ශ්‍රී ලංකාව : රාජ්‍ය දූෂණය මැඩලීමේ අභියෝගය

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව : රාජ්‍ය දූෂණය මැඩලීමේ අභියෝගය

ලිපියට ප්‍ර‍වේශයක් හැටියට, රාජ්‍ය දූෂණයට ඈඳෙන මෑත කාලීන උදාහරණ කිහිපයකට අදාළ ‘රුපියල් කෝටි ගණන්’ කිහිපයක් සිහියට නඟා ගනිමු.
පහුගිය අවුරුදු 10 ඇතුළත එයාර් ලංකා සමාගම රුපියල් කෝටි 12,500ක් පාඩු විඳ ඇත. ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීම හේතුවෙන් රුපියල් කෝටි 806 ක් පාඩු විඳ ඇත. ඇවන්ගාඩ් පාඩුව රුපියල් කෝටි 1140කි. හෙජිං ගනුදෙනුවේ පාඩුව රුපියල් කෝටි 1020කි. බැඳුම්කර වංචාවේ පාඩුව රුපියල් කෝටි 1120කි.  

ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ PRECIFAC වාර්තාව මඟින් හෙළිදරව් කර තිබුණු ආකාරයට, පහුගිය ආණ්ඩු කාලයේ ආයතන 17ක් තුළ සිදු වූ බරපතළ,වංචා දූෂණ 34ක් නිසා රුපියල් මිලියන 3,172ක් අවභාවිත වී ඇත. එහි සඳහන් වන ආකාරයට, ස්වාධීන රූපවාහිනියේ වූවායැයි කියන රුපියල් කෝටි පනස් දෙලක්ෂයක් අවභාවිතා වීමේ සිදුවීමෙහි 6 වැනි විත්තිකරු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය.  
මේ අතර රටේ ජාතික ආදායමින් 62% ක් බුක්ති විඳින්නේ ජනගහනයෙන් 30%ක් තරම් වන සුළු පිරිසකි. ජනගහනයෙන් 70%ක්ම බුක්ති විඳින්නේ ජාතික ආදායමින් 40%ක් තරම් වන සුළු කොටසකි. ඉන් අදහස් වන්නේ, නිදහසින් පසු ශ්‍රී ලංකාව ක්‍ර‍ම ක්‍ර‍මයෙන් ‘මැදි ආදායම් ලබන රටක්‘ බවට ‘උසස් වී’ තිබුණත්, දුප්පතුන් සහ පොහොසතුන් අතර ආදායම් බෙදී යාමේ විශමතාව පුළුල් වී ඇති බව ය.   
දවසකට රුපියල් 50ක් 100ක් හොයාගන්නට අනන්ත අප්‍ර‍මණ දුක්විඳින මිනිස්සු ඉන්නට රටකට දේශපාලකයින්ගේ ආශීර්වාදය සහ අනුදැනුම ඇතිව සිදුවන මේ සා මහා පරිමාණ රාජ්‍ය දූෂණ කොහොම ඔරොත්තු දෙයිද...?   
දකුණු සුඩානය, මියන්මාරය, ලිබියාව වැනි රටවල‍් අසමත් රාජ්‍යයන් බවට පත්වීමට මූලික හේතුවක් වූයේ, ඒ ඒ රටවල ජාතික ආර්ථිකයට ඔරොත්තු නොදෙන තරම් වූ ‘රාජ්‍ය දූෂණය’ නිසාය.  
‘රාජ්‍ය දූෂණය’ සම්බන්ධයෙන් පවත්නා තත්ත්වයන් වෙනස් කිරීමට කඩිනම් පියවර නොගතහොත් ශ්‍රී ලංකාවද පෙර කී රාජ්‍යයන් අතරට තල්ලු වී යාම නොවැළැක්විය හැකි වනු ඇත. 

 
රාජ්‍ය දූෂණය ඉහළට


2018 පෙබරවාරියේ ප්‍ර‍සිද්ධ කරනු ලැබූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්හි, රාජ්‍ය අංශයේ දූෂණ මත පදනම්ව රටවල් ශ්‍රේණිගත කරන CPI දර්ශකයට අනුව 2017 ශ්‍රී ලංකාව සිටින්නේ, රටවල් 180 ක් අතරින් 91 වැනි ස්ථානයේය. 2016 වර්ෂයට අදාළ එම දර්ශකයෙහි ශ්‍රී ලංකාව පැවතුෙණ්, රටවල් 176 ක් අතරින් 95 වැනි ස්ථානයේය. ඒ අනුව ගිය අවුරුද්දට සාපේක්ෂව සැබැවින්ම ලංකාව ලබා ඇති ප්‍ර‍ගතිය ගිණිය නොහැකි තරම් කුඩාය. එනම්, දර්ශකයේ රටවල් දෙකක් පසු කර ශ්‍රේණි 2කින් ඉදිරියට පැමිණීමයි.  
මේ අතර CPI රටවල්වල රාජ්‍ය අංශයේ දූෂණවල තත්ත්වයට අදාළව ‘ලකුණු දීමක්’ සිදු කරන (මෙහිදී ඉහළ ලකුණු ලැබෙන්නේ රාජ්‍ය දූෂණය අඩු රටවල් වලටය) අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට 2017 වර්ෂයට අදාළව ලැබුණු ලකුණු සංඛ්‍යාව 38කි. එය ආසියා-ශාන්තිකර කලාපයේ සාමාන්‍ය ලකුණු තත්ත්වය වන ලකුණු 44 ට වඩා බෙහෙවින්ම අඩු අගයක් වන අතර, ඉන් අදහස් වන්නේ, දූෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පමණක් නොව ආසියා ශාන්තිකර කලාපය තුළද ‘යහපත් තැනක’ නැති බවය.   


කළු සල්ලි සුදු කිරීමෙනුත් පෙරට


ලෝකයේ කලු සල්ලි සුදු කිරීම අතින් වඩාත්ම අවදානමකට ලක්ව ඇති දූෂිත රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව 6 වැනි තැනට වැටී ඇති බව Financial Action Task Force නමැති සංවිධානය විසින් හෙළිදරව් කරන ලදී. ඒ 2018 ජනවාරි නිකුත් කළ වාර්තාවකිනි.
Financial Action Task Force යනු අන්තර්ජාතික මට්ටමින් මූල්‍ය විශුද්ධිකරණ ප්‍ර‍මිති සකස් කරමින් පවත්වාගෙන යාමට සහ මූල්‍ය විනයවත් භාවය පවත්වාගෙන යාමට දිරිදෙන අන්තර්ජාතික සංවිධානයකි.  
එම සංවිධානය විසින් පළ කළ ‘කලු සල්ලි සුදු කරන්නන්ගේ ලෝකයේ සිතියමෙහි’ ද ශ්‍රී ලංකාව ‘අවදානම් රටක්’ ලෙස වර්ණ ගන්වා ඇත.  
මේ අතර ස්විස් බැංකු සහ ඩුබායි බැංකුවල රහසිගතව ගිණුම් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ හිටපු සහ දැනටත් සිටින දේශපාලනඥයිගේ නම් ලැයිස්තු කිහිපයක් ද වරින් වර අන්තර්ජාලය ඔස්සේ දැක ගත හැකි වූ බව ද සිහිපත් කළ යුතු අතර, මේ සියල්ල ම ‘රාජ්‍ය දූෂණයට’ ගැට ගැසුණු අතුරු ශාඛා බව අමුතුවෙන් කිව යුතු නැත.  


යුරෝපයේ අසාදු ලේඛනයට


පෙබරවාරි 7 වැනිදා, යුරෝපා පාර්ලිමේන්තුව ‘වැඩි ඡන්දයෙන්’ සම්මත කරගත් යෝජනාවකට අනුව, කඵ සල්ලි සුදු කිරීම (මුදල් විශුද්ධිකරණය) සහ ත්‍ර‍ස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැතිවීම හේතුකොටගෙන ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කළේය. එය යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි වාර්තා වූයේ පහත දැක්වෙන ආකාරයටයි. ඒ සමඟ අසාදු ලේඛනගත කළ සෙසු රටවල් වන්නේ ටියුනීසියා, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ය.  
කෙසේවෙතත්, යුරෝපය සමඟ ශ්‍රී ලංකාව පවත්නා නොයෙකුත් ආකාරයේ විදේශ ගණුදෙනුවල දී, මෙම අසාදු ලේඛණගත කිරීම හෙවත් ‘බ්ලැක්ලිස්ට් කිරීම’
අයහපත් ලෙස බලපෑමට නියමිතය. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසුව මහබැංකු අධිපතිවරයා පවසා තිබුණේ, මෙම වර්ෂයේ ඔක්තෝබර් පමණ වන විට, ශ්‍රී ලංකාව එම අසාදු ලේඛනයෙන් ඉවත් කරගැනීමට පියවර ගන්නා බවය.  
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව එක්තරා අතකින්, රාජ්‍ය දූෂණයෙන් පෙරට ම එමින් සිටිද්දී, කළු සල්ලි සහ සුදු කිරීම අතිනුත් ඉදිරියට පැමිණෙමින් තිබීම තුළ, මේ සමස්තයට දූෂිත දේශපාලනය සහ දූෂිත දේශපාලකයින් සමඟ ඇති අනියම් සබඳතා බෙහෙවින් බලපාන බව පෙනේ.  


ඇත්තෙන්ම මේ සියල්ලම ඇත්තේ එකම චක්‍ර‍යකයි.  


කසල එකතුකිරීමේ සිට, පාසලට ළමයෙකු ඇතුළත් කිරීමේ සිට, පස් කැපීමේ ගස් කැපීමේ බලපත්‍ර‍ ලබාගැනීම යන සරල මහජන උවමනාවලට ද දැඩිව බලපාන ‘දූෂිත දේශපාලනය’ ඇත්තටම අප හිතනවාටත් වඩා භයානක වන බව තේරුම්ගත හැක්කේ මෙවැනි බරපතල තත්ත්වයන් හරහාය.  
ලන්ඩන් දුෂණ සමුළුව සහ කොළඹ නිදහස් සමුළුව

ෙම්අාකාරයට දූෂණය පිළිබඳ වාර්තා පිට වාර්තා තබන රටක් හැටියට, 2016 - ලන්ඩන් හි දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, පිටු දෙකකින් යුත් ප්‍ර‍කාශයක් ලබා දෙමින්, යහපාලන ආණ්ඩුව යටතේ දූෂණ විරෝධී නව්‍ය කේන්ද්‍ර‍යක් (Anti- Corruption Innovation Hub) සහ ප්‍ර‍තිලාභ ලබන හිමිකරු රෙජිස්ටරයක් (Beneficial Ownership Register) ප්‍ර‍සිද්ධ කිරීමටත් ඒ සඳහා ව්‍යවස්ථාදායක සහ පරිපාලන ප්‍ර‍තිපාදන කඩිනමින් සලස්වන බවටත් පොරොන්දු දෙන ලදි.
මේ අතර ඉකුත් දා ගාලු මුවදොර පිටියේ පැවැති නිදහස් සමරු උත්සවය ඇමතූ ජනාධිපතිවරයා පැවසුවේ, දූෂණය වැළැක්වීමට ‘සමාජ ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතු බව’කි. ඇත්තෙන් ම ඔහු ලන්ඩන් සමුළුවට පොරොන්දු වූ පරිදි ප්‍ර‍තිලාභ ලබන හිමිකරු රෙජිස්ටරයක් (Beneficial Ownership Register) සකස් කර ප්‍ර‍සිද්ධ කරන්නට හැකි නම්, එය ඔහුටද ගෞරවයකි.   


නෛතික ප්‍ර‍තිපාදන සහ එහි සීමා
ව්‍යවස්ථාදායකයට අනුබද්ධ වන පොදු ව්‍යාපාර (කෝප්) කාරක සභාව සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව, ආණ්ඩුවේ මූල්‍ය කටයුතු විමසීමට බලය ඇති ආයතන දෙක වශයෙන් හඳුනා ගත හැකි අතර, ඊට ඇති බලයෙහි සීමාව වන්නේ, ‘නිර්දේශ නිකුත් කිරීමෙන්’ ඔබ්බට කිසිවක් කළ නොහැකි වීමයි.  
‘එදා මෙදා තුර කෝප් වාර්තා කීයක් ආවාද? නිර්දේශ කීයක් ක්‍රියාත්මක වූවාද?’ යන්න සොයා බැලීම වෙනමම පර්යේෂණයකි.  
මේ කොමිසම් වාර්තා, මීට ඉහත බොහෝ කොමිසම් වාර්තා වගේ ම ‘යකාට ගියොත්’ නං කාටවත් කිසිම කරදරයක් නැතුව පාඩුවේ දේශපාලනය කරගෙන යා හැකි අතර ජනතාව පමණක් ‘සදා කාලික ගොනා’ ම වනු ඇත. (ගොනා යනු ‘මෝඩකම’ය. ‘බර ඇදීම’ය.)  
අපේ පාර්ලිමේන්තුව අනාදිමත් කාලයක් තිස්සේම පුද්ගලික ඕනෑ එපාකම්වලට, හිතවතුන්ගේ ඕනෑ එපාකම්වලට ‘නීති හදන - වෙනස් කරන’ පුදුමාකාර පාර්ලිමේන්තුවක් බවත්, පාර්ලිමේන්තු බහුතරය තර කරගැනීමට කෙළින්ම මන්ත්‍රීවරුන්ට ‘අල්ලස්’ දෙන බවත්, ‘හැම දෙනෙක්ම දන්නා’ වූ සාමාන්‍යකාරණයක් බවත් අමුතුවෙන් කිව යුතු නැත.   
ඒ නිසා රටේ මූලික නීතියෙහි නීතිගත වුවත්, පවත්නා දේශපාලන සංස්කෘතිය තුළ එවැනි නීතිවලට වලංගු භාවයක් නැති බව පමණක් කිව හැකිය. මීට අමතර ව 72 ව්‍යවස්ථාවේ, 68 වගන්තියේ (ඉ-iii) වගන්තිය අනුව, මහජන ආයතන දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදකරුවෙකු වූ අයෙකුට (පස් වසක් ඉක්ම නොගිය කාලයේ) මැතිවරණයකට ඉදිරිපත් වීමට මෙන් ම මැතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමට ද නොහැකි බව දක්වා තිබුණි. 78න් පසුව මෙම නීතිය වලංගු නැති අතර, එය තවදුරටත් වලංගු තත්වයෙන් තිබුණි නම්, චූදිතයෙකු නොවී සිටිය හැකි දේශපාලනඥයින් සොයාගැනීම ‘කළුනික සෙවීමක්’ වනු ඇති බවට සැකයක් නොමැත.  
යහපාලන ආණ්ඩුව ‘පළමු දින සියය’ තුළ ඉටු කරන්නට පොරොන්දු වූ පොරොන්දු අතර තිබුණු වැදගත්ම පොරොන්දුවක් වන, ‘විගණන පනත’ තවමත් නැති අතර, එමඟින් සාදන්නට අපේක්ෂා කරන තත්ත්වය තුළ ‘රාජ්‍ය දූෂණය’ට එරෙහිව ‘තවත් වැටක්’ බැඳෙතැයි අපේක්ෂා කළ හැකිය.  
යහපාලන ආණ්ඩුව, ‘දින සියයේ පොරොන්දු ලැයිස්තුවේ’ම තිබුණු, ‘තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමේ පොරොන්දුව’ ඉටු කළ බවත්, ‘රාජ්‍ය දූෂණ’ වැඩි වැඩියෙන් අනාවරණය පිණිස මහජනතාව, මාධ්‍යය සහ සිවිල් සංවිධාන ඒ අවස්ථාව හොඳින් පාවිච්චි කරන බවක් පෙනෙන්නට නැති බවත්, කිව යුතුය.  
මීට අමතර ව වත්කම් බැරකම් නීතිය හා යෝජිත මන්ත්‍රී ආචාරධර්ම ආදිය ඒ තරම් පණ නැති ‘රාමු’හැටියට පවතින අතර අල්ලස් - දූෂණ කොමිසමද සාමාන්‍යයෙන් ෆයිල් නඩත්තු කරන ආයතනයකින් එහාට ‘රාජ්‍ය දූෂණය’ වැළැක්වීම පිණිස සැලකියයුතු සහ බලපෑම් සහගත කාර්යයක් ඉටු කරන්නේ යැයි කිව නොහැක.  
ඒ අනුව අවසාන වශයෙන් කිව හැක්කේ, තිබෙන නීති ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ ඇතැම් සීමා ඉවත් කරගැනීම හරහාත්, පැනවීමට/සකස් කිරීමට යෝජනා වී ඇති ‘අලුත් නීති හා රාමු’ ඇති කිරීම හරහාත්, ශ්‍රී ලංකාවේ ‘රාජ්‍ය දූෂණය’ වැළැක්වීමට උත්සහ කළ හැකි බවය. එහෙත් අප මීටත් වඩා සැලකිලිමත් විය යුත්තේ, දේශපාලන සංස්කෘතිය වෙනස් කරවා ගැනීමටය.  
ඒ පිළිබඳව මීට වඩා පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය වන අතර, ‘රාජ්‍ය දූෂණය’ විෂයෙහි ගෝලීය ප්‍ර‍වණතා පිළිබඳවත්, සිංගප්පුරුවේ සහ හොංකොං ආදර්ශ පිළිබඳවත්, ඉන් අපට ලැබිය හැකි ආභාසය පිළිබඳවත් මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.