පාතාලයේ කිරුළ සොයන දකුණේ මධූෂ්ලා

 ඡායාරූපය:

පාතාලයේ කිරුළ සොයන දකුණේ මධූෂ්ලා

ඉර කුරිරු විදිහට කටු පුප්පා ගෙනය. කාපට් ඇතිරිල්ල දියවෙන තරම් සැර ගිණි අවුවය. සීස් සීස්, ගා දිවෙන දහසක් වාහන අතරේ දූවිලි වේගයෙන් ආ යතුරු පැදියකින් බට අයෙක් අඩි දෙක තුනට පාර පැන ආයතනයක් වෙත ඇතුල් වෙයි. කිසිවක් නොදත් ආයතනයේ හිමිකරු ජංගමය සමඟ සංවාදයකය.
දුරකතන සංවාදයත් එක්කම හිස ඔසවා බලන ආයතන හිමිකරු ඉදිරියේ වූයේ දෑතින්  පිස්තෝල දෙකත් ගත් මානාගත් 'ආගන්තුකයා'ය. හිමිකරු ගේ දෙනෙත් වීදුරුබෝල වන ඇසිල්ලට කොළඹ දෙදරුම් කා ගියේය.
ගොදුර ගත් වෙඩික්කරුට පිටවීම පහසු නොවීය.. වටපිටාව ඇවිස්සින. තරුණයෝ වට වූහ. වෙඩික්කරු තමා අත වූ ගිණි අවි දෙකේම කොකා ගැස්සීය. එහෙත් ක්‍රියාත්මක නොවිණි. තරුණයෝ වටවූහ. ප්‍රහාරය පටන් ගත්හ.
නුරානියා වීදියේ තරුණයන් කුලී ඝාතකයා වට කරගෙන පහර දෙන්නට වූහ. මේ අතර කෙසෙල්වත්ත පොලිසියේ ජීප් රථයක්‌ නුරානියා වීදියට පැමිණෙන්නේ පහරකමින් සිටින කුලී ඝාතකයා අත්අඩංගුවට ගැනීමටය. එහෙත් ඒ වන විට ඝාතකයා සිටියේ අඩසිහියෙනි. ඒ තරමටම ඔහු පහර කෑමට ලක්‌ව සිටියේය. පොලිසිය අපරාධකරු අත්අඩංගුවට ගත්තද තරුණයෝ නැවත ඔහු පිටතට ගෙන පහර දුන්හ. අපරාධකරු අවසන් හුස්ම හෙළීය.
සහායක යතුරුපැදිකරු ඒ වනවිටත් ඉගිල ගොසිනි.
පොලිස්‌ නිලධාරීන් දැඩි වෙහෙසක්‌ දරා ඝාතකයා ජීප් රථයට දමා ගත්තේ කඩිනමින් රෝහල කරා රැගෙන යැමටය.
මේ ඔබ කියවන්නේ බිහිසුණු ක්‍රියාදාම චිත්‍රපටයක උද්වේගකර සිදුවීමක් නොවේ.
සිදුවීම ලංකාවේය. තැන අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල නුරානියා වීදියයි. සිදුවූයේ තවත් 'පාතාල ඝාතනයකි.
මෙවැනි සිදුවීම් කලක සිට සුලබය. පාතාලයේ කෙළි ඔහොමමය.
පළාත් පාලන මැතිවරණ නිමාවීමෙන් පසු ඩුබායි සිට මෙරටට පැමිණි බයියා නමැති පාතාල සාමාජිකයකු විසින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවටද පාතාල මර්ධන ඒකකයන් වෙත තොරතුරු ලැබී ඇත. බයියා යනු මීට පෙර පාතාල ලෝකය රජ කළ ආනමාලු ඉමිතියාස්ගේ සගයෙකි.

නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

'මේ පද ටික හමුවන්නේ 'ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේය. බිහිසුණු පාතාලයේ ගති ස්වභාවය මෙයින් අපූරුවට කියැවේ.
පපුවේ පච්චයක් කොටාගෙන, කණේ සතපහක් රඳවාගෙන, ගමක් බිය කරගෙන සිටි චන්ඩින්ගෙන් පැවතගෙන ආ සංස්කෘතිය, කාලයත් සමඟ පාතාලය බවට පත් වී චිකාගෝ පන්නයේ අපරාධ දක්වා ව්‍යාප්ත වී තිබේ.
පොලොන්නරුවෙ පොඩි විජේලා, මරදානෙ චොප්පෙලා, අග්ගොන චන්දරේලාට තිබුණේ 'ගමේ චණ්ඩි' ලෙවෙල් එකය.
එහෙත්
කඩු, කිරිඥ්ඥ, ඩප්පි ඉතා ඉක්මනින් තුවක්කු, බෝම්බ දක්වා පරිවර්තනය විය. 70 දශකයෙන් මෙපිටට අසූව දශකය යටකරගෙන අනූව සහ දෙදහස වසර ඉක්මවා යන්නේ කාලයත් සමඟ නවීකරණය වූ පතාලයකි.
මිනීවලට පවා වෙඩි තැබූ පාතාලය
උතුරේ යුද්ධය තිබියදීත් දකුණේ පාතාලය ක්‍රියාත්මක විය. අණක්-ගුණක් නැති වියරු පාතාලය දකුණ කැළඹූ අවස්ථා බොහෝය. එය ගොඩනැගෙන්නේ, මළ මිනීවලට පවා වෙඩි තැබූ අතීතයක් එක්කය. ඒ කියන්නේ දකුණේ පාතාලය මිනියකටවත් නිදහසක් දුන්නේ නැත. එදා දකුණේ පාතාලය පුරා භීෂණය වපුරුවාගෙන සිටියේ සූරියවැව රත්නවීර, වම්බොට්‌ටා, පල්ලන්තර ජගත්, ආමි ජිනේ, ලන්දුවත්තේ බාලයා වැනි පාතාල කෙරුම්කාරයින්ය. උන් එකපිට එකා මරා ගත්හ.
දැන් එය හිමි වී තිබෙන්නේද කඹුරුපිටියේ මධූෂ්  හරහාය. දෙවුන්දර මධූෂ්, කුඩු මධූෂ් යන නම්වලින් ද හඳුන්වන මොහු පාතාලයේ කිරුළ සොයන ප්‍රමුඛයාය.
කුඩු ව්‍යාපාරයේ මුල් පුරුක් තුනක්ම දකුණේය. ඉන් එක් පුරුකක් මධූෂ්ය. අනෙක් දෙදෙනා කොස්ගොඩ සුජී හා දෙවුන්දර තමිල්ය.
වරක් කුඩු කිලෝ එකසිය විස්සක් අතුරුදන් කිරීමේ 'ගේම' ගහන්නේ මධූෂ්ගේ කල්ලියයි. දෙවුන්දර ඩිලයිට් නැමැති පාතාලයා හරහා මධූෂ් මේ ජාවාරම මෙහෙයවීය. ඒ කොල්ලය සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ලෙස පෙනී සිටිමින්ය. ජාවාරම්කරුවන් පිටුපස හඹා යන පොලිසියේ ඇස් වසා පිරිස දක්ෂින අධිවේගය හරහා පලා යන්නේ වෙනත් වාහනයකට කුඩු තොගය මාරු කරමින්ය. කුඩු තිබූ බෝට්ටුවේ සිටි දෙදෙනාත්, කුඩු තොගය ගෙන්වූ කල්ලියත් අත්අඩංගුවේය. එහෙත් කුඩු අතුරුදන් කළ මධූෂ්ගේ කණ්ඩායමත්, කුඩු තොගයත් ආගිය අතක් නැත. උතුරේ යුද්ධය තිබියදීත් දකුණේ පාතාලය ක්‍රියාත්මක විය. අණක්-ගුණක් නැති වියරු පාතාලය දකුණ කැළඹූ අවස්ථා බොහෝය.
ඒ ඒ කාලවලදී සදාචාර හෙවනැල්ලෙන් සිරුර වසාගෙන සිටි පාදඩ දේශපාලනයේ ලුණු ඇඹුල් සමඟ පාතාලය පණගසා අවදි වෙයි.
නාරාහේන්පිට, හැටේවත්ත සහ මැනිං ටවුමේ සිල්පර කොටන් මතින් ගෙවී ගිය මුඩුක්කු පරිසරය තුළ හැදී වැඩුණු උපාලිලා ඒ රටාව වෙනස් කළේය. ගෝනවල සුනිල්, වම්බොට්ටා, ධම්මික අමරසිංහ, බැදදගානෙ සංජීව, ඕල්කට්, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ, කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා, ප්‍රින්ස් කොලම්, ධනුශ්ක, නෙලුවේ ප්‍රියන්ත, කඩුවෙල වසන්ත, ආමි රොෂාන්, උස කුමාර, වැනි අන්වර්ථ නාමධාරී පාතාල කෙරුමෝ  70 , 80 , 90 දශක පුරා 'ගිනිකෙලි' සංදර්ශණ  පැවැත්වූහ.
එහෙත්, ඒ සියලුදෙනාගේම ඉරණම් කතාව හමාර වුණේ කුරිරු ලෙසටය.
මේ දිනවල පාතාලයේ කෙරුම්කාරයෝ වී සිටින්නේ 'මාකඳුරේ මධූෂ්' සහ 'කොස්ගොඩ සුජී'ය.
ඒ දෙදෙනාටම ජාත්‍යන්තර 'රතු නිවේදන' නිකුත්කොට තිබේ.
කළුතර - එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට පහර දී පාතාල නායක සමයං ඇතුළු හත් දෙනකු සමූලඝාතනය කිරීම, පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, ආදී අපරාධයන් රැසක් සැලසුම් කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවට අනුව සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ්ට ජාත්‍යන්තර පොලිසිය නිල් නිවේදනයක් නිකුත් කර ඇත. කොස්ගොඩ සුජීට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනය නිකුත් කරන්නේ මනුෂ්‍ය ඝාතනයන් හතරකට පමණ ඍජුව සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ වාර්තාවකට අනුවය.
කොටින්ගෙනුත් උදව් ගත්ත මධූෂ්
ටී.56 අවියකින් ගිලිහෙන මූනිස්සමක වේගයෙන්, ගැලවෙන පාතාලයේ කිරුළ මේ දිනවල දරන්නේ මධූෂ්ය. ඉතිහාසයේ පාතාල කෙළිවලට සම්බන්ධව සිටි සියලු කෙරුම් කාරයින්ට අත් වූ බිහිසුණු ඉරණම දැන දැනම මධූෂ් සිය ජවනිකාව රඟපාමින් සිටියි.
දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනා වන්නේ කොස්ගොඩ සුජී හා මාකඳුරේ මධූෂ්ය. මාකඳුරේ මධූෂ් එල්.ටී.ටී.ඊ.ය සමඟ ද සබඳතා පැවැත්වූ පාතාල නායකයෙකි. එල්.ටී.ටී.ඊ. යෙන් මයික්‍රෝ වර්ගයේ පිස්තෝල හා ටී. 56 අවි පෙට්ටියක් පවා මධූෂ්ට තෑගි ලෙස ලැබී තිබේ. හිටපු කොටි පොලිස්පති නඩේසන්ගේ බිරිඳ සමඟ තිබූ දැනහැඳුනුම් කමක් මධූෂ් කොටිසංවිධානයෙන් උපකාර ලබාගැනීමට පාදක කර ගනී. සමන්තුරේදී ඔහු දෙමළ ජනයා සමඟ ගනුදෙනු කරන අතර ඒ හරහා දෙමළ කතා කිරීමට සමත් වෙයි. කොටි පොලිස්පති නඩේසන්ගේ බිරිඳ වූ විනීතා ගුණසේකර සමඟ ඔහුට තිබෙන ඥාතිකම පිය පාර්ශවයෙන් එන්නකි.
දකුණේ පාතාලය එතෙර සිට මෙහෙයවන තැනට රැගෙන ගියේ මධූෂ්ය.
ඩුබායි වල ඉන්නේ කොහොමද?
ඩුබායි රටේ සිටිමින් කොස්ගොඩ පැත්තේ පාතාලය මෙහෙයවන්නේ කොස්ගොඩ සුජීය. අනෙක් පැත්තෙන් එහි රඟන්නේ මධූෂ්ය. දෙදෙනාම එකම රටේ දෙතැනක හිඳිමින් එකිනෙකාට එරෙහිව පතාල කෙරුම්කාරකම් මෙහෙයවයි. දෙදෙනාටම එකම දේශපාලන බල අධිකාරියේ සහය ලැබෙයි. ඩුබායි වෙළඳ රාජ්‍යකි. එහි සිට පාතාල කෙරුම්කාරකම් කිරීමේ කිසියම් පහසුවක් තිබේ. අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා පාතාල වැඩකරුවන් ආරක්ෂිතව රැඳී සිටිය හැකි රටක් ‍ලෙස ඩුබායි තෝරාගෙන ඇත. සුජී සේම මධූෂ්ද ඒ වාසිය ප්‍රයෝජනයට ගෙන සිටී. ඔහු ඩුබායි සිට නවීනතම තාක්ෂණය පවා යොදාගෙන සිය කෙරුම්කාරකම් කරමින් සිටියි.
පසුගියදා කොස්‌ මල්ලී ඝාතනයකොට කවන්ධය  ගෙනත් දමන්නට අණ දෙන්නේ මධූෂ්ය.
හර්ෂ මැරූ පලිය
ඩැනී හිත්තැටිය ඝාතනයේ තවත් ප්‍රධාන සැකකරුවෙක් වූ හර්ෂ නමැති ඔහුගේ ගෝලයා පසුගිය වසරේදී රාජගිරිය ඔබේසේකරපුරදී ඝාතනය කරනු ලැබූ අතර එය සමයං කල්ලියේ වැඩක් බවට පොලිසිය සැක පළ කළේය. ඒ සිදුවීම මධූෂ්ට සමයං ඝාතනය කරන්නට හේතුවූ බවට පොලිසිය සැකකරයි. ඔහු එයද සැලසුම් කරනු ලැබුවේ දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් වීම විශේෂයකි. එසේම මධූෂ්ට වෙළේ සුදා සමඟ සම්බන්ධකම් ඇති බවට ද මත පළවේ. වෙළේ සුදාට ප්‍රධාන අභියෝගයක් වූ රංගජීව ඝාතනය කරන්නට සැලසුම් කිරීම වෙළේ සුදාගේ අවශ්‍යතාවය මත සිදුවූ බවට මතයක් පවතින අතර මධූෂ් තොග වශයෙන් මෙරටට හෙරොයින් සැපයීමේ ජාවාරමක නිරත වන බැවින් එයට ද රංගජීව මහතා ඇතුළු කණ්ඩායම අභියෝගයක් වන බැවින් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තවත් මතයක්ද සමාජයේ පවතී.
මරණ වරෙන්තුව
කොස්ගොඩ සූජි විසින් ඩුබායි සිට ලබාදුන් උපදෙස්වලට අනුව ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් වන කොස්ගොඩ රණා සහ මීටියාගොඩ රාජු නමැති පාතාලයේ කුළී ඝාතකයන් දෙදෙනා දින 21ක කාලයක් තුළ පමණක් මාකඳුරේ මධූෂ්ගේ කල්ලියට සම්බන්ධව සිටි ගාල්ල, කොස්ගොඩ සහ ඌරගස්මංහන්දියේ පස් දෙනෙකුව ඝාතනය කරනු ලැබ තිබුණි.
හෙරොයින් විකිණීම, කප්පම් ගැනීම සහ කුළියට මනුෂ්‍ය ඝාතන සිදුකිරිම මධූෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් කිහිපයකි. ඔහුට පිටුපාන සියලු දෙනාට මරණ වරෙන්තුව 'මධූෂ්' සතුව තිබේ.
කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී වාහන කුළියට දෙන ආයතනයක හිමිකරුවකු වූ මොහොමඩ් රිස්‌කාන් මධූෂ්ගේ ළඟම හිතවතෙකි. ඔහු රිස්කාන් හා හිතවත් වන්නේ රිස්කාන්ගේ ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කළ අයෙකු ලෙසය.
හිටිගමන් රිස්‌කාන්ව වෙඩි තබා ඝාතනය කරන්නේ කඩුවෙල සමයංගේ ප්‍රධාන ගෝලයෙක් වූ 'කොස් මල්ලිය'. අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයකු වූ රත්තරං නමැත්තාටද වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබුණේ මොහුටය.
 මොහොමඩ් රිස්‌කාන් ඝාතනය කිරීම සඳහා පැමිණි කුලී ඝාතකයන් පැමිණ සිටියේ කොස්‌ මල්ලීට අයත් යතුරු පැදියකිනි. මධූෂ් මේ පිළිබඳව දැන සිටියේය. එයට අමතරව  අංගොඩ ලොක්‌කා ද මධූෂ්ගේ ගෝලයෙකි. ඔහු මරා දැමීමටද රණාලේ සමයං සමඟ කොස් මල්ලී එකතුවී තිබිණි. මෙම හේතු නිසා මධූෂ්, කොස්‌ මල්ලී සමඟ සිටියේ දැඩි වියරුවකිනි.
'ඌ ඉවරයක් කරලා ඔලුව පෙන්නපල්ලා'
මධූෂ් ගෝලයින්ට අණ දුන්හ.
අන්තිමට 'ගොදුර' හමු විය.
 මධූෂ්ගේ පාතාල ගෝලයෝ දැනට දින කිහිපයකට ඉහතදී කොස්‌ මල්ලී පැහැරගෙන ගොස්‌ මරා දමා ඔහුගේ හිස කඳින් වෙන්කර රිස්‌කාන් මරා දැමූ තැනට ගෙනැත් දැමුහ.
ඒ මධූෂ්ලා පළියට පළිය ගත්ත ආකාරයය.
 සමාජ තුල්‍යතාවය උදෙසා අපි නොකැමැති දෑ සිදුවිය හැකිය. ඒ අනුව ගව ගහණය පාලනය උදෙසා ගවයින් ඝාතනය කිරීමත්,ගොදුරු බවට පත්වීමත් සිදුවෙයි. පාරසරික තුල්‍යතාවය රැඳෙන්නේ එවිටය. තල්මසුන් වරකට බිලියන ගණනක් බිජු මුදාහරියි. එහෙත් පැටවුන් බිහිව, තල්මසුන් සේ වැඩෙන්නේ අතලොස්සකි. ඒ පාරිසරික තුල්‍යතාවයේ 'රටාවයි.'
එහෙත් මේ පාතාල නාඩගම් තුළින් රැකෙන තුල්‍යතාවයක් නැත. එය සහමුලින්ම සමාජ දේහය සලිත කරන බිහිසුණු තත්ත්වයක් පමණක්ම වෙයි.
පාතාලයේ 'ගෝඩ් ෆාදර්' වීමට අර අඳින මධූෂ් කලක සිට කරනු ලැබූ අපරාද සිය ගණනක් වෙයි.
මධූෂ් කෙටිකාලීන අධ්‍යාපනයකින් පසු සමන්තුරේ ප්‍රදේශයේ ගරාජයක සේවය කරන අතර 1999දී අත්අඩංගුවට පත් වෙන්නේ බෝර 12 ගිනි අවියක්, ජීව උණ්ඩ දෙකක් සහ අත් බෝම්බයක් ළඟ තබාගෙන සිටි වරදටය. මධූෂ්ගේ 'සෙල්ලම්' ආරම්භ වන්නේ එතැනින්ය.
2001 වසරේදී නැවත ඔහු කරලියට එන්නේ, මාකඳුරේදී ආමි ගමගේ ඝාතනයත් සමඟිණි. ඒ සමගම 2004 වසරේදී ඔහුට චෝදනා එල්ල වන්නේ මාකඳුරෙ විජේතුංග ඝාතනය සම්බන්දව ය.
දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතා ඝාතනයෙන් මධූෂ් කරළියට එයි.  
පාතාල කිරුළට අත පොවන අනෙකා වන සුජීගේ ක්‍රියාකාරකම් තරමක් අඩපනව ඇත්තේ විශේෂ කාර්‍ය බලකාය නිසාය. විශේෂ කාර්‍ය බලකාය  විසින් සුජීගේ ගෝලයින්ට දැල එලා සිටී.
මේ හේතුවෙන් සුජී සිටින්නේ වියරුවෙනි. කොස්ගොඩ සුජීගේ කණ්ඩායමේ කිහිපදෙනෙකුට මාංචු වැටීමත් සමඟ සුජී සහ මධූෂ් අතර විරසකය වැඩි විය.
තිර පිටපත්
කෙසේ වෙතත් සුජීගේ කණ්ඩායමෙන් පිටත මධූෂ්ගේ කණ්ඩායමේ සාමාජිකයන් යම් යම් අවස්ථාවලදී අත්අඩංගුවට පත් වුවත් එය තිරපිටපතක් ඇතිව කළ නාට්‍යයක් විය හැකි යැයි බොහෝ දෙනකුගේ අදහසය. ඉන් ප්‍රධාන වන්නේ මීගමුව දාගොන්නේදී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් - අත්බෝම්බ, මන්නා පිහියක් සහ පතරොම් කීපයක් සමඟ පිරිසක් අත්අඩංගුවට පත්වීමය. ඔවුන් සැබවින්ම ජාඇළදී අත්අඩංගුවට ගත්තාද, පෑලියගොඩදී අත්අඩංගුවට ගත්තාද යන්න විවාද සම්පන්නය. දකුණේදී ප්‍රබල දේශපාලනඥයෙක් පෑලියගොඩදී ලබාදුන් ඇමතුමකට පසු ඔවුන් පොලිසිය වෙත භාරවී උසාවියට ඉදිරිපත් කළා යැයි තාරකගේ කණ්ඩායමේ සාමාජිකයෝ සැක පහළ කරති.
කොස් මල්ලී
කොස් මල්ලී නැමැත්තා ඝාතනය කිරීම අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන්නේ ඒ ඝාතනය සිදුකළ සාහසික ස්වභාවය නිසාවෙනි. ඒ පිළිබඳව භීතිය සහ ත්‍රාසය උලුප්පමින් වාර්තා ඉදිරිපත් වූ අතර අපට කියන්නට තිබෙන්නේ සමාජ ප්‍රගමණයට සහ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියට එරෙහිව යන්නන්ගේ ක්‍රියාකාරකම් කිසිසේත්ම 'වීරකම් 'නොවන බවය. එකී සැහැසිකම් ලත් තැනම ලොප් නොකිරීමේ ආදීනව සමාජ දේහය ලෙයින් තෙත් කරන තැනට පත් කෙරේ. ඕල්කට සහ චින්තක අමරසිංහලා සිදුකළ සාහසික වර්ගයේ ඝාතනවල ඉතිහාසය මෙබඳුය. හිස සිඳ එය රැගෙනවිත් 'බාර' ලෙස ඔප්පු කිරීම එකී සාහසික ස්වභාවයයි.
ඝාතනය වූ කොස් මල්ලී  පාතාලයෙකි. රත්තරං නැමති පාතාලයා මරා දැමීමට සමයංගේ කල්ලියට උදවු කරන්නේ 'කොස් මල්ලීය'. අංගොඩ ලොක්කා මරා දැමීමට මැදිහත් වන්නේද මොහුය. පාතාලයින් පිරිසක් සමඟ ගොස් සමයංගේ නිවසෙහි දොර ජනෙල් වලට මන්නා සහ පොරෝ වලින් කොටා අලාභහානි කරන ඔහු 'ගේම්' ඉල්ලන්නේ සමයංගෙනි.
අංගොඩ ලොක්කාගේ හිතවතා වූ අංගොඩ් චිට් ට අයි.ඩී.එච් හංදියේදී වෙඩි තියන්නේත් කොස් මල්ලීය. චිට් නූලෙන් බේරුන අතර කොස් මල්ලී තවත් එදිරිවාදියෙක් හදා ගන්නේ එහෙමය.
අවසානයට කොස්මල්ලී 'කවන්ධයක්' පමණක් බවට පත්වෙන්නේ මදූෂ්ගේ මැදිහත් වීමෙනි.
එකිනෙකා මරාගන්නා දකුණේ අපරාධ රැළ්ල පසුපස සිටින පාතාලයේ ප්‍රභලයන් දෙදෙනා වන්නේ ද කොස්ගොඩ සුජී හා මාකඳුරේ මධූෂ්ය.
ඒ පාතාලයින් දෙදෙන රටින් පිට සිටින අතරේ පාතාල කිරුළ අල්ලන්න වෙර දරන අනෙකා  කරන්දෙණිය සුද්දාය. ඔහු අවි ආයුධ දහයක්, පහළොවක් පාවිච්චි කරමින් කළ ඝාතන රැල්ල බිහිසුණුය. මේ සියලු දෙනා සැරසෙන්නේ කිරුළ තමා අතට ගැනීමටය. දකුණේ පාතාලයේ බලයෙන් ප්‍රියන්ත නැමැත්තා අවසන් ගමන් යවා කරන්දෙණිය සුද්දා මේ වනවිට බලය අල්ලමින් සිටියි.
සුද්දාගේ හිස එසවීම කොස්ගොඩ සුජීට දරාගත නොහැකිව ඇත. සුජී ඩුබායි සිට පාතාලයට නායකත්වය දෙද්දී සුද්දා ඍජුවම එම පාතාල කණ්ඩායම් මෙහෙයවමින් කරළියට පැමිණිම මීට හේතුවය‍. සුද්දා විසින් ප්‍රියන්තගේ ඉලක්කයක් ගෙන දකුණේ පාතාලය අතර කතාබහට ලක්වෙද්දී කොස්ගොඩ සුජී තම හැකියාව පෙන්වන්නට තවත් ඉලක්කයක් සපුරන්නේය.
සුජීගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් වූ කොස්ගොඩ තාරකගේ කල්ලියේ වැඩකරුවකු වූ කොස්ගොඩ ලොකු එම ඉලක්කයයි. මෙම ඉලක්කය සඳහා කොස්ගොඩ සුජී යොදවන්නේ වැලිපැන්න පොලිස් වසමේ බොන්දුපිටියේ සිටින සුජීගේ කණ්ඩායමකි. කරන්දෙණියේ සුද්දාගේ කල්ලිය අතහැර වෙනත් ප්‍රදේශයකින් කණ්ඩායමක් ගෙන්වා ටී. 56 අවි තුනක් යොදා ඉලක්කය සපුරා ගන්නේද මේ අනුවය‍. කොස්ගොඩ සුජී බලය පෙන්වන්නට වලි කෑව ද දැනටමත් කවදාහරි දකුණේ පාතාලයේ ලොක්කා වන්නේ සුජී නොව තමා බව සුද්දා එළිපිට කියා ඇත්තේය.
මේ සියලු සාධක ගොඩනැගී තිබෙන්නේ 'මරණයේ' ඉව සොයන මායිමට සේන්දු වෙමින්ය.
 නිල නොලත් වීසා සපයන්නා
මධූෂ්ලාට රටින් පිටවන්නට සහය දෙන්නේත් දකුණු පාතාලයේ නිල නොලත් වීසා සපයන්නෙකි. ඔහු 'රාහු'ය. ලංකාවෙන් පැන මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යන මධූෂ් එහිදී බාරගන්නේ රාහුගේ ගෝලයින් විසිනි. එහෙන් ඔහු පැනගන්නේ ඩුබායි වලටය.
කෙසේ වෙතත් මේ වන විට වාර්ථා වෙන්නේ මදූෂ්, ඉතාලියට පැනගොස් ඇති බවයි. ඉතාලියෙන් ස්විස්ටර්ලන්තයට යාමට ඔහු වෑයම් කරමින් සිටින බවත් පැවසේ.
අවිඥානික ජන විඥානයක් තුළ යක්ෂාගමනයට ආවඩන සමාජය විසින්ම පාතාලය නිර්මාණය කොට තිබේ. එහි ගිලෙන්නෝ කිසිදාක ගොඩ ඒමක් නැත. මළපුඩුවට තදින්ම සිර වූ පසු දඟලද්දී තව තවත් සිර වන්නේය. ඉඳින් මේ තුළ මරණය සැපතක් මිස අනෙකක් නැත. ඉඳින් මෙවන් වූ මළපුඩුවකට බට පාතාලයින්ට සිදුවන්නේ මරණයේ ගොරගොරය අසමින් මරණය එනතුරු බලා සිටීම පමණි.

 

[සමන්ත ඉහළගම]

මාතෘකා