පාසලක් නැතිව හඬන ගම මනියම්තෝට්ටම්

 ඡායාරූපය:

පාසලක් නැතිව හඬන ගම මනියම්තෝට්ටම්

අධ්‍යාපන ඇමති ධුරය යනු සුළුපටු තනතුරක් නොවන බව පසක් කළේ ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ඉතිහාසගත වූ , බාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා රජය විසින් අධ්‍යාපනය නොමිලේ සැපයෙනු පිණිස රටට නව අධ්‍යාපන ක්‍රමවේදයක් දායාද කළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාය.  
නමුත්, වර්තමානයේ දරුවන්ට අධ්‍යාපනය ලබන්නට පාසලක් පවා නොවන තත්ත්වය බොහෝ ගම් බිම්වලින් අපිට අසන්නට දකින්නට ලැබෙන්නේය. එසේ නම්, නිදහස් අධ්‍යාපනය වල් වැදෙමින් තිබෙන්නේ යැයි කිව නොහැක්කේ කාටද?  
යුද්ධය අවසන් වී වර්ෂ අටක් ගෙවී අහවරය. උතුරු පළාත යුද්දෙන් බෙහෙවින් බැට කෑ බව ලොවම දන්නා කරුණකි. සමස්ත පළාතේ අධ්‍යාපනය මුල්කොට දරුවන්ට උසුලන්නට වූයේ කටුක අත්දැකීම් පමණක්ම වන්නේය. යුද්ධයෙන් ඉක්බිති දැන් ඔවුහු පොදු ගැටලුවට මුහුණ දෙමින් සිටින්නෝය. ඒ අනෙකක් නොව දරිද්‍රතාවම වන්නේය. මනියම්තෝට්ටම් ගම්මානයටත් මෙම අත්දැකීම බෙහෙවින් හුරු පුරුදු එකක් බවට පත් වී තිබෙන්නේ දරිද්‍රතාවයත් මැතිවරණයේ නාමයෙනත් තමන්ට පාසලක් දෙන්නට පොරොන්දු දෙන රැවටිලිකාර දේශපාලකයින් හේතුවෙනි.  
මනියම්තෝට්ටම් යාපනයේ සිට කිලෝ මීටර් 05කට වඩා දුරකින් මුහුදුබඩ ආසන්නව පිහිටි ගම්මානයක් වන්නේය. බහුතර කතෝලික බැතිමතුන් පදිංචිකාරයින් වන මනියම්තෝට්ටම්හි උදයපුරම්, වසන්තපුරම්, මෙලන්තෝට්ටම් යනාදී කුඩා ගම්මාන කිහිපයක්ද වන අතර ගම්මානයේ අධ්‍යාපනය ලැබිය යුතු බවට හඳුනා ගත් පදිංචිකාර දරුවන් 900කට ආසන්නය. ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ට කැප කළ මනියම්තෝට්ටම් කතෝලික දේවස්ථානය ඇසුරේ පිහිටි මනියම්තෝට්ටම් ගම්මානයට 1985 වර්ෂයේ සිටම පාසලක් තිබී නොමැත.  
මනියම්තොතෝට්ටම්හි බොහෝ දෙනකුගේ ජීවන මාර්ගය වී තිබුණේ පොල් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්ත වේ. ධීවර කර්මාන්තයේද ඔවුහු එදා සිට සුළු වශයෙන් නියැලුණහ. නමුත්, 1993 මනියම්තෝට්ටම් ගම්මානයට තීරණාත්මක වසරක් වී තිබිණ. එම වර්ෂයේ  හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේදී 'රිවිරැස' මෙහෙයුම් හේතුවෙන් මනියම්තොට්ටම් ගම්මානයේ පොල් වගාව විනාශයට ලක්විය. මනියම්තෝට්ටම්හි වැසියන්ගේ ප්‍රධාන ජීවන මාර්ගය එතැන් සිට මේ දක්වා අහිමි වූයේ එලෙසය. මනියම්තෝට්ටම් ගම්මානය මුහුණ දෙමින් ඇත්තේ මෙම අභියෝගයටය.
මනියම්තෝට්ටම් දරු දැරියන් පාසල වෙත යන්නේ තමන් සතු පාපැදියේ හෝ සිය පියා සතු යතුරු පැදියේය. ශෝබියා පුෂ්පරාජ් එවැන්නියකි. උසස් පෙළ ලියා වසර දෙකක් ඉක්මවූ තැන ඇගේ ගමන තවමත් පාපැදියේය. කිලෝ මීටර් 05කට වැඩි දුරක් ඇය පාසල් ගියේ පාපැදියෙනි. දැන් අලුතෙන් හදාරන පාඨමාලාවට යන්නේත් පාපැදියෙනි.  
මුහුද දෙසින් නිවෙස් පැත්තට සැඩ සුළං කිසිවෙකුටත් දැරිය නොහැක. එහෙයින්, බොහෝ දෙනා කතා බහ කරන්නේද මුහුදට පිටුපාගෙනමය. මේ සියල්ල මැද්දේ යාපනය නගරයට පාපැදියක යන්නට පැය එකහමාරකට වැඩි කාලයක් ශෝබියාලාට ගත වේ. ශෝබියාගේ කතාවත් මනියම්තෝට්ටම්හි වෙනත් ගැහැනු හෝ පිරිමි දරුවකුගේ ඉගෙනුම පිළිබඳ කතාවත් මීට වඩා වෙනස් නොවන්නේය.  
"ඉස්කෝලෙ යන කාලෙ යන්න මීට වඩා ළඟ පාසලක් තිබුණා නම් එය ඉතා හොඳ බව ඒ කාලෙදි මට හිතුණා. මට කාලය ඉතා වැදගත්. හැමදාම මෙහෙම එහා මෙහා යෑම හරිම තෙහෙට්ටු වැඩක් වුණා. ඉගෙන ගන්න හැමෝටම එහෙමයි."  
උදෑසනම දෙවියන් වැඳ, නළලත කුංකුම තිලක තියා එකා වගේ හැඳ පැළැඳ පාසල් යන යාපනය දරුවන් සැබවින්ම ඇසට රසඳුනකි. යාපනයේ පාසල් ඇරී එන දරුවන්ගේ සිනහ හඬත් කෑකොස්සන් ගැසීමත් පෙන්වන්නේ අධ්‍යාපනය පිළිබඳ ඔවුන් තුළ ඇති සංතෘප්තියයි.  
මනියම්තෝට්ටම්හි පවුල් 500කට අධිකය. "දරුවන් පාසල් යාමට කැමතියි. ඔවුන් පාසල් යාමට උනන්දු නැතැයි කියන්නට බැහැ. මෙය දුප්පත් ගමක්. යාපනය නගරයට කිලෝ මීටර් පහකට වැඩි දුරක් යා යුතුයි. දෙමව්පියන්ට හොඳ ආදායමක් නැතිව දෛනිකව බස් ගාස්තු දී පාසල් යැවීමට වත්කමක් දෙමව්පියන්ට නැහැ. දරුවන් සතිය පටන් ගනිද්දි පාසල් යනවා. දින කීපයක් පාසල් යද්දි ඔවුන් වෙහෙසට පත් වී නවතිනවා. සමහරු දවසෙ වේල්වලින් එක වේලක් කාලයි අධ්‍යාපනය කරන්නේ. ළමයි දහම් පාසල් එනවා. හින්දු කතෝලික කියා භේද නැතිව ඔවුන් අප සමඟ ලැදිව කටයුතු කරනවා. මීට වසර තුනකට කලින් මම අපේ බිෂොප්වරයා මගින් උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයාට මේ පිළිබඳව දැනුම් දුන්නා. ඉන් පස්සෙත් වරින් වර සභාව මගින් නත්තලට, තෛපොංගල්වල්ට දරුවන්ට උදව් කරන්න කටයුතු යෙදුවා. දේශපාලන නායකයින් වරින් වර මෙහි යනවා, එනවා. සමහර ළමයි අමාරුවෙන් ඉගෙන ගෙන හොඳ තත්ත්වයට ඇවිත් තිබෙනවා. නමුත්, හැමෝම එහෙම කරාවියි කියා සිතීම ප්‍රායෝගික සිතුවිල්ලක් නෙවේ. පාසලක් තිබුණොත් ඒක මේ ගමේ දියුණුවට හයියක්. ඒක විශ්වාසයි." මනියම්තෝට්ටම් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මීසම් පාලක ලියෝ ආම්ස්ට්‍රෝන්ග් පියතුමාණෝ එසේ පැවසීය.  
යාපනය දිස්ත්‍රික්කයට අයත් ඩෙල්ෆ්ට් දූපතේ දරුවන් හිඟකමෙන් පාසල් වසා දමා ඇත. දරුවන් සිටින මනියම්තෝට්ටම් ගම්මානයට උරුම වී ඇත්තේ එම ඉරණමේ අනෙක් එකය. තවත් අතකින් ඔවුන් හිඳින්නේ ඔප්පු නොමැති භූමියකය.  
රියදුරකු වශයෙන් දෛනික ආදායම රුපියල් 300ක් හෝ 400ක් උපයන එල්. එඩ්වින්ලා, සුළුවෙන් ව්‍යාපාර කරන ගම්වාසී ක්‍රිස්ටෝපර් මරියාලාට දරුවන් ඉස්කෝලේ යවනවාට වඩා ජීවන අර්ගලයක් තිබෙන්නේය. නමුත්, ඔවුන් දරුවන්ට අධ්‍යාපනය දීමේ සිහිනය අතැර නැත.  
අධ්‍යාපනය කාගේත් අයිතියකි. එය ශ්‍රී ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය වශයෙන් හැඳින්වෙන විට එහි අයිතිය නැති කිරීමට කිසිවකුට නොහැක. යාපනය දරුවන් බහුතරයක් දුර බැහැරට තවමත් පාසල් යන්නේ ඔවුන්ගේ දෙමව්පියන් සමගය. පාසල් බස් රථ ගම්මාන ඇතුළට වන්නට තවමත් අලුත් දේවල් වන්නේය. එහෙයින් මේ ශ්‍රී ලංකාවේම කොටසක් වන බව වසර ගණනක් නෑසූ කන්ව සිටින අධ්‍යාපන බලධාරීන්ට ඇසෙන්නේ නම් එය මනියම්තෝට්ටම් දරුවන්ගේ බලාපොරොත්තුව වන්නේය. 

මාතෘකා