තවත් ළමයින්ට තාත්තලා නැති කරන්න එපා! ගහමරාගැනිල්ල නවත්වන්න!

 ඡායාරූපය:

තවත් ළමයින්ට තාත්තලා නැති කරන්න එපා! ගහමරාගැනිල්ල නවත්වන්න!

සිය ඥාතියාගේ මරණය හේතුවක් කර ගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන ලෙස, තෙල්දෙණියේදී සිදු වූ පහරදීමෙන් මියගිය
ලොරි රථ රියදුරු කුමාරසිංහගේ ඥාතීහු ගැටුමට සම්බන්ධ වී සිටින සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිති.
සිය ඥාතියාගේ මළ සිරුර නගරයට රැගෙන යෑමට විවිධ අය ඉල්ලා සිටි නමුත් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේද අනුශාසනා මත තමන් ඊට එකඟ නොවූ බවද සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔවුහු ප්‍රකාශ කරති.
‘අපි ඉල්ලන්නෙ මේ සිද්ධිය හින්දා අපේ මිනිස්සු ඇණකොටා ගන්න එක නතර කරන්න කියලා. මේකෙන් පස්සෙ කීදෙනෙක් නැති වුණාද?
ඒ මරණවලට කවුද වගකියන්නෙ?’ මියගිය එච්.ඩී. කුමාරසිංහගේ සොහොයුරු එම්. ජයන්ත පවසයි.
‘දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා. අපි ඉල්ලන්නෙ පුළුවන් නම්
මේ ළමයින්ට සාධාරණයක් කරන්න.’ සොහොයුරිය නන්දාවතී මැණිකේ ප්‍රකාශ කරයි.
‘මොනවද දැන් මේ වෙන්නෙ? අපේ පුතා අපිට නැති වුණා. දැන් බලන්න,
කී දෙනෙකුගෙ ළමයින්ට තාත්තලා දකින්න නැද්ද? ඒ තාත්තලා හිරේ ගිහින් තියෙන්නෙ මොනවටද? අනුන්ට ගහලා. මේවා නවත්තන්න කියලා ඉල්ලන්න විතරයි අපිට පුළුවන්.’ මියගිය කුමාරසිංහගේ මාමා වන
ආර්. පියදාස කියයි.
ඔවුන් මේ අදහස් පළ කළේ ‘රැස’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ශාලික විමලසේන සහ ඡායාරූප ශිල්පී රංජිත් අසංක ඊයේ (07) පෙරවරුවේ පේරකැටිය පුස්ගෝව ප්‍රදේශයේ පිහිටි, අවමංගල්‍යය පැවති නිවසට ගිය අවස්ථාවේදීය.

 

 

 

එච්.ඩී. කුමාරසිංහගේ ගෙදරට පේරකැටිය, පුස්ගෝවට යා යුතුය. ඒ කියන්නේ මහනුවරත් පසු කර, දිගනත් පසු කර, තෙල්දෙනියත් පසු කර තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇතුළට යා යුතුය. ඒ පාරේ පදිංචිකරුවන් හැර අන් කිසිවකු යන්නේ කලාතුරකින් විය හැක. ඇත්තටම ඒ මග දුෂ්කරය. කඳුකරය ලස්සන වුණත්, ඒ යටින් දිවෙන ඇත්ත විශ්වාස කළ නොහැකි තරම් තිත්තය.   
එච්.ඩී.කුමාරසිංහ යනු පසුගිය දින කිහිපයේ රට පුරා කතාබහට ලක් වූ කලහකාරී සිදුවීම් වලට මුල් වූ පුද්ගලයා ලෙස ඇතැමෙක් හඳුන්වන්නාය. මාධ්‍ය මගින් හිතෙන-හිතෙන දේ ලියමින්-කියමින් කළ විකාරයද මේ අත්තනෝමතික කලහකාරිත්වය අවුළුවන්නට සෑහෙන දායකත්වයක් ලබා දී තිබිණි.   
තෙල්දෙනිය නගරයේ ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුවා සිංහ මුදලාලිය. ඒ වගේම කුමාරසිංහ රියැදුරු රස්සාව කළ ලොරියේ අයිතිකරුවාද ඒ මුදලාලිමය. දවල්ට ගෙදර නැති, මහ රෑට ගෙදර එන කුමාරසිංහ ඔය කියන විදිහට මේ සිද්ධියට වගකිව යුතුද?   
කොළඹ සිට පෞද්ගලික සමාගමක කිරිපිටි තොගයක් පටවාගෙන එමින් සිටියදී තෙල්දෙනිය නගරයේදී ඔහුට පහර දී තිබේ. ලොරිය ඉස්සර කිරීමට එකවර ඉඩක් නොදීම ඊට ආසන්නතම හේතුව වී ඇතැයි ප්‍රකාශ වේ. මේ වන විට අදාළ පහරදීමට සම්බන්ධ වූ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.   


පුළුවන් නම් මේ ළමයි දෙන්නට සාධාරණයක් කරන්න
එම්.ජයන්ත -
මිය ගිය කුමාරසිංහගේ සහෝදරයෙක්
‘අපේ අයියා කාටවත් කරදරයක් නැති කෙනෙක්. කොටින්ම හරියට ඇහෙන්න කතා කරන්නෙවත් නෑ. එයා කාලයක් රට හිටියෙ. ඔය රස්සාවට යන්න පටන් අරන් දැන් අවුරුදු එකහමාරක් විතර ඇති. උදේ පාන්දර වැඩට යනවා. මහ රෑට ගෙදර එනවා. එයාට යාළුවෙක් ආශ්‍රය කරන්නවත් වෙලාවක් නෑ. ඒක හින්දා මට හොඳටම විශ්වාසයි, මෙතැන වෙන කිසිම පෞද්ගලික ප්‍රශ්න මොකුත් නෑ කියලා.   
දැන් අපිට වෙන්න තියෙන දේ වුණා. අයියා අපිට නැති කළා. අපි ඉල්ලන්නෙ මේකට සම්බන්ධ අයට උපරිම දඬුවම් දෙන්න කියලා. පහුගිය දවස් ටිකේ ඒ ගැන අපිට සැකයක් තිබුණා. ඒත් දැන් මේක උසාවිය ඉදිරියේ තියෙන හින්දා සාධාරණයක් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.   
අපි ඉල්ලන්නෙ මේ සිද්ධිය හින්දා අපේ මිනිස්සු ඇණකොටා ගන්න එක නතර කරන්න කියලා. මේකෙන් පස්සෙ කීදෙනෙක් නැති වුණාද. ඒ මරණ වලට කවුද වගකියන්නෙ. අපේ පන්සලේ හාමුදුරුවොත් අපිට කිව්වෙ අයියාගෙ මිනිය කොහෙවත් ගෙනියන්න දෙන්න එපා කියලා. අපි අයියාව පවුලේ සුසාන භූමියෙ මිහිදන් කළා. අයියගෙ මිනිය ගේනකොටත් ප්‍රශ්න ආවා. දිගන ටවුන් එකේ මිනිය තියාගන්න හැදුවා. පොලිස් ජීප් එකක් ආපු හින්දා තමයි මිනිය ගෙදරට ගේන්න පුළුවන් වුණේ. නැත්නම් අයියගෙ මිනිය පාරවල් ගාණෙ කුණු කරයි.   
අපිට සල්ලි දෙන්න හැදුවා, අපි ලක්ෂ දෙකක් ගත්තා වගේ බොරු කතා මාධ්‍යවලිනුත් පැතිරෙව්වා. ෆේස්බුක් එකේ බොරු දැම්මා. අයියගෙ මළ ගෙදරට සෙනඟ ආවා තමයි. මේ දුෂ්කර පැත්තට කවදාවත් ආවෙ නැති අය අයියගෙ මළගෙදරට ආවා. ඒ ගොල්ලන්ගෙන් අපි සල්ලි ගත්තෙ නෑ. හැබැයි ඒ ගොල්ලො පස්සෙ අයියගෙ මිනිය අරන් යන්න ඉල්ලුවෙත් නෑ. සමහර මාධ්‍යවල ගියෙ අයියගෙ මිනිය ටවුන් එකට අරන් ගියා කියලා. හිස් පෙට්ටියක් මිනිය වගේ අරන් ගියා කියලත් බොරු කිව්වා. ඇයි මේ විදිහට මිනිස්සු ඇවිස්සුවෙ.   
මං ඉල්ලීමක් කරනවා, අයියගෙ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුගෙ වයස දහතුනයි. අනෙක් එක්කෙනාට එකොළහයි. පොඩි පුතාට ආබාධිත තත්ත්වයකුත් තියෙනවා. අම්මාට බෙහෙත් ගන්න මාසෙකට ලොකු ගාණක් යනවා. නංගි රස්සාවක් කරන්නෙත් නෑ. සහෝදර-සහෝදරියො විදිහට අපිට වුණත් උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඇත්ත කතාකරන්න ඕනනෙ.   
අයියා රට ගිහින් අවුරුදු හයක් හිටියා. ඒ හම්බකරපු සල්ලි ඔක්කොම වියදම් කළේ ඔය අසනීපවලට තමයි. ඒක නිසා අයියට උදව් කරන්න ඇත්තටම ඕනෙ නම් මේ ළමයින්ට උදව්වක් කරන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා.’ 

 
දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා
 - නන්දාවතී මැණිකේ -
මිය ගිය කුමාරසිංහගේ සොහොයුරියක්
‘අපේ අයියා කාටවත් කරදරයක් කළේ නෑ. අයියා මැරුවා කියලා දැනගත්තට පස්සෙ අනෙක් අයටත් කේන්ති යන්න ඇති. ඒත් දැන් ඒ සිද්ධි ඔක්කොම ඉවරයි. අයියගෙ හත් දවසෙ බණ අද රෑට. දැන් ඔය හොඳටම ඇති ගහමරා ගත්තා. අපි ඉල්ලන්නෙ පුළුවන් නම් මේ ළමයින්ට සාධාරණයක් කරන්න. ඒ ගොල්ලන්ට බෙහෙත් ගන්න සෑහෙන ගාණක් යනවා. ගෙදර වියදම් තියෙනවා. ඔය ඔක්කොම කළේ අයියගෙ මාසෙ පඩියෙන්. මේ ගේ තාම හදලා තියෙන්නෙ බාගෙට. පුළුවන් නම් මේ ප්‍රශ්න විසඳලා දෙන්න.   
අපේ අයියාගෙ ලොකු චේන් එකක් තිබුණා. ඒක හොරෙන්ම පන්සලට පූජා කරලා. එයා ඒ වගේ කෙනෙක්. හිත හරි හොඳයි. ළමයින්ටත් කිසි අඩුපාඩුවක් කරන්නෙ නෑ. පුළුවන් විදිහට හැමදේම කළා. දැන් කවුද ඒවා කරන්නෙ. මේ ළමයි දිහා බලන්න. ඒ ගොල්ලන්ට අසනීප තියෙනවා. ඒවා හොඳ කරන්න බෑ කියලා දොස්තර මහත්තුරු කියලා තියෙන්නෙ. කවුද මේ ළමයි බලාගන්නෙ. අයියාට මේ අපරාදෙ කරපු අය එක්ක මටත් ලොකු තරහක් තියෙනවා. ඒත් මොනවා කරන්නද.’ 

 

 
තව ළමයින්ට තාත්තලා නැති කරන්න එපා


- ආර්. පියදාස -
මිය ගිය කුමාරසිංහගේ මාමා
‘මොනවද දැන් මේ වෙන්නෙ. අපේ පුතා අපිට නැති වුණා. දැන් බලන්න, කී දෙනෙකුගෙ ළමයින්ට තාත්තලා දකින්න නැද්ද. ඒ තාත්තලා හිරේ ගිහින් තියෙන්නෙ මොනවටද. අනුන්ට ගහලා. මේවා නවත්තන්න කියලා ඉල්ලන්න විතරයි අපිට පුළුවන්. අපි මේ ගම්වල මිනිස්සු. අපි කියන ඒවා කවුද අහන්නෙ. පුතාගෙ මළගෙදරට ආපු සිය ගාණක් සෙනඟ දැක්කා. ඒත් ඊටපස්සෙ ඒ අය නෑ.   
මුල් දවස් දෙකේ ගෙදරට පොලිසියෙන් ආරක්ෂාවත් දාලා තිබුණා. දැන් ඒවාත් නෑ. හැමදේම ඔහොම තමයි. අපි ගැන බලන්න ඉන්නෙ කවුද. පොලිසිය ලොකු අයගෙන් කප්පම් ගන්නවා, අපිට කොහෙන්ද කප්පම් දෙන්න හයියක්. මං බලාගෙන ඉද්දිම සමහරු පොලිසියෙ මහත්තුරුන්ටත් හයිපාට් දැම්මා. අපි පොලිසි ගාණෙ ගිහිනුත් නෑ. යන්න ඕනෙකමකුත් නෑ. මං කියන්නෙ මේ සේරම බොරු වැඩ. අපිට අපේ පුතා නැති වුණා තමයි. මේ ළමයි දෙන්නට තාත්තා නැති කළා වගේ තව ළමයින්ට තාත්තලා නැතිකරන්න එපා. ඒක සහගහන අපරාධයක්.’  

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?