බෙදීම් නැති කිරීම පාසලෙන් පටන්ගත යුතුයි

 ඡායාරූපය:

බෙදීම් නැති කිරීම පාසලෙන් පටන්ගත යුතුයි

සිංහල අන්තවාදය එක පැත්තකින් රට අනතුරේ හෙළනවා. මුස්ලිම් අන්තවාදය තවත් පැත්තකින් ඒ වැඩේම කරනවා. දෙමළ අන්තවාදයත් සක්‍රීයයි. පාලකයෝ හැමෝම මේවා තමන්ගෙ දේශපාලන අනාගතයට පාවිච්චි කරනවා. මෙහෙම ගියොත් රටේ අනාගතයට මොකක් වෙයිද...?
සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රශ්න බොහෝ දුරට සමානයි. කුඹුරු කරන අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව වගේ පළාත්වල සිංහල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයි, උතුරේ කුඹුරු කරන අයට තියෙන ප්‍රශ්නයි සමානයි. ඒ නිෂ්පාදනවලට හරි මිලක් නෑ. තමන්ගෙ දරුවන් යවා ගන්න හොඳ පාසල් නෑ. තියෙන පාසල් වලට හොඳ ගුරුවරු නෑ. තරුණයන්ට රැකියා නෑ. ඔය වගේ ප්‍රශ්න ගණනාවකින් හැම පැත්තෙම මිනිස්සු පීඩා විඳිනවා.  
ඒ වගේම යුද්ධය නිසා මුහුණ දෙන්න වුණු විශේෂ ප්‍රශ්න ගණනාවක් උතුරේ හැම දෙමළ මනුස්සයම අත්විඳලා තියෙනවා. ඒ කියන්නෙ දකුණට වඩා වෙනස් අත්දැකීමකුත් තියෙනවා. මේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන එක ඒ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, උඩින් ඒ ගොල්ලො මත දාන එකක් කියන එකයි මගේ අදහස. මේ ප්‍රශ්නෙ හරියට තේරුම් ගන්න ඕනෙ. එහෙම නැතුව සරල තැන්වලින් අල්ලගෙන වැඩ කරන්න අමාරුයි.  

ඔබ වහන්සේ යුද්ධය ගැන කතා කළා. සෘජුව සහ වක්‍රව යුද්ධයට මුහුණ දීපු මිනිස්සුන්ගේ ඔළු හදන්න අපේ රටේ පශ්චාත් යුද කාලය තුළ කිසිම විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ. අනෙකුත් ගැටුම්කාරී සිදුවීම්වලට අදාළ තත්ත්වයත් ඔය විදිහමයි. මේ කාරණයත් ජාතිවාදී බලවේගවල වාසියට හේතු වෙනවා...?
අර මම මුලින් කියපු ප්‍රශ්න එහෙමම තියෙන අතරෙ යුද්ධය වෙනුවෙන් මේ රටේ වෙනම මතවාද හැදුණනෙ. ඒක උතුරටත් පොදුයි. දකුණටත් පොදුයි. මේ මතවාද ඔස්සේ ගිහින් එක පැත්තක් අනෙක් පැත්ත පරාජයට පත් කරලා අවසාන වුණාට පස්සෙ මේ දෙපැත්තම නැවත ස්වභාවික තත්ත්වයට ගේන්න කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ.  
දකුණ මේ ජයග්‍රහණය කියන එක දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් හානි වූ උතුරෙත්, දකුණෙත් මිනිස්සුන්ගෙ මනස හදන වැඩපිළිවෙළක් හැදුණෙ නෑ. ඒ ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් තිබුණෙත් නෑ. දකුණ දිගටම ජයග්‍රාහී මානසිකත්වයේ හිටියා. ඒ මානසිකත්වය තියාගන්න විවිධ කණ්ඩායම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. උතුරේ වගේම දකුණේත් මනස වෙනස් කරන්න අවශ්‍ය දේවල් වෙනුවට ඒ විදියටම තියාගන්නයි බලධාරීන් කටයුතු කළේ.  
මේක බරපතල කාරණයක්. එකම රටක් ඇතුළෙ ජන කොටස් දෙකක් ජීවත් වෙන්නෙ යථාර්ථ දෙකක. ඒ නිසා මේ වෙලාවෙ නැවත ඔය ජාතිවාදය කියලා රැල්ලක් ඇවිත් තියෙනව නම් ඒක අලුතින් පටන් ගත්ත එකක් නෙමෙයි. අර සකස් කරපු පාරෙම දිගුවක්.  

අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට ජාතිවාදය අදාළ නෑ. ඒත් ගැටලුව තියෙන්නෙ පාලකයන් ඒකට පෙළඹවීමේ ප්‍රමාණය. කොහොමද මේකෙන් ජනතාව බේරාගන්නෙ…?
මම දකින දේ තමයි, අහවල් දේශපාලනඥයො මේක කරයි, අරයා මේක කරන්න ඕනෙ වගේ දේවල් බලාගෙන හෝ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ආගමික නායකයො වෙන්න පුළුවන්, සමාජ සංවිධාන වෙන්න පුළුවන් ඒ වගේ සක්‍රීය සමාජයක් හරහා තමයි මේක කරන්න පුළුවන්.  

අපේ වගේ සමාජයක ආගමික නායකත්වයට මෙතැනදි වැඩි බරක් දාන්න පුළුවන්…?
ඇත්තටම ඔව්. මගේ අදහසත් ඒක තමයි. ආගමික මූලයන්වලට ගියහම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීම ගැන අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදුදහමෙ මෛත්‍රීය ගැන කතා කරනවා. කිතුනු දහමෙ අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන කතා කරනවා. හැම ආගමකම පදනම් එකයි.   
දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක්. මේ බෙදීම් රේඛා ඇති කරන්නෙත් ඒ වෙනුවෙන්. ඔවුන්ට ඡන්ද ගොඩක් ලැබෙන්නේ මේ ජාතිවාදී මතවාද පෝෂණය කිරීමෙන් සහ ඒවා ඇවිළවීමෙන්.  

ආගමික නායකයන් විසින්ම නේද මේ මතවාද දරුණු විදිහට පෝෂණය කරන්නෙ…?
ඒක තමයි තියෙන බරපතළම ගැටලුව. බුදුදහම ගන්න. බුදුදහමේ තියෙන ඉගැන්වීම් මේ ජාතිවාදී බලවේගවලට මුහුණට මුහුණ මුණගැස්සුවොත් ඔවුන්ට උත්තර නැති වෙනවා. ඔවුන්ට මුහුණ දෙන්න බෑ. උපත මත කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නෙ නෑ, පැවිදි සංස්ථාව ගොඩනැංවීමේ මූලික කාරණය බෙදීම් නෑ කියන එක. ඒවා මේ මොහොතේ මේ ඇතැම් කණ්ඩායම් පෙන්වන ආගමික කාරණාවලට වඩා සම්පූර්ණ වෙනස්. හැබැයි මේක අභියෝගයට ලක්කිරීම තමයි මේ වෙලාවෙ කළ යුතුම දේ.  
අනෙක් කාරණය තමයි, මේ කියන හාමුදුරුවරු කියන්නෙත් පහුගිය යුද්ධ කාලෙ පුරාම ඒ අත්දැකීම් විඳපු අය. ඒ ගොල්ලන්ගෙ දායකයන්ගෙ දරුවො මැරෙනවා. ඒ අයට පාංශුකූලෙ දෙන්න යනවා. බුද්ධ පූජා තියනවා. මායිම් ගම්මානවල හිටියා නම් ඒ හාමුදුරුවරු ඉබේම එක පාර්ශ්වයකට යනවා. ඒ ගොල්ලොත් එක ඉලක්කයක්. ඒ මානසිකත්වයෙන් හාමුදුරුවරු වගේම පූජකතුමන්ලත් මුදවාගන්න ඕනෙ.  
මෙතැනදි තවත් කාරණයක් කියන්න ඕනෙ, වෛද්‍යවරයා කොයිතරම් බරපතළ ලෙඩකින් පීඩා වින්දත්, එයා දෙන බෙහෙතෙන් ලෙඩ්ඩු සනීප වෙනවා. ඒ වගේ තමයි ආගමික නායකයනුත්. ඒ ගොල්ලොත් තුවාල සහිත තමයි. ඒත් යමක් කරන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා.  

ඔබ වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයක් දරනවා. ඇත්තටම මෙතැනදි විද්වත් ප්‍රජාවේ නිහඬතාවත් ඉතාම බරපතළ කාරණයක්,
ඒ වගේම ඔවුන් ජාතිවාදය පෝෂණය කරනවා…?

අසූ තුනේ සිද්ධිය වෙනකොට විද්වත් ලෝකයට ඒ තරම් දැනුමක් නොතිබුණා කියලා හිතමු. ඒත් ඊට පස්සෙ අවස්ථා ගණනාවකදි ඒකම වෙන්න යනකොට විද්වත් සමාජය පෙන්නුම් කරපු නිහඬ බව හරිම භයානකයි. ඒවා මමත් හරිම කම්පනයකට පත් වුණු අවස්ථා. සමාජයේ මත හැඩගස්වන්නන් නිහඬ වීම භයානකයි.  
අපේ සමාජය බරපතළ විදිහට මිලිටරීකරණය වෙච්ච සමාජයක්. අසූව දසකයේ ඉඳලා වෙච්ච දේවල් බලන්න. විකල්ප මත දරන එක භයානකයි කියන එක සමාජගත වුණා. විශ්වවිද්‍යාලවල ඉස්සර විවිධ මත දරන අය ගෙනැත් සංවාද කළා. දැන් අවුරුදු ගණනාවක ඉඳන් ඒවා නෑ. සංවාදවලට සහභාගි වෙන්න අය නෑ. ඒක ඉවරෙටම ඉවරයි. මේ තත්ත්වයන් නිසා විශ්වවිද්‍යාල සිසුනුත් හිරි වැටිලා ඉන්නෙ. සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා, හාමුදුරුවනේ අපිත් ඉන්නෙ ඔය මතයෙ, ඒත් කියන්න බයයි කියලා. ඒ වගේ මිනිස්සු භීතියට පත් කරලා තියෙන්නෙ. ඒ මානසිකත්වය තවම හරියට වෙනස් වෙලා නෑ. ඒකයි මම කියන්නෙ හැම කෙනාම තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ තුවාල සුවපත් කිරීමයි කළ යුත්තේ. ඇත්තටම එතැනදි තරුණ පරම්පරාවට වැදගත් කාරයභාරයක් තියෙනවා.  

හාමුදුරුවනේ, අපි පාසල පැත්තට හැරෙමු. ඔළුව පොහොසත් නැති ගුරුවරු පාසැලේදි බරපතළ විදිහට ශිෂ්‍යයාගෙ ඔළුවට ජාතිවාදී අදහස් දානවා. ඒ ශිෂ්‍යයාට යුද්ධයේ අත්දැකීම් නැති වුණත් එළියට එන්නෙ ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්…?
අධ්‍යාපන ක්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුමනෙ. ඒක නිසා මේක අමාරු කාර්යයක්. බෞද්ධ ආදර්ශයක් විදිහට ගත්තොත් ඒක මෙහෙම කියන්න පුළුවන්. බොර වෙච්ච, අවර්ණ වෙච්ච ජල බඳුනක් තියෙනවා. ඒකට නොනවත්වාම පිරිසිදු ජලය එකතු කරන්න. එතකොට ටිකින් ටික අපිරිසිදු ජලය ඉවත් වෙලා පිරිසිදු ජල බඳුනක් බවට පත් වෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒත් මේ බෙදීම් නැති කිරීම කොහොම හරි කළ යුතුයි. පාසලෙන් ඒ වැඩේ ආරම්භ කිරීම හැම දේටම වඩා වැදගත්. 

මාතෘකා