මහත්වරුනි, අන්ධ කවුද?

 ඡායාරූපය:

මහත්වරුනි, අන්ධ කවුද?

ඔවුහු අහස දෙස බැලූහ. නීල වර්ණ ආකාසය වෙනුවට ඔවුනට පෙනුණේ අඳුරු වලාවකි. ඉනික්බිති ඔවුහූ පොළොව දෙස බැලූහ. කුහකකමින් දුං දමනා ගෙන්දගං පොළොව වෙනුවට ඔවුනට පෙනුණේ තවත් එවැනිම වූ අඳුරු වලාවකි. ඔවුන් තමන්ගේ ජීවිතයම ගෙවා දමන්නේ අඳුරු වලා පටලයකින් දෑස් වසාගෙනය. ඔවුන් ලෝකය දකිනුයේ දෑසින් නොව අනෙකුත් සංවේදන ඉන්ද්‍රියන්ගෙන් දැනෙනා සංවේදනයන්ගෙන්ය.

මේ කියන්නේ අන් කවරෙකු ගැනවත් නොව "විශේෂ අවශ්‍යතා සහිත" පුද්ගලයන් යටතට ගැනෙනා අන්ධ ප්‍රජාව ගැනය. උපතින්ම දෑස් පෙනීම අහිමි ඔවුහු ජීවිතය දකින්නේ වෙනමම ආකාරයකටය. දෑස් නොපෙනුණ ද දෑස් පෙනෙනා මිනිසුන්ට වඩා ඔවුන්ට ජීවිතය හැඟෙයි. ජීවිතයම වසාගෙන පවතින අන්ධකාරයම ජීවිතයට ධෛර්යයක් කරගනියි.

ලංකාවේ අන්ධ ප්‍රජාවගේ අධ්‍යාපනය සඳහා විශේෂිත වූ කේන්ද්‍රස්ථානය වන්නේ රත්මලාන අන්ධ විද්‍යාලයයි. 1912දී ආරම්භ කරන ලද රත්මලාන අන්ධ විද්‍යාලය රජයට අනුබද්ධිත උපකෘත පාසලක් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පාලනය වෙයි. පසුගිය 13 වන ඉරුදින රත්මලාන අන්ධ විද්‍යාලය වෙනදා මෙන් නොව යම් කලබලකාරී මුහුණුවරක් ගෙන තිබුණි. පනහකට පමණ ආසන්න වූ පිරිසක් සුදු සැරයටි අතින් ගෙන නිහඬ පා ගමනින් රත්මලාන අන්ධ විද්‍යාලය දෙසට ගමන් කරයි. බාල මහලු භේදයකින් තොරව පවුල් පිටින් ඔවුහු ඒකරාශී වී සිටිති. මේ සඳහා වූ හේතු කාරණා කුමක්දැයි විපරම් කරන්නට සිතාගෙන අපිද ඒ දෙසට ගියෙමු.

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද කලින්ම ඇවිත් ගොසිනි. අලුත් අවුරුද්ද සමරන්නටත් පෙර වෙසක් මංගල්‍යය සියල්ලන්ම සුපහන් සිතින් සමරා අවසන්ය. නමුත් අවුරුදු තවම ඉවර නැත. තවමත් ගම් හා නගර ආශ්‍රිතව බක් මහ උළෙල පවත්වයි. මාස දෙකක කාලයක් තිස්සේ රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයද එවන් බක් මහ උළෙලක් සංවිධානය කර තිබුණි.

ඔවුන්ට අවැසි වූයේ සිය දුවා දරුවන් සමඟ අලුත් අවුරුද්දේ සතුට අත්විඳීමටය. දැස් පෙනෙනා ලෝකය සමරන තමන්ට අහිමි වූ ඒ විනෝදය තම හිතවතුන් සමඟ අත්විඳීමටය. එහෙත් අන්ධ විද්‍යාලයේ දෑස් පෙනෙනා පාලනාධිකාරියේ උස් පුටු ඔවුනට ඒ අහිංසක සතුට විඳ ගැනීමට ඉඩ දී නැත.

පසුගිය 12 වනදා එනම් බක් මහ උළෙල පැවැත්වීමට පෙර දින අන්ධ විද්‍යාලයේ පාලනාධිකාරිය එය පැවැත්වීමට අවසර නොදී අන්ධ විද්‍යාලයේ ගේට්ටු වසා දමන බවට එහි ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් දැනුවත් කර ඇත. රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ගේ තොරතුරු හා ලිපි ලේඛන සියල්ලම ඇත්තේ අන්ධ විද්‍යාලය තුළය. පාලනාධිකාරිය විසින් ගත් හදිසි තීරණය නිසා කිසිදු ආදි ශිෂ්‍යයෙකුට අන්ධ විද්‍යාලය තුළට යාමට ඉඩ දී නැත. එබැවින් රත්මලාන අන්ධ විද්‍යාලයේ කිසිදු සාමාජිකයෙකුට බක් මහ උළෙල නොපැවැත්වන බව දැන්වීමට එහි නිලධාරීන්ට හැකියාව ලැබී නැත. ලංකාවේ සතර දිබ්බාගයේම සිටින අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් 13 වනදා උදෑසනින්ම රත්මලාන අන්ධ විද්‍යාලයට තම හිතවතුන් සමඟ පැමිණියේ අලුත් අවුරුදු අසිරිය විඳගැනීමටය. එහෙත් ඒ වන විටත් පාලනාධිකාරිය විසින් ඔවුනට ක්‍රිඩාංගණයට යාමට නොදී එහි ගේට්ටු වසා අවසන් ය. එම නිසාවෙන් ඔවුන් තමන්ට වුණු නොමනා ක්‍රියාවට විරෝධය පළ කරමින් නිහඬ පාගමනක නිරත වූහ.

රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ උපසභාපති ප්‍රියන්ත මල්ලවාරච්චි මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වීය.

"මේ අවුරුදු උත්සවය පිළිබඳ මේ මාසෙ තුන්වනදා අපි ලිඛිතව දැනුම් දීමක් කළා විදුහල්පතිතුමාට. විදුහල්පතිතුමාගෙන් පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලයත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඇති. අපේ දෘශ්‍යාබාධිත අයට ඇස් පෙනෙනා සමාජය විඳගන්න අලුත් අවුරුදු බක් මහ උළෙලවලට සහභාගි වෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසයි අපි අපේ සංගමයේ දෘශ්‍යාබාධිත වූවන් සහ අපේ පාසලේ දූ දරුවන් එකතු කරගෙන අද දවසේ ඔවුන්ට සතුටු වීමට අවස්ථාවක් සංවිධානය කළේ. අපට ඊයේ දවාලේ දුරකතනෙන් පාලනාධිකාරිය දැනුම් දෙනවා අද දවසේ ගේට්ටු වසා ඇත කියලා. මෙතන ඉන්න අයගෙන් බහුතරයකට දුරකතන නැහැ. මේ අහිංසක මිනිස්සු විවිධ දුෂ්කරතා මැද්දේ පාන්දර නැගිටලා තිස්සමහාරාමේ, නුවර වගෙ ලංකාවේ සිවුදෙසින් මේ පාසලට එද්දි මේ පාසලේ ගේට්ටු ඒ මිනිස්සුන්ට වැහිලා තියනවා. දෑස පෙනෙන මේ පරිපාලනයේ ඉන්නෙ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් අපිට මේ ගේට්ටු වහලා තියනවා අමනුස්ස විදිහට. "

ප්‍රියන්ත මහතා කියූ පරිදි වසර ගණනාවක සිට රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද ක්‍රිකට් තරග, බක් මහ උළෙල, සුහද හමු ආදිය අන්ධ විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ පවත්වා ඇත. ඒ සියලුම අවස්ථාවන්වලදී එහි පාලනාධිකාරිය ඔවුන්ට ඒ සඳහා ඉඩහසර ලබාදී ඇත. නමුත් පසුගිය කාලවකවානුව තුළ රත්මලාන අන්ධ විද්‍යාලයේ පාලනාධිකාරියේ පවතින විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට එරෙහිව අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කිරීම නිසා එයට උරන වූ පාලනාධිකාරිය ඔවුන්ගේ බක් මහ උළෙල පැවැත්වීම සඳහා අවස්ථා අහිමි කර ඇත.

රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ වයලට් කහඳවල මහත්මියයි. අන්ධ විද්‍යාලය උගත් අය අතරින් ප්‍රථම වරට උපාධියක් ලබාගෙන ඇත්තේ ඇයයි. වසර 25ක් තිස්සේ අන්ධ විද්‍යාලයේ දරුවන්ට ඉගැන්වීම් කළ ඇය විශ්‍රාම ගිය පසු සමාජ සේවිකාවක් ලෙස කටයුතු කරමින් සිටින්නීය. ඇය මේ සිදුවීම සම්බන්ධයෙන් අපට පැවසූවේ මෙවන් අදහසකි.

" මේ අන්ධ විද්‍යාලයේ පරිපාලනය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න කීපයක් තියනවා. මේ පාසලේ කොටසක් බඳු දෙන්න සූදානම් වෙනවා. ඒ අය බදු දෙන්න සුදානම් වෙන්නෙ විදුහල්පතිතුමාගේ නවාතැනත් සමඟ තියෙන කොටස. ඒකට විරුද්ධව එසේ නොකරන්න කියලා අපි ඉල්ලීම් කළා. ඒත් එයාලා ඒක කනකටවත් ගත්තේ නැහැ. ඊටපස්සේ අපි ලිපියක් පාසලේ දෙමාපියන්ට බෙදාහැරියා මේ ගැන දැනුවත් කරලා. ඒ නිසා අපෙන් පලි ගන්නයි මේ අය අද අපිට අවුරුදු උත්සවය පවත්වන්න ඉඩනොදෙන්නෙ. එයාලට හිතුමතේට මෙහෙම තීරණ ගන්න බැහැ. අපි එයාලට ලිඛිතව දැනුම් දුන්නා. ඒත් එයාලා අපිට හදිස්සියෙම ඊයේ කියනවා මේක කරන්න දෙන්නෙ නැහැ. අද ගේට්ටු වහලා කියලා. මේ අයට මේ පාසල ගැනවත් දරුවෝ ගැනවත් වුවමනාවක් නැහැ. මෙයාලට ඕනේ සල්ලි විතරයි. ඒ නිසයි පාසලෙන් කොටසක් බදු දෙන්න යන්නේ. "

රත්මලාන අන්ධ විද්‍යාලයේ පවතින ගැටලුවලට එහි පාලනාධිකාරිය කිසිදු පියවරක් මේ වන විටද ගෙන නැත. වයලට් මහත්මිය කියූ පරිදි විද්‍යාලය සතුව විදුහල්පතිවරයෙක් සිටියද උප විදුහල්පතිවරයෙකු නොමැත. උප විදුහල්පතිවරයෙකු පත් කිරීමට ද ඔවුනට කිසිදු වුවමනාවක් නොමැත. මේ සියල්ලෙන්ම බලපාන්නේ පාසලේ ආදි ශිෂ්‍යයන්ටත් වඩා පාසලේ වර්තමානයේ අධ්‍යාපනය ලබන දෘශ්‍යාබාධිත අහිංසක මල් කැකුළුවලටය.

ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ වූ ප්‍රතිපත්ති තීරණ සම්පාදනය කරන ජාතික උපදේශන සභාවේ සාමාජිකයෙකු වන ප්‍රසන්න වික්‍රමසිංහ ද අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පසුගියදා අන්ධ විද්‍යාලයේ පැවැත්වූ මේ විරෝධතාවයට ප්‍රසන්න මහතා සහභාගි විය.

"මේසේ ලංකාවේ උපකෘත පාසල් ව්‍යූහය ඇතුලේ බරපතළ අර්බුදයක් තියනවා. ඒ අර්බුදයේ එක් ප්‍රතිපලයක් හැටියට මේ මිනිස්සුන්ට අද වෙලා තියන අසාධාරණය මම දකිනවා. මේ විද්‍යාලය තමයි ලංකාවේ විශේෂ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය. මේ විද්‍යාලයේ සමස්ත පරිපාලන ව්‍යූහය මෙහෙයවන්නේ පරිපාලන මණ්ඩලයක්. ආදි ශිෂ්‍ය සංගමයත් විද්‍යාලයේ සංවර්ධනයට පාලක මණ්ඩලයට ඍජුව හා වක්‍රව සහයෝගය ලබාදෙනවා. මේ ආයතනය තුළ යම් පරිපාලන අක්‍රමිකතාවයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් සියල්ලන්ම ලිඛිතව දැනුවත් කරන්න ආදි ශිෂ්‍ය සංගමයට අයිතියක් තියනවා. අද අපි මෙතනට ආවේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරපු අවුරුදු උත්සවයේ ප්‍රීතිය භුක්ති විඳින්න. ඒ ප්‍රීතිය ඇතුළේ මේ කිසිදු මාතෘකාවක් වලංගු වුණේ නැහැ. අහිංසක ආදි ශිෂ්‍යයන් පවුල් පිටින් අද මෙතනට ඇවිත් ඒ ප්‍රීතිය භුක්ති විඳින්න තියන ඉඩකඩ මේ පාලකයෝ අහුරලා තියනවා. පරිපාලනය මීට වඩා බුද්ධිමත්ව මේ කාරණා සඳහා අවශ්‍ය ප්‍රවේශාත්මක සාකච්ඡා සඳහා එළඹිය යුතුයි. ඒ සාකච්ඡා තුළින් විද්‍යාලයට හිතකර සංශෝධනයන් සිදු විය යුතුයි කියලා මම හිතනවා. "

ප්‍රසන්න මහතා මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූයේ එසේය. කෙසේ වුවත් රත්මලාන අන්ධ විද්‍යාලයේ පරිපාලනය ආදි ශිෂ්‍ය සංගමයට පිළිතුරු දී ඇත්තේ විශේෂිත අවස්ථාවක විද්‍යාලයේ දොරගුළු වසාය. එයින් අසරණ වූයේ ගම් දනව් පසු කරමින් බක් මහ උළෙලේ ප්‍රීතිය අත්විඳීමට පවුලේ හිතවතුන් සමඟ පැමිණි අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ය. ප්‍රීතිය විඳගැනීම කෙසේ වුවද ඔවුන්ට සිදු වී ඇත්තේ පාලකයන්ගේ අත්තනෝමතිකකම් සඳහා විරෝධය පළ කිරීමය.

රම්‍යලතා මහත්මිය රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යාවකි. දිවුලපිටිය ප්‍රදේශයේ සිට නොයෙක් කම්කටොළු මැද තනිවම ඈ තම පාසලට පැමිණියේ අවුරුදු උත්සවයට සහභාගි වී තම හිත මිතුරන් සමඟ ප්‍රීති වීමටය. එහෙත් ඇයට අන්ධ විද්‍යාලයේ ගේට්ටු විවර වූයේ නැත. මේ සමඟ අප ඇගෙන් අදහස් විමසුවෙමු.

" අද එන්න ගෙදරින් පිටත් වුණේ උදේ පාන්දර 5.30ට. මෙතනට එද්දි අපිට ඉස්කෝලේ ඇතුලට යන්න දෙන්නෙ නැහැ. අපිට කලින් දැනුම් දීමක් කළෙත් නැහැ. නිකරුණේ රස්තියාදු වුණා අපි. ලොකු මහත්තුරු මේ කරන දේවල් ගැන අපිට හරිම දුකයි. ඒ වගේම අපි ඒ අයගේ වැඩ ගැන කලකිරිලා ඉන්නේ. ඇස් පේන්නෙ නැති අපිටත් මෙහෙම කරනවා මේ රටේ අනිත් මිනිස්සු ගැන කවර කතාද? "

ඇගේ අවසන් වචන කීපය හිතේ ගැඹුරුම තැනකට ගොස් නතර වුණි. ඇස් නොපෙනෙනා ඔවුන් වැනි අසරණයන්ට එවැනි පහත් ක්‍රියා කරන්නන් අනෙකුත් මිනිසුන් ගැන කිසිඳු අනුකම්පාවක් නොදක්වයි. මිල මුදල් තාන්න මාන්නවලට මනුස්සකම් අමතක වූ පාලකයන් සිටින රටක මෙවැනි අතු ශාඛාවක පාලනාධිකාරිය නොමනා ක්‍රියා කිරීම පුදුමයක් නොවේ.

රත්මලාන අන්ධ විද්‍යාලයේ පවතින මේ අර්බුදකාරී වාතාවරණයට හේතුව එහි පාලනාධිකාරියයි. ඒ නිසාවෙන් ඔවුන්ගෙන්ද මේ පිළිබඳව විමසීමට අප තීරණය කළෙමු. පාසලේ විදුහල්පතිවරයා වන ඩෙස්මන් පෙරේරා මහතාව අප දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය. එහෙත් රත්මලාන අන්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු (අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති) දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය.

"මේ ආදි ශිෂ්‍ය සංගමය බොහොම පහත් විදිහට පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලයට චෝදනා කරලා පාසලේ දරුවන්ගේ දෙමාපියන්ට ලියුම් බෙදලා තියනවා. මෙහෙම වැඩ කරන අයත් එක්ක අපි ගනුදෙනු කරන්න අකමැතියි. ආදි ශිෂ්‍ය සංගමයට තියෙන ලොකුම ප්‍රශ්නේ පාසල බදු දෙන්න සූදානම් වනවා කියන එක. මම එයාලට කිව්වා පාසලේ කොටසක් බඳු දෙන්න අදහසක් තියනවා. තවම තීරණයක් නැහැ. ඒ ගැන තීරණයක් ගත්තොත් මම එයාලට කියනවා කියලා. ඒත් එයාලා අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට බැන වදිමින් ලිපි බෙදලා තිබුණා. ඒ ලියමන ඉල්ලා අස් කරගන්න කියලා අපි ආදි ශිෂ්‍ය සංගමයට දැනුම් දුන්නා. ඒත් ඒක කළේ නැහැ. ඒ නිසයි අපි අද දිනයේ මේ වගේ තීරණයක් ගත්තේ. "

කෙසේ වුව ද මේ ගැටුමේ කෙළවර වූයේ දෘශ්‍යාබාධිතයන් හට තම ප්‍රීතිය භුක්ති විඳීමට නොහැකි වීමෙනි. පාසලක් යනු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි. එයින් සියල්ලන්ටම දිය යුත්තේ ආදර්ශයන් මිස මෙවන් පහත් ක්‍රියාවන් නොවේ. ලංකාවේ විශේෂ අධ්‍යාපනයේ අතරින් කේන්ද්‍රස්ථානය වන රත්මලාන අන්ධ විද්‍යාලය එදාමෙදා තුර දෘශ්‍යාබාධිත විශාල සංඛ්‍යාවකගේ නොපෙනෙනා දෑස් පෑදූ අධ්‍යාපන තෝතැන්නයි. එවන් ස්ථානයකින් එහි ආදි ශිෂ්‍යයන් මෙවන් නොමනා ක්‍රියා කිසිදා බලාපොරොත්තු වන්නට නැතිව ඇත. එහෙත් ඊයේ දින ඔවුනට අවුරුදු ප්‍රීතිය වෙනුවට සිදු වූයේ හිත් රිදවාගෙන නිවෙස් බලා පිටත් වීමය. අන්ධ විද්‍යාලයේ පාලනාධිකාරිය පමණක් නොව මේ නොමනා ක්‍රියා පිළිබඳ රටේ ඉහළ පාලනාධිකාරිය දැනුවත් විය යුතුය. " විශේෂ අවශ්‍යතා ඇති විශේෂ පුද්ගලයන් " ලෙස ඔවුන්ව නම් කරන්නේ සමාජයේ අන් අයට වඩා සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතු බැවින්‍ ය. එහෙත් දෑස් පෙනෙනා ලෝකය ඔවුනගේ සතුටු වීමේ අයිතිවත් ලබාදීමට තරම් කාරුණික වී නොමැත.

සටහන [නිර්මාණී බණ්ඩාරනායක]

මාතෘකා