අරවින්දගේ බැටින් කවියක් වගෙයි : ලොව ජනප්‍රියම ඒකපුද්ගල දිරිගන්වන්නා පර්සි අබේසේකර

 ඡායාරූපය:

අරවින්දගේ බැටින් කවියක් වගෙයි : ලොව ජනප්‍රියම ඒකපුද්ගල දිරිගන්වන්නා පර්සි අබේසේකර

පර්සි අබේසේකර ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඔහුගේ දිරිගැන්වීම නැති ක්‍රිකට් තරගයක් සොයාගන්නට බැරි තරම්. දශක ගණනක් තිස්සේ ජාතික ධජය සුරතේ දරාගෙන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිමානවත් දිරි ගන්වනෙකු ලෙස කටයුතු කරනවා. මීට පැය 48ට පෙර පර්සි විසින් සිය වෙබ් අඩවිය එළිදක්වනු ලැබුවා.

මේ ඔහු සමඟ කළ කතා බහක්...

පර්සිගේ අධ්‍යාපන පසුබිම මොන වගේද?

එස්.එස්.සී වෙනකම් ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ ඉගෙන ගත්තා. අපි අධ්‍යාපනය හැදෑරුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ලතින් භාෂාව පවා ඉගෙන ගත්තා. පාලිත්, සිංහලත් උගන්වන්න තාත්තට අවශ්‍ය වුණා.  ඒ භාෂා හැකියාවන් දියුණු කරන්න තාත්තට ලොකු ඕනෑකමක් තිබුණා.

ඉතින් පාලි ඉගෙන ගත්තද?

නැතුව! පාලි - සිංහල ඉගෙන ගන්න කියලා තාත්තා මාව බද්දේගම රතනසාර විද්‍යාලයට දැම්මා. එතකොට ඒකේ විදුහල්පති තනතුරේ හිටියේ මගේ මස්සිනා කෙනෙක්. අපිට සිංහල කළේ ඒ මස්සිනා. ගණේගම සරණංකර නායක හාමුදුරුවෝ පාලි ඉගැන්නුවා. එතැන එක අවුරුද්දයි හිටියේ. ඊට පස්සෙ මාව ඇක්වයිනාස් එකට දැම්මා. පීටර් පිල්ලේ පියතුමා එතකොට ඒකේ විදුහල්පති.  ලේඛකාධිකාරී හැටියට හිටියේ තිස්ස බාලසූරිය පියතුමා. ආර්ථික විද්‍යාව, ආර්ථීක විද්‍යා ඉතිහාසය හා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව යන විෂයයන් මම ඉගෙන ගත්තා. ටිරෝන් ප්‍රනාන්දු, හිටපු සොලිසිටර් ජෙනරාල් සුනිල් සිල්වා, කුමාර පොන්නම්බලම්, වාසුදේව නානායක්කාර වගේ අය ඇක්වයිනාස් එකේදි මගේ සමකාලීනයෝ වුණා. පොන්නම්බලම් හා මම ඇක්වයිනාස් එක වෙනුවෙන් තුන්වන කොටසේ තරගවලට පවා ක්‍රීඩා කළා.

පාසල් යන කාලෙදිත් ක්‍රිකට් ක්‍රීඩා කළාද?

ඇලෝෂියස් එකේ හවුස් මැචස්වලදී ගැහුවා. ඒ එක්කම පාසලේ දෙවැනි පෙළ කණ්ඩායමට ක්‍රීඩා කළා. රතනසාරෙට ගිය නිසා  පළමුපෙළේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඇක්වයිනාස් එකේදී තුන්වෙනි කොටසේ තරගවලට ක්‍රීඩා කළා.

ඇක්වයිනාස් එකේ දී හොඳට ඉගෙන ගත්තද?

මරු වැඩක් වුණා. විභාගයේදී මම කළේ විෂයයන් දෙකයි. ආර්ථික විද්‍යා ඉතිහාසය ප්‍රශ්න පත්‍රය තිබුණු දවසේ සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ගෝපාලන් කුසලාන ක්‍රිකට් තරඟය තිබුණා. ඇක්වයිනාස් එකේ ඉඳන් පයින් ගියත් එතැනට යන්නේ විනාඩි 05යි. මචං සී. අයි ගුණසේකර ගහනවා මාර ගැහිල්ලක්, කියලා වැඩක් නැහැ කියලා ජයතිලක කියලා යාළුවෙක් මට දවල් කිව්වා. විභාගෙ තිබුණේ හවස් වරුවේ. සී.අයි ගුණසේකර වගේ බෝලෙට තදින් ගහන පිතිකරුවෙක් මම තවම දැකලා නැහැ. එයා බැට් කරන්න යද්දී කාර් පාක් එකේ තියෙන කාර් එළියට අරගෙන යනවා. යාළුවාගේ කතාව අහපු ගමන් විභාගේ ලියනවා වෙනුවට සී. අයි ගුණසේකර බැට් කරනවා බලන්න යන්න අවශ්‍ය වුණා. ඒ නිසා ප්‍රශ්න පත්‍රය මේසෙ උඩින් තියල මායි යාළුවයි දෙන්නම එතැනින් මාරුවෙලා පිට්ටනියට ගියා. සී. අයි. ඒ මැච් එකේදී දෙසිය ගාණක් ගැහුවා. ඒ කාලේ තමිල්නාඩු ප්‍රාන්ත පිලේ ඉන්දියන් ජාතික පිලට ගහන හතර පස් දෙනෙක් ස්ථිරවම හිටියා.

කාලෙකට පස්සේ විභාග ප්‍රතිඵල ආවා. ප්‍රතිඵල එවන්නේ එංගලන්තයෙන්. ප්‍රතිඵල සටහන තාත්තාට පෙන්නන්න මම බය වුණා. බෑඩ් ෆේලියර් එකක් නම් ගාණක් නැහැ. නමුත් එක විෂයක් ඇබ්සන්ට් නේ. ඒගොල්ලගේ නීතිය අනුව පේපර් එකට වාඩි විය යුතුව තිබුණා. ගිහිල්ලා මොනව වුණත් කමක් නැහැ. නමුත් නොගියොත් ලෙඩේ. බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව සහ ආර්ථීක විද්‍යාව පාස්. ආර්ථීක විද්‍යා ඉතිහාසයට බෑඩ් ෆේලියර් එකක් ආවා කියලා මම තාත්තට හිතට ධෛර්ය අරගෙන කිව්වා. එයා ඒක එච්චරම බැරෑරුම්ව ගත්තේ නැහැ. දවස් දෙකකට විතර පස්සේ තාත්තා ඇක්වයිනාස් එකට ගිහින් පීටර් පිල්ලේ පියතුමාව මුණගැහිලා විස්තර අහගෙන තියෙනවා. දවස් තුන හතරකට පස්සේ ඒ ගැන තාත්තා මගෙන් අහලා හොඳටම බැනලා කම්මුල් පාරක් ගැහුවා. ‘උඹට ඉගෙන ගන්න සල්ලි වියදම් කරනවා කියන්නේ බොරු වැඩක්. උඹට තියෙන්නේ ක්‍රිකට් පිස්සුවක්‘ එහෙම කියලා තාත්තා මාව 1961 දී ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහත්තයාට බාර දුන්නා. ඒ. එම්. ඩබ්ලිව් එක එයාගේ. ඒ කාලේ අපි වගේ හදන්න අමාරු අයව බාර දෙන්නේ සර් සිරිල්ට.

ඒ. එම්. ඩබ්ලිව් එක ආවට පස්සේ ක්‍රිකට් උණ සනීප වුණාද?

මොන පිස්සුද. වැඩි වුණා. 1961 දී ඒ. එම්. ඩබ්ලිව් එකට ආවට පස්සේ ප්‍රධාන කාර්යාලයේ හිටියා. 1962 ඉදන් ඒ. සී. එල් කේබල් ආයතනයේ. එදා ඉදන් අද වෙනකම්ම මම ඒ ආයතනයත් එක්ක ඉන්නවා. ඒ.එම්.ඩබ්ලිව් එකේ පළමුවැනි ක්‍රිකට් කැප්ටන් මම. 1968 දී අපි වෙළෙඳ සේවා ‘ජී’ කොටසේ ශූරතාව දිනුවා. අපිත් එක්ක ෆයිනල් එකට ආවේ ලේක්හවුස් එක. මැච් එක තිබුණේ රයිෆල් ග්‍රීන්වල.

ඔබව ජගත් ක්‍රිකට් ප්‍රජාව හඳුන්වන්නේ “සුවිශේෂී ඒකපුද්ගල දිරි ගන්වන්නෙක්” විදිහටයි. පර්සි ක්‍රිකට් තරග නරඹන්න පටන් ගත්තේ මොන කාලයේද?

1948 දී තමයි මුලින්ම ජාත්‍යන්තර මැච් එකක් බැලුවේ. ඇත්තටම අවුරුදු 10 වගේ කාලයේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පිංතූර එකතු කිරීමේ විනෝදාංශයක් මට තිබුණා. මම වගේම මගේ අයියලා දෙන්නත් ක්‍රිකට්වලට කැමැතියි. 1948 දී ඩොනඩ්ල් බ්‍රැඩ්මන් ලංකාවට ආවේ නැවෙන්. පී.සරා ක්‍රීඩාංගණයේ තිබුණු මැච් එක බලන්න අයියල මාවත් අරගෙන ගියා. ඒ මැච් එක බලන්න කොළඹ ආවේ කෝච්චියෙන්. මැච් එකේ ටිකට් එකක් ශත 25යි. බ්‍රැඩ්ම්න් ඔස්ට්‍රේලියානු පිල මෙහෙයවද්දී ලංකා පිලේ නායකයා වුණේ සතාසිවම්. කතා දෙකක් නැහැ එයා තමයි මම දැක්ක හොඳම බැට්ස්මන්. මැච් එකේ ටොස් එක දාන්න ගිය වෙලාවේ වුණ දෙයක් මට තවම මතකයි. පිච් එකේ දිග අඩුයි කියලා බ්‍රැඩ්මන් ටොස් කරන්න ගිය වෙලාවේ පෙන්නලා දුන්නා. ඒ හින්දා ආපහු චෙක් කළා. බැලින්නම් පිච් එක යාර 20යි. සමහර විට බ්‍රැඩ්මන්ව ඉක්මනින් අවුට් කරන්න අපේ අයියලා එහෙම කරාද දන්නේ නැහැ. නැත්නම් වැරදීමක් වෙන්නත් පුළුවන්. ආපහු සැරයක් පිච් එකේ ලයින් ගහලා මැච් එක පටන් ගත්තා. බ්‍රැඩ්මන් ගැහුවේ ලකුණු 20යි. බී.ආර් හයින් ගේ පන්දුවකට බ්‍රැඩ්මන් දැවී ගියා. මැච් එක පටන්ගෙන පැයක් විතර වෙද්දී ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. ඒ තරම් සෙනඟ. වටේ තිබුණු මාර ගස්වල ඉදගෙන පවා මිනිස්සු මැච් එක බැලුවා. මාරගහට නගින්න පොල්පිත්තක් තියලා තිබුණා. ඒකට ශත පහක් ගත්තා. නැග්ග ප්‍රමාණය වැඩි වුණ නිසා එක ගහක අත්තක් කඩන් වැටිලා හය දෙනෙක් විතර රෝහල්ගත කරන්නත් වුණා.

48 ඉදන් ක්‍රිකට් තරග නැරඹුවාට ඒකපුද්ගල දිරිගන්වන්නෙක් විදිහට ඔබව රට හඳුනාගත්තේ 70 ගණන්වල නේද?

ඒක ඇත්ත. ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම අතර 1972 දී තරගාවලියක් තිබුණා. අපේ ටීම් එකේ නායකත්වය දැරුවේ අසිත ජයවීර. දුලිප් මෙන්ඩිස්, අජිත් ද සිල්වා, රෝයි, බන්දුල වගේ අය ඒ ටීම් එකේ හිටියා. ඔස්ට්‍රේලියානු පිලේ ග්‍රැහැම් යැලෝප්, රේ බ්‍රයිට්, වේන් පිලිප්ස් වගේ පස්සෙ කාලේ ඔස්ට්‍රේලියාවට ගහපු කිහිප දෙනෙකුම හිටියා. ඒ සීරිස් එකේ මුල් මැච් එක අපේ අය හොඳට කළා. ඒ හින්දම දෝ ඔස්ට්‍රේලියානුවන් “කල්ලෝ, අගුටුමිට්ටෝ“ වගේ අපහසාත්මක වචන අපේ අයට පිට්ටනිය මැද්දෙදි කියලා තිබුණා. ඒ මැච් එකේදී වනන්න කොඩියක් මට තිබුණේ නැහැ. තිබුණේ බොඩිය විතරයි. තුන්වෙනි මැච් එක තිබුණේ පී. සරා ක්‍රීඩාංගණයේ. මුල් මැච් දෙක හොඳට කළාට තුන්වෙනි මැච් එක අපි පරදින්න ගියා. ඒක වගේම අරගොල්ලෝ බැනපු එකත් මගේ ඔළුවේ වැඩ කළා. මමත් ඇරියේ නැහැ. කළු මිනිස්සු,  සුද්දන්ව හැම ක්ෂේත්‍රයකදීම පරද්දලා තියෙනවාය කියලා මම මහ හයියෙන් කෑ ගැහුවා. ඒක ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වගේම ඒ කාලේ ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිව හිටපු එෆ්. ඩී. ද සේරම් දැක්කා. ඒ වෙද්දී අපේ විකට් හතක් ගිහින්. ඊළඟට හිටියේ අජිත් ද සිල්වා වගේ අය. ඒ අය ගැන බලාපොරොත්තුවක් තියා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ලැන්ග් කියන වේග පන්දු යවන්නා හොඳට පන්දු යවමින් හිටියා. අසිත ජයවීර එක පැත්තක් අල්ලාගෙන නොදැවී ලකුණු 46ක් ඒ වෙනකොට ගහලා තිබුණා. පිච් එක මැදට ගිහින් මැච් එක ටික වේලාවකට නවත්වන්න පුළුවන් නම් කියලා අදහසක් ඒ වෙලාවේ මගේ ඔලුවට ආවා. අද නම් මම එහෙම දෙයක් ගැන හිතන්නෙවත් නැහැ. අසිත ජයවීර 50ක් ගැහුවට පස්සේ පිට්ටනිය මැදට ගිහින් සතුට පළ කරනවාය කියලා මම කෑගහලා කිව්වා. එහෙම කෑ ගහද්දී බොරැල්ල පොලීසියේ ඕ.අයි.සී මහත්තයා මගේ ළගට ඇවිත් පිට්ටනිය මැදට යන්න එපා කියලා ඉල්ලීමක් කළා. ‘එහෙම ගියොත් මැච් එක නවත්තගන්න අපි ඕනෑ කමින් එහෙම කළාය කියලා ඔස්ට්‍රේලියානුවන් හිතයි‘, කියලා මිනිහා මට කිව්වා. නමුත් අසිත 50 ගැහුවොත් ස්ථීරවම පිට්ටනිය මැදට යන අදහසේ මම හිටියා. 46 ඉඳන් හතරක් ගහලා අසිත 50ට ගියා. මම එකපාරටම පිට්ටනිය මැදට ගිහින් අසිතව බදාගෙන එයාගේ බැට් එක ගත්තා. එයත් බැට් එක මට දීලා පැත්තකට වෙලා බලන් හිටියා. මම බැට් එක අරන් අම්පයර්ගෙන් ඉන්න ඉල්ලුවා. මැච් එක බලන්න ඇවිත් හිටපු 20,000ක් විතර සෙනඟට මේක මාර ජොලී. ඒ වෙලාවේ වෙන් පිලිප්ස් මගේ ළගට ඇවිත් අයින් වෙයන් පැත්තකට පලයන් කියලා කිව්වා. මාත් ඇරියේ නැහැ. ‘උඹ පලයන් මේක අපේ රට‘ කියලා මම කිව්වා. විනාඩි දෙක තුනක් එහෙම ඉදලා මම ගියා. පොලීසියත් මුකුත් නොකර ඔහේ ඒක දිහා බලන් හිටියා. මම එළියට එද්දී අර ඕ.අයි.සී ළගට ආවා.

ඊට පස්සෙ මොකද වුණේ?

ඕ.අයි.සී මාව බෙල්ලෙන් අල්ලගෙන එළියට ගෙනයන්න හැදුවා. ඒක මැච් එක බලන් හිටපු සතාසිවම් දැක්කා. එයා යාළුවෝ කට්ටියත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙලා හිටියා. ‘මෙයාව මෙහෙම ගෙනියන්නේ ඇයි? මොකද්ද එයා කරපු වැරැද්ද?’ වෙන රටක නම් මෙහෙම කෙනෙක්ව වීරයෙක් විදිහයට සලකනවා’ කියලා සතාසිවම් පොලිස් නිලධාරියාට කීවා. ඒක මම දන්නේ නැහැ. ඒත් ක්‍රිකට් බෝඩ් එකේ චෙයාර්ම්න් මෙයාව හිර කරන්න කිව්වා. පොලිස් නිලධාරියා එහෙම කියාගෙන ගියා. උනුත් සුද්දොනේ ගෙනියපන්. හැබැයි මෙයාට මොනවා හරි කළොත් බලාගෙනයි කියලා සතාසිවම් ආපහු කිව්වා. ඇත්තටම සතාසිවම් හරි පවර්ෆුල් කෙනෙක්. පයින් ගහලා මාව ජීප් එකට දාගත්තා. බෙල්ලෙන් අල්ලලා කූඩුවට තල්ලු කළා. නමුත් සතාසිවම් ඉහළ නිලධාරීන්ට කියලා තිබුණ නිසා පොලීසියේ අය මට ක්‍රමයෙන් කාරුණිකව සලකන්න ගත්තා. බනිස් දුන්නා. තේ දුන්නා. පොලීසියට අරගෙන යද්දී හතරහමාරට විතර ඇති. මැච් එක ඉවර වුණේ හයට. මාව දහය වෙනකම් තියාගත්තා. කේස් එක දැනගත්තට පස්සේ මට ඇප තියන්න යාළුවෝ ආවට ඒ අයට පොලීසිය ඇතුළට එන්න ලැබුණේ නැහැ. නමුත් සතාසිවම් තමන් අඳුරන ඩී.අයි.ජී. කෙනෙක්ගේ මාර්ගයෙන් රුපියල් සියයක් එවලා මට ඇප ලබාදුන්නා. මාව බේල් අවුට් කළේ රුපියල් සීයකට. ඇප ලැබිලා එළියට එද්දී 500ක් විතර සෙනඟ පොලීසිය ළඟ. ඒ අය ඔක්කොම අත්පුඩි ගහනවා. මැච් එකට වුණේ මොකද කියලා අහද්දී ඔයාට පිංසිද්ධවෙන්න මැච් එක ඩ්‍රෝ වුණා කියලා ඒ අය කිව්වා. ඒ සිද්ධියෙන් පර්සි කියන නම රටේ ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මම මුලින්ම ශ්‍රී ලංකා කොඩිය අරගෙන මැච් එකකට ගියේ 1979 දීයි.

එදා මෙදාතුර කාලයේ ජාත්‍යන්තර තරඟ කීයක් විතර නරඹලා තියෙනවා ද?

700කට වැඩි ඇති.

දිරි ගන්වන්නෙක් විදියට ඔබ සතුව හැමවිටම හොඳ වදන් මාලාවක් තියෙනවා. ඔබේ භාෂාව හැසිරවීම අපූරුයි. ඒ හැකියාව ලබාගත්තේ කොහොම ද?

සිංහල පුරාතන ගද්‍ය, පද්‍ය සාහිත්‍යය වගේම ඉංග්‍රීසි සාහිත්‍යයත් අපි හොඳට ඉගෙන ගත්තා. ඒවා අපිට සෑහෙන්න බලපෑවා.

1982 පළමු ටෙස්ට් තරඟය ගැන පර්සිට තියෙන මතකය මොන වගේද?

ඒ මැච් එකේ විශේෂ ආරාධිතයෙක් හැටියට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ඩොනල්ඩ් කාර් ඇවිත් හිටියා. ඒ ෆැවිලියන් එකේ ජේ.ආර්.ජයවර්ධන, ගැමිණී දිසානායක, රනිල් වික්‍රමසිංහ, වින්සන්ට් පෙරේරා ඇතුළු ඇමතිවරු අසුන්ගෙන හිටියා. 77දී ටෝනී ග්‍රේග් ශ්‍රී ලංකාවට ආපු වෙලාවේ මම එයත් එක්ක පොඩි බහින් බස්වීමක් වුණා. ඒ වෙලාවේ කිව්ව පද කිහිපයක් ඩොනල්ඩ් කාර් ඉස්සරහ වෙනස් කරලා කියන්න මට අවශ්‍ය වුණා. එයා ළඟට යන්න හදද්දී සිකියුරිටි එක ඒකට ඉඩදුන්නේ නැහැ. ඒ වෙලාවේ ගාමිණි දිසානායක මහත්තයා යන්න ඉඩදෙන්න කියලා ආරක්ෂක අංශවලට කිව්වා. මම ඩොනල්ඩ් කාර් ඉස්සරහට ගිහින් ‘හලෝ මිස්ටර් කාර්’ කියලා කිව්වා. එතකොට එයා “හලෝ පර්සි” කියලා කිව්වා. ඊළඟට මම මේ වර්ස් එක කිව්වා. There is a long long way for us to go,before this tug - a – war could ever end, Now that day has come we all know Donald car sir now we can call you friend කියලා මම අතට අත දුන්නා. ඒත් මිනිහා නැගිට්ටේ නැහැ. ‘කාර් මහත්තයා උඹ ආවේ මොන කාරේකේද කියලා මම දන්නේ නැහැ. ඒත් මම උඹ ඉස්සරහ ඉන්නේ මගේ රටේ ජාතික ධජයත් එක්කයි. ඒ නිසා කරුණාකර නැගිටලා අතට අත දෙන්න’ කියලා කිව්වම මිනිහා ලැජ්ජාවෙන් වගේ නැගිට්ටා. මම කාර්ට අතට අත දීලා පොඩි කිස් එකකුත් දුන්නා. ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ වෙලාවේ ‘පර්සිස් ස්පර්සි’ කියලා මිමුණුවා මට මතකයි.

1985 ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඔබ හා අසාරුදීන් අතර වුණ සිදුවීම මොකක්ද?

අසාර්, ඒ ටුවර් එකට කලින් තිබුණු එංගලන්ත සංචාරයේදී පිට පිට සීයේ තුනක් ගහලා තිබුණා. පිතිකරුවෙක් විදිහට ඒ වෙද්දී මිනිහා හිටියේ උපරිම තලයේ. මම මිනිහව දැක්කෙත් මුල් වතාවටයි. එයා බැට් කරන්න යද්දී ‘අසාර් මම හීනෙන් දැක්කා උඹ තුන්වෙනි බෝලෙට අවුට් වෙනවා’ කියලා කෑගැහුවා. කිව්වා වගේම අසාර් තුන්වෙනි බෝලෙට අවුට් වුණා. මිනිහා අර කතාවෙන් මානසිකව වැටුණා. ඉන්දියාව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධයිනේ. අර කතාවත් එක්ක අසාර් හිතුවේ මම මන්තරකාරයෙක් කියලයි.

ඇත්තටම, එවැනි හැකියාවක් ඔබට තිබුණාද?

මොන! මම නිකං කිව්වේ. එහෙම නිකං කිව්ව ගොඩක් දේවල් හරි ගිහින් තියෙනවා.  

අසාරුදීන් ඊට පස්සේ ඔබට ප්‍රතිචාර දැක්වූවේ කොහොමද?

මාව දකිද්දී මිනිහා අහක බලාගන්නවා. අසාර් බැට් කරන්න යන්න කලින් මාලේ ඇට ගණන් කර කර අර මුස්ලිම්වරු කරන අන්දමේ යාඥාවක් කරනවා මම දැකලා තියෙනවා. මමත් පේමන්ට් එකෙන් එහෙම මාලයක් අරගත්තා. ඒ අරගෙන ඇවිත් අසාර් බැට් කරන්න යද්දී ‘ඒවං මෙසුතං’ ගාථාව මුමුණමින් එකපාරටම අසාර් කියනවා. එයා ඒකෙන් හොඳටම මානසිකව වැටුණා. මුළු ටුවර් එකේම වැඩිම ලකුණු 48යි. සාමාන්‍ය 17යි. 1993 දී ඉන්දීය පිල ලංකාවට එද්දී අසාර් මම ගැන පී.ටී.අයි පුවත් සේවාවට කියලා තිබුණා. ‘පර්සි කියලා මන්තර කාරයෙක් ලංකාවේ පිට්ටනිවල ඉන්නවා. මටනම් එයාගෙන් ප්‍රශ්නයක් නැහැ. ඒත් ටෙන්ඩුල්කාර් හා කම්බලි ගැන මට බයයි. මම ඔහු ගැන තරග තීරක පීටර් වැන්ඩර්බර්ග්ට කියනවා‘ කියලා අසාර් කියලා තිබුණා. පස්සෙ අසාර් මගේ හොඳ යාළුවෙක් වුණා.

ටෙස්ට් තත්ත්වය හිමිවීමෙන් පසු මේ රටේ බිහි වූ හොඳම පිතිකරුවා නම් කරන්න යැයි කියලා කිව්වොත් කාවද ඔබ නම් කරන්නේ ?

මම හිතන්නේ අරවින්ද. එයාගේ තිබුණේ අමුතුම ශෛලියක්. අරවින්ද බැට් කරන විදිහ බලලා කවි ලියන්න පුළුවන්. ඒ එක්කම මහේල සංගා හා සිදත් වෙත්තමුණිත් ඔබ ඔය අහපු කාලයේ මම දැකපු හොඳම පිතිකරුවන් අතර උඩින් ඉන්නවා.

අර්ජුනයි ජයසූරියයි ගැන ඔබ මොකද හිතන්නේ ?

අපිට හිටපු හොඳම නායකයා අර්ජුන. ඒ ගැන වාදයක් නැහැ. ජයසූරිය කියන්නේ අමුතුම කලාවක් ක්‍රිකට් වලට ගෙනාව කෙනෙක්.

එතකොට පන්දු යවන්නෝ ගැන මොකද හිතන්නේ ?

වාස් අති විශිෂ්ටයි. මුරලි වගේ කෙනෙකුගේ සෙවනැල්ලට වැසෙමින් වේගපන්දු යවන්නට සහායක් නැති උප උපමහාද්වීපික තණතිලිවල එයා ලොකු දෙයක් කළා. ඒ එක්කම මුරලිත් සුවිශේෂයි. රංගනත් අමතක කරන්න බෑ. අජිත් ද සිල්වා වුණත් මුරලිට දෙවෙනි නැහැ කියලයි මම හිතන්නේ.

ඔබ ක්‍රිකට් තරග නරඹන්නේ අධික ලෙස මත්පැන් පානය කරලායැයි චෝදනාවක් තියෙනවා. මත්පැන් සම්බන්ධයෙන් පර්සිගෙ උනන්දුව මොන වගේද ?

සාමාන්‍යයෙන් ලන්ච් ඉන්ටර්වල් එකේදී මැච් එකේ තත්ත්වය අනුව ඒ වගේම පාටියකදී පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඉස්සර කට්ටිය මට ඒ අයත් එක්ක සෙට් වෙන්න කතා කරනවා. ඒත් මම එහෙම ඒ අය එක්ක යන්නේ නැහැ. මම බීලා ඉන්නවා වගේ ඒ අයට ඇක්ට් කරනවා. ඇත්තටම මම සිගරට් එකක්වත් බොන්නේ නැහැ. ඔය කියන විදිහට බොනවා නම් වයසක මට පිට්ටනිවලට ගිහින් එහෙම කෑගහන්න බැහැ. මට කිසිම ලෙඩක් නැහැ. පිටරට ක්‍රීඩකයන්ට මාව හිසරුදාවක් වුණට ඔලුව කැක්කුමට පැනඩෝල් එකක් බීපු කාලයක් මට මතක නැහැ. මම ඉස්පිරිතාලෙට යන්නේ ලෙඩ්ඩු බලන්න විතරයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?