ඔබේ රථවාහන ගැටලුවලට අපෙන් විසඳුම්

 ඡායාරූපය:

ඔබේ රථවාහන ගැටලුවලට අපෙන් විසඳුම්

මගේ මෝටර් රථය මොන්ටෙරා V6 රථයක්. මගේ ජීප් රියේ විටින් විට චෙක් එන්ජින් බල්බ් එක පත්තුවෙනවා. මේ දෝෂය මගහරවාගන්න මොකක්ද කළ යුත්තේ?

චාමර දයාවංශ - කුරුණෑගල

පළමුව කළ යුත්තේ දක්ෂ කාර්මිකයෙකු ලවා ස්කෑන් ටෙස්ට් (Scan Test) එකක් කිරීමයි. පරීක්ෂාවේදී එම පද්ධතියට අදාළව එන්ජින් කන්ට්‍රෝල් සිස්ටම් (Engine Control System), හිස්ට්‍රි ෆෝල්ට් කෝඩ්ස් (History Fault cords) හා ෆ්රීස්ඩ් ෆ්රේම් ඩේටා (Freezed frame Data) පිළිබඳවද අවධානය යොමු කිරීමෙන් ඔබගේ ගැටලුවට විසඳුම ලබාගත හැක.

 

මගේ මෝටර් රථය, Volkswagen වර්ගයේ කාරයක්. වහින වෙලාවක වයිපර් (Viper) ක්‍රියාත්මක කරලා තියෙද්දි ඒ. සී (A/C) දාලා යද්දි බැට්රිය ඉක්මනට බහිනවා. මෙහෙම වෙන්නේ ඇයි?

වරුණ දිසානායක - නෝනාගම

පළමුව රථයේ 12x Battery යේ තත්ත්ව පරීක්ෂාවක් සිදුකරන්න. රථයේ ආරෝපණ පරිපථයේ තත්ත්ව පරික්ෂාවක් සිදුකරන්න. වයිපර් මෝටර් (Viper Motor) එකේ හා එම පරිපථයේ සියලුම කොටස් ගුණාත්මක තත්ත්වයේ පවතීද යන්නත් එම පරිපථය හරහා අනවශ්‍ය විදුලි ධාරාවක් ගලා යයිද යන්නත් (Short Circuit) හොඳින් පරීක්ෂා කරන්න.

 

මට තියෙන්නේ මයික්‍රො පැන්ඩා වර්ගයේ මෝටර් රථයක්. ඒ. සී (A/C) ෆෑන් බෙල්ට් එක ගෙවුණම වාහනයේ ඒ.සී අඩුවෙනවද?

කරුණාතිලක ප්‍රේමරත්න - කරුවලගස්වැව

ෆෑන් බෙල්ට් (Fan Belt) එක ගෙවී ඇති බැවින් එය ඔටෝ ඇජස්ට් (Auto Adjust) නොවන නිසා AC අඩුවිය හැකිය.

 

සුසුකි මරුටි 800 රථයක අයිඩ්ල් අප් (Idle-up) සෙන්සර් එක ගිය විට වාහනය අනවශ්‍ය පරිදි රේස්වෙන එක එන්ජිමට හොඳ නැද්ද? ඒ නිසා තෙල් පිච්චෙනවා වැඩිද?

දමිත් දිසානායක - උතුරු කළුතර

අයිඩ්ල් අප් ඇක්චුවේටර් (Idle Up Actuator) මඟින් Idle අවස්ථාවේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වාතය ලබාදීම සිදුකරනු ලැබේ. එය ක්‍රියාත්මක වන්නේ පරිගනක පාලන පද්ධතියක් මඟින් බැවින් එම අගය ක්‍රියා විරහිත වී ඇති නිසා අයිඩ්ල් අවස්ථාවේ වාතය ගමන් කිරීම දුර්වල වීමට හෝ ප්‍රමාණයට වඩා වැඩිවීමට හේතු වේ. මේ නිසා එන්ජිම ගොලු වීමට හෝ එන්ජිම තෙරපීමට හේතු වේ. මෙය අනිවාර්යයෙන්ම ඉන්ධන දහනය වැඩි කිරීමට හේතු වේ.

 

වාහනය ධාවනය නොකරන වෙලාවෙදි ඒ. සී (A/C) දාලා තියෙද්දි බැට්රිය ඉක්මනට බහිනවා. මේ තත්ත්වය ට කළ යුත්තේ කුමක්ද?

නදී කුමාරි - තංගල්ල

රථයේ අයිඩ්ල් අප් (Idle Up) පරිපථය නිවැරදිව ක්‍රියාකාරී වේදැයි පරික්ෂා කරන්න. එසේ වේ නම් ආරෝපණ පරිපථයත් ඕල්ටනේටර් (Alternator) හා බැට්රියේ (Battery) ගුණාත්මකභාවයත් පරීක්ෂා කරන්න. නිවැරදි පරික්ෂාවකින් විසඳුම් ලැබේ.

 

මගේ වාහනය වොක්ස් වැගන් වර්ගයේ මෝටර් රථයක්. එහි ඉදිරිපස රෝද දෙක පැත්තට ගෙවෙනවා. ඒකට හේතුව කුමක්ද?

නුවන් පෙරේරා - කඩවත

වාහනයේ අලයින්මන්ට් (Alignment) කෙසේදැයි පළමුව පරික්ෂා කරන්න. එහිදී ස්ටියරින් රැක් බෝල්ට් (Steering Rack Bolt), ජොයින්ට්(Joint), හබ් රේසර් (Hub Racer), ටයි රොඩ්ස් රැක් එන්ඩ්ස් Tie Rods Rack Ends යන කොටස් පිළිබඳව නිවැරදි පරික්ෂාවකින් පසු දෝෂ සඳහා විසඳුම් ලැබේ.

 

මගේ මරුටි 800 කාර් එකේ එන්ජින් ඔයිල් මාරු කළාට පස්සෙ, ඔයිල් ටික ටික අඩුවෙනවා. රේස් කරද්දි සහ පළමු දෙවන ගියර්වල කලු දුම් එනවා. නමුත් දුම් පරීක්ෂාවෙන් සමත්වුණා. ඉන්ධන කාර්යක්ෂමතාව කිලෝමීටර්. 72,000ක්. ඔයිල් අඩුවීමට සහ දුමට හේතුව මොකක්ද? කිලෝමීටර් ගණන අනුව යෙදිය යුතු හොඳම ඔයිල් එක මොකක්ද?

සඳමාලි ද සිල්වා - දෙනියාය

එන්ජිමේ ඔයිල් දහනය වන තත්ත්වයක් නිසා මෙසේ සිදුවිය හැකිය. වැලියු ඔයිල් සීල් (Valve Oil Seal), පිස්ටන් රින්ග්ස් (Piston Rings) යන කොටස් ගෙවීයෑම හේතුවෙන් මෙය සිදුවිය හැකි අතර PCV Valve ක්‍රියාකාරීත්වය පිළිබඳවද අවධානය යොමු කරන්න. 15W 40 Oil Treatment එකක් යෙදීමත් මඟින් සහනයක් ලබාගත හැකි වේ යැයි සිතමි.

 

Mitsubishi 4DR5 jeep එක ඒ.සී (A/C) කරනවනම් ඒකට ඕල්ටනේටර් (Alternator) එක ඇම්පියර් කීයක එකක් දාන්න ඕනෙද?

30A වලට උඩ ගැලපෙන ඕල්ටනේටර් (Alternator) මොනවද තියෙන්නෙ?Isuzu 4hf1 80A තියෙන ඕල්ටනේටරය මේකට හරියනවද? 4hf1 එන්ජිමේ සහ 4dr5 එන්ජිමේ අයිඩ්ල් rpm වෙනස්ද?

 

වෙනස් නම් අයිඩ්ල් තියෙද්දි බැටරිය චාර්ජ් වෙන එකක් නැද්ද?

තනි කට්ට බෙල්ට් එකක් දැම්මොත් මේක ස්ලිප් කරයිද?

ජයසිරි වීරරත්න - පූජාපිටිය

අදාළ කොටස් පරික්ෂාවකින් තොරව විසඳුම් ලබාදීමට නොහැක. 30Amp වැඩි ඕල්ටනේටර් (Alternator) එකක් භාවිතය වඩාත් සුදුසු වන අතර අයිඩ්ල් අවස්ථාවේ එන්ජිමකට යෙදෙන භාරයට අයිඩ්ල් ස්පීඩ් එක පෙන්විය හැක.

 

මගේ Toyota shell වැන් එකේ ඩෑෂ් බෝඩ් (Dash Board) එකේ ටී බෙල්ට් ලයිට් (T-belt Light) , ෆිල්ටර් ලයිට් (Filter Light) , චාර්ජ් ලයිට් (Charger Light) තුනම එක වර පත්තු වෙලා තියනවා. ඕල්ටනේටර් (Alternator) එක චෙක් කළාම එක බැටරියක් චාර්ජ් වෙනවා. රෙස් කරනකොට හොදට ඇම්පියර් ගාන වැඩිවෙනවා. ගරාජ් එකට ගියාමත් කිසිම ලෙඩක් නෑ කියනවා. ඇයි මෙහෙම වෙන්නේ?

දිනේෂ් නලින්ද සිල්වා - බෙලිඅත්ත

ඕල්ටනේටර් (Alternator) එකේ සිට මීටර් බෝඩ් එකට පැමිණෙන චාර්ජින් ලෑම්ප් වයර් (Charging Lamp Wire) සම්බන්ධතාවය හා රථයෙහි ඇතුළත ෆියුස් (Fuse) හා රිලේ බොක්ස් (Relay Box) එකේ වයර් (Wire) සම්බන්ධතාවයන් හා මීටර් එකේ Wire සම්බන්ධතාවය හා Meeter Board එකේ ඇති Rectifier යන ආදී කොටස් පරීක්ෂා කර බලන්න.

 

NISSAN X-TRAIL 2003 ජීප් එකක් දවල්ට වාහනය හීට් (heat) වෙනවා , හීට් මීටර් (heat meter) එකේ උඩටම මීටර් එකේ කටුව යනවා (ඒ/සී සමග). හැබැයි රෑට වාහනය ගෙනයාමේදී කිසිම ප්‍රශ්නයක් නැහැ.( ඒ/සී සමග) දවල්ට වාහනය හීට් මීටර් එක උඩටම ගියත් වැඩි වේගයකින් යනකොට සාමාන්‍ය වෙනවා සහ වතුර මට්ටම අඩු වෙන්නෙත් නැහැ දැනට රේඩියේටර් ෆෑනි මාරු කරලා තියෙනවා. රේඩියේටර් එක ක්ලීන් කරලා තියෙනවා. Thermostat valve එක ගලවල තියෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

ෂබිෂාන්ත් සෙල්වරාජ් - නුවරඑලිය

පළමුව එන්ජිම හා රේඩියේටර් කියන කූලින් සිස්ටම්(Cooling System) එකේ ප්‍රෙෂර් ටෙස්ට් (Pressuree Test) එකක් කරන්න. රේඩියේටර් ෆෑන් (Radiator Fan) එක නියමිත වේග පරාසයන්වල (High Speed/ Low Speed) ක්‍රියාකාරී වේ දැයි පරීක්ෂා කරන්න. නියමිත උෂ්ණත්වයේදී Radiator Fan එක ක්‍රියාකාරී වේදැයි පරික්ෂා කරන්න. එම මාදිලියට අදාළ Thermostat Valve එක අලුතින් යොදන්න.

රථවාහන ගැටලු සඳහා අපෙන් පිළිතුරු

(බදාදා දිනවල පමණයි.)

ආචාර්ය නුවන් මදනායක

 

ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු/ තාක්ෂණ උපදේශක

(හයිබ්‍රිඩ් මෝටර් රථ පිළිබඳ විශේෂඥ)

යොමුව | නදී මාණික්කගේ

35. ඩී. ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ.

දුරකතනය - 2429429 ෆැක්ස් - 2429290

ඊ මේල් - [email protected]

සටහන [නදී මාණික්කගේ]

මාතෘකා