පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන් දී සැනසෙන්නෝ

 ඡායාරූපය:

පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන් දී සැනසෙන්නෝ

අපි ජීවිත කාලය පුරාම සතුට වෙනුවෙන් දහසකුත් දේ කරන්නෙමු. සතුට යනු කුමක්දැයි අර්ථ දැක්විය හැක්කේ අප සතුට මනින ආකාරයටය. අප සතුට දකින ආකාරයටය. මිනිසුන්ට සතුටුවිය හැකි විවිධ විධි තිබිය හැකිය. අපි සතුටු වීමට කන්නෙමු, බොන්නෙමු, නටන්නෙමු. දන්දෙන්නෙමු. අපේ සතුට කැපකර වෙන අයෙක් සතුටු කර සතුටුවෙන්නෙමු. මේ කියන්නට යන්නේද එකම දිනක පැය කිහිපයක් තුළ මිනිසුන් දහසකට ආසන්න පිරිසක් සම සිත්වල සෙවූ සතුටක් පිළිබඳවය. 

කාන්තාවකට හෝ  පිරිමියෙකුට වේවා හිසකෙස් යනු තමන්ගේ පෙනුම පිළිබඳ ඇති සලකුණකි. තම හිසකෙස් වෙනුවෙන් මිනිසුන් කරනු ලබන දහසක් දේ පිළිබඳ අපි දැන සිටින්නෙමු. එහෙත් වෙනත් කෙනෙක් ලස්සන කිරීමට තමන්ගේ ලස්සන දන් දීම, පහසුවෙන් අයෙකුට කළ හැක්කක් නොවේ. 

සැනසුමක්

"අම්මා නැතිවෙද්දි මට අවුරුදු තුනයි. මට යන්තම් හරි අම්මා ගැන මතකයක් තියෙනවනම් ඒ අම්මගේ කොණ්ඩෙ නැතිව අම්මා මං එක්ක ඉන්න විදිය. මට හැමදාම කොණ්ඩෙ දෙන්න ඕන කියන අදහස තිබුණා. පස්සේ පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩෙ දෙන්න මං තීරණය කළේ අම්මගෙ දානේ තිබුණ මාසේ. මම රමණි ප්‍රනාන්දු සැලෝන් එකට ගිහින් කොන්ඩෙ දුන්නා. මට ඒකෙන් දැනුණේ පුදුම සැනසීමක්"

වයස අවුරුදු විසි පහක් වන ඇය ලක්මිණි ලක්ෂිකා. මේ වනවිට ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබයි. ඇය තමන්ගේ කොණ්ඩය පරිත්‍යාග කිරීමට හේතුව අපට පැවසුවේ ඒ අයුරින්. බොහෝ තරුණ පිරිස සේම  බාල, මහලු භේදයක් නොමැතිව කොණ්ඩය පරිත්‍යාගකරන ලද පිරිස බොහොමයකි.

ඉන්දිරා පිළිකා සරණ භාරයත්, රූපලාවණ්‍ය ශිල්පිනී රමණි ප්‍රනාන්දුගේ රූපලාවණ්‍යාගාරයත්, ස්වාභාවික ආකාරයෙන් කොණ්ඩා කළඹ සැකසීමේ දැනට ලංකාවේ සිටින එකම ශිල්පියා වන ලලිත් ධර්මවර්ධන යන සැවොම එකට එකතු වී කරගෙන යන මෙම වැඩසටහන  ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වන පිළිකා රෝගීන්ගේ ජීවිතයට ලබාදෙන්නේ නව ආලෝකයකි.

ඉන්දිරා පිළිකා භාරය

ඉන්දිරා පිළිකා භාරයේ භාරකාරිත්වය දරන වෛද්‍ය ලංකා ජයසූරිය (කථානායක කරු ජයසූරිය මහතාගේ වැඩිමහල් දියණිය) මේ වෙනුවෙන් කරන ලද අතිමහත් කැපකිරීම මෙතකැයි කිව නොහැකිය. තමන්ගේ සියලුම වෛද්‍ය කටයුතු ස්වේච්ඡා පදනමින් පමණක් සිදුකරන ඇය මුළු ජීවිතයම ඒ වෙනුවෙන් කැප කර සිටී. ඇය මේ වන විට තමන්ගේ පදනම හරහා දුරකතන සේවාවක් ක්‍රියාත්මක කරයි. 112 363 211 යන දුරකතන අමතා ඕනෑම අයෙකුට පිළිකා සම්බන්ධයෙන් විසඳුම් ලබා ගත හැකිය. එමෙන්ම කෘත්‍රිම වරලසක් ඉල්ලා සිටිය හැකිය.

"ඉන්දිරා පිළිකා භාරය අපි පටන් ගන්නේ මගේ නංගි නිසා. එයා පුදුම දිරිය මවක්. එයාට මුලින් කැන්සර් එක ඇවිත් සම්පූර්ණ සුවය ලැබුණා. එයා එක පියයුරකින් දුවට කිරි දුන්නා. දෙවැනි බබා ලැබෙන්න ඉද්දි දැනගත්තා මුළු ඇඟේම පිළිකාව පැතිරිලා කියලා. ඒත් අවසානය දක්වාම එයා සටන් කළා. එයාට අවශ්‍ය වුණු එකම දේ රෝගයක් නැති කෙනෙක් විදියට හැසිරෙන එක. නංගිගේ මියයාම පවුලක් විදියට අපිට දරාගන්න බැරි දෙයක් වුණා. එයා වෙනුවෙන් අපි මේ දේ කරන්නේ. ලෙඩක් තියෙනවා කියලා කඩා වැටෙන්නේ නැතිව ජීවිතේට මූණ දෙන්න අනෙත් රෝගීන්ටත් උදවු කරන එක තමයි අපි මේ කරන්නේ. ඇත්තටම ලංකාවේ මිනිස්සු තරම් දන් දෙන්න කැමති මිනිස්සු ලෝකෙ කොහේවත් නැතිව ඇති."

ඉන්දිරා පිළිකා භාරයෙන් ඔවුන් කරන සේවාවට මිලක් දීම හෝ, එය වචන කිරීම අපි ඔවුන්ට කරන අසාධාරණයකි. මෙම පදනමේ සියලුම දෙනා ස්වේච්ඡාවෙන් මෙයටම කැපවුණු අය වීම විශේෂත්වයකි. මාසයට පැය හතරක් ඔවුහු කෙසේ හෝ මෙම පදනමේ වැඩ සඳහා කාලය සොයා ගනිති. 

සැනසිලිදායක විසඳුමක්

"හැමදාම මෙතනට පස් දෙනෙක්වත් අලුතින් රෝගීන් එනවා. එයාලා එන්නේ එක්කෝ කෘත්‍රිම කොණ්ඩයක් බලාපොරොත්තුවෙන්. එහෙමත් නැත්නම් එයාලගේ ප්‍රශ්නයකට විසඳුමක් බලාපොරොත්තුවෙන්. සමහර අය මුදල් බලාපොරොත්තුවෙන්. අපි මුදල් ලබා දෙන්නේ නම් හොඳට හොයලා බලලා. ඒ වගේම මාසෙට අඩු ආදායම්ලාභී පිළිකා රෝගීන් ඉන්න පවුල්වලට රුපියල් දෙදහස් පන්සියයක් දෙනවා. අපි මාස හයයි ඒක ලබා දෙන්නේ. මොකද ඒ වෙද්දි එයාලා ජීවත්වෙන්න ක්‍රමයක් හදාගන්න ඕන. 

"ලංකාවේ කොණ්ඩ දන් දීපු බොහෝ අය හිටියා ඉස්සරත් ඉන්නවා.  හැබැයි ඒ කොණ්ඩ යැව්වේ ඇමරිකාවට. මොකද මෙහේ කෘත්‍රිම කොණ්ඩ හෙවත් විග්ස් හදන තැනක් තිබුණේ නැහැ. කොහොමත් විග් එකක් හදන්න ලංකාවේ මුදලින් පනස්දාහක්වත් යනවා. ඒක මුදලින් ගනිද්දි ලක්ෂ එක හමාරක්වත් වැය කරන්න ඕන. අපි මේ පදනමෙන් විග් එක ලබා දෙන්නේ නොමිලේ. හැබැයි අපි විග් හදන කෙනාට රුපියල් විසිපන්දහසක් එක විග් එකක් වෙනුවෙන් ලබාදෙනවා. එයාලා ගන්නේ ශ්‍රමය විතරයි. ඒ වෙනුවෙන් ලලිත් ධර්මවර්ධන මහත්මයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒක පහසු කාර්යයක් නෙවෙයි. එක් එක් කෙස් කළඹක් හදන්න නම් නිරෝගී පරිත්‍යාගශීලින්ගේ කෙස් කළඹ 8 ත් 15 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එක විග් එකක් හදන්න සති දෙකක් පමණ කාලයක් වැය වෙනවා. ඒ වගේම එක කොණ්ඩයෙන් කොණ්ඩය අමුණලා මෙය බොහොම සියුම්ව කළයුතු රාජකාරියක්"

රූපලාවන්‍ය ශිල්පිනී රමණි ප්‍රනාන්දු මෙම හිසකෙස් කැපීම සිදුකරන්නේ නොමිලේ වන අතර, හිස කෙස් දන්දීමට පැමිණෙන සෑම කෙනෙකුම කලින් සිටියාටද වඩා ගැළපෙන කොණ්ඩා මෝස්තරයකින් සරසා යැවීමට කටයුතු කරයි. ඇය මේ පිළිබඳ පැවසුවේ තමාට රට වෙනුවෙන් යමක් කළ හැකියැයි සිතා දවසක සතුටුවිය හැකි යමක් තමා උපයා ගත් බවය.

අටසිය තුන් දෙනෙකුගේ පරිත්‍යාගය

"මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිහක් වෙනවා. වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය මගෙන් මේ වගේ ඉල්ලීමක් කළාම මට පුදුම සතුටක් දැනුණේ. මොකද මම එහෙම දෙයක් හොය හොය හිටියේ. මම මුලින්ම කළේ මගේ ස්ටාෆ් එකේ අය එක්ක මේ ගැන කතාකරන එක. එයාලා බොහොම කැමති වුණා මේ වැඩේට. හැමදාම වගේ අපිට කොණ්ඩෙ පරිත්‍යාගකරන්න මිනිස්සු එනවා. අපි පහුගිය පළමුවෙනිදා අනුරාධපුරයේ තිබුණ වැඩසටහනට අටසිය තුනක් පරිත්‍යාගශීලීන් ආවා. ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ දෙසීයක්, තුන්සියයක් මිනිස්සු එයි කියලා. ඒ ආව අය කොණ්ඩය දීලා විග් එකක් හදන්න යන මුදල වන විසිපන්දහසක මුදලත් ලබා දීලා ගියා. අපේ කණ්ඩායම විසිහතරක් හිටියා. ඉන්දිරා පිළිකා භාරයේ විසිදෙනෙක් පමණ ආවා. එදා සම්පූර්ණ කොණ්ඩයම බූ ගෑව හයදෙනෙක් හිටියා. ගැහැණු අය සිව්දෙනෙක් හා පිරිමි අය දෙදෙනෙක්. මෙහෙම විශේෂ දිනයක් නොවේ නම් අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දවස්වල ඕනම කෙනෙකුට මෙම පරිත්‍යාගයන් කරන්න පුළුවන්" 

මේ වන විට මෙම පදනමට කොණ්ඩය පරිත්‍යාග කළ පමස්ත පිරිස 11, 707 කි.  දකුණු ආසියාවේ පැය ගණනක් තුළ පරිත්‍යාගකරන ලද වැඩිම කොණ්ඩ ප්‍රමාණය මැයි පළමුවෙනිදා අනුරාධපුරයේදී පරිත්‍යාගශීලීන් අටසිය තුන් දෙනෙක් විසින් ලබා දෙනලද කිලෝ හතළිස් හතරක් වන කොණ්ඩ ප්‍රමාණයයි. මේ වනවිට ඔවුන්ට මුදල් මෙන්ම ශ්‍රම අවශ්‍යතාවක්ද වෙයි. ඔබට ජීවිතයේ යම් අයෙකුගේ අවසාන සතුට වෙනුවෙන් යමක් කළ හැකි නම් මේ එයට අවස්ථාවයි. දිරන ශරීරයේ නොදිරන මතකයක් වෙනුවෙන් ඔබට කොණ්ඩය පරිත්‍යාගකිරීමට සිතේ නම් ඔවුන් අමතන්න. ඒ ඇමතුම තවත් කෙනෙකුගේ සතුටෙහි ආයෝජනයක් වීම ඔබේ ජීවිතයට ආශිර්වාදයක් ගෙන දේවි.

මාතෘකා