රජරට ගම්මාන 127ක් සුරක්ෂිතයි

 ඡායාරූපය:

රජරට ගම්මාන 127ක් සුරක්ෂිතයි

වකුගඩු මාරයාට වැට බඳින රජරට මෙහෙයුම

ජලය යනු ඔක්සිජන් හැරුණු විට ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයයි. එහෙත් නිකම්ම ජලය තිබීම ප්‍රමාණවත් නොවේ. ජන සමාජයක් සෞඛ්‍ය සම්පන්නව පැවැතීමට නම්, ‘පිරිසිදු පානීය ජලය’ අවශ්‍ය වේ. රජරට කලාපයට අයත් බොහෝ පෙදෙස්වල ජීවත් වන ජනතාව කලක පටන් සිය ජීවිතවලින් වන්දි ගෙවමින් සිටින්නේ ඒ අවශ්‍යතාව හරිහැටි ඉටු නොවීමේ හේතුවෙනි.

රජරට කලාපයේ විශාල පිරිසකගේ ජීවිත බිලිගෙන, තවත් විශාල පිරිසක් අනාගත ගොදුරු බවට පත් කළ ‘හඳුනා නොගත් වකුගඩු රෝගය’ පිරිසිදු පානීය ජලය අහිමි වීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක් බව මේ වන විට රහසක් නොවේ.

කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන කතාබහ රෝපණය වන්නේ 1990 වකවානුවේදීය.රජරට මුල්කොටගෙන රට පුරා ව්‍යාප්තවූ මේ ව්‍යසනයට හේතු කවරේදැයි කියා වසර ගණනාවක් තිස්සේ විවිධාකාර තර්ක ඉදිරිපත් වූ අතර මූලිකම හේතුව 'පලිබෝධනාශක'බව සොයාගත්තේ මෑතකදීය.ඒ වනවිටත් අශ්වයා සෑහෙන දුරකට පලා ගොස්ය.

රජරට වකුගඩු රෝගයට ඇත්තේ පෞරාණික ඉතිහාසයක්‌ නො වේ. එහෙයින් එයට හේතුව විභූතිමත් පෙර රජ දවස සිට ම පැවත එන කරුණක්‌ ය යන්න ෙබාරුවක්. අනූව දශකයේ මැද භාගයේ සිට ම රජරට වකුගඩු රෝගියා විශ්වාස කළේ ද තමන් ගේ රෝගයට හේතුව, තමන් පානය කරන ජලය ම බව ය.

මෙම කලාපයේ මතු පරම්පරාව එම අවාසනාවන්ත ඉරණමෙන් මුදවා ගැනීමට නිහඩ සේවාවක් කළ කණ්ඩායමක් අපට මැදවච්චිය දුටුවැව ගම්මානයේදී හමු විය. ඒ උතුරුමැද පළාතේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන වැඩසටහනේ ක්‍රියාකාරිකයන්ය.

ජනපති මැදිහත්වීම

මෙම වැඩසටහන, රජරට පෙළන වකුගඩු රෝගයේ බිහිසුණුකම හොඳින්ම දන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව, එතුමාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වන්නකි. වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ තිස්ස කරල්ලියද්ද මහතාගේ මෙහෙය වීමෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුවිශාල වූ ශ්‍රම දායකත්වයෙන් මේ දිනවල උතුරු මැද පළාතේ පිරිපහදු ජල යන්ත්‍ර ග්‍රාමීය මට්ටමින් ස්ථාපිත කිරීම ක්‍රියාත්මක වෙමින් පවති.

ඒ අනුව උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රිකයේ පිරිපහදු ජල පෙරණ ඒකක 127ක් මේ වන විට ජනතා අයිතියට පත් කර ඇත. මැදවච්චිය දුටුවැව ගම්මානයේ විවෘත වූයේද එම 127න් එක් ජල පෙරණ ඒකකයකි. මේ වන විට උතුරුමැද පළතේ අනුරාධපුර දිස්ත්‍රිකයේ ජනතාව වෙනුවෙන් ජල පෙරණ ඒකක සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන යටතේ මහ භාණ්ඩාගාරයෙන් වෙන් කළ මුදලින් රුපියල් කෝට් 19 ආසන්න මුදලක් වැය කර ඇත.

දුටුවැව ගම්මානය

දුටුවැව ගම්මානය මැදවච්චිය නගරයේ සිට කිලෝමීටර 15ක් පමණ දුරකින් පිහිටා ඇත. පැයකට වරක් නගරයට යන බස් රථයක් ගම්මානය හරහා ගමන් ගනී. වැව, වෙල, පන්සල ප්‍රමුඛ වූ මෙම ගම්මානයේ ජීවත් වන මිනිස්සු රටේ සංවර්ධනයට සෘජුවම දායක වන්නෝය. මෙම ගම්වැසියන්ගේ මූලික රැකියාව ගොවිතැනයි. විටක වන අලි උවදුරින්ද, තවත් විටක නියගයෙන්ද බැට කන මෙම ජනයා අද වන විට කිසිත් කර කියා ගැනීමට නොහැකිව අසරණ වී සිටි. ඒ වකුගඩු මාරයා දිනෙන් දින ඔවුන්ගේ ජීවිත බිලි ගැනීමට සැරසී සිටින නිසාවෙනි. මෙම ගමේ පවුල් 262කි. මේ පවුල්වල ජනතාවට පානීය ජල ගැටලුවද උග්‍රව පවති. කිලෝමීටර 05ක පමණ දුරක් ගෙවා ගොස් පිරිපහදු කළ ජලය මේ ජනතාව මුදලට රැගෙන එන්නේ තම දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරලීමේ පරමාර්ථයෙනි. අද වන විට මෙම ගම්මානයේ හඳුනාගත් වකුගඩු රෝගීන් 100ට වැඩි පිරිසක් සිටිති.

ජල පෙරණ යන්ත්‍ර

වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා පරේෂණ හා සංවර්ධන අංශය විසින් මෙම ජල පෙරණ යන්ත්‍රය නිෂ්පාදනය කරනු ලැබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 15ක් එක් ජල පෙරණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ලබා දෙයි. මෙහි ජලය ලබා දීමේදී කිසිදු මුදලක් අය නොකරනු ලැබේ. දිනකට එක් පාරිබෝගිකයෙකුට පිරිපහදු ජල ලීටර 20ක් ලබා ගැනීමේ හැකියාව ඇත.

මැදවච්චිය, දුටුවැව ජනතාවට ලැබුණු මෙම ජල පිරිපහදු කිරීමේ ඒකකය ජනතා අයිතියට පත් කිරීම, දුටුවැව ඇටවීරගොල්ලෑව, ශ්‍රී ජනනන්දනාරාම විහාරයේදී උතුරුමැද පළාතේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ මැදවච්චිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් දිනූෂ ප්‍රභාත් ගමගේ මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

එම මහගු ජනතා මෙහෙවර පිළිබඳව ශ්‍රී ජනනන්දනාරාම විහාරයේ මැදවච්චිය ධම්මානන්ද ස්වාමීන් වහන්සේ මෙසේ මෙසේ පැවසූහ.

‘‘අපේ ගම්මානයේ පවුල් 262 ක් ඉන්නවා. මේ සියලුම දෙනාට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි මේ පානීය පිරිපහදු ජල ගැටලුව. අද අපිට ඒ ගැටලුව විසදලා දීමට මේ කණ්ඩායම කටයුතු කර තිබෙනවා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. මීට පෙර මේ ජනතාව කිලෝමීටර 05 ක් පමණ දුරක් ගිහින් තමයි පානීය ජලය මුදලට ගේන්නෙ. අද අපේ පන්සල් භූමියෙ තියෙන පිරිපහදු ජල ඒකකය පිංතාලියක් කිව්වොත් නිවැරදියි. ජනතාව හුඟක් අද සතුටු වෙනවා. දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කර දීම වෙනුවෙන්.”

දුටුවැව පදිංචි එම්. එම් කරුණාතිලක මහතා, පානීය ජල ගැටලුවෙන් ප්‍රදේශවාසීන් විඳි පීඩාව සිහි කළේය.

අපේ ගමේ ළිංවල වතුර තිබුණට ඒවා පාවිච්චි කරන්න නුසුදුසුයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපව දැනුවත් කළා. කලින් අපි පාවිච්චි කළේ ඒවා. අපේ ගමේ වකුගඩු රෝගීන් 100ට වැඩි පිරිසක් මේ වන විට ඉන්නවා. ඉතින් මේ ජලය තමයි ඒකට ප්‍රධාන වුණේ. අපි දුර ගිහින් තමයි ගෙවල්වලට වතුර ගෙනාවේ. මේ ගමේ වකුගඩු අමාරුව වැලඳී සිටි පුද්ගලයින්ගෙන් 10ක් 15ක් පමණ මේ වන විට මිය ගිහින් තියෙනවා.මේ වගේ වැඩ සටහන් නිසා අපේ මතු පරම් පරාව මෙවැනි රෝග වැලදීමෙන් වැළකේවි කියා අපි විස්වාස කරනවා. ඒක අපිට ලොකු ශක්තියක්. අපි ස්තුතිවන්ත වෙනවා, මේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන වැඩසටහ ක්‍රියාත්මක කරන කණ්ඩායමට, අපේ දුකට පිහිට වුණාට.

උතුරුමැද පළාතේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ මැදවච්චිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද මහතා මෙසේ පැවසුවේය.

‘‘මම 1999 සිට මේ පිළිබද අවධානය යොමු කළා. පාර්ලිමේන්තුවේදී හඩ නැගුවා, පරීක්ෂණ කළා. ඒ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රමිතියෙන් තොර ඇලුමීනියම් භාණ්ඩ භාවිතයෙන් ඉවත් කරලා මැටි භාණ්ඩවලට ජනතාව හුරු කරන්න 1999දි මම උත්සහ කළා. මම නොමිලයේ මැටි වළං බෙදා දුන්නා. අපි ඒ කාලේ හිටපු ප්‍රධානීන් සමඟ මේ පිළිබද කතා කළා. එදා මම කිව්ව දේ අද හරියටම වෙලා තියෙනවා.

අද වන විට උල්පත් හිඳීගෙන යනවා. ඒ සිදුවෙමින් පවතින පරිසර හානි නිසා. අද ළිඳක වතුර බොන්න විදිහක් නැහැ. බිව්වොත් මැරෙන්න වෙනවා නිසැකින්ම. අද වකුගඩු රෝගය වසන්ගතයක් වෙලා.

ජනාධිපතිතුමන් මට ව්‍යාපෘති 05ක් ලබා දීලා තියෙනවා. ඒකේ ප්‍රථම ස්ථානය ලබා දී තිබෙන්නේ තියෙන්නේ මේ වකුගඩු මාරයාගෙන් ජනතාව බේරගැනීමේ යුද්ධය අවසන් කිරීමටයි. අද වන විට අනුරාධපුර දිස්ත්‍රිකයේ මෙම ජල පිරිපහදු ඒකක 127ක් ජනතා අයිතියට පවරලා තියෙනවා. අපි විහාර තමයි මේවට තෝරගත්තේ. ගමේ පන්සලට හැමෝටම යන්න එන්න පුළුවන්. අන්න ඒ නිසයි. අපි ඉදිරියටත් මේ වැඩසටහන් කරනවා. නාවික හමුදුවේ සහයෝගය ඇතිව ගම් දනව් සිසාරා අපි මේක ව්‍යාප්ත කරනවා.

මේ ජල පෙරණයෙන් දිනකට ජල ලීටර 1000ක් පිරිපහදු කරන්න පුළුවන්. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ජලය බිදුවක්වත් අපතේ හරින්න එපා කියලා. දිනකට පවුලකට ජලය ලීටර් 20ක් බෙදා හැරීමට අපි කටයුතු කරනවා. මේක නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණයෙන් තමයි සිදුවන්නේ. මෙ ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන ජනතාවට ගොඩාක් සමීප වැඩ සටහනක්. ජනාධිපතිතුමන්, නාවික හමුදා ප්‍රධානීනුත් නිරන්තරයෙන්ම ජනතාවගේ මේ ගැටලුව වෙනුවෙන් කැපවෙලා කටයුතු කරනවා.”

[එස්.ජී. උබේපාල] කැබිතිගොල්ලෑව සමූහ

මාතෘකා