සුන්දර ඇල්ලේ හැංගුණ කළු පාට කතන්දර

 ඡායාරූපය:

සුන්දර ඇල්ලේ හැංගුණ කළු පාට කතන්දර

අතීතයේ පටන්ම මෙරට කඳුකර ශීත දේශගුණික ප්‍රදේශ අතරින් බදුල්ල, බණ්ඩාරවෙල හා නුවරඑළිය යන සංචාරක ව්‍යාපාරයේ හිනිපෙත්තටම ගිය ප්‍රදේශවලින් මේ වන විට සංචාරක ආකර්ෂණය කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතියි. නුවරඑළිය, බණ්ඩාරවෙල ප්‍රදේශ සංචාරක කර්මාන්තය මුවාවෙන් වෙනත් අගති සහගත ක්‍රියාවන් සහ පරිසර හානි සිදුවෙමින් පවතින බැවින් මේ වන විට දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් නතර වන ඊළඟ ඉලක්කය වන්නේ ඇල්ල නගරයයි. 
ශ්‍රී ලංකාවේ සංචාරක සිතියම පිරික්සූ විට විදේශීය සංචාරකයන්ගේ ප්‍රධාන ගමන් මාර්ගයන්හි සන්ධිස්ථානයක ඇල්ල නගරය පිහිටා ඇත. අනුරාධපුර, පොළොන්නරුව සීගිරිය, මහනුවර යන ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රදේශයන් සඳහා යන ගමන් මාර්ගය අවසන් වන්නේ ද හික්කඩුව, කොක්ගල, මිරිස්ස යන සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනා වෙරළබඩ ප්‍රදේශයන් ද උඩවලව රක්ෂිතය හරහා මහනුවරට ගමන් ගන්නා ගමන් මාර්ගය ද අවසන් වන්නේ කඳුකර ප්‍රදේශයෙන්ය. මේ නිසා දිනෙන් දින ඇල්ල නගරය කරා ඇදී එන දෙස් විදෙස් සංචාරකයන් දෙගුණ තෙගුණ වෙමින් පවතියි. ඒ නිසාම ඇල්ල නගරයේ වගතුග සෙවීමට එහි සංචාරයක නිරත වන්නට තීරණය කළෙමු. 
"ඇල්ල කියන්නේ හොඳට ඇවිදලා විනෝද වෙන්න පුළුවන්, නිදහසේ නිවාඩුව ගත කරන්න පුළුවන් වටපිටාවක් තියන නගරයක්. ලංකාවේ සංචාරක කලාප අතින් හොඳම කලාපයක්. ඒත් දැන් ඒකත් ටිකෙන් ටික සවුත්තු වෙලා යනවා. මිනිස්සු කොහෙ ගියත් තමන්ගේ පුරුදු අත අරින්න ලෑස්ති නැති නිසා කුණුවලින් ඇල්ල විනාස වෙලා යනවා. මම කලිනුත් ඇල්ලට ආවා. මේ දෙවෙනි වතාව. ගිය අවුරුද්දේ මගේ පර්ස් එකටත් එකෙක් විද්දා. යද්දි ඇල්ල එපාම වෙලා ගියේ. මෙහෙම ගියොත් ඇල්ලට වෙන්නෙත් අනිත් තැන්වලට වෙච්ච දේ තමයි." 
ඒ ඇල්ල හුරුපුරුදු සහෘදයෙක් ඇල්ලට යන්න පෙර සිටම කළ අනතුරු ඇගවීමකී. සැබවින්ම එය අනතුරු ඇගවීමක් වන්නේ ඇල්ල නගරය වටා ගෙතුණු සමස්ත සංචාරක කර්මාන්තයටම ඉන් වන හානිය සම්බන්ධයෙන් සිතන විටය. කෙසේ වුව ද ගමනාරම්භයේදීම ඇල්ල සම්බන්ධයෙන් ඇති වූ කුතුහලයත් සමගම සංචාරය ආරම්භ කළෙමි. 
ඇල්ල නගරය යනු ලංකාවේ මිල අධිකම නගරයන් අතරින් එකකි. ඉඳුම් හිටුම්වල සිට කෑම බීම, ප්‍රවාහන පහසුකම් යන සංචාරකයන් සඳහා අත්‍යාවශ්‍ය සේවා සියල්ලම අන් ප්‍රදේශයන්ට වඩා ඇල්ල නගරය තුළ මිල ගණන්වලින් දෙගුණ තෙගුණය. විශේෂයෙන් ඇල්ල නගරයේ ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහනය හැරුණුකොට ඇති ත්‍රීරෝද රථ දේශීය විදේශීය සංචාරකයන්ගෙන් සූරා කන මට්ටමට ගොස් හමාරය. රු.100ක දුර සඳහා ඇල්ල නගරය වටා සිටින ත්‍රීරෝද රථ හිමිකරුවන් අය කරන්නේ රු. 500කි. විදෙස් සංචාරකයන්ගෙන් එයද දෙගුණ කර ඔවුහූ අය කර ගනු ලබති. කෑමබීම අතින් ද ඊට වෙනසක් නැත. ඇල්ල නගරය වටා පවතින ආපනශාලාවලින් කෙනෙකුට එක් වේලක් සඳහා අවම වශයෙන් රු. 400ක් අවශ්‍ය වේ. සාමාන්‍ය සුඛෝපභෝගී ආපනශාලාවලින් නම් එක් වේලක් සඳහා රු. 600 ඉක්මවා යයි. 
සංචාරක කර්මාන්තය හේතුකොට ගෙන ඇල්ල නගරය තුළ තානායම් මේ වන විට 550ක් පමණ ඉදිවී ඇත. තවද තානායම් 100ක් පමණ ඉදිවෙමින් පවතියි. ඒවායේද මිල ගණන් එක් රාත්‍රියකට රු. 4500 සිට ඉහලට අය කරනු ලබයි. ඇල්ල නගරයේ තානායම් සඳහා සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වන්නේ සුන්දර දසුන් සහිත කඳුකර ප්‍රදේශය දෙසට මුහුණලා පිහිටියහොත් පමණි. ඒ නිසාම අවදානම පසෙකලා ඇල්ල නගරයේ කඳුකර ප්‍රදේශයන්හී තානායම් විශාල සංඛ්‍යාවක් ඉදිකර ඇත. මෙහි භයානකකම වන්නේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් කිඳා බසින නගරයක් ලෙස පරිසරවේදීහූ ඇල්ල නගරය නම් කොට තිබීම නිසාය. ඇල්ල නගරයේ මේ අවදානම් සහගත ඉදිකිරීම්ද ඒ අවදානමට රුකුල් සපයන්නකි. 
අන් සියලුම සංචාරක කලාප මෙන්ම ඇල්ල නගරයටද ආවේනික වූ උපසංස්කෘතියක් ඇත. එය සියල්ලම වැඩි මිලට අලෙවි වන නගරයකි. ඒ අලෙවිය තුළද ඇත්තේ අන් ප්‍රදේශවකට සාපේක්ෂව කූට උපක්‍රමයන්ය. ඇල්ල නගරයෙහි බැලූ බැලූ අත දෙස් විදෙස් සංචාරකයන් ය. ඔවුන්ගේ මිල මුදල් හූරා කන්නට බලා සිටිනා ගයිඩ් කපුටන් ය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සංචාරක කර්මාන්තයෙන් නොයෙකුත් ව්‍යාපාරයන් කරමින් ජීවනෝපාය සරි කරගන්නා මිනිසුන්ය. 
ඇල්ල නගරයේ සංචාරක භූමියක් ලෙස පුංචි සිරීපාදය කාගේත් සිත්ගන්නා මනරම් වටපිටාවකින් යුක්ත ප්‍රදේශයකි. ඒ නිසාම ඇල්ල යන ඕනෑම කෙනෙකු පුංචි සිරීපාදය නැඟීමට අමතක කරන්නේ නැත. පුංචි සිරීපාදය දෙසට යන මාර්ගයේ පසෙකට වන්නට පිහිටි මැස්සක තැබූ අඹ කූඩයක් අසල සිටින කුඩා දරුවන් දෙදෙනෙකි. 
"නෝනා ගන්න නෝනා එක අඹ ගෙඩියක් රුපියල් 40යි. ලුණු, මිරිස් දාලා කපලා දෙන්නන් 50ක් දෙන්න" 
"ඔයාලා ඉස්කෝලේ යන්නෙ නැද්ද? " 
"යනවා වත්තේ ඉස්කෝලෙට යන්නේ. ඉස්කෝලෙන් පස්සෙ ඇවිත් අඹ විකුණනවා. " 
"විකුණලා ඒ සල්ලිවලට මොකද කරන්නේ?" 
"ඒ සල්ලි අම්මට දෙනවා" 
උච්චාරණයෙන්ම දෙමළ ජාතිකයන් වුවද ඔවුන්ට සිංහල හොඳට හුරු පුරුදුය. ඇල්ල ප්‍රදේශයේ දරුවෝද වැඩිහිටියන් මෙන් සුළු වශයෙන් හෝ සංචාරක ව්‍යාපාරයෙන් පල ප්‍රයෝජන ගනිති. ඔවුනට අධ්‍යාපනය යනු එක්තරා කාර්යයක් පමණි. ජීවිතය ගැටගහගන්නට ඔවුන්ට කරන්නට ඊට වඩා දේවල් ගොඩක් ඇත. 
පුංචි සිරීපාදය අසල සිටින පොලිස් ආරක්ෂකයෙකි. ඔහු නමින් බී. ඩී. එස් ප්‍රියන්ත. ඇල්ල ගැන ඔහු සතුව ඇත්තේ ධනාත්මක අදහස් නම් නොවේ. 
"ඇල්ල ලස්සනයි නෝනා ඉස්සර. දැන් ඒ ලස්සන නැති වෙලා. ඒක නැති වෙන්න හේතුවත් අපේ අයම තමයි. ලංකාවේ මිනිස්සුන්ට එයාලගෙ ගතිය අත අරින්න බැහැ. යන යන තැන පොලිතින් දාලා යනවා. මේ පුංචි සිරීපාදේ උඩත් පොලිතින් සෑහෙන්න ගොඩක් දාලා යනවා. ඒවා සමහර වෙලාවට දැකලා පිටරට අය අපිට ගෙනල්ලා දෙනවා. ඒ අතින් අපේ රට ගැන ඒ මිනිස්සුන්ට කැක්කුමක් තියනවා. හැබැයි ඒ අයගේ සංස්කෘතිය ලංකාවට ගැලපෙන්නෙ නැහැ. පිටරට කට්ටිය බිකිණි ඇදන් පුංචි සිරීපාදේ උඩට යනවා. කන්ද උඩ තියෙන්නෙ පන්සලක්. අපේ සංස්කෘතියට කොච්චර හානි වෙනවාද කියලා පොඩ්ඩක් හිතන්නකෝ." 
ඔහුගේ වචන පුරාම තියෙන්නෙ ඇල්ලේ පරිහානිකර තත්ත්වයන්ය. සංචාරක ව්‍යාපාරය කෙතරම් ඉහලින් තිබුණ ද ඉන් වන සංස්කෘතික හානිය පිළිබඳව ඔහු විවේචනය කරයි. සංස්කෘතික හානිය කෙසේ වුවද ඇල්ලේ වන පරිසර හානිය පිළිබඳ අවධානය යොමු කිරීම වටියි. ඇල්ල සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත්තේ ද එයට ආවේනික වූ චමත්කාරජනක පරිසරය නිසාවෙනි. නමුදු මේ පොලිස් ආරක්ෂකයා කියන පරිදි ලාංකිකයන්ම එහි සුන්දරත්වය විනාශ කරමින් පවතියි. 
ඇල්ල නගරයේ ප්‍රවාහනය සඳහා සංචාරකයන්ට වෙන් වන්නේ ත්‍රීරෝද රථය. ඇල්ල නගරය පුරා ත්‍රීරෝද රථ රියදුරන් 200ක් පමණ සිටින අතර ඔවුන්ගේ දෛනික ආදායම රු. 4000 ඉක්මවයි. ඇල්ල නගරය ගැන ත්‍රීරෝදරථ රියදුරෙක්ගෙන් වගතුග ඇසීමට අමතක නොකළෙමු. ඔහු නමින් රන්දික වනිගසූරිය. 
"ඇල්ලේ ලස්සනට යටින් තියන භයානක වැඩ ටික දන්නෙ අපි විතරයි නෝනා. මම උදේ ත්‍රීවිල් එලවලා හවසට හෝටලයක වැඩට යනවා. ඇල්ලේ හෝටල්වල පිටරට අයට කොච්චර හිරිහැර වෙලා තියනවද කියලා දන්නේ අපි විතරයි. සුද්දියෝ දූෂණය කරන්න හදලා තියනවා. ඒ අයගේ බඩු හොරකන් කරනවා. මුන් සුද්දොන්ට ලංකාව එපා කරවනවා. නෝනට මතක ඇතිනේ ඇල්ලේ ඒඩ්ස් හැදුණු 12ක් හිටියා. අපිත් ඇල්ලේ ජීවත් වෙන්නෙ හරි පරිස්සමෙන්." 
ඇල්ලේ සුන්දරත්වයට යටින් සිදුවන අහිතකර තත්වයන් කොතරම් ද? මේ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැත්තේ මන්ද? සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට වන හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මාධ්‍යයකින් කතා නොකරන්නේ මන්ද? මේ සියල්ල ගැටළුය. මොහුගේ අදහස් සියල්ල පිරික්සූ කලට පෙනී යන්නේ අගති සහගත තත්ත්වයන් නිසා සංචාරකයන් ඈත් වෙමින් පවතින ලංකාවේ අනිකුත් ප්‍රදේශයන්හී තත්ත්වයම ඉදිරියේදී ඇල්ලට උරුමවන බවයි. 
ඇල්ල නගරයට එන සියලුදෙනා යෑමට අමතක නොකරන ස්ථානයක් ඇත. ඒ ඇල්ලගලයි. එහි ඇති සුන්දරත්වය නිසාම අවදානම පසෙකලා සියල්ලන්ම ඇල්ලගල මුදුනට නගින්නේ අවට පරිසරයේ චමත්කාරය විඳදරා ගැනීමටයි. තැනිතලා මාවතෙන් ඇල්ලගල මඳක් දුර නගින විට හරි අපූරු පුද්ගලයෙක් අපට මුණගැසුණි. ඔහු ජී. ජේ. එම් ප්‍රේමරත්න. ඇල්ලගල නගින සියල්ලන්ම තම සරතැස නිවා ගන්නේ ප්‍රේමරත්න මහත්මයාගෙන් හිමකිරමක් තොලගාගෙන ය. ඔහු ඇල්ල ගැන දැන්වූවේ මෙවන් අදහසකි. 
"ඇල්ල නම් හරියට සවුත්තු වෙලා. මගේ ගම බණ්ඩාරවෙල. ඒත් මම තරුණ කාලේ ඉඳන් ඇල්ලට නිතරම යනවා එනවා. ඒ කාලේ තිබ්බ ලස්සන ඇල්ලේ දැන් නැහැ. දැන් කොල්ලො කෙල්ලො ඇල්ලට ඇවිල්ලා ඒක විනාස කරලයි යන්නේ. එයාලා ඇවිත් කෑම්ප් ගහනවා. ඒ කුණු ඔක්කොම එතනම පුච්චලා යනවා. නැත්තන් එහෙම්මම දාලා යනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇල්ලෙ දවසකට ලක්ෂ හය හතක විතර කුඩු, ගංජා විකිකෙනවා. මේවා පොඩි ළමයි අතේ තමයි ඒ අය යවන්නේ. පොලිසිය අල්ලන්නෙත් නැහැ. " 
සංචාරක කර්මාන්තය මුවාවෙන් බොහෝ ප්‍රදේශයන්හි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජවාරම් මහා පරිමාණයෙන් සිදුවන බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙස් විදෙස් සංචාරකයන් ඒ සඳහා පොළඹවා ගන්නේ ඉතා සූක්ෂම හා නිර්මාණශීලී ආකාරයෙන් ය. ප්‍රේමරත්න මහතා කියූ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කුඩා දරුවන් මාර්ගයෙන් ඒවා අදාළ පුද්ගලයන් අලෙවි කරනු ලබයි. මෙයින් කුඩා දරුවන්ටද යම්කිසි මුදලක් ලබාදෙයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ හිනිපෙත්තටම යනවාත් සමඟම ඉන්වන සමාජීය පරිහානිය ද අතිවිශාලය. 
රාවණා ඇල්ල යනු ඇල්ල නගරයෙන් කිලෝමීටර් 5ක් පමණ ගිය විට හමුවන මනරම් දියඇල්ලකි. එහි පවතින සුන්දරත්වය සේම ඓතිහාසික වටිනාකම හේතුවෙන් ඇල්ලට එන සංචාරකයෝ රාවණා ඇල්ල නොවරදවා නැරඹීමට යති. රාවනා ඇල්ලට යන මාර්ගය දෙපසට වන්නට පිහිටි කඩපෙළකි. ඒ අතරින් අඹ අච්චාරු අලෙවි කරන කාන්තාවක් අපට මුණගැසුණි. ඇය නමින් ආර්. එම් ප්‍රේමලතා. 
"රාවණා ඇල්ලට හැමෝම එන්නෙ නාන්න බලාගෙන. නාලා කුණුත් හැමතැනම දාලා තමයි යන්නේ. පොලිතින් විතරක් නෙමෙයි පොඩි ළමයින්ගේ සනීපාරක්ෂක තුවා, ජරාව හැමදේම මෙතන දාලා තමයි ඒ අය යන්නේ. ඊටපස්සෙ ඒවා ගඳ ගහනවා අපිට ඉන්නත් බැහැ. ඒ විතරක් නෙමෙයි ඇල්ල ටවුමෙ දැන් ලොකුවට ගණිකා ව්‍යාපාරය යනවා. පොඩි ගෑණු ළමයිවත් ඒකට ගන්නවා. ගොඩක් සුද්දොන්ට තමයි ගෑණු විකිනෙන්නෙ. ඊටපස්සෙ කියනවා ඇල්ලේ අච්චරකට ඒඩ්ස් තිබ්බා මෙච්චරකට ඒඩ්ස් තිබ්බා කියලා. " 
ඇල්ලේ සමාජීය පරිහානියට තවත් නිදසුන් අවැසි නැත. ප්‍රේමලතා මහත්මියගේ අවසන් වචන පෙළින් ඒ බව ඔබට වැටහෙනවා ඇත. 
"පරිසරය ඔබව ආරක්ෂා කරනතාක් කල් පරිසරය ඔබව ආරක්ෂා කරයි" යනුවෙන් කියමනක් ඇත. ඇල්ල නගරයට එය වලංගු වී ඇත. ඇල්ල නගරයේ පාරිසරික සුන්දරත්වය විනාශ කරන මිනිසා ඒ තුළින්ම වූ සාමාජීය පරිහානිය හේතුවෙන් විනාශ වෙමින් පවතියි. ඇල්ලට වැඩිමනක් යන්නේ දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරකයන්ය. ඒ නිසාම ඇල්ලේ වන අගති සහගත ක්‍රියාවන් මෙරටට පමණක් සීමා වන්නේ නැත. 
කෙසේ වුවද ඇල්ල නගරය තුළ වූ චමත්කාරය අතරින් සැගවී පවතින සමාජ අගතීන් ගොන්නකි. සංචාරක කර්මාන්තය මුවාවෙන් බොරදියේ මාළු බාගන්නා මුදලාලිලා බොහෝමයකි. නීතිවිරෝධී ජාවාරම් රැසකි. ලිංගික ශ්‍රමිකයන් ඔස්සේ පැතිර යන සමාජ රෝග අවදානම වැඩිය. මේ පිළිබඳ බලධාරීන් නිහඬය. මේවා දකින අහන සියල්ලන්ම නිහඬය. මෙහි පලවිපාකය වන්නේ දෙස් විදෙස් සංචාරකයන්ට ඇල්ල අප්‍රිය වීමය. නුදුරු දිනයකදීම ඇල්ල නගරය ද අනෙකුත් සංචාරක ප්‍රදේශයන් මෙන් සංචාරක ආකර්ෂණයෙන් ගිලිහෙනු ඇත. 

 

සටහන සහ ඡායා [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා