නොහිතූ ගැටලුවක්, නොහිතනා තත්ත්වයක්

 ඡායාරූපය:

නොහිතූ ගැටලුවක්, නොහිතනා තත්ත්වයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ළඟදි අපූරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ තමයි විකෘති මුදල් නෝට්ටු බැංකුවලට එකතු කර ගැනීම. ඒ වැඩපිළිවෙල මාර්තු 31වනදායින් අවසන් වෙලා තියෙනවා. මෙය ඉතාමත් වැදගත් කාර්යයක් විදිහට දකින්න පුලුවන්. මොකද විකෘති මුදල් නෝට්ටු සමාජය තුළ සංසරණය මහජනයාටම අවාසී. සමහරක් වෙලඳුන්, බස්කොන්දොස්තරවරුන් විකෘති මුදල් නෝට්ටු බාර ගන්නේවත් නෑ. සමහර මිනිසුන් කරන්නේ තමන් ළඟ තියන විකුර්ති මුදල් නෝට්ටු කූඨ උපක්‍රමයකින් හරි තමන්ගෙන් ඈත් කරන්න. වෙනත් කෙනෙකුගේ අත පත් කිරීමට. එහෙම බැලුවහම නම් මේ වැඩේ කාලෝචිතයි.

නමුත් මෙතන පොඩි ගැටලුවක් තියනවා. අපි ඒ ගැන තමයි අද අවධානය යොමු කරන්නේ.. මොකද මේ ගැටලුව ගොඩක් අයට නොහිතූ තත්ත්වයක්. ඒ ගැටලුවට මුහුණ දෙන පිරිස තමයි දන්නේ ඒ ගැටලුවේ ප්‍රමාණය.

දෘශ්‍යාබාධිත පුද්ගලයන් පෙර කියූ වැඩපිළිවෙලේදී දැඩි අසිරුතාවයකට පත් වෙනවා. මුදල් නෝට්ටුවේ යමක් ලියා ඇති නම් ඔව්න්ට එය දැනගැනීමට ක්‍රමයක් නෑ. ඉරුණු හෝ, ඉරුණු පසු අලවන ලද මුදල් නෝට්ටුවක් නම් ස්පර්ශයෙන් ඔවුනට හඳුනා ගැනීමට පුලුවන්. නමුත් යමක් ලියා විකෘති කළ මුදල් හදුනා ගැනීමේ අපහසුතාවක් පවතිනවා. ඒ වගේම එය ඔවුන්ට දැඩි අවාසිසහගත ද වෙනවා.

උදාහරණයක් විදිහට, 10රු හෝ 20රු, වැනි මුදල් නෝට්ටුවක් ඒ ආකාරයට ලැබුණහොත් එය කුඩා අගයක් යැයි සිතා නොසලකා හැරිය හැකි. නමුත් එය දිගින් දිගට වේ නම්? ඒ වගේම දෙදහස, පන්දහස වැනි විශාල අගයක් මෙසේ විකෘති කළ මුදල් නෝට්ටුවක් ලැබී එය බැංකුවෙන් හෝ හුවමාරු කර ගැනීමට නො හැකි වීම තුළ දෘශ්‍යාබාධිත පුද්ගලයන් දැඩි අසීරුතාවයකට පත්වෙනවා. ඉන් අසාධාරණයක් ද සිදු වෙනවා. ඒ වගේම නොකළ වරදකට වැරදිකරුවකුවීමට සිදුවුවහොත් එය ඛේදනීය තත්ත්වයක්.

විවිධ ස්වයං රැකියාවල නිරත වී සිටින දෘශ්‍යාබාධිත පුද්ගලයන් කියන කතාවක් නම්, අනාබාධිත, එහෙමත් නැතිනම් හොඳින් දෑස් පෙනෙන පුද්ගලයන් ගනුදෙනුවලදී පෙර කී ආකාරයේ විකෘති මුදල් නෝට්ටු ඔවුනට නිතරම ලබා දෙන බව. මඳක් සිතා බලන්න. ඒ ක්‍රියාව මොන තරම් නියාලු ක්‍රියාවක්ද කියා.ඒ වගේම හොර මුදල් නෝට්ටු දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ලබා දුන් අවස්ථා ගැනත් අපිට අසන්නට ලැබුණා. ඔබ සිතන්න, ඔබේ දෑස් බැඳ හෝ එසේත් නැති නම් ඔබත් දෘශ්‍යාබාධිත වූ දිනෙක කවුරුන් හෝ ඔබට එවන් වංචාවක් කරන විට මොන වගේ හැඟීමක් ඇති වේද? ඒ නිසා කොයිතරම් කරදර හිරිහැරවලට බඳුන් වේද? එවන් පුද්ගලයන්ට උදව්වක්, උපකාරයක් කරනවා හැර ඔවුන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් මුළා කිරීම, රැවටීම නින්දිත ක්‍රියාවක්. එවන් ක්‍රියා කිරීම ගැන ලැජ්ජා විය යුතුයි නොවේද?

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට මේ ආකාරයට හෝ වෙනත් ආකාරයට විකෘති මුදල් නෝට්ටුවක් ලැබුණු විට ගත හැකි යම් කිසි ක්‍රියාමාර්ගයක් සැකසීම ඉතා වැදගත් ය. නිශ්චිත කාලයට පසුවද දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට විවිධ ආකාරයට විකෘති වූ මුදල් නෝට්ටු ලැබිය හැකි.

ඒ වගේම තමයි, නව මුදල් නෝට්ටුවලට පෙර වූ මුදල් නෝට්ටු එකිනෙකට ප්‍රමාණය වෙනස්. දහයේ සිට දෙදහස දක්වා වූ මුදල් නෝට්ටු එකිනෙකට ප්‍රමාණයෙන් විශාලවෙනවා. ඒ නිසා දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට මුදල් නෝට්ටු හදුනා ගැනීම ඉතාම පහසුයි. නමුත් නව මුදල් නෝට්ටු සෑම එකක්ම පාහේ එක සමාන ප්‍රමාණ වෙනවා. දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට හදුනාගැනීම සඳහා මුදල් නෝට්ටුවල පසෙකින් ඇති සංකේත ක්‍රමය එතරම් සාර්ථක නැත. ඒවා ස්පර්ශයට හසුවීම දුර්වලය. ඒ වගේම කාලයත් සමග එම සංකේත මැකී යාහැකි. ඉතින් එය සාර්ථක නැති බවයි දෘශ්‍යාබාධිත පුද්ගලයන් කියා සිටින්නේ.

විශෙෂ ව‍ශයෙන් ශ්‍රී ලංකාව තුළ දෘශ්‍යාබාධිත ඇතුලු සියලු ආබාධ සහිතවූවන්ට මූල්ලමය අංශයෙන් බලපාන ගැටලු රැසක් තිබේ. ප්‍රධාන වශයෙන්ම ආබාධ සහිත බව මුල් කර ගෙන මුදල් භාවිතයේදී විවිධ ගැටලු රැසකට සියලු ආබාධ සහිතවූවන් මුහුණපානබව නිරන්තරයෙන් ඔවුන් කියාසිටින තත්ත්වයකි.මුදල් භාවිතය මූලික මිනිස් අයිතියකි. නමුත් ඒ අයිතිය ඒ ලෙස ඔවුනට බුක්තිවිඳීමට ලැබේද?

ඒ වගේම මුදල් නව තාක්ෂණය අනුව හදුනාගැනීමේදී විවිධ මෘදුකාංග පවතී. මෘදුකාංගයක් නිර්මාණය කළ යුත්තේ අවශ්‍යතා තක්සේරුවක් ලබාගෙන ය. නමුත් විවිධ හේතූන් මත මුදල් හදුනාගැනීමේ මෘදුකාංග විවිධ පුද්ගලයන් විසින් නිර්මාණය කළත් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතාව පැහැදිලි කර ගැනීම එහිදී ප්‍රමානවත් නැත. දැනට පවතින මෘදුකාංග හෝ නව මෘදුකාංගයක් නිර්මාණය කිරීමේදී දෘශ්‍යාබාධිත පුද්ගලයන් සමග සම්බන්ධ වී එම මෘදුකාංග නිර්මාණය කිරිම හෝ දැනට පවතින මෘදුකාංග සංවර්ධනය කිරීම කෙනෙකුට කළ හැකි නම් එය ලොකු ජයග්‍රහනයකි. ඒ වගේම සංඥා බාෂාව භාවිත කරන පුද්ගලයන් පිළිබඳවද අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙලක් සැකසීම ඉතාමත් කාලෝචිත වේ. අද බොහෝ දෙනා නව මෘදුකාංග නිර්මාණය කරති. දැනට පවතින මෘදුකාංග වැඩිදියුණු කරති. එවන් අයෙකුට මෙය හොඳ අවස්ථාවකි.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා