ග්‍රැමෆෝන් තැටි එකතු කර කෞතුකාගාරයක් හැදූ ගාල්ලේ හාමුදුරුවෝ

 ඡායාරූපය:

ග්‍රැමෆෝන් තැටි එකතු කර කෞතුකාගාරයක් හැදූ ගාල්ලේ හාමුදුරුවෝ

කෞතුකාගාරය සාමාන්‍ය ජන වහරේ “කටුගෙය” යන නමින් ද, ඉංග්‍රීසියේ දී “MUSEUM” යන්න ද භාවිත කරති. කෞතුකාගාර ආරම්භය පුද්ගලික වූ ආයතනයක් වුව ද නූතනයේ සමාජයේ ප්‍රධාන පැතිකඩක් බවට පත් වී හමාරය.   
 “‍කෞතුකාගාරයක් යනු මානවයාගේ හා ඔහුගේ පරිසරය පිළිබඳ ස්පර්ශිත හා අස්පර්ශිත උරුමය අත්පත් කර ගන්නා වූ ද, සංරක්ෂණය කරන්නා වූ ද පර්යේෂණ පවත්වන්නා වූ හා ප්‍රදර්ශනය කරන්නා වූ ද මහජනයාට සේවය කිරීමට හා එහි වර්ධනයට කැප වූ මහජනයාට විවෘත වූ අධ්‍යාපනය අධ්‍යයනය හා සංතුෂ්ටිය ළඟාකර ගැනීමට ඇති ලාභ නොලබන ස්ථිර ආයතනයකි.”කියා අර්ථගන්වන්නේ අයිකොම් ආයතනයයි.  
මේ කතාබහත් කෞතුකාගාරයක් ගැනය.මේ අපූරුම කෞතුකාගාරයකි.  
 එහි සුවිශේෂත්වය වන්නේ මෙම කෞතුකාගාරය කරගෙන යනු ලබන්නේ විහාරාධිපති හිමිනමක් විසින් වීමයි. මෙම අපූරු කෞතුකාගාරයේ ඉපැරණි, වටිනා එමෙන්ම දුර්ලභ වූ ග්‍රැමෆෝන්, ග්‍රැමෆෝන් තැටි, සිනමා ප්‍රොජෙක්ටර්, පැරණි කැමරා, පැරණි කාසි වර්ග (තඹ, පිත්තල, ලෝකඩ), විවිධ රටවල බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ ඉපැරණි පුස්කොළ පොත් රාශියක් තැන්පත් කර ඇත.   
එහි ග්‍රැමෆෝන් ආරක්ෂිතව තැන්පත් කළ හැකි ආවරණවල දමා වෙන් වෙන් වශයෙන් අල්මාරිවල මේ අසුරා තිබේ. මේ සියලු භාරදූර කර්තව්‍යයන් කරනු ලබන්නේ ගාල්ලේ ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද මහා විහාරාධිපති වලතර සෝභිත හිමියන් විසිනි. මෙලෙස අප ඔබ හමුවේ තබන්නේ එම කෞතුකාගාරය පිළිබඳ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හා කළ කතාබහයි.  
“මොරටුවේ අපේ මහප්පා කෙනෙක් ඉන්නවා. එයා ගාව තිබ්බා ග්‍රැම‍ෆෝන් එකක්. මම පුංචි කාලේ මහප්පලගේ ගෙදර ගියාම ආසාවට ඒක වාදනය කරලා බලනවා. ඒ හේතුව නිසයි මම පුංචි කාලේ ඉඳන්ම ග්‍රැමෆෝන්වලට ආසා කළේ. දැන් ඉන්න දුවා දරුවන් ග්‍රැමෆෝන් එකක් දැකලා තියා ඒ කියන්නේ මොකක්ද? ග්‍රැමෆෝන් එකෙන් මොකද වෙන්නේ කියලවත් දන්නෑ. ඒ හින්දම අනාගත පරපුර වෙනුවෙන් මෙහෙම දෙයක් කළොත් හොඳයි කියලා හිතුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙහෙම කෞතුකාගාරයක් කරගෙන යන්නේ.” එසේ පවසන්නේ ගාල්ල, ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද මහා විහාරයේ විහාරාධිපති වලතර සෝභිත නාහිමිපාණන්ය.  
උන්වහන්සේ මෙලෙස විනෝදාංශයක් ලෙස කෞතුක භාණ්ඩ එකතු කිරීම ආරම්භ කර තිබෙන්නේ වයස අවුරුදු පහළොවේ සිටය. එතැන් සිට පටන් ගත් මෙම මහඟු ක්‍රියාදාමයට මේ වනවිට වසර පනහකට ආසන්නය. එංගලන්තය, ඉන්දියාව වැනි රටවල නිෂ්පාදනය කළ විදුලි බලයෙන් ක්‍රියා කරවිය හැකි ග්‍රැමෆෝන් කිහිපයක්ද, සුසර කළ හැකි ග්‍රැමෆෝන් කිහිපයක්ද මෙම කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර තිබේ. දියමන්ති තුඩ සහිත හා ඉඳිකටු තුඩ සහිත ග්‍රැමෆෝන් යන්ත්‍රවලින් කිහිපයක් මේ වනවිටත් ක්‍රියාකළ හැකි තත්ත්වයේ පවතී. අති දුර්ලභ ගණයේ පැරණි ක්‍රිස්තියානි බැති ගී, නාඩගම් ගීත, නෘත්‍ය ගීත, ප්‍රේම ගීත, බයිලා, විරිඳු, චිත්‍රපට ගීත හා සරළ ගීත ඇතුළත් ග්‍රැමෆෝන් තැටි සිය ගණනක්ද රුක්මණී දේවී, මොහිදින් බෙග්, සී.ටී. ප්‍රනාන්දු, රූපසිංහ මාස්ටර්, එච්. ආර්. ජෝතිපාල වැනි ගායක ගායිකාවන්ගේ පැරණි ගීත ඇතුළත් ග්‍රැමෆෝන් තැටි විශාල ගණනාවක්ද මෙම කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා තිබේ.  
“මගේ ළඟ හැම මොඩ්ල් එකකම වගේ ග්‍රැමෆෝන් තියෙනවා. ඒ වගේම ග්‍රැමෆෝන් තැටි විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ලංකා ඉතිහාසයේ මුල් අවධියේ ඉඳන් ග්‍රැමෆෝන් මගේ ළඟ සුරක්ෂිතව තිබෙනවා. මගේ හිතේ ග්‍රැමෆෝන් ගැන තියෙන මතකය කුඩා කාලය තෙක් දිවයනවා. ඕනෙම ග්‍රැමෆෝනයක් සම්පූර්ණයෙන් ගලවලා නැවත යථා තත්ත්නයට පත් කිරීමේ හැකියාව මට තිබෙනවා. ඒ හැකියාව මට ලැබුණේ මගේ මේ ආසාව නිසා වෙන්න ඇති.”   
සෝභිත හිමියන් මෙම කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ මුදල් ඉපැයීමේ කිසිදු පරමාර්ථයක් මුල් කරගෙන නොවේ. උන්වහන්සේ පවසන ආකාරයට මෙම කෞතුකාගාරයෙන් බලාපොරොත්තු වන එකම දෙය නම් අනාගත පරපුර වෙනුවෙන් මෙම ග්‍රැමෆෝන් සංරක්ෂණය කිරීමයි. ඉස්සර කාලේ දුවා දරුවන් සෙල්ලම් කළේ මේ වගේ දේවල්වලින් වුවත් වර්තමාන ළමා පරපුර තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඔබ්බට ගොස් ලෝකය දකින්නේ නැහැ. උන්වහන්සේට ඕනෑ කරන්නේ අනාගත පරපුර මේ පිළිබඳ යම්කිසි දෙයක් උගෙන ගන්නවා දැකීමයි. දුවා දරුවන්ට අවශ්‍ය දැනුම සම්පාදනය කර ඒ හරහා එතුමන් යම්කිසි ආත්ම තෘප්තියක් ලබනවා වෙන්නට පුළුවන.  
“මහණ වෙන්න කලින් ඉඳන්ම මම ග්‍රැමෆෝන් එකතු කිරීම විනෝදාංශයක් විදියට සිදුකළා. පොඩි කාලෙත් කොහේදී හරි ග්‍රැමෆෝන් එකක් දැක්කොත් මම ඒක වාදනය කරලා බලනවා. ඒකෙන් හටගත් ආසාව නිසා මම දිගින් දිගටම මේ විෂය සම්බන්ධයෙන් සොයා බැලුවා. මේ පිළිබඳව අධ්‍යයනය කළා. මේ වෙද්දී මට ග්‍රැමෆෝනයක ඇති ඕනෑම දෝෂයක් සොයා ගැනීමට හා එය නැවත යථා තත්ත්වට පත්කිරීමේ හැකියාව තිබෙනවා. ළඟදි ඉඳන් මට මේ පිළිබඳව වැඩි උනන්දුවක් ඇති වුණා. මේ වෙද්දී මගේ ගාව ග්‍රැමෆෝන් දහයක් විතර තිබෙනවා. ඒ වගේම ග්‍රැමෆෝන තැටි විශාල ගණනක් තිබෙනවා.”  
ලංකාවට මුලින්ම රැගෙන ආ අතින් ක්‍රියාකරවන සිනමා ප්‍රොජෙක්ටරය හා විවිධ වර්ගවල පැරණි සිනමා ප්‍රොජෙක්ටර් දහයක් පමණද මෙම කෞතුකාගාරයේ සුරක්ෂිතව පවතී. වරින් වර සිනමාශාලා කිහිපයකින් මිලදී ගත් විශාල ප්‍රමාණයේ මිලි මීටර් 8, 16, 32, 35 ප්‍රමාණයේ කළු සුදු හා වර්ණ චිත්‍රපට මෙම පොජෙක්ටර් හරහා නැරඹීමේ හැකියාව පවතී. එමෙන්ම පැරණි චිත්‍රපට ගණනාවක් හා මෙරට මුල්ම ජාතික ගීය ඇතුළත් ග්‍රැමෆෝන් තැටියද සෝභිත නාහිමියන් ලඟ ඉතා සුරක්ෂිතව පවතී.   

මාතෘකා