වස විෂ උවදුරු - රෝහල් යනතුරු

 ඡායාරූපය:

වස විෂ උවදුරු - රෝහල් යනතුරු

වස විෂ ශරීර ගත වීම; අත්වැරැදීමකින්, හිතාමතා හෝ සාපරාධී අපරාධයක් විදිහට ශරීරයට හානි පමුණුවන හෝ ජීවිත හානි කරන ප්‍රධාන හේතුවක්. ඒ නිසා වස විෂ ගරීරගත වීම් ගැන සවිස්තරාත්මකව දැන සිටීම බොහෝම වැදගත්. අද 'රැස' සෞඛ්‍ය ලිපිය හරහා අපි ඒ ගැන විමසීමට තීරණය කළා.

 ශරීරයට විෂ විය හැකි දේවල් මොනවාද?

බොහෝ ඖෂධ වර්ග රෝගයට අදාල නොවන අය හෝ අදාල ‍ඖෂධ අධි මාත්‍රාවෙන් භාවිතා කිරීම ශරීරයට විෂ සහිතය.

ගෙදරදොරේ භාවිතා වන රසායනික ද්‍රව්‍ය (සේදුම් කාරක, ඉන්ධන වර්ග ආදිය)

කෘෂි රසායන වල් නාශක (පලිබෝධ නාශක, පොහොර ආදී)

විවිධ ශාක හා සත්ව වර්ග (කනේරු, නියඟලා වැනි)

විවිධ වායුන් හා දුම් (කාබන් මොනොක්සයිඩ් වැනි)

වැනි දේ මිනිස් සිරුරට විෂ සහිත වීමට හැකියාව ඇත.

 මෙවැනි විෂ, ශරීරගත විය හැක්කේ කෙසේද ?

මුඛය හරහා ආමාශ ගත වීම, විෂ වායු ආඝ්‍රාණය වීම සහ ශරීරයට එන්නත් කිරීම ආදි ක්‍රම වලින් විෂ ශරීරගත විය හැක. ඇතැම් විෂ වර්ග සම හරහාත් ශරීරගත වීමේ ඉඩක්ද පවතී.

 විෂ ශරීරගත වී ඇතැයි හඳුනාගත හැක්කේ කෙසේද ?

ඇතැම් විට අදාල රෝගියා තමාට විෂ ශරීරගත වූ බවට ප්‍රකාශ කරනු ඇති. රෝගියා අසළ හිස් බඳුන් හෝ ඖෂධ දවටන තිබීමත් සැක ඇති කරවිය හැකිය.

එසේ නොවුනත් නිරෝගීව සිටි තැනැත්තකුගේ හදිසියේ ඇතිවන, සිහිමඳ හෝ සිහිසුන් බව, හැසිරීමේ වෙනස්කම්, වමනය, උදරයේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, පපුව රිදීම, හද ගැස්මේ වෙනස්කම්, අපස්මාර තත්වය; විෂ ශරීරගත වීමක් දැයි සැක කළ යුතු අවස්ථාවන් බවට හඳුනාගත හැකිය.

 

මෙම රෝග ලක්ෂණ විෂ ශරීරගත වීමට පමණක් ආවේණික රෝග ලක්ෂණ නොවුණත් විෂ ශරීරගත වීමක් ගැන සැක පහළ කළ හැකි රෝග ලක්ෂණ වේ.

මීට අමතරව,

රෝගියාගේ මුඛය ආශ්‍රිතව පිලිස්සීම හෝ වෙනත් දුර්වර්ණ වීම,

රෝගියා වෙතින් වෙනස් ගන්ධයක් නිකුත් වීම,

ආදියත් සැකයට රුකුල් දෙන කරුණුය.

 විෂ ශරීරගත වුණු රෝගියෙක් වෙනුවෙන් ඔබට සිදු කළ හැක්කේ මොනවාද?

විෂ ශරීරගත වීම නිසා සිදුවන හානිය, විෂ වර්ගය, ශරීරගත වුණු ප්‍රමාණය, ශරීරගත වී ගත වූ කාලය, රෝගියා ගේ වෙනත් රෝගී තත්ව හා දිගුකාලීන ඖෂධ භාවිතය ආදී කරුණු මත වෙනස් වේ.

ඒ නිසා රෝගියා හැකි ඉක්මණින් ළඟම ඇති රෝහල වෙත රැගෙන යා යුතුයි .

ශරීරගත වී ඇති විෂ වර්ගය හා ප්‍රමාණය නිර්ණය කරගත හැකි වේ නම් එය ප්‍රතිකාර වේගවත් කිරීමට හේතුවකි.

ඒ නිසා රෝගියා අසළ තිබෙන හිස් බඳුන් හෝ ඖෂධ දවටන ආරක්ෂිතව රෝහලට රැගෙන ආ හැකි නම් එය ඉතා ප්‍රයෝජනවත්ය.

ඊට අමතරව රෝගියා යම් රෝග සඳහා දිගු කාලීනව ඖෂධ ලබා ගනී නම් එම සායන සටහන් රෝහලට රැගෙන යාමත්් ප්‍රතිකාර සඳහා සහයක් ලබාදෙන බව සඳහන් කළ යුතුය.

රෝගියා රැගෙන ඒමේදී වමනය වීම, අපස්මාර තත්ත්ව ආදිය නිසා ශ්වසන මාර්ගය අවහිර වීම වැළකීම සඳහ හිස පහතට හෝ ඇළයට හරවා ගෙන ඒම වඩාත් සුදුසුය.

බොහෝවිට රෝගියා රෝහලට ගෙන ඒමට පෙර වමනය කරවීමට උත්සාහ ගැනෙන නමුත් මෙය රෝගියාට හානිකර විය හැකිය.

අම්ල වර්ග, ඉන්ධන වර්ග වැනි පිලිස්සුම් කාරක විෂ වර්ග වමනය කරවීම මගින් ආහාර ජීර්ණ පද්ධතියට සිදු කරන හානිය තවත් පුළුල් විය හැකිය.

සිහිසුන් හෝ සිහිමඳ ගතියෙන් පසුවන රෝගියෙකු හට පොල් කිරි, කිරි, වතුර ආදී දියර වර්ග පෙවීමට තැත් කිරීමත් සිදුනොකළ යුත්තේ ඒවා ශ්වසන මාර්ගයට වැරදීමකින් ඇතුලුවීමේ අවදානමක් පවතින නිසාය.

 රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රෝගියාට කෙරෙන ප්‍රතිකාර මොනවාද?

ශරීරයට හානිකර මට්ටමේ විෂ වීමක් ඇතැයි සැක කෙරෙන අවස්ථාවක විෂහරණ ප්‍රතිකර්ම ආරම්භ කෙරේ.

විෂ වර්ගය, ප්‍රමාණය, ශරීරගත වී ගතවූ වෙලාව වැනි කරුණු මත මෙම ප්‍රතිකාර වෙනස් වේ.

ආමාශගත විෂ නළයක් හරහා සෝදා ඉවත් කිරීම, ආමාශගත විෂ අවශෝෂණය සඳහා ඖෂධ ලබා දීම, ශරීරයට අවශෝෂණය වූ විෂ අවශෝෂණය සඳහා විශේෂ ඖෂධ දීම මීට අයත් අංග කිහිපයකි.

මීට අමතරව ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, බහිශ්‍රාවී පද්ධතිය ආදිය අකර්මණ්‍යවීම වැලැක්වීමටද ප්‍රතිකාර කරනු ලැබේ.

සිතාමතා විෂ ශරීරගත කර ගත් අවස්ථාවක ඉදිරි අවස්ථා පිටු දැකීමට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද යොමුකිරීම ප්‍රතිකාර ක්‍රියාවලියේ අනිවාර්ය අංගයකි.

[වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා]

මාතෘකා