ඔබේ විවාහය ඔබට සතුටක්ද?

 ඡායාරූපය:

ඔබේ විවාහය ඔබට සතුටක්ද?

ඔබ විවාහක කාන්තාවක හෝ පුරුෂයෙක්ද? ඔබ විවාහක නම් හෝ විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටිනවා නම් ඔබ ඔබේ ජීවිත කාලයෙන් 3/4 කාලයක් ගත කරන්නේ ඔබේ ජීවන සහකරු හෝ සහකාරිය සමඟයි.

එසේනම් ඔබ තෝරා ගත් සහකරු සහකාරිය එක්ක සාර්ථක පවුල් ජීවිතයක ගත කිරීම කායික මානසික සතුට ඇති කරවන්න හේතු වෙනවා. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වන සාධක කිහිපයක් ගැන.

නිර්මලා සහ සුගත් විවාහ ජීවිතයට ඇතුළු වන්නේ වයස අවුරුදු 34 දි. විවාහයෙන් පස්සෙ මේ දෙන්නා ජීවත් වෙන්නේ සුගත්ගෙ දෙමාපියන් එක්ක සුගත්ගේ ගෙදර. විවාහයෙන් පස්සේ මේ දෙන්නගෙ ජීවිතේට එන ගැටළු වගේම සුගත් හා නිර්මලා අතර අඹු සැමියන් ලෙස පවතින දුරස්ථ බව මේ දෙදෙනාගේ ජීවිතය දෙදරා යන්න හේතු වෙනවා. විවාහ යෝජනාවකින් විවාහ වන සුගත් සහ නිර්මලා විවාහයෙන් මාස හයකින් දික්කසාද වෙනවා.

විවාහ ජිවිතයේ දී අඹු සැමියන් තේරුම් ගත යුතු ප්‍රධානම කාරණයක් තමයි ඔවුන් දෙදෙනාම එකිනෙකට වෙනස් පරිසර දෙකක සමහර විටක වෙනස් සමාජ රටාවන් දෙකක ජීවත් වූ දෙදෙනෙක් බව. වෙනස් පරිසර දෙකක ජීවත් වුණ දෙන්නෙක් එක පරිසරයක ජීවිතය ගත කරන්නට පටන් ගන්නවා. නිර්මලා සුගත් පවුල් පරිසරය සමාජ පරිසරය විතරක් නෙමෙයි අධ්‍යාපනික අතින් වගේම රැකියාවෙනුත් නිර්මලා සුගත්ට වඩා වෙනස්.

මනෝ විද්‍යාත්මකව දකිනකොට සෑම අයෙකුටම විවාහ ජීවිතයේ ගත කරන්න අපහසුම කාලය වෙන්නේ විවාහයෙන් පසු ගතවන මුල් අවුරුදු තුන හතර කාලසීමාව. එක එක්කෙනා මේකට මුහුණ දෙන විදිය එක්ක විවාහ ජීවිතයෙ සාර්ථක අසාර්ථක බව තීරණය වෙනවා. නිර්මලා සුගත් අතර තිබුණ සම්බන්ධතාවයත් ඔවුන්ගේ බාහිර පරිසරයත් ලිංගික ජීවිතයේ ගැටළු සහගත තත්වයන් සේරම මේ දෙන්නගෙ විවාහය දෙදරල යන්න හේතු වෙනවා.

මොනවද මේ විවාහයෙන් පස්සෙ මුල් අවුරුදු කීපය තුළ මුහුණ දෙන්න වෙන ගැටළු?

වෙනස් පරිසර දෙකක ජීවත් වුන දෙන්නෙක් එකට ජීවත් වෙනකොට එකිනෙකාට අනුගත වීමේ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකිනෙකාගේ කැමැත්ත අකමැත්ත වෙනස් වෙන්න පුළුවන්. තමන් අකමැති චර්යාවන් සහකරු සහකාරියගේ තියෙන්න පුළුවන්. මේවා හඳුනා ගන්න වගේම ඒවාට අනුව හැඩ ගැහෙන්න කාලය ගත වෙනවා. අලුතෙන් එකතු වන පවුලේ නෑදෑ හිතමිතුන්ට අනුගත වීමේ දී ද මේ ගැටළුකාරී ස්වභාවය මතුවෙනවා. නිර්මලාගෙත් සුගත්ගෙත් සබඳතාවයේ මෙම අනුගත වීමට ගැටළුවක් වෙනවා. රැකියාවට ගිහින් ගෙදර එන සුගත් රූපවාහිනිය නරඹනවා. නිර්මලා අපේක්‍ෂා කරන ජීවිතය නිර්මලාට සුගත්ගෙන් ලැබෙන්නෙ නැහැ. සාර්ථක අඹු සැමි සබඳතාවයකදි වැදගත්ම අංශ තුනක් කතා කරන්න පුළුවන්. ඒ තමයි මිත්‍රශීලී බව, චිත්තවේගික බැඳීම හා කැපවීම. අලුත විවාහ වුණ යුවළක් වුණ නිර්මලා සුගත්ගේ විවාහය තුළ මේ අංශ තුනම රකින්න ලැබෙන්නේ නැහැ.

මිත්‍රශීලී බව කියන්නේ සාර්ථක විවාහයක් ගත කරන යුවළක් තම තමන්ගේ දෛනික ජීවිතය බෙදාගන්න වගේම ජීවිතයේ තීරණ ගැනීම්වලදි එකිනෙකාගේ අදහස් විමසනවා. දෙන්නගෙ කැමැත්තට ගැළපෙන්න තීරණවල සුළු වෙනස්කම් කර ගන්න දෙන්නම නම්‍යශීලී වෙනවා.

චිත්තවේගික බැඳීම ලිංගික ජීවිතයේ දී වගේම තමන්ගේ සහකරු හෝ සහකාරියගේ තරහ දුක සතුට තේරුම් ගන්න එක වගේම ඒවාට අනුගත වෙන්න වගේම තමන්ගේ චිත්තවේග පාලනය කර ගැනීම බෙදා ගැනීම ඉතාම වැදගත්. තම සහකරුගේ හැගීම් ආවේග තේරුම් ගන්න ඒවාට අනුගත වෙන්න කාලය අවශ්‍ය වෙනවා වගේම මිත්‍රශීලි බවත් අවශ්‍ය වෙනවා. ඊළඟ එක තමයි කැපවීම, කැපවීම කියන්නේ එකිනෙකාගේ අවශ්‍යතා වුවමනා සොයා බැලීම වගේම එකිනෙකාගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීම. මේ තුනම සම්පූර්ණ වෙනව නම් ඒක පූර්ණ ආදරයක් විදියට හඳුන්වනවා. නිර්මලා සුගත් විවාහ ජීවිතය ඇතුලේ මේ සාධක තුනම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සාර්ථක සතුටුදායක විවාහයකට අවශ්‍ය මූලික සාධකයන්වත් මේ යුවළ අතර නැහැ.

ආදරය ලබා දීම හා ලබා ගැනීම.

බහුතරයක් දෙනා විවාහ ජීවිතයෙදි කරන වරදක් තමයි ආදරය ලබා ගන්න අපේක්‍ෂා කරත් ආදරය ලබා නොදීම. නිර්මලාටත් සුගත් නිසා මේ තත්ත්වයට මුහුණදෙන්න සිද්ධ වෙනවා. විවාහ ජීවිතයෙ වැදගත්ම අංශය තමයි ලිංගික ජීවිතය කියන්නේ. බොහෝමයක් පවුල්වල ගැටළු නිර්මාණය කරන සාධකයක් වෙන්නේ ලිංගික ජීවිතයේ තෘප්තියක් නොමැති වීම. විවාහයට පෙර ජීවිතයෙන් විවාහයට පසු ජීවිතය වෙනස් වෙන තැනක් තමයි ලිංගික සබඳතා කියන්නේ. නිර්මලා සුගත්ගෙ ජීවිතයෙ තවත් ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය කරන්න මේ සාධකය හේතු වෙනවා. සාර්ථක විවාහයක තෘප්තිමත් ලිංගික සබඳතාවක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයක්. හොඳ ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නම් එකිනෙකා කෙරෙහි විශ්වාසය අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීම වැදගත්. තමන්ගෙ සහකරයා තේරුම් ගන්න පුළුවන් පහසුම හා වැදගත්ම ක්‍රමය තමයි තමාගේ කැමැත්ත අකමැත්ත හොඳින් දෙදෙනා අතර සන්නිවේදනය කර ගැනීම. ඒ වගේම තමයි එකිනෙකාගේ අත්දැකීම්වල ස්වභාවයත් ලිංගික ජීවිතයේ සාර්ථකත්වයට බලපානවා.

අලුත් විවාපත් යුවළක් සිදු කරන තවත් වරදක් තමයි ඔවුන් දෙදෙනා අතරට තුන්වන පාර්ශවයක සහය ලබා ගැනීමට උත්සාහ කිරීම. සාර්ථක විවාහයක් ගත කරන යුවළක් අතර ඔවුන්ගේ ජීවිතයට වැදගත් වන රහස් දෙදෙනා අතර පවතිනවා. මෙවන් රහස් පවුලෙ හැමෝම එක්ක බෙදාගන්න යාමෙනුත් ගැටළු නිර්මාණය වෙන්න පුළුවන් වගේම දෙදෙනා අතර පරතරයක් නිර්මාණය කරන්නත් පුළුවන්.

විවාහක යුවළක් අතර ඇති වන ගැටළුවලදි සිද්ධ වෙන්න පුළුවන් වැරදි කිහිපයක් ගැන දැන් සාකච්ඡා කරමු. නිර්මලා සුගත් අතර ඇති වූ මෙවන් සුළු සුළු ගැටුම් දික්කසාදයක් තරම් දුර යාමට මේ චර්යාවන් හේතුවක් බවට පත් වෙනවා. දෙදෙනා අතර ඇති වන ආරවුලකදී දී උස් හඬින් කතා කිරීම ඔහුගේ හෝ ඇයගේ චරිතය ගැන විචේචනය කිරීම, භෞතිකව දැක ගත හැකි ආකාරයෙන් දොරට ගැසීම. බඩු විසි කිරීම, ගැටලුවට අදාල නොවන පෙර සිදුවීම් අදාල කරගෙන ආරවුල දික්ගස්සා ගැනීිම, ගුටි හුවමාරුවක් හෝ ආරවුලෙන් අනතුරුව දිගු නිහැඩියාවක් පැවතීම වැනි තත්ත්වයන් සාර්ථක විවාහ ජීවිතයකයට බාධා කරන දේවල්. නිර්මලා සුගත් අතර ඇති වූ මෙවන් සුළු සුළු ගැටුම් දික්කසාදයක් තරම් දුර යාමට මේ චර්යාවන් හේතුවක් බවට පත් වෙනවා.

ගැටුම් අවස්ථාවක දී ඔබ දෙදෙනා අතර හොඳ චිත්තවේගික බැඳීමක් තියෙනවා නම් එක් අයෙකුට නිහඬ වීමට හැකි වෙනවා. දෙදෙනාම සන්සුන් වූ පසු ගැටළුව සාකච්ඡා කරල දෙදෙනාටම ගැළපෙන විසඳුමකට එන්න පුළුවන්.

ඉවෝනි දිල්කි

මනෝ උපදේශික

මාතෘකා