මිනියක් එම්බාම් කරනවා කියන්නෙ විද්‍යාවක් වගේම කලාවක්

 ඡායාරූපය:

මිනියක් එම්බාම් කරනවා කියන්නෙ විද්‍යාවක් වගේම කලාවක්

මැරුණ මිනිස්සු අපි කරන දේ වෙනුවෙන් නිසොල්මන්ව ඉන්නවා - ටී.ජී. නුවන්

ජීවතුන් අතර සිටියදී සෙනෙහසේ දෑත පුදන්නටත් මියගිය සිරුර ආත්මයක් නැති දර කඳක් සේ දකින්නටත් පුරුදු පුහුණු වූ නිවුණු චින්තනයක් අපට තිබේ. ටී.ජී. නුවන් නම් වූ තිස්තුන් හැවිරිදි තරුණයා එම චින්තනයෙහි සජාතික තරුණයෙකි. විමලරත්න කුමාරගමගේ, හේරත්හාමි සහ ටිම්රාන් කීර්තිගේ පෙට්ටි කඩේ වාර්තා, නොකියවූව ද ඔහු හේරත්හාමි සහ මාර්තාගේ පරපුරේ සුන්දර හදක් ඇති තරුණයෙකි. මේ ඔහුගේ ජීවන හුස්ම කැටි වූ වාග් චිත්‍රයයි.

කොහොමද මේ රස්සාවට ආවෙ?

ඉස්කෝලේ හය වසරෙදි වගේ තමයි මම මිනී කපන රස්සාව පටන් ගන්නේ. පටන් ගත්තා කියලා කිව්වට ඒක මෙහෙම කතාවක්. කඹුරුපිටියේ  අපේ ගෙවල් ළඟ දුරින් ඥාතියකු වන මගේ යාලුවෙක් හිටියා. ගමෙන්ම ඒ ගෙදර විතරයි මෝටර් සයිකලයක් තිබුණේ. ඉතින් මම ඕක පදින්න ආසාවට පයින්ම ඒ ගෙදරට හැමදාම වගේ යනවා. ගෙදර කිව්වට ගෙදරයි ගමේ මල් ශාලාවයි දෙකම එකතැන තමයි තියෙන්නෙ. එහෙම ගිහින් තමයි මම මේ රස්සාව පටන් ගන්නේ.

මෝටර් බයිසිකල් පැදීමයි මේ රස්සාවයි අතර සම්බන්ධෙ මොකක්ද?

මම බයිසිකල් වගේම වාහන පිස්සා. ඉතිං බයිසිකලේ පදින ගමන් ආසාවට මල් ශාලාවේ හර්ස් එකටත් යතුර දාලා එහෙට මෙහෙට පොඩ්ඩක් පැද්දා. ඔය අතරෙ ළඟපාත මළගෙදරක් වුණාම මම තමයි මිනී පෙට්ටිය හර්ස් එකේ දාගෙන අරගෙන යන්නේ. ආයෙ මරණෙ කනත්තට ගෙනියනකොටත් මම හර්ස් එක අරගෙන යනවා. මට ඒක අල්ලල ගියා. පොඩි ලොකුකමක් ගෞරවයක් ලැබෙනවා වගේත් ඒකෙන් දැනුණා. පොඩි වයසනෙ. ඉතින් මහ කෙරුම්කාර වැඩක් වගේ තමයි මට ඒක දැනුණෙ.

බයිසිකල් ආසාවෙන් පස්සෙ හර්ස් එකේ ආසාව ආව කියමුකො. ඒත් මේ රස්සාවට ආසාව ආවෙ කොහොමද?

ඔය අතරෙ ඉතින් පෙට්ටිය ගෙට ගන්න, පොල්තෙල් පහන්, තිරරෙදි දාන වගේ වැඩත් ගැම්මට කළා. මුළු මළගෙදරම මගේ අතේ වගේ තමයි දැනුණෙ පොඩි එකා වුණාට. මළ ගෙදර වුණත් ඒක මට පොඩි උජාරුවක් කොටින්ම කිව්වොත්. මම ඉතින් මලගෙදර සංවිධායක වගේ ගිහින් අහනවා ආදාහනය කරනවද, භූමදානය කරනවද වගේ දේවල්. ඒ අහලා මම කෙරුමා වගේ මල ගෙදර වැඩ කරන දවසට ඇවිල්ලා පෙට්ටිය කනත්තට ගෙනියන්නෙ. ඔය අතරෙ දවසක් මගේ ලොකුකම පෙන්නන කියල හිතාගෙන මිනිය තියලා මල් ශාලාවට ගියා. දවසකට පස්සේ  ආයෙ මෝටර් බයිසිකලෙන් මළ ගෙදරට ආවා අර ලොකුකම පෙන්නන්න. මළ ගේ ඇතුළට ඇවිත් ලොක්කා වගේ ඇහුවා ඔක්කොම හරි නේද, අපි ඔක්කොම බලාගන්නවා බය වෙන්න එපා කියලා. එකපාරටම ඒ මිනිස්සු කිව්වා අනේ මල්ලි ආව එක හොඳයි බලන්නකො මිනියෙ කට ඇරිලානේ ඒක වහල දෙන්න කියලා. මම එදා තමයි මුලින්ම මිනියක් ඇල්ලුවේ. මම බය වුණා නම් බය වුණෙත් එදාම තමයි.

ඊට පස්සෙ?

ඊට පස්සෙ මිනිය එහෙම දාල යන්නත් බෑ. දාල ගියොත් ආයෙ මට හර්ස් එක එලවන්න මල් ශාලාවෙන් ඉඩ දෙන්නෙත් නෑ. ආසාව එක පැත්තකින් අනික් පැත්තෙන් දැන් මිනිය අල්ලන බයයි අප්පිරියාවයි. මොනව කරන්නද  ආසාවට ඉඩ දුන්නා. සුපර් ග්ලූ ගම් එකක් ගේන්න කියලා අහක බලාගෙන එක අතක ඇඟිලි තුඩුවලින් අල්ලලා අර මිනියෙ කට ඇලෙව්වා. හැබැයි ඒකත් එක්කම මළ මිනී ගැන තිබුණ බයයි අප්පිරියාවයි නැති වුණා.  මම ඉස්පිරිතාලෙට ගිහින් මෘත ශරීර ගේන්න පටන් ගත්තා. මරණ එහෙ මෙහෙ කරන්න උදව් කළා. මුල්ම කාළෙ මිනී අල්ලන්න අකමැති වුණත් පස්සෙ  මම ටික ටික මරණ අතපත ගාන්න ගත්තා ඒ පොඩි වයසෙදිම. මිනී එම්බාම් කරනවා බලන් ඉන්න පුරුදු වුණා. එහෙම හිටපු මට එම්බාම් කළාට පස්සෙ කැපුම් මහන්න දුන්නා. මම වැඩේ අල්ලගෙන යද්දි ෆෝමලීන් ගහන්න දුන්නා. එහෙම එහෙම මම අවුරුදු තුනක් වගේ යද්දී එම්බාම් කරන්න පුරුදු වුණා. මම බලන් ඉඳලා, අත්දැකීම් විඳලා තමයි පුරුදු වුණේ. මට මේකට ගුරුවරයෙක් හිටියෙ නෑ.  දැන් නම් මම මිනියක් මගේ ඔඩොක්කුවෙ වුණත් දාගෙන යනවා.

එතකොට ඉස්කෝලේ ගමන?

මම  ගියේ තිහගොඩ පළල්පිටිය  ඉස්කෝලේට. උදේට ඉස්කෝලේ ‍යනවා හවසට මල් ශාලාවට යනවා.  සල්ලිත් පොඩ්ඩ පොඩ්ඩ අතපත ගාන්න ලැබුණා ඒ එක්කම. හය-හත වසර වගේ ඉන්නකොට කඹුරුපිටියෙ වැලිගම මල් ශාලාවෙ එම්බාමර් වුණා. ඒ කාෙල මුලින්ම එක මිනියකට රුපියල් තුන්සිය පණක්, හාරසීයක් වගේ ලැබුණා. අන්තිමට මේකට තියෙන ආසාවට ඉස්කෝලේ ගමන නතර වුණා. දහය වසර වෙනකම් විතරයි ගියේ.

ගෙදර අය මේ වැඩේට කැමති වුණාද?

අපෝ මොන පිස්සුද, අපේ තාත්තා මට ගහලා මාව ගෙදරින් එලෙව්වා. ඉස්කෝලේ ගමන නතර වුණේ ඒකත් එක්කම. උදේට ඉස්කෝලේ ගියාට හවසට මල් ශාලාවට යනව කියලා ගෙදරින් දැනගෙන හිටියෙ නෑ. අපේ අම්මගෙ ගම විල්පිට. මම එහේ යනවා කියල තමයි මල් ශාලාවට ගිහින් ඉන්නේ. කොහොම හරි තාත්තට මේක ආරංචි වෙලා තිබුණා. තාත්තා මට බැණලා ගැහුවා ඕක නතර කරපන් කියලා. මම එහෙම්ම අකුරුගොඩ අපේ ගෙදරින් එළියට බැහැලා පයින්ම කිලෝමීටර් හයක් ගෙවාගෙන කඹුරුපිටියේ  මල් ශාලාවට ආවා. එදා  ඉඳලා මම එම්බාමර්.

ගෙදර අය ආවෙත් නැද්ද එක්කන් යන්න?

දවස් දෙකකට පස්සේ තාත්තා ආව මාව එක්කන් යන්න. මම තාත්තට ලොකු කතාවක් කියලා නොගිහින්ම හිටියා. ඊට පස්සෙ තාත්තා මාව තේරුම් අරගෙන වෙන්න ඇති මුකුත්ම නොකියා යන්න ගියා. පස්සේ මම සතියකින් ගෙදර ගියා තාත්තවයි අම්මවයි බලන්න.

ඔය පොඩි කාෙල වුණු දේවල්වලින් පස්සෙ අද ගෙවෙනෙ ජීවිතේ කොහොමද?

මම කලින් කිව්වනෙ ඒ කාෙල එක මිනියකට තුන්සිය පණහක් වගේ ලැබුණා කියලා. මම ආසාවට මේක කළා. ලැබුණ කිව්වට එහෙමම ඒ ගාණ ලැබුණෙත් නෑ ඇත්තටම. හිතුන හිතුණ වෙලාවට තමයි සල්ලි ගෙව්වෙ. දැන් මාතර ටවුමෙ ලොකු මල් ශාලාවක මම ඉන්නේ. දැන් එක මිනියක් එම්බාම් කරන්න ලැබෙන්නෙ එක්දාස් දෙසීයයි. ඒකත් ඉතින් හරිම අමාරුවෙන් වගේ තමයි මුදලාලිලා දෙන්නේ. සල්ලි පැත්තෙන් එහෙම වෙද්දි මට දැන් වයස තිස්තුනයි. මම මට පුලුවන් හොඳම විදියට මිනියට අවසන් ගෞරවය ලැබෙන විදියට මගේ රාජකාරිය අකුරටම කරනවා. ඕක තමයි ජීවිතේ ඉතින්.

මාතරට එන්න කළින් දිගටම මාකඳුරෙ මල් ශාලාවෙමද වැඩ කළේ?

මම මාකඳුරෙ අවුරුදු දහතුනක් වගේ හිටියා. මගේ වගේ තමයි මම ඒකෙ හිටියේ. සල්ලි එද්දි පිස්සු ඔලුවට එනවනේ. ඉතින් කොල්ලො බජාර් එකත් වැඩි වුණා. මම මල් ශාලාව අතෑරලා ආවා. ඇවිත් කාලයක් එක එක ඒවා කළා. දැන් මාතර ටවුමෙ මේ මල් ශාලාවෙ අනුන්ගෙ යටතේ වැඩ. එහෙම තමයි ජීවිත වෙනස් වෙන්නෙ.

බය වුණු, අමතක  නොවෙන සිදුවීම් ඕන තරම් ඇති නේද?

පොඩි කාෙල මුලින්ම අර කට ඇරුණු මිනිය ඇලෙව්වට පස්සේ මැරුණ මනුස්සයෙකුට  බය වෙලා නෑ කවදාවත්. හොල්මන් කියල දෙයක් දැකලා නෑ කවදාවත්. මමත් කැමැත්තෙන් ඉන්නවා එහෙම එකක් බලාගන්න. හොල්මන් තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් මම ඒ අය කියන ඕනම තැනකට,  ඕනම රෑක තනියම එනවා බලන්න. මගෙන්  බය ගැන ඇහුවොත් කතාව ඒක. සමහරු කිලි අහුවෙන කතාවල් කියනවා. පට්ටපල් බොරු කතා ඕවා.  අමතක නොවෙන කියලා දේවලුත් එහෙමට නෑ මේක දැන් සාමාන්‍ය දෙයක් නිසා මට. ඒත් එකපාරක් පැපොල හැදුණු මිනියක් එම්බාම් කළා. ඒකෙන් පස්සේ මට පැපොල හැදුණා. එදා ඉඳන් ලෙඩ වෙලා මැරෙන මිනී කපන්න පොඩ්ඩක් අකමැතියි.

බොන්නම ඕනද මේ රස්සාව කරන්න?

වැඩේ ඉවර වෙලා නම් ටිකක් බොනවා. මම බීලා කවදාවත් එම්බාම්  කරලා නෑ. එකක් බිව්වම අපි නෙමෙයි වැඩේ කරන්නෙ. වෙරිමත තමයි ඒක කරන්නෙ. අපිට ඕන විදියට ඒක වෙන්නෙ නෑ. දෙක පිරිසිදුව මේ වැඩේ කරන්න බැරි වෙනවා බිව්වාම. ඒක මටත් මැරුණ මනුස්සයටත් හොඳ නෑ. අනික වැරදි නහරයකට එහෙම බෙහෙත් වැදුණොත් ඔක්කොම අවුල් වෙනවා. මිනිය කළු වෙලා, සුදු මැලි වෙලා,  අඳුනගන්න බෑ වගේ දේවල් කියන්නෙ එහෙම වුණාම. මේක විද්‍යාවක්. එක අතකින් කලාවක්. මේක කරන්න සංයමයක් ඕන. මම එක දවසෙ මරණ දහය එම්බාම් කරලා තියෙනවා.  මල් ශාලාවෙ අයිතිකාරයා කෙළගාලා සල්ලි මිටිය ගණන් කරල සාක්කුවට දාගත්තට මට තමයි මිනියක් ලැබුණ වෙලාවේ ඉඳලා කනත්තට යනකම් ඒකෙ වගකීම තියෙන්නේ. බීලා කරන්න පුලුවන් වැඩක් නෙමෙයි මේක.

එම්බාම් කරන්න අමාරු වුණු මරණ තියෙන්න ඇති?

ඔව්. දැන් ඉන්නෙ මාතර නිසා කෝච්චියට පැන්න අයගෙ බොඩීස් ගොඩක් ගේනවා මගේ ලඟට. සමහර ඒවා පෝර උරවලට එකතු කරගෙන එන්නේ. හැබැයි මූණට ලොකු හානියක් වෙලා නැති නම් මම කොහොම හරි හදල ඥාතීන්ට බාරදෙනවා. ඒ වගේම හොස්පිටල් එක ලඟ නිසා මරණ පරීක්ෂණවලට කපාපු බොඩීස් ගේනවත් වැඩියි. ඒව කෑල්ලෙන් කෑල්ල මහලා ඥාතීන්ට පෙනිලා දුකක් හිතට නොඑන විදියට හදන්න ඕන. කකුල්වලට අත්වලට වගේම මූණට වෙන වෙනම ෆෝමලීන් ගහල වැඩ ගොඩක් කරන්න අමාරු වැඩක්. පොඩි අය ගෙනාවම නම් හිතට හරිම අමාරුයි. මම කරන්න අකමැතිම පොඩි අයගෙ එම්බාම්. ඕව තමයි අමාරු ඒවාට තියෙන්නෙ.

එම්බාම් කරද්දි එක එක විදියෙ මරණ ෙග්නවා. ඒ අතරින් සැකසහිත ඒවා හමුෙවලා නැද්ද?

වෙලාවකට අධිකරණ දොස්තර වගේ තමයි අපිත්. එම්බාම් එකට කපන්න කළින් කියන්න පුලුවන් මොනව වගේ ලෙඩක් හැදිලද මැරිල තියෙන්නෙ කියලා. පිළිකා හැදුණ අය එම්බාම් කරන එකත් සමහර වෙලාවට ටිකක් අමාරු වැඩක්. ඔය අතරෙ සමහර වෙලාවල් තියෙනවා කැපුවම අපිට ටිකක් සැක හිතෙන. අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කරලා එවන ඒවා ගැන  මාධ්‍යයකට සැක හිතෙන යමක් කියන්න මට අයිතියක් නෑ කියලා මම හිතනවා. ඒ කතාව මෙතනින් නතර කරමු.  ඒ මොනවා වුණත් මට මේ මිනිස්සු ඔක්කොම එකයි. මම හොඳට එම්බාම් එක කරල දෙනවා.

මැරුණ මිනිස්සු එහෙම වෙද්දි ජීවත්වෙන මිනිස්සු ගැන මොකද හිතෙන්නෙ?

මැරුණ මිනිස්සු අපි කරනදේ වෙනුවෙන් නිසොල්මන්ව ඉන්නවා. නමුත් ජීවත් වෙන මිනිස්සුන්ට අපි කරන සේවය ගැන කිසිම අගයක් නෑ. අපි ඒ අයගෙ ඥාතියෙක් මැරුණම කැත කුණු අතගාලා ශුද්ධ පවිත්‍ර කරනවා. පණුවෝ ගහපුව පවා අපි අපේ අත්වලින් ගෞරවයෙන් ශුද්ධ කරලා පෙට්ටියක ලස්සනට පිරිසිදුව තියනවා. අපේ පපු දනවා එම්බාම් එකේදි ෆෝමලීන් ගහද්දි. අපි පිච්චි පිච්චි තමයි මේක කරන්නේ. ඒත් ඒ වැඩේ කරගත්තට පස්සෙ අපි දිහා බලන්නෙ අප්පිරියාවෙන් වගේ. අත සෝදන්න සබන් කෑල්ලක් ඉල්ලුවම දෙන්නෙ වැසිකිළියෙ තියෙන සබන් කෑල්ලෙන් බාගයක් කඩලා. මූණකට සෝදගන්න දෙන්නෙ වැසිකිළි පනිට්ටුව. අපිට එහෙම පහත් විදියට සලකන්නෙ පණපිටින් ඉන්න මිනිස්සු. හැබැයි ඒ අතරිනුත් දුප්පත් මිනිස්සු එහෙම නෑ. මම මගේ අතේ වියදමින් එම්බාම් කරල අත පිහදාගෙන ආව වෙලාවල් තියෙනවා. ඒ මිනිස්සු අඩුම ගානෙ අහල තියෙනවා කහට එකක් බීල යමුද කියලා. තියෙන මිනිස්සු එහෙම හමුවෙලාම නෑ.

ඒත් එහෙම මිනිස්සු වටින පෙට්ටි තෝරනවනේ?

ඔය මොන පෙට්ටියත් ඇල්බීසියා තමයි. ඩයි එකෙන් තමයි ඕව බුරුත, නැදුන් වෙන්නෙ. සල්ලිකාරයන්ට මැරුණ මනුස්සයගෙන් පවා තමන්ගෙ තත්වෙ පෙන්නන්න ඕන. ඔච්චරයි ඕකෙ වෙනස. මගේ අම්මා තාත්තා මැරුණ දවසක මම එක දවසින් ඒක කරනවා. මම එම්බාම් කරලා, උත්සව තියලා බොරු වැඩ කරන්නෙ නෑ. මම හිතන්නෙ ඒක ඒ මිනිස්සුන්ට කරන අගෞරවයක් කියලා. ලොකුවට පෙට්ටි අරගෙන රටට ලෝකෙට පේන්න අවමගුල් කරලා, ලොකු වළවල් බැඳලා සොහොන් හදනවා. ටික දවසයි බල්ලො කකුල උස්සලා බුදියල ඉඳලා යනවා ඒව උඩ. ඕව බොරු වැඩ. මම මගේත්, මගේ දෙමව්පියන්ගෙත් සොහොන් බඳින්නෙ නෑ. වළ බඳින්නෙත් නෑ. ලොකු පෙට්ටි ගන්නෙත් නෑ. අපි අයිති මේ ලෝකෙට. ඉතින් අපි පොළවටම පස් වෙන්න ඕන. මගේ සහෝදරයා එක්ක මම කතා කරලා අම්ම තාත්තගෙ වැඩකටයුතු එදාට කරන්නෙ එහෙමයි.

ඕව ගැන ඔහොම කතා කළාට තාම තරුණ වයසෙ ඉන්නෙ. බඳින්න එහෙම අදහසක් නැද්ද දැන්ම?

ඒකටත් දෛවයෙ ලියවුණු කෙනා එන්න ඕන. මිනී අතපතගාන අපිත් එක්ක කෙල්ලො යාලු වෙන්නෙ නැහැනෙ. අපේ අතින් අල්ලන්නත් ගෑණු ළමයි බයයි අප්පිරියයි වගේ. බඳින්න වුවමනාවක් නැතුව නෙමෙයි. ඒකටත් වෙලාව එන්න එපැයි. බලමු එහෙම මට කැමති කෙනෙක් හමු වුණු දවසක.

මාතෘකා