංගික; මේ ඕනෑම ආකාරයක් වෙන්න පුළුවන්. සමකාමී චර්යාවන් පවත්වන එකම ජීවී කොට්ඨාසය මනුෂ්‍යයා විතරක් නෙමෙයි. මනුෂ්‍යයා හැර පෙන්ගුයින්, හරක්, අශ්වයින්, බල්ලන් වගේ ජීවී වර්ග 60කගේ පමණ මේ සමකාමී චර්යාවන් පවතිනවා. ලාංකේය සමාජය ඇතුළෙ කෙනෙකුගෙ ජීවිතයට සමකාමි කියන වචනය කුමනාකාරයකින් හෝ සම්බන්ධ වෙනවානම් ඒ පුද්ගලයා සමාජය ඉදිරියේ දැඩි පීඩනයකට ලක්වෙනවා. සමාජ අපවාදයට ලක්වීම, තම හැගීම් ප්‍රසිද්ධියේ බෙදාගන්න තියෙන නොහැකියාව, පෞරුෂත්වය මේ හැම දේකින්ම මේ අය සමාජය ඉදිරියේ පීඩනයට පත්වෙනවා.

සමකාමීත්වය ජානවලින් වගේම පාරිසරික සාධක සමඟත් ඇතිවෙන්න පුළුවන් දෙයක්. පාරිසරික සාධකයන් එක්ක ඕනෑම කෙනෙක්ගෙ ලිංගික නැමියාව ඕනෑම අවස්ථාවකදි සමකාමී වෙන්න පුළුවන්කම තියෙනවා.

 

සමකාමී නැමියාව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ මානසික ස්වභාවය නිවැරදිව වටහා ගැනීමෙන්. පහසුම මාර්ගය තමයි පුද්ගලයෙකුගෙ බාහිරින් පෙනෙන ශරීරය හා බාහිරට නොපෙනෙන මානසික ශරීරය හඳුනා ගැනීම. ඕනෑම මනුෂයෙකුට මානසික ශරීරය හා කායික ශරීරය කියල අංශ දෙකක් තියෙනවා. විරුද්ධ ලිංගිකයෙකුගෙ කායික ශරීරය සහ මානසික ශරීරය කියන දෙඅංශයම සමානයි. ඒ කියන්නේ බාහිර රූපයෙන් පුද්ගලයා පිරිමියෙක්. මානසිකව සිතුවිලි, හැගීම්, ආශාවන්, සියල්ලෙන්ම ඔහු පිරිමියෙක් කියන එක. නමුත් සමකාමියෙකුගෙ මේ තත්ත්වය මීට වඩා වෙනස්. සමලිංගික පිරිමියෙක් බාහිර රූපයෙන් නැත්නම් කායික ස්වභාවයෙන් ඔහු පුරුෂයෙක්. නමුත් මේ පුද්ගලයාගේ මානසික ශරීරය ස්ත්‍රී ශරීරයක්. ඔහුට දැනෙන හැගීම් සිතුවිලි ආශාවන් බොහෝ දුරට සමාන වෙන්නේ කාන්තාවකගෙ හැඟීම්වලට.

බාහිර ශරීරය පිරිමි සිරුරක් වුණත් මානසික ශරීරය ස්ත්‍රී වීම මත ඔහුගේ ලිංගිකව ආකර්ෂණය වෙන්නේ පිරිමියෙකුට.

සමකාමි සම්බන්ධයක් කියපු ගමන් බොහෝ දෙනෙක්ගෙ මනසට නැගෙන්නේ සමාන ලිංගිකයන් දෙදෙනෙක් අතර ඇතිවෙන ලිංගික සම්බන්ධතාවයක්. කාන්තාවන් දෙදෙනෙකුට හෝ පිරිමින් දෙදෙනෙක් අතරෙ ආදරයක් ඇතිවෙන්න පුළුවන් ද කියන එකත් පොදු ගැටලුවක්. විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් අතර ඇතිවෙන ආදරය මානසිකව ඇතිවෙන බැඳීමක්. එකිනෙකා වෙනුවෙන් කැපවීම එකිනෙකා පිළිබඳව සොයා බැලීම, ලිංගික ඊර්ෂ්‍යාව, එක්ව ජීවත්වීම කියන හැමදේම විරුද්ධ ලිංගික ආදරයක් ඇතුළෙත් තියෙනවා. සමකාමී දෙදෙනෙක් තුළත් මේ තත්ත්වය සමානයි. ඔවුන් එකිනෙකා වෙනුවෙන් කැපවීම, සොයාබැලීම වගේම සහයෝගයෙන් ජීවත් වෙනවා. විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් අතරෙ ඇතිවෙන සාමාන්‍ය මානසික බැඳීමට සමාන මානසික බැඳීමක් තමයි සමකාමී දෙන්නෙක් අතරෙත් ගොඩනැගෙන්නේ.

සමකාමීත්වයට එරෙහිව බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන තර්කයක් තමයි සමකාමි හැසිරිම් තුළින් ප්‍රයෝජනනයක් සිදුවෙන්නේ නැහැ කියන දේ. ලිංගික අවශ්‍යතාවය ප්‍රාථමික මානව අවශ්‍යතාවයක්. ප්‍රජනනය එන්නේ එම අවශ්‍යතාවයට පසුව.

ඕනෑම කෙනෙකුට ලිංගිකව තෘප්තිමත් වීමට අයිතියක් තියෙනවා. ලිංගිකව තෘප්තිමත් වෙන්න නම් තමන්ගෙ ලිංගික නැමියාවට සුදුසු සබඳතාවයක් පැවතීම අවශ්‍ය වෙනවා. සමකාමී නැමියාවක් සහිත අයෙකුට විරුද්ධ ලිංගිකයෙකු සමඟ සාර්ථක තෘප්තිමත් විවාහ ජීවිතයක් ගෙනියන්න බැරිවීමේ ගැටලුව නිසා. බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි තමන්ගෙ සමකාමී සමීපතමයෙක් මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට විරුද්ධ ලිංගිකයෙකුට විවාහ කර දෙන එක. මේ වගේ දේකින් ඒ දෙදෙනාම අපහසුතාවයකට පත්වෙනවා. ද්වී ලිංගික නැමියාවක් සහිත කෙනෙකුට නම් මේකෙ ගැටලුවක් නැහැ. මෙවැනි දේවල්වලින් එම පුද්ගලයා වගේම අනෙක් පාර්ශ්වයත් පවුලේ අයත් සමකාමී කාංසාවට ලක්වෙනවා.

[මනෝ උපදේශිකා ඉවෝනි දිල්කි]

මාතෘකා