Columnතොට

 ඡායාරූපය:

Columnතොට

අාකාස හීන

අපහසු බස අසුන්දර නැත

[අනිල් ෙහ්රත්]

වාග් විද්‍යාඥවරියක හා භෞතික විද්‍යාඥයකුගේ විසින් පෘථිවියට පැමිණි පිටසක්වලයන් පිරිසක් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා දරණ ප්‍රයත්නයක් තේමාව කොටගෙන ලියැවුණ මෙම කතාන්තරය අතරතුර දී එම වාග් විද්‍යාඥවරිය අනාගතය දකින හැකියාව ලබන්නී ය. හෙටාපොඩ් නම් පිටසක්වලයන්ගේ භාෂාව ප්‍රගුණ කිරීම තුළින්. එම භාෂාවේ වාග් න්‍යායන් අනුව සිතීමට හුරුවීම තුළින්.

මෙම කතාව ඇතුලත් ටෙඩ් චියෑන්ගේ

‘Story of Your Life’ කෙටි නවකතාව මෙන්ම එය ආශ්‍රයෙන් ඩෙනිස් විලනෙව් නම් ප්‍රංශ කැනේඩියානු අධ්‍යක්ෂවරයා තැනූ පැරමවුන්ට් සමාගම විසින් බෙදා හැරි ‘Arrival’ චිත්‍රපටයේ දී ද ගොඩනඟන මූලික ප්‍රවාදය වන්නේ භාෂාව විසින් හැකියාවන්හි සීමාව නිර්ණය කරන බව යි.

පුද්ගලයකුගේ වේවා රටක ජාතියක හෝ ජීවී විශේෂයක වේවා.

මෙය 'Arrival’ චිත්‍රපටයේ දී වඩාත් උලුප්පා දක්වන්නේ පිටසක්වලයන්ගේ භාෂාවම අවියක් ලෙස වර නංවමිනි.

ඒ පළමු සටහන ය.

දෙවැන්න ආචාර්ය උපාධි තිසීසයක උපුටා ගැනුමකි. නිව් කාසල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක වූ ක්‍රිස්ටිනා සුසාන් ෆ්‍රයි විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු.

‘භාෂාවේ සංකීර්ණත්වය, ක්‍රියාකාරී මතකය හා සමාජ බුද්ධිය'නමින් ඇය ඉදිරිපත් කර තිබූ තිසීසයෙහි ගෙන හැර පාන නිගමනය වන්නේ සංකීර්ණ භාෂාවක් හා ගනුදෙනු කරන්නවුන්ගේ සංයුක්ත මතක දර්ශකය ද ඉහළ අගයක් ගන්නා බවයි. ( උනන්දුවක් දක්වන අයෙකුට සාරාංශගත සටහන https://www.hedweb.com/bgcharlton/tina-fry.htmlයොමුව ඔස්සේ කියවිය හැක).

මගේ මේ උපුටා ගැනීම් දෙකට ද මෙම සටහනට ද මූලික හේතුව වන්නේ මහාචාර්ය සමන්ත හේරත් විසින් 'බිම්බා දේවී හෙවත් යශෝධරා' චිත්‍රපටය උදෙසා ලියා ඇති විචාරයෙහි භාෂා භාවිතාව පිළිබඳව සමාජ ජාලාවන්හි තැන තැන පළවූ විවිධාකාර සටහන් ය. සැමතැනම පාහේ ලියා තිබුණේ තමන්ට මෙම ලියවිල්ල නොතේරෙණ බවට වූ මැසිවිලි ය. ඇතැමෙකු එය සිංහලට පරිවර්තනය කර දෙන ලෙස ඉල්ලා තිබිණි.

මහාචාර්යයවරයා ලියා තිබූ සටහනෙහි යෙදුනු ඇතැම් වදන් මා දැන සිටියේ නැත. මා සිංහල සම්භාව්‍යය සාහිත්‍යය හෝ බස ශාස්ත්‍රාලීය මට්ටමින් හදාරා නැත්තෙකු වීම එයට හේතුව විය යුතු ය. නමුත් ඒ තුළ මට කිසිදු හීනමානයක් හෝ තරහක් නොදැණිනි. සියල්ලෝ සියල්ල දැන සිටිය යුතු යැයි මා විශ්වාස නොකරන හෙයින්.

නමුත් මා ඒ ලියවිල්ලට ආශක්ත වූයෙමි.

මගේ වාග් කෝෂය පුළුල් කරවූ නිසා ය. පැතිරුණු අදහස් සංක්ෂිප්ත කළ හැකි වදන් වලින්.

ජෝර්ජ් ඕවල් ගේ 1984 නව කතාවේ සම්පූර්ණ ඉතිහාසයක් විකෘති කර දමන්නේ ඉතිහාසය ලියූ බස ‘පරණ’ යැයි කොන් කර දැමීමෙනි. එහෙයින් සරළ නිරන්තර භාවිතයෙහි යෙදෙන වදන් පමණක් ශේෂ වූ භාෂාවක් නිසා මඟහැරී යන්නට ඉඩ ඇති අතීත සම්භාව්‍යය සාහිත්‍ය කෘතීන් පරිශීලනය කළ හැකි තරමින් බස පවත්වාගැනීමට දායක වන්නා වූ මෙවන් ලියවිලි ඇගයිය යුතු ය.

කියවීම හුදු 'එන්ටර්ටේන්' එකක් පමණක්ම විය යුතු නැත. එහි වපසරිය පුළුල් කරන්නේ කියවීම

ව්‍යායාමයක් කරවන ලියවිලි ය. එවන් ලියවිලි සියල්ලන්ට ලිවිය නොහැක. එහෙයින් එලෙස ලිවිය හැක්කන්ට එලෙස ලියන්නට ඉඩ තැබීමම වැදගත් වන්නේ ය.

භාෂාවක් යනු ශිෂ්ඨාචාරයක හැකියාවන් තීරණය කරන මහා පොදු සාධකයක් වන්නේ ය. එහි ලිහිල් මෙන් ගැඹුරු ද යන දෙයාංගයන්ම නිසි තැන නිසි ලෙස යෙදීමෙන් පමණක්ම ඒ බස බැබළෙන්නේ ය.


රසවතිය

කළු දිවියාගේ ආත්මය

 

[හෂිත අබේවර්ධන]

ඉන්දියානු නිදහස් අරගලය දුක් සුසුම්, වේදනා, මරණ, වද විඳීම් හා සංගීතයෙන් එක සේ අලංකාර වූ එකකි. තාගෝර් විසින් ලියවුනු ‘වන්දේ මාතරම්, එක්ලා චලෝ’ බඳු ගීත නිසා ජන මන නිදහස ඉල්ලා සටන් වැදුනේ එක අතකින් සෞන්දර්යකාමී අවකාශයක් ද ජනිත කරමිනි. යටත් විජිත හරණයේ අවශ්‍ය සමහර අංගයන් නිදහසට පෙර ම තනා නිම කිරීමට ඉන්දියානුවෝ සමත් වූහ. සංගීතය එහිදී වැදගත් යටත්විජිත හරණ මෙවලමක් පමණක් නොව දෘෂ්ටිවාදයක් ලෙසද යොදාගැනීමට ඔවුන්ගේ සූර කමට උදාහරණයකි.

ඉන්දියානුවන් සේම ලොව පුරා ඩයස්පෝරාවක් බවට පත්වුණු අප්‍රිකානුවන් විවිධ දේශයන්හි සිටිති. ඔවුහු තම සංගීත නිෂ්පාදනය අරගලයක කොටසක් ලෙස යොදාගන්නා අතරේ සෞන්දර්යය නිර්මාණය කරති. බොබ් මාලි එහි මුල් පෙලේ නියෝජිතයෙකි. ඔහු හා සමාන නමක් ඇති බාබා මාල් සෙනෙගාල් ජාතික සංගීත කරුවෙකි. ඔහු අකොස්ටික් (ධ්වනි) ගිටාර වාදනය නිසා අප්‍රිකා මහාද්වීපය පුරා ප්‍රසිද්ධය. එලෙසම ඔහු ගායකයෙකි. බාබා මාල් ඔහුගේ පියාගේ වෘත්තීය අනුව මාළු කාරයෙක් විය යුතුව තිබුණි. නමුත් ඔහුගේ දිගු කාලීන මිතුරෙක් හා ගී කතා කරුවෙකු වන මන්සූර්සෙක් නිසා, ඔහු සිය මවගෙන් හා පාසලේ මුල් ගුරුතුමා ගෙන් සංගීතය හැදෑරීමට නැඹුරු වූවේය. ප්‍රංශයේ උසස් අධ්‍යාපනය ලැබූ පසු නැවත සෙනෙගාලයට පැමිණි බාබා මාල් පුර්ණකාලීන සංගීත කරුවෙකු විය.

සෙනෙගාලය ප්‍රංශයටත් විජිතයක් ව පැවති බටහිර අප්‍රිකානු රටකි. එහි විවිධ ගෝත්‍රයන් ප්‍රාග් ඉතිහාසයේ සිට එකිනෙකා හා ජීවත් වෙති. බාබා මාල් එහි පුලාර් බස කතා කරන ගෝත්‍රයට අයිති අතර සිය බසින් ගීත ගායනා කරයි.

ඇමෙරිකානු කළු නිදහස් අරගලයේ ප්‍රධාන ධාරාවන් දෙකකි. එකක් ප්‍රජාතාන්ත්‍රික, අවිහිංසාවාදී එකක් වෙයි. එහි සංකේතය වන්නේ කනිෂ්ට මාර්ටින් ලුතර් කිංග් ය. අනෙක් ධාරාව අරගලයේ මාවත අවිහිංසාවමතින් වැටී නැති බව විශ්වාස කරයි. ඔවුන් විශ්වාස කරන්නේ හිංසනය ඉවසා දරා සිටීම වෙනුවට, එයට ඒ අයුරින් ම ප්‍රතිචාර දැක්විය යුතු බවයි. එම ධාරාවේ පෙරගමන්කරු මැල්කම් එක්ස් ය. මාර්ටින් ලුතර් කිංග් හා මැල්කම් එක්ස් දෙදෙනාම වෙඩි තබා මරා දැමුණි.

මාවෙල් කොමික්ස්, ප්‍රකට ඇමෙරිකානු චිත්‍රකතා සමාගමකි. ඔවුන් නිර්මාණය කළ විශ්වය අයන් මෑන්, කැප්ටන් ඇමෙරිකා, හල්ක්, තෝර් ආදී සුපිරි වීරයන් ගෙන් සමන්විත වේ. ඒ අතරින් බ්ලැක් පැන්තර් (කළු දිවියා) සුවිශේෂ වන්නේ ඔහු එකම ‘කළු සුපිරි වීරයකු’ නිසාය. වකන්දා නම් තාක්ෂණයෙන් දියුණු කළු රාජ්‍යයේ නායකයා වන

බ්ලැක් පැන්තර් අවිරෝධී දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඔහුගේ ඥාති සහෝදරයා සටන්කාමී අරගලයක් හා කළු ජනතාවගේ ආධිපත්‍යයක් විශ්වාස කරයි. එක අතකින් ඔවුන් දෙදෙනා මාර්ටින් ලුතර් කිං හා මැල්කම් එක්ස් නිරූපණය කරති. තවත් විටෙක ඔවුහු මැන්ඩෙලා හා ස්ටීව් බිකෝ නියෝජනය කරනවා යැයි දැනේ. බ්ලැක් පැන්තර් මේ වන විට නව ආදායම් වාර්තා ඇති කරමින් වෙළඳපොලේ සැරිසරයි.

බ්ලැක් පැන්තර් සිනමා පටයට සංගීතය සම්පාදනය කළ ලුඩ්විග් ගොරන්ස්සන් තවමත් තිස් වියේ පසුවන්නෙකි. ඔහුට බ්ලැක් පැන්තර් සඳහා සංගීත රචනයට අවස්ථාව ලැබුණු පසු, අප්‍රිකානු සංගීත කරුවන් අධ්‍යයනය කළ බව කියා ඇත. “මම මාසයක් නිවාඩු අරන් සෙනෙගාලයට ගියා, එහෙදි මම බාබා මාල් සමග ඔහුගේ සංගීත ප්‍රසංග සවාරියක් සමඟ එකතු වුණා. ඉන්පස්සේ, මම ශබ්දාගාරයට ඇවිත් සති ගාණක් පුරා විස්මිත සංගීතකරුවන් සමග පටිගත කිරීම් කළා.’

බ්ලැක් පැන්තර් හි අප්‍රිකානු සංගීතය මුසු කර ඇති අන්දම ශ්‍රවණ රමණීය අත්දැකීමකි. විටෙක එයින් විදුලි සෝපානයක් පහළ බසින විට ඇතිවෙන අසමතුළිත ප්‍රහර්ෂය බඳු අත්දැකීමක් ලැබේ. තවත් විටෙක එයින් කඳු මුදුනකට නැගී පසු අනන්තය තෙක් විහිදෙන තැනිතලාවක් හමුවීම නිසා ඇතිවෙන විස්මය මුසු හැඟීම වැන්නක් අත්විඳිය හැකිය. එබඳු පුළුල් සිනමා සංගීතයක් මරිස් ශාර (ඩොක්ටර් ශිවාගෝ), ජෝන් විලියම්ස් (ඊ ටී, ස්ටාර් වෝර්ස්) ආදීන් ගෙන් විඳිය හැකිය. එය ශ්‍රවණයෙන් ම පසක් කරගත යුතුසත්‍යයකි.

බාබා මාල් ගේ‘වකන්දා’ ගීය අසමින් වංගු සහිත කඳුකර පාරක ගමන්කළ යුතුය. එමඟින් ආත්මය ඔසවා තැබෙන සංගීතයක් ඇති බව ඔබට දැනෙනු ඇත.


අතුරු පාර

 

බත් පිඟාන

[ඉසුරු චාමර සෝමවීර]

පහුගිය දශක දෙක තිස්සෙ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හදවත් රෝග, පිළිකා සහ වකුගඩු රෝග ඉතාම සුලබ වෙන්නෙ බය හිතෙන විධියට. අපිව වේගයෙන් තරබාරු වේගන යනවා. ඇයි මේ? ගොඩක් දෙනා පණ ගැටගහ ගන්න පෙති අහුරු අහුරු ගිලිනවා. සෞඛ‍ය අංශ කියන විධියට, වැරදි ආහාර පුරුදු, ව්‍යායාම ප්‍රමාණවත් පරිදි නොලැබීම සහ මානසික ආතතිය මේ බෝ නොවන රෝග සුලබ වීමට වගකියනවා. ශිෂ්ටාචාරය ලෙඩ ඇඳට වැටෙන්න ළඟයි. මම පෝෂණවේදියෙක් හෝ ඒ සම්බන්ධ කිසිම විද්‍යාත්මක පුහුණුවක් ඇති කෙනෙක් නොවුණත් කෑම සහ ලෙඩ රෝග සම්බන්ධ අත්දැකීම සහ උදාහරණ නිතරම විඳින, දකින කෙනෙක්. සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශ අපේ බත් පිඟාන නිවැරදිව තියෙන්න ඕනෙ විදියක් කියනවා. මේක සාමාන්‍ය ප්‍රමාණයේ බත් පිඟානක්. ඒකෙන් බාගයක් බත්. කොස්, දෙල්, අල, බතල වගේ පිටි සහිත ආහාර තියනවා නම් ඒ තියන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් බත් අඩු වෙන්න ඕනෙ. ඒ කිව්වෙ ඕනෑම ආකාරයක පිටි සහිත ආහාර තියෙන්න පුලුවන් පිඟානෙන් බාගයයි. පිඟානෙන් හයෙන් පංගුවක් තියෙන්න ඕනෙ ප්‍රෝටීනමය ආහාර. ඒ කිව්වෙ මස්, මාළු හෝ පරිප්පු, මුං ඇට වගේ ප්‍රෝටීනමය ශාක ආහාර.

ප්‍රෝටීන් කිව්වම සත්ත්වමය ප්‍රෝටීන් විය යුතුම නැහැ. ශාකමය ප්‍රෝටීන් ප්‍රභව ඕනෙ තරම් ලොකු වියදමක් නැතුව අපිට හොයාගන්න පුළුවන්. පිඟානෙන් තුනෙන් පංගුවක් එළවළු සහ පලා වර්ග තියෙන්න ඕනෙ. මේවා දවසින් දවස වෙනස් වර්ග වලින් තෝරාගන්නවා නම් හොඳයි. අපේ ඇඟට තන්තු වැඩි වශයෙන් ලැබෙන්නෙ මේ එළවළු හරහා. ආහාර මාර්ගයේ නිරෝගී බවට තන්තු ලොකු මෙහෙයක් කරනවා. බඩවැලේ පිළිකා, ගැස්ට්‍රයිටිස් වගේ රෝග ඇතිකිරීමේ අවධානම මේ තන්තුමය ආහාර වලින් අඩු කරන බව දැන් විද්‍යාඥයො හොයාගෙන තියෙනවා.

අපේ එදිනෙදා කෑම පිඟාන ගැන හිතුවොත් අපි බත් ගොඩක් එක්ක එළවලු දෙකක් වගේ තමයි ගොඩක් විට කෑමට ගන්නෙ. ඒකත් පොඩ්ඩක් . අපි කාබෝහයිඩ්‍රේට් ගොඩ ගොඩවල් අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩගහගෙන සලිත මස් ගොඩවල් හදාගෙන ලෙඩ වලට අත වනනවා. මේ කියන ආදර්ශ බත් පිඟාන වියදම් අධික දෙයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් . ඒත් ඒක එහෙමම නැහැ.

තන්තු බහුල පෝෂණයෙන් ඉහළ පළා වර්ග, එළවළු වර්ග ගොඩක් අපි යම් යම් මිත්‍යා ආකල්ප නිසා අමතක කරලා දාලා. පතෝල, තලන බටු, දඹල වගේ සුලබ එළවළු මිලදී ගන්නවා වෙනුවට ගොඩක්විට අපි කෘමි නාශක නාවපු බෝංචි, ගෝවා, ලීක්ස් වගේ දේවල් මිලදී ගන්න පෙළඹෙනවා. කොටුකොළ, මුකුණුවැන්න වගේ පළා වර්ග තවම අපි අතරෙ තිබුණත් අඟුන, තෙබු, එළබටු කොළ, කිරිහැන්ද, අබ දලු, වට්ටක්ක දළු, මුල්ල කොළ, කූර, ගඳලිය, පොතු පලා, තණපලා වගේ අපේ කෑම පිඟානට විවිධත්වයක් ගෙනාපු කොළ වර්ග අපි ඈත් කරමින් ඉන්නවා.

අපේ බත් පිඟාන හරිම ඒකාකාරියි. අපි තියෙන දෙයක් කනවා මිසක් කෑම පිඟාන සැලසුම් කරන්න හිතන්නෙ නැති එක ලොකු අඩුවක්. කෙටි කෑම වලින් වෙන අගතිය ගැන නැවත නැවත මතක් කරන්න ඕනෙ නැහැ. තෙල්, මිරිස්, තුනපහ රහෙන් අපි අපේ දිව විතරක් නෙමෙය සෞඛ්‍යත් රවට්ට ගන්නවා.

නීරෝගී සිරුරක් කියන්නෙ සතුට. ඒ සතුට උපයා ගන්න අපේ ආකල්ප වෙනස් කිරීමෙන් පුළුවන්. බෝ නොවන රෝග නිසා අවුරුද්දකට කොපමන මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවද? කී දෙනෙක් අඩු වයසෙන් මැරෙනවද? පොඩ්ඩක් හිතුවොත් අපිට අපේ පවුලේ සෞඛ්‍ය රැක ගන්න අමාරු නැහැ

මාතෘකා