සැඟවුණු රහස් දහසක් ඇති ‘අංගම්පොර

 ඡායාරූපය:

සැඟවුණු රහස් දහසක් ඇති ‘අංගම්පොර

මනුෂ්‍ය වර්ගයාගේ බිහිවීම පටන්ගෙන දැන් අවුරුදු මිලියන දෙකහමාරකටත් වැඩියි. එදා මෙදාතුර කාලය ඇතුළත නොනැසී පවතින්න ඕනේ නිසාම, අභියෝග ගණනකට මුහුණදෙන්න ඔවුන්ට සිද්ධ වුණා. එක එක මිනිස්සු අතරේ තියෙන විවිධ අසමානතා නිසා ඇතිවුණු ගැටලු, ඒ අතරින් එක අභියෝගයක්. සමාජයීය, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික කාරණා මේ වගේ ගැටලුවලට බලපෑවා. මේවා සමහරක් විසඳගන්න වුණේ දෙපැත්ත බෙදිලා කරපු සටන්වලින්. ඔය නා නා ප්‍රකාර නම්වලින් ආව සටන් ක්‍රම බිහිවෙන්නේ මේ වගේ සටන් ජයගන්න පාවිච්චි කරපු උප්පරවැට්ටිවල ප්‍රතිඵල විදියටයි. ලංකාවේ අංගම්පොර කියන්නෙත් අන්න ඒ වගේ සටන් ක්‍රමයක්.

අංගම් පොර හැදුණු හැටි

ලංකාවේ අංගම්පොර කලාව අවුරුදු 4000ක් විතර පරණයි. මේ ඉතිහාසේ ගැන කතා කරද්දී මුලින් ම මතක් වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලේ ගෝඨයිම්බර, රිටිගල ජයසේන දෙන්න අතරේ ඇතිවෙච්ච සටනයි. ඉතිහාසයේ සඳහන් වෙන විදියට ගෝඨයිම්බර එල්ල කරපු දරුණු පා පහරක් නිසා, රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන් වෙලා විසිවෙලා තියෙනවා. ඒ වගේ ම, කොනප්පු බණ්ඩාර ඉඳපු කාලේ පැවැත්වුණු අංගම්පොර උළෙලකදී ඉන්දියාවේ ගෝවේ නුවරින් ආව සටන්කරුවෙක් පරද්දන්න ඔහු සමත් වුණාය කියලත් කතාවක් තියෙනවා. මීට අමතරව අපේ ඔය පරණ සිද්ධස්ථාන, කැටයම්, මූර්තිවලින් දැක්වෙන දේවල්වලිනුත් ලංකාවේ අංගම්පොර කලාවේ ඉතිහාසය දැකගන්න පුළුවන්.

අංගම්පොර පුහුණු කරපු ගුරුකුල

අංගම්පොර පුරුදු කරන ගුරුකුල බිහිවෙන එක පටන්ගත්තේ මහනුවර යුගයේදී. “සුදලිය” සහ “මරුවල්ලිය” විදියට ප්‍රධාන ගුරුකුල දෙකක් යටතේ මිනිස්සු අංගම් සටන් කලාව හැදෑරුවා.

ලංකාව විදේශ ආක්‍රමණවලට ලක්වෙද්දී අංගම් පොරවලට තිබුණු අවධානය වැඩිවුණු බවක් පේන්න තියෙනවා. ඒ බව හොඳින් ම පිළිබිඹු වෙන්නේ ඒ කාලේ බිහිවුණු සුදලිය මුහන්දිරම්, මරුවල්ලිය මුහන්දිරම්, මොහොට්‌ටාල වගේ තනතුරු නිසා. මේ තනතුරු සේරම අංගම්පොර කලාවට සම්බන්ධ ඒවායි. රාජ්‍ය අනුග්‍රහය පවා අංගම්පොර කලාවට ලැබුණු බව මේකෙන් පැහැදිලි වෙනවා. අංගම් හරඹ පුරුදු කරන්න වගේ ම නඩත්තුවට රජතුමා විසින් ප්‍රදානය කරපු නින්දගම් කීපයක් එහෙමත් තියෙනවා. මාතලේ, හාරිස්පත්තුව, සිදුරුවාන, උඩුනුවර, යටිනුවර වගේ පැතිවල සුදලිය ගුරුකුලයේ නින්දගමුත්, හේවාහැට, උඩපළාත, දෙල්තොට හා රත්මලේ වගේ ගම්දනව්වල මරුවල්ලිය ගුරුකුලයේ නින්දගමුත් පැවතුණා.

අංගම් සටන් කලාවේ ශිල්ප ක්‍රම

අවි ආයුධ සහිත වගේ ම, රහිත සටන් ශිල්ප ක්‍රම අංගම් සටන් කලාවේදී දැකගන්න ලැබෙනවා. කඩු පලස් සටන්, පොලු මුගුරු සටන්, තනි ලී හරඹ, පැනුම් සහ පිනුම්, අශ්වාරෝහක සටන්, දුනු හීතල සටන්, ප්‍රහාර සහ මල්ලව පොර, සහ හස්ති ශිල්පය මේ අතරේ අඩංගුයි. හැබැයි අලුතෙන් සටන් ඉගෙන ගන්න එන අයට ඇත්ත කඩු අතට දීලා සටන් පුරුදු කළේ නැහැ. ඔවුන්ට බොරු කඩුවලින් පැද්දෙන කුරුම්බා, පොල් පැල කඳන්, කෙසෙල් කඳන්, පඹයන් වගේ ඉලක්කවලට පහරදීම උගන්වනු ලැබුවා. දුනු ශිල්පය පුරුදු කරන අයට ඉලක්ක විදියට දුන්නේ පැද්දෙන කුරුම්බා, පිදුරු පඹයන්, රවුම් අඳින ලද ලෑලි වගේ ජාති. ජන සාහිත්‍යයේ කියන විදියට නම්, ප්‍රහාර එල්ල කරන විදි 4000ක් විතර අංගම් සටන් කලාවේ තිබිලා තියෙනවා. ඒත් අද වෙද්දී මේ දැනුම ගොඩක් වියැකිලා ගිහින්.

අතින් අත පහරදෙන අත් පොරය අංගම් සටන් කලාවේ එක්තරා ශිල්පීය ක්‍රමයක්. දිග් ගුටිය, හරස් ගුටිය, ඉස්‌ ගුටිය වගේ ගුටි ක්‍රම කීපයක් මේකේ ඇතුළත් වෙනවා. මේ සටන් නොදන්නා කෙනෙක් එක්ක කළොත්, ඒ පුද්ගලයාගේ අත් තුවාල වෙන බවයි කියවෙන්නේ.

පයින් පහර දීලා කරන අංගම් පොර ශිල්පීය ක්‍රමවලදී වැඩි වශයෙන් ම පාවිච්චි වුණේ විලුඹ, පතුල, මහපට ඇඟිල්ල, දණහිස වගේ ස්ථානයි. සතුරාගේ උගුරු දණ්ඩට ගසන ඇඟිලි පහර, විලුඹෙන් එල්ල කරන පහර, යටිබඩට දණහිස නවා ගසන පහර මේ ශිල්පීය ක්‍රමයේ තියෙන දරුණු ගුටි වර්ග අතරින් සමහරක්.

අංගම්පොර සටන්වල කඩු ශිල්පය ප්‍රගුණ කරන අය කඩුව දරාගන්නේ වම් අතින්. ඉස්සර කාලේ ගුරුකුල අතරේ තියෙන තරගකාරී බව වැඩි කරන්න, ගුරුකුලවල ඉඳපු දක්ෂ ම සටන්කරුවෝ එක තැනකට රැස් කරලා අංගම්පොර උළෙලවල් පවා පවත්වලා තියෙනවා.. ඔවුන් සටන් වැදෙන පිටිය හඳුන්වන්නේ ඌරු ළිඳ නමින්. මේවට රාජ්‍ය අනුග්‍රහයත් අඩුවක් නැතුව ම ලැබුණා. ඕම්මට්‌ටිය (පහළට කැපුම), උම්මට්‌ටිය (ඉහළට කැපුම), වෙම්මට්‌ටිය (ඇනීම) මේ වගේ කඩු සටන්වලදී පාවිච්චි කරපු ශිල්ප ක්‍රම විදියට හඳුන්වන්න පුළුවන්.

අංගම් සටන් කලාවට ම ආවේණික මරුනිල ශාස්ත්‍රයකුත් තියෙනවා. අතේ ඇඟිල්ලෙන්, දණහිසෙන්, වැලමිටින් ඇනලා කෙනෙක් ව මරණයට පත් කරන්න පුළුවන් ශිල්පීය ක්‍රම මේ ශාස්ත්‍රයේ දක්වලා තියෙනවා. මරු නිල අදාළ නිලය ඇති තැනට පහර එල්ල කර පමණින් සතුරාට අනතුරක් කරන්න බැහැ. ප්‍රහාරය එල්ල කරන්න ඕනේ කොච්චර ප්‍රබල විදියටද, කොච්චර වේගයකින්ද කියන එකත් දැනගෙන ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, මේ එල්ල කරන පහරකින් සතුරා මිය යන ගතවෙන කාලයත් තීරණය වෙනවා. එවෙලේ ම මිය යන්න වගේ ම, මාසයකින්, අවුරුද්දකින් මිය යන විදියට මේ ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ආයේ සුව කරන්න ඕනේ නම්, එකටත් පහර දෙන්න ඕනේ විදියත් මේවයේ ඇතුළත් වෙනවා. නාසය මුල, ඇස්‌, මැණික්‌කටු සන්ධිය, උර කුහරය, උඩ පතුල, කන පිටුපස; මේ වගේ මරුනිල අතරින් කීපයක්.

ගැට පූට්ටු කියන්නෙත් තවත් අංගම් සටන් ක්‍රමයක්. ප්‍රතිවාදියාගේ පහර වළකන ගමන්, තමන්ගේ ශරීරයේ අංග උපයෝගී කරගෙන ඔහුව තමන්ගේ ග්‍රහණයට හසු කරගැනීම, අඩපණ කිරීම හෝ මරණයට පත්කිරීම මේකෙන් සිද්ධවෙනවා.

[විශ්වි විදානපතිරණ]

මාතෘකා