මහනුවරදී මිනිස්කම දැවෙනු දුටුවෙමු

 ඡායාරූපය:

මහනුවරදී මිනිස්කම දැවෙනු දුටුවෙමු

ඔබේ ජාතිය කුමක්ද?


දියසේන රජු තමන් යැයි කියන පුද්ගලයෙක් මට අංගොඩ මානසික රෝහලේදී හමු විය. ඔහු ඇවිදින්නේද රජකු මෙන් මහේශාක්‍ය ලීලාවෙනි. ඔහු කතා කරන්නේද රජකු මෙන්ය. ඔහු හිනාවුණත් ඒ ආඩම්බරයෙන්ය. ඇත්තටම දියසේන කියා රජ කෙනෙකු නැති බවත්, එය මිථ්‍යා කතාවක් බවත් කියාදෙන්නට ගියහොත් ඔහුගෙන් ඇති පදම් කුණුහරුප අහගන්නට හැකිය.   
ඒ කියන්නේ එය පිස්සුවකි. බෙහෙත් කොට සනීප කළ යුතු තදබල පිස්සුවකි. මේ ජාතිවාදය කියන්නේත් ඒ වගේය. ඇත්තටම නැති දෙයක් ඇතැයි කියා හිතාගෙන ඒ වෙනුවෙන් මැරෙන්නට දඟලන්නේය. අනුන් මරන්නට හදන්නේය. ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් මහතා 1958 වසරේදී සිළුමිණ පුවත්පතට මෙසේ ලියා ඇත. ඒ කියන්නේ අදින් අවුරුදු හැටකට පෙරය.   
ඔබ සිංහල කියා කියන්නේ කෙසේද? ඔබ දෙමළ විය නොහැකිද? ඔබ මුස්ලිම් කියා කියන්නේ කෙසේද? ඔබ සිංහල විය නොහැකිද? උපතේදී අම්මලා-තාත්තලා කියපු නිසා, සහතික වලට දාපු නිසා ඔබ සිංහල හෝ දෙමළ වී තිබේ. ඒත් ඒ අම්මලා-තාත්තලාත් ඔවුන් සිංහල හෝ දෙමළ වූයේ කෙසේද කියා දන්නේ නැත. ඔවුන්ගේ අම්මලා-අප්පලාත් මේවා කොහෙන් ආවාද කියා දන්නේ නැත. ඒ කියන්නේ ඇත්තට නැති හදාගත් දෙයක් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හදන්නේය. මේ පිස්සුව හිතාගන්නට බැරි තරම් දරුණුය. මේ උන්මත්තකයන්ට එරෙහිව උපරිම පියවර ගත යුතුය.   
රට ඉස්සරහට ගියා කිව්වාට යන්නේම ගෝත්‍රික පැත්තටය. එසේ නොවන්නේ නම් මහනුවර එකට කාපු-බීපු මිනිසුන් මෙසේ මරාගනියිද?   


පිපාසයෙන් මරන්නට දැඟලීම


මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, තෙල්දෙනිය, මැණික්හින්න, කටුගස්තොට-අඹතැන්න ඇතුළු කලහකාරීන් ගැටුම් ඇවිලවූ ප්‍රදේශ රැසකම දැකිය හැකි සුලබ දසුනක් විය. ඒ නිවාසවලට, කඩවලට ජලය සපයන නළ මාර්ග කඩාදමා තිබීමය. ඒ කියන්නේ කරන්නට හැකි නරුමම තැනින් ඔවුන් වැඩේ පටන්ගෙන තිබේ. නිවාසවලට, කඩවලට ගිනිතබා ඇත්තේ ඉන්පසුව ය.   
‘ගිනි නිවාගන්න බැරි වෙන්න තමයි ඔය විදිහට ටැප් ලයින් කඩලා දාලා තියෙන්නෙ. කොච්චර තිරිසන්ද පුතේ.’   
අඹතැන්නේ තාත්තා කෙනක් එසේ කීවේය. ඔහුගේ ජාතිය කුමක්දැයි මා අසන්නට ගියේ නැත. ඒ නළ වලින් ජලය තවමත් ගලන්නේය. ඒවා නතර කරන්නට ජල සම්පාදන මණ්ඩලයට එන්නට නොහැකිය. ආරක්ෂක අංශවලට ඒ ඉංජිනේරු රාජකාරි කළ නොහැකිය.   


දේපොළ ගිනි තැබීම


‘අවුරුද්දට විකුණන්න ලක්ෂ 75ක රෙදි ගෙනාවෙ පෙරේදා. කඩේ ඇතුළෙ දැම්මා විතරයි. අලුත් සුවඳ යන්න හම්බුණේ නෑ. මුදලාලි මැරෙන්න හදනවා. හැමදාම රෙදි ගේන්නෙ ණය වෙලා.’   
දිගන රෙදි කඩයක සේවය කරන තරුණයෙක් එසේ කීය. ඔහුගේ ජාතියද දේපොළ විනාශය ගැන කතා කිරීමේදී අදාළ වූයේ නැත. මේ ආකාරයට දේපොළ හානිකිරීම් කොපමණක්ද? එය තක්සේරු කරන්නට නොහැකිය. පොඩි මුදලාලිලාගේ සියල්ල ඉවරය. ලොකු මුදලාලිලාගේ බැංකුවල දැමූ මුදල් විතරක් ඉතිරි වී තිබිය හැකිය. පොඩි මිනිසුන් සියල්ල අහිමි කරගනිමින් සිටී.   


ආගමික ස්ථාන


මැණික්හින්නේ ආගමික ස්ථානයකට ගල් ගසා ගිනි තබන්නට උත්සාහ දරා ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබියදීය. ඒ පෙරේදා රාත්‍රියේය. මේ පිරිස් පාලනය කරන්නට හමුදාව වෙඩි තබා ඇත.   
දිගන, තෙල්දෙනිය ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. ඒ ගැන පසුගිය දවස් ටිකේම පුවත්පත්වල පිටු ගණන් ලියැවිණි. ඊයේ දිනයේදී කටුගස්තොට, අඹතැන්නේ ආගමික ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබිණි. මැණික්හින්න, අකුරණ ඇතුළු ප්‍රදේශ කිහිපයකම මෙවැනි ප්‍රහාර එල්ල කළ පිරිස් පලාගොස් තිබිණි. ඇතැම් ආගමික නායකයන් මේ අපරාධ නවත්වන ලෙස කෑගසා ඇත. එහෙත් උන්මත්තකයන් ඒ ආගමික නායකයන්ගේ ආගමික ස්ථානවලටද ප්‍රහාර එල්ල කර ඇත. පසුව ඒවා වෙනත් පිරිස් පිට පටවා ඇත.   

 


තුවාලකරුවන් අතහැර යෑම


එකට පහර දෙන්නට පැමිණ තුවාල වූ පසු ඔවුන් අතහැර යන්නට තරම් ඔවුන් හිත්පපු නැත්තවුන් බවට පත් වී ඇත. කරන්නේ කුමක් වුවද, අඩු තරමේ සාමූහික ක්‍රියාවලියක් හෝ පවත්වාගෙන යන්නට ඔවුන් අසමත්ය. පසුව ඒ තුවාලකරුවන් රෝහල්වලට ගෙනයාම පැවරී තිබුණේ ආරක්ෂක අංශවලටය.   
ජාතිය නම් උන්මත්තක හැඟීම වෙනුවෙන් ජීවිත-දේපොළ වනසන ඔවුන්ට සාමූහික වගකීමක් කොයින්ද? ඊයේ පස්වරුව වන විට බරපතළ තත්ත්වයේ තුවාලකරුවන් 8 දෙනකු පමණ කටුගස්තොට සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබිණි. අනෙකුත් සුළු තුවාල ලැබූවන් බැරි බැරි ගාතේ දුව යනු දක්නට හැකි විය.   


මරණ


‍අඹතැන්නේ අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දෙදෙනකු මිය ගොස් ඇති බව ඊයේ පස්වරුවේ පොලිසිය තහවුරු කළේය. ඊට අමතරව දේපොළ ගිනි තබනු දැක අඹතැන්නේ වියපත් මිනිසකු හෘදයාබාධයක් වැලඳී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.   
ඒ කියන්නේ උන්මත්තකයන් හෙවත් ඝාතකයන් විසින් ජීවිත වැනසීම ආරම්භ කර තිබිණි. එහෙත් මේ සිදුවීම්වලට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට නොහැකි තත්ත්වයක් විය. ඊට හේතුව පටු මාර්ගවලින් එක්වරම ප්‍රධාන මාර්ගවලට පැන පහරදී පලායන ක්‍රමයක් ඔවුන් අනුගමනය කිරීමය. එක් ස්ථානයකට පහර දුන් පසු ඒ ස්ථානයේ සියලු මාර්ග ආරක්ෂක අංශ වටලයි. ඉන්පසු උන්මත්තකයන් යන්නේ වෙනත් තැනකටය.   


පිටින් ආ පිරිස්


‍මහනුවර බොහෝ ස්ථානවල වෙනත් පළාත්වලට අයත් වාහන අංක තහඩු සහිත යතුරුපැදි ධාවනය වෙමින් තිබිණි. ආරක්ෂක අංශ ඒවා දුටු සැණින් නතර කර, ප්‍රශ්න කරනු දැකිය හැකි විය. මහනුවරට අයත් වාහන අංක තහඩුවේ සඳහන් විය යුත්තේ මධ්‍යම පළාත යන්න අරුත් ගැන්වෙන CP යනුවෙනි. එහෙත් පිටතින් ආ වාහන කාගේද?   
අඹතැන්නේ ආගමික ස්ථානයක පිරිසක් රැස්ව සිටියහ. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ඔවුහු අදාළ ආගමික ස්ථානය පරීක්ෂා කළහ. පොලු විශාල ප්‍රමාණයක් සහ කැපෙන උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනිණි. අප සිටින ස්ථානයට පැමිණි අයෙක් රහසින් මෙසේ විමසීය.   
‘ඔයාලා අපේ නේද? අර පිස්තෝල තියාගෙන සිවිල් අය ඉන්නවා. ෆොටෝ ගන්න.’  
අප කළ සොයාබැලීමේදී හෙළි වූයේ ඔවුන් සිවිල් ඇඳගත් පොලිස් නිලධාරීන් බවයි.   

 


නායකත්වය


මැණික්හින්නේ ආගමික ස්ථානයකට එල්ල කරන ලද ප්‍රහාරය සහ දිගන ප්‍රහාර සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී මෙයාකාර සිදුවීම් කිහිපයක්ද අනාවරණය විය. එනම් දේශපාලනඥයන් පිරිසක් ලොරි රථයේ රියැදුරාගේ මරණයෙන් පසු දිගන නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ නිවෙස්වලට පැමිණ ඇත. ඔවුන් පැය ගණනාවක් එහි රැඳී සිට ඇත. මේ ව්‍යාපාරිකයන් දෙදෙනා පසුගිය කාලයේ එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබල ආධාරකරුවන් ලෙස කටයුතු කර තිබේ. 

 
ජන ජීවිතය අඩාළයි


ඇඳිරි නීතිය හා කඩ සාප්පු වසා තිබීම හේතුවෙන්
ප්‍රදේශයේ ජන ජීවිතය බොහෝ සෙයින් අඩාළ වී තිබේ. අත්‍යවශ්‍ය ආහාර ලබාගත නොහැකි වීමෙන් කෑම බීම පවා හිඟ වෙමින් පවතී. බොහෝ දෙනෙක් භාවිත කරන්නේ පෙර ගෙවුම් කාඩ්පත් යොදන දුරකථන යි. එහෙත් කාඩ්පත් මිලට ගැනීමට නොහැකි වීමෙන් සන්නිවේදනය අඩාළ වී තිබේ. පුවත්පත් ලබාගැනීමටද හැකියාවක් නැත.  


මනුස්සකම


මහනුවරට මේ දින කිහිපයට ආගන්තුක වූ මනුස්සකම ගැන කතා රැසක් ලිවිය හැකිය. ඒත් ඒ අතරින් සුවිශේෂී කතා මෙසේ වේ.   
‘අනේ පුතේ මේවා නවත්තන්න, මේවගෙන් අපේ පළාත්වල තියෙන සමගිය නැත්තටම නැති වෙනවා.’  
අම්මලා-තාත්තලා අප ඉදිරියේ ඔවුන්ට එසේ බැගෑපත් වූහ.   
ඒත් පහරදෙන්නවුන් කීවේ මෙවැන්නකි.  
‘ඔවුන් කරන නිසා අපිත් කරනවා.’  
ඒ කොයිතරම් උන්මත්තක කතාවක්ද? එසේ නම් මේ විපත් කිසිදා නතර නොවනු ඇත. මිනිස්කම ගැන හිතන්නට කොතැනින් හෝ ආරම්භ කළ යුතුය. කෙසේ වෙතත් ආගමික ස්ථානවල සියලු ජාතීන් ආරක්ෂා කළ අවස්ථා වලට උදාහරණ තිබේ. ඇතැම් පුද්ගලයන් ජාතිභේද නොසලකමින් අනුන්ට උපකාර කරනු, බත්මුල් බඳිනු දැකිය හැකි විය. ඒ කියන්නේ මනුස්සකම තවමත් ඉතිරිය. අවශ්‍ය වන්නේ එය පෝෂණය කොට මේ පිස්සන් ගාල් කිරීමය. කටකතා වලට නොරැවටීමය.  

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?