ජලය ජාවාරම් කරුවන් අතේ ජනතාව ජල ගැටලුවේ ගිලේ

 ඡායාරූපය:

ජලය ජාවාරම් කරුවන් අතේ ජනතාව ජල ගැටලුවේ ගිලේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය සභාවට අයත් මාකඳුර ප්‍රදේශයෙහි සිදුවන මහාපරිමාණ ජල ජාවාරම පිළිබඳව ප්‍රදේශයේ නොදන්නා කෙනෙකු නැත. මෙමගින් ප්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුවී ඇති ගැටලුව සුළුපටු නොවේ. පසුගිය මාස කීහිපයෙහි වර්ෂාව නොලැබීමත් සමඟ ඉතිහාසයේ කිසිදු දිනක ප්‍රදේශයේ ළිංවල ජල උල්පත් සිඳුණේ නැත. නමුත් මෙම කූට ව්‍යාපාර ආරම්භ කිරීමත් සමඟ සුළු නියං තත්වයක වුවත් ප්‍රදේශයේ ළිං පතුල් පෙනෙන ලෙස ජලය හිඳී යයි. මෙයට හේතුව ජල පෝෂක ප්‍රදේශයක් වූ මෙම ප්‍රදේශයේ මෑතක සිට බලපත්‍ර නොමැතිව ආරම්භ කර ඇති ජලය බෝතල් කිරීමේ කර්මාන්ත ශාලා සහ බවුසර් ගණනින් ජලය විකිණීමේ ව්‍යාපාරයට අඩි 300ක පමණ පොෙළාව යට විශාල නළ ළිං ඉදිකිරීමයි. මෙමගින් භූමියේ මතුපිට ඇති ජල වියළී යයි. වසර කීපයක සිට මේ ආකාරයට භූගත ජලය පොම්ප කිරීම මගින් ජල පෝෂක ප්‍රදේශ සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.

මෙම ප්‍රශ්නය වක්‍ර ආකාරයෙන් ප්‍රදේශයේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමකි. ජනතාවට පානය සඳහා ජලය ගෙන ඒමට බොහෝ දුර බැහැරට යන්නට සිදුවී ඇත. වැසිකිළි කැසිකිළි සඳහා ද අපිරිසිදු ජලය යොදාගන්නටත්, ස්නානය සඳහා බොහෝ දුර බැහැර වැව් වලට යෑමට සිදුවී තිබේ. ප්‍රදේශයේ ප්‍රධාන ගොවිතැනක් වන බුලත් ගොවිතැන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, රටේ පොල් කර්මාන්තයට විශාල දායකත්වයක් දක්වන්නේද මෙම ප්‍රදේශයයි. පොල් අස්වැන්නද සැලකිය යුතු ලෙස පහළ වැටී ඇත. ජනතාව එසේ ජලය නොමැතිව අපමණ දුක් විඳින අවස්ථාවේදීත් ජාවාරම්කරුවන්ගේ භුගත නළ ළිං මගින්, දිනකට එක් ළිඳකින් ජලය ලීටර 30000 ක් පමණ පොම්ප කිරීම නොකඩවා කරයි.

නාගම රද්දලාන පුරණ විහාරස්ථානයේ බිබිලදෙනියේ ධර්මප්‍රිය හිමි,

“ඇත්තටම අපේ පැත්තේ නළ ළිං ගහනවට විරුද්දව, භූගත ජල විනාශයට, මතුපිට ජල ස්ථරය ආරක්ෂා කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ ප්‍රශ්නය නිසා මේ ප්‍රදේශය නුදුරේදීම කාන්තාරකරණය වීමේ අවදානමක් තිබෙනවා. භූගත ජල ස්ථරයේ ඇති ජලයද මොවුන් ගොඩට ගන්නවා. දිගින් දිගට මෙය සිදුවීමෙන් ජල උල්පත් සම්පූර්ණයන් සිඳීයනවා.

“මේ ප්‍රදේශයේ ප්‍රධාන කර්මාන්තය ගොවිතැනයි, ගොවිතැන් කරන්නේ මතුපිට ජල ස්ථරයේයි, පානයට ගන්නා ළිං ඇත්තේ මතුපිට ජල ස්ථරයේයි, ප්‍රධාන බෝගයක් වන පොල් ගසේ මුල්ද ඇත්තේ මතුපිට ජල ස්ථරය තුළයි. මේ ස්ථරය සිඳීයාම නිසා එදිනෙදා ජීවන චක්‍රයට විශාල බලපෑමක් එල්ල වනවා. බොන්න වතුර නෑ, නාන්න විදිහක් නෑ, ජීවත්වෙන්න විදිහක් නෑ ගොවිපොළවල් වේළිලා, පොල් පලදාව අඩුවෙලා, අපි මේ පිළිබඳව ජල ප්‍රවාහන මණ්ඩලයට පැමිණිලි කළා. ඒ අය මීටර් ගහනවා කියලා බොරු දොඩවලා එකම දවසක් ඇවිත් ගියා. ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් මුදලට යට වී ඇති තත්වයක් ඔවුනගේ කතාවෙන් අපිට පෙනුණා. අපට අවශ්‍ය ඉක්මනින් මෙම ගැටලුවට විසඳුමක්”

පන්නල ප්‍රාදේශීය ලේකම් ඒ එස් ප්‍රියංකර

“ මේ ළිං අට විතරක් නෙමේ තව පහළොවක් පමණ ප්‍රදේශයේ තියෙනවා. මට ගොඩක් ලියුම් ආවා, පැමිණිලි ආවා, අපි ජලසම්පත් මණ්ඩලයට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළා ලියුම් 20 ක් විතර යැව්වා. නමුත් මෙම ව්‍යාපාර නවත්වන්න කියලා අපිට කිසිදු ලියවිල්ලක් ලැබුණේ නෑ. ඒ නිසා අපිට බලපෑම් කරන්න බෑ. ලේකම්ට මෙම ජල සම්පත් මණ්ඩල පනත තුළින් නළ ළිං නවත්වන්න බලතල නෑ, පොලිසියටත් නෑ, සම්පූර්ණ බලතල ජල සම්පත් මණ්ඩලයට තියෙන්නේ. අපිට තියෙන්නේ මෙම ව්‍යාපාර පිළිබඳ ජල සම්පත් මණ්ඩලයට දන්වන්න. අපි අපේ වැඩ කොටස කළා. මේ ප්‍රශ්නෙ නිසා ගැටුම් කීපයක් ද වාර්තා වුණා.

ජල සම්පත් එකෙන් කියනවා ළිඳ පරීක්ෂා කරල ළිං කරගෙන යන්න කියලා, මේ විනාශය සඳහා නිසි නීති මාලාවක් නෑ, අපි ගොඩක් සටන් කළා, බලතල නැතිව මේ ප්‍රශ්නෙට අතගැහුවොත් අඳුරේ අතපත ගෑමක් වගෙයි. අපිට බලතල ලැබුණොත් අපි මේවා නවත්වනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේවා අවලංගු කිරීමට අවසර දෙන ලෙස පනත වෙනස් කරන්න කියලත් ජනතාව ලිඛිතව යෝජනාකරලා තියෙනවා. නමුත් කිසිදු සාධාරණ විසඳුමක් මේ වන තුරුත් ලැබී නෑ”

ජල සම්පත් මණ්ඩල නිළධාරීන් , පොලිස් නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් සහභාගීත්වයෙන් 2017 මැයි 04 වන දින මාකඳුර ප්‍රදේශය අවට භූගත නළ ළිං නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අනවසර ජල පොම්ප කිරීමේ ස්ථාන 08 ක් හඳුනාගන්නා ලදි. මේ පිළිබඳව හඬ නැගූ ජනතා නියෝජිතයින් හට ජලසම්පත් මණ්ඩලයේ හදිසි මෙහෙයුම් ඒකකයේ කළමනාකරු ඩී.ජී.එස් වික්‍රම මහතා ලිඛිතව දැනුම් දී ඇති අතර ජල සම්පත් මණ්ඩලයෙන් මෙම ජල පොම්පකිරීමේ ස්ථාන 08 අනවසර ජල පොම්ප කිරීමේ ස්ථාන කියා නම් කර ඒවා නතර කිරීම සඳහා උපදෙස් දී ඇත. නමුත් එසේ කිසිදු නළ ළිදක් තහනම් වී නැත. ජල සම්පත් මණ්ඩලය නළ ළිං තහනම් කිරීම එදිනට පමණක් කිරීම මගින් ප්‍රශ්නය නොවිසඳෙන බව ජල සම්පත් මණ්ඩලයට මතක්කර දීමට සිදුවී තිබේ. නමුත් එසේ කිසිදු තහනමක් කර නොමැත. ජනතාව නැවත කීපවරක් ජල සම්පත් මණ්ඩලයට උක්ත කරුණ ඉදිරිපත් කළද වසරක් යන තුරුත් කිසිදු සහනයක් නොලැබිණි.

ගොවි සංගමයේ ලේකම් එච්.ජී. ඇන්සන් ධර්මදාස,

“ ගොවිතැන් කරගෙන ජීවත්වන මිනිසුන් මේ පැත්තේ ඉන්නේ. ඉතින් මේ ප්‍රශ්නය නිසා ඒ අයට විශාල ගැටලු ආවා. ළිං හිඳුණා, බොන්න වතුර නෑ. කවදාවත් මේ පැත්තේ ළිං හිඳුණේ නෑ. නමුත් මේ නළළිං ගැහුවට පස්සේ තමයි ළිං හිඳෙන්න පටන්ගත්තේ. මේවා නවත් වන්න අපි ප්‍රාදේශීය ලේකම්ගෙ ඉඳලා කොළඹ ජල සම්පත් එකට යනකම් පැමිණිලි කළා, විසඳුමක් නෑ.

භූගත ජලය පොම්පකරන නිසා වෙල්වල ජල මට්ටම බසිනවා. එය යථා තත්වයට එන්න විශාල වර්ෂාවක් අවශ්‍යයි. එහෙත් මාස කීපයක් වර්ෂාව නැති වුණොත් කුඩා වැව් පවා සිදී යනවා මෙම තත්වය තුළ”

1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පනතේ 12(1) ,16(1), 16(2) වගන්ති යටතේ අංක 2010/23-2017.03.16 ගැසට් නිවේදනයේ සඳහන්ව ඇති ආකාරයට මොනයම් හෝ රාජ්‍ය හෝ පළාත් පාලන ආයතනයක්, රාජ්‍ය නොවන සංවිධානයක් ආයතනයක් හෝ පුද්ගලයෙකු යම් කාර්යයන් හෝ ව්‍යාපෘතීන් සඳහා ස්වාභාවික ජල උල්පතක් හෝ ගැඹුරු හෝ නොගැඹුරු භූගත ජලය භාවිතාකරනු ලබන්නේ නම් ඒ සඳහා ව්‍යාපෘති යෝජනාවක් ජල සම්පත් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. නමුත් මෙම අනවසර ජල පොම්ප 08ම එසේ අවසරය නැතිව ගෙනයන බව ජල සම්පත් මණ්ඩලය පවසයි. ඒෙහත් ෙමෙතක් මොවුන් කිසිවෙකුට එසේ නීතිය ක්‍රියාත්මක වී නැත.

ප්‍රදේශවාසී වසන්ත ප්‍රියලාල්

මහාපරිමාණයෙන් ජලය විකුණනවා, සමහර ළිං වලින් ජලය බවුසර 10 ක්පමණ දිනකට ගන්නවා, මේ නිසා භූගත ජලය හිෙඳනවා. එතකොට අපේ ළිං වලත් වතුර නෑ. 2017 වසරේ වැස්ස අඩුකම නිසා අපි නාන්නෙ නැතිව සති දෙකක් පමණ හිටියා. ගඟට ගිහින් තමයි නෑවේ. ඒත් මේ කට්ටිය මේ වැඩේ දිගටම කරගෙන ගියා.

මේවට උද්ඝෝෂණය කරන්න ගිහින් සමෘද්ධි නිලධාරියෙකුගේ රස්සාවත් නැතිවුණා. අපි මේ පිළිබඳව පෙත්සම් කීපයක් ඉදිරිපත් කළා. නමුත් විසඳුමක් ලැබුණේ නෑ. අපි බලධාරීන්ගෙන් ඉක්මන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා.

අගතියට පත් ජනතාව විශාල ලෙස මෙම ප්‍රශ්නයට හඩක් නැගූවද ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. ඒ ජාවාරම්කරුවන් රකින ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බලපෑම් මතය. එම අමාත්‍යවරයා ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලය ලෙස ඔහුගේ දේශපාලන ප්‍රචාරන කටයුතු සඳහා ජාවාරම්කරුවෝ විශාල දායකත්වයක් දක්වති. මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේ අගෝස්තු මස මාකඳුර, වැටකෙයාව ප්‍රදේශයේ සිදුවූ උද්ඝෝෂණ කීපයකි. නමුත් ගොවි ජනතාවට සහනයක් ලැබුණේ නැත. බුලත් ගොවිතැන නිසියාකාරව කරගැනීමට නොහැකිව කෝපයට පත් සමෘද්ධි නිලධාරියෙකු ජාවාරම් කරන ස්ථානයට ගොස් සිදුවූ බහින්බස් වීමක් නිසා ජවාරම්කරුවන්ගේ බලපුළුවන්කාරකමින් ඔහුගේ රැකියාවද අහිමිකර වීය. ජනතාවට කිසිදු සාධාරණයක් නොලැබුණු නිසා ප්‍රදේශයේ පුද්ගලයන් 850 කගේ නම් ඇතුළත් කරමින් පෙත්සමක්ද, තවත් එවැනි පෙත්සම් කීපයක් අත්සන් කර ප්‍රදේශයේ අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට, අනුර ප්‍රියදර්ශන යාපා මහතාට, ජලසම්පත් මණ්ඩලයට, ප්‍රාදේශීය ලේකම්වරයාට, කුරුණෑගල දිස්ත්‍රික් ජලසම්පත් මණ්ඩලයට යැවූවද කිසිදු පියවරක් ගෙන නැත. දිස්ත්‍රික් ජලසම්පත් මණ්ඩලයෙන් මේ සඳහා ලිඛිත පිළිතුරක් නොලැබීම පිටුපස ගම්‍යමාන වනුයේ එම ආයතනය දේශපාලනීකරණය වීමය. ප්‍රාදේශීය ලේකම්වරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීමෙන් මෙම ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වී ඇත. කළ යුත්තේ තරාතිරම නොබලා මෙම ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි.

මාතෘකා