දේශපාලන පක්‍ෂ තරුණ සංවිධානවල කාර්යභාරය

 ඡායාරූපය:

දේශපාලන පක්‍ෂ තරුණ සංවිධානවල කාර්යභාරය

2017 වසරේ එළිදැක්වූ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය අලුත්ම වචනයක් හදුන්වා දී ඇත. ඒ 'Youth quake' යන්නය. තරුණයන්ගේ ක්‍රියාකාරකම් ඉන් අර්ථ ගැන්වේ.

ලොව පුරාම තාරුණ්‍යයට කිසියම් වගකීමක් පැවරී තිබේ. ලෝකයේ බොහෝ රටවල නායකත්වය තරුණයින් වෙත ලැබීමේ ප්‍රවණතාවක් මෑතක සිට දකින්නට ලැබේ.

ජස්ටින් ටෲඩෝ කැනඩාවේ 23 වන අගමැතිය. ලිබරල් පක්ෂයේ නායකයා වනවිට ඔහුට වයස 36කි. වයස 44දී ඔහු අගමැතිවරයා බවට පත් විය. එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රංශයේ ජනාධිපතිය.

2017 මැයි 14වෙනි දින වයස 39දී හෙතෙම ජනාධිපති ධුරයට පත් විය. ඔහු ප්‍රංශ ඉතිහාසයේ ලාබලතම ජනපතිය.

ජූරි රටාස් එස්ටෝනියා අගමැතිය. ඔහු, 2016 නොවැම්බර් මස වයස 38දී අගමැති විය.

ජසින්ඩා ආර්ඩන් නවසීලන්තයේ අගමැතිනියයි. 2017 නොවැම්බර් මස වයස 37දී අගමැති විය.

සෙබස්තියන් කර්ස් ඔස්ට්‍රියාවේ චාන්ස්ලර්ය. ඔහු 2017 ඔක්තෝම්බර් මස වයස 31දී චාන්ස්ලර් ලෙස පත් විය.

ලෝකයේ සෑම තැනකම මෙන් මෙරටද තරුණයා දේශපාලනය කෙරෙහි ආෂක්තය. විවිධ පක්ෂ සහ සංවිධාන වෙත යොමු වූ තරුණයෝ මෙරට සිටිති. මෙරට දකුණ දෙවරක් තරුණ කැරලිවලට මුහුණ දී තිබෙන අතර වසර 30 උතුරේ තරුණයෝ අරගල කළහ. 1971, 87-89 වැනි කාල පරිච්ඡේදවල පැවති සිංහල තරුණයන්ගේ කැරැලිවලදී මෙන්ම, තිස් වසරක් තිස්සේ ඇදීගිය දෙමළ ඊලාම් කැරැල්ලේදී ද වැඩිම සහභාගිත්වයක් දැක්වූයේ ද, එම හේතුවෙන් වැඩිම හානියක් අත්පත් කර ගත්තේ ද තරුණ ප්‍රජාව වන අතර, ඒවා මඩින්නට ඉදිරිපත් වූයේත් තරුණයින්මය.

ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ලක්ම තරුණ සංවිධාන විවිධ නම් ඔස්සේ පිහිටුවා ඇත. අතීතයේ නම් තරුණ දේශපාලන සංවිධාන යනු ජාතික නායකත්වයට බිම් මට්ටමේ සිට රැගෙන එනු ලබන සංවිධාන ව්‍යුහයකි. එහෙත් වර්තමානයේ බොහෝ දේශපාලන පක්‍ෂවල කිහිප විටක නායකත්වය හරි මඟට ගැනීමට හඬක් නඟන්නේ තියා, තමන් නියෝජනය කරන තරුණ තරුණියන් වෙනුවෙන් හඬක් නඟන්නේද නැත.

පක්‍ෂයක තරුණ සංවිධානයේ දේශපාලන පක්‍ෂ ජයග්‍රහණ වෙනුවෙන් කැපවී පමණක් ඵලක් නැත. පක්‍ෂයේ දේශපාලන වැඩපිළිවෙලට තරුණ සාමාජිකයන්ගේ අදහස් එකතු කිරීමත්, අනික් අතට පක්‍ෂයේ වරප්‍රසාද තනතුරු තීරණ ගැනීමේ බලය දේශපාලන නායකත්වයට තරුණ ප්‍රජාව සහභාගී කරවා ගැනීමටත් කටයුතු කළ යුතුය. රාජ්‍ය ප්‍රතිපත්තිවලට, පක්ෂ ප්‍රතිපත්තිවලට හා මැතිවරණ පනත් සංශෝධනවලට තරුණ නියෝජනයට ඉඩක් ඉල්ලා හඬ නැඟිය යුතුය.

වාර්ෂික අයවැය යෝජනාවලදී තරුණ ප්‍රජාව වෙනුවෙන් නව යෝජනා ව්‍යාපෘති ඇතුළත් කළ යුතුය. මැතිවරණ සංශෝධන පනත්වලට තරුණ නියෝජනය ශත්තිමත් කිරීම සඳහා හඬ නැඟිය යුතුය. පසුගිය නව පළාත් පාලන පනත තුළින් මෙතෙක් පැවති 40% යුත් කෝටාව ඉවත් කළද කිසිදු තරුණ සංවිධානයක් හඬක් නැඟුවේ නැත.

අනෙක් අතට නව පළාත් සභා පනත අනුව 50% සමානුපාතික නියෝජනය මෙන්ම කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම නිසා තරුණ අපේක්‍ෂකයින්ට අවස්ථාව අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වී ඇත. එහෙත් ඒ වෙනුවෙන් හඬක් නැඟුෙණ්ද නැත.

පසුගිය පළාත් පාලන ආයතනවල 25%කට අධික වූ තරුණ නියෝජනයක් පැවතියද මෙවර එකී ප්‍රතිශතය අහිමි ව ඇත.

අනෙක් අතට පක්‍ෂයේ ප්‍රතිසංස්කරණ වලදී හෝ ජාතික ගැටලු විසඳීමේදී කිසිදු සර්වපාක්‍ෂික ක්‍රියාවලියකදී තරුණ නියෝජනයක් ලබාදීමට මොවුන් කටයුතු කරනනේද නැත.

විරැකියාව තරුණ අසහනය කෙතරම් ඉහළ ගියද තරුණ ව්‍යාපාර සිදුකරන්නේ දේශපාලන මැතිවරණ සඳහා සහය වීම පමණකි. රැස්වීම්වලට පිරිස් ගෙන යාම, පෝස්ටර් ව්‍යාපාර, මැයි රැලි, මැතිවරණ කටයුතුවලට සෙනඟ පෙන්වීමට එහා ගිය ප්‍රතිපත්තිමය මැදිහත්වීමකට බලපෑම් කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු කාලය එළඹ ඇත.

බොහෝ විට විපක්‍ෂයේ සිටියදී ෙදන බලාපොරොත්තු බලයට පැමිණි පසු ඒ් ෙපාෙරාන්දු අමතක කර දමති. ඉහළ රැකියා, දේශපාලන නායකත්වය, මැතිවරණ අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වූවද අවසානයේ දේශපාලන හිතවතුන්, ව්‍යාපාරිකයින් හා නෑදෑයින් අතර ඉහළ තනතුරු බෙදී යයි. කිසිදා තරුණ ව්‍යාපාර සමඟ දේශපාලනයේ නියැලී නැති ඉහළ පැලැන්තිය දේශපාලකයන්ගේ දරුවන් හා හිතවතුන් පත් කරති. ඔවුන් කිසිදා ගමේ රටේ දේශපාලනයේ නිරත නොවූවන්ය. තරුණ සංවිධාන හරහා විපක්‍ෂයේ සිටියදී සුදුසුකම් නොබලා රැකියා දීමට පොරොන්දු වී බලය ලැබුණු පසු සුදුසුකම් හා ඉංග්‍රීසි ප්‍රමාණවත් නැතැයි කියමින් තම පන්තියේ පවුල්වල අයට ඉහළ තනතුරු තානාන්තර පුද කරති. ප්‍රාදේශීය හා පළාත් සභාවේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන සංවිධායකයින්ගේ දරුවන්ට නෑදෑයින්ට, ව්‍යාපාරකයින්ට අවස්ථාව ලබාදී තරුණ සංවිධානවලටබලාපොරොත්තු විසිකර දමති.

විශ්ව විද්‍යාලවල විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූ තරුණ තරුණියෝද සිටිති. එහෙත් ඔවුන්ගේ මැදිහත්වීම් මඟින් වුවද ශ්‍රී ලංකාවේ තරුණ දේශපාලන හැසිරීම් පිළිබඳ අපට සෑහීමකට පත්විය හැකිද?

එක් පිරිසක් පාලනය කරන තරුණ සංවිධානයවලට පහළ තරුණ තරුණියන් ගැන බැඳීමක් නැත. ඔවුන්ගේ අපේක්ෂාවන් නියෝජනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත. තරුණ තරුණියන් ප්‍රාදේශීය සභාවටද පළාත් සභාවටද පාර්ලිමේන්තුවටද රැගෙන ඒමට අවශ්‍යතාවක් නොමැත.

එම නිසා සාම්ප්‍රදායික තරුණ සංවිධාන වලින් ඔබ්බට පැමිණ රටේ දේශපාලනයට අනාගතය පෙන්වන, පහළ සිට ඉහළට ප්‍රජාතන්ත්‍රවාදීව සියලුම තනතුරුවලට ඡන්දයෙන් පත්වන දේශපාලන තරුණ සංවිධානයක ශක්තිය සමස්ත තරුණ ප්‍රජාවටම අවශ්‍යව ඇත.

එකතැන පල්වන, නායකයාගේ අල්ලේ නැටවෙන පහත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සැබෑ තරුණ දේශපාලන සංවිධානයට තම පක්‍ෂය බලයට ගෙන ඒමටත් බලය ලැබූ පසු රටත් තරුණ ප්‍රජාවත් ඉදරියට රැගෙන ඒමටත් විශාල හිඩැසක් පවතින බව තේරුම්ගත යුතුය.

එමෙන්ම තරුණ ප්‍රජාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉහළ තනතුරුවලට පැමිණ පසුව තම පුද්ගලික අවශ්‍යතාවන්, තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තරුණ ව්‍යාපාර, බිල්ලට නොදී සමස්ත තරුණ ප්‍රජාවගේ අවශ්‍යතා ඉටුකර දීමට තරුණ සංවිධානයක නායකයින් කටයුතු කළ යුතුය.

[අරුණ ප්‍රදීප් කුමාර]

මාතෘකා