අලි-කොටි මදිවාට කිඹුල්ලුත්

 ඡායාරූපය:

අලි-කොටි මදිවාට කිඹුල්ලුත්

වර්තමානය තුළ ශ්‍රී ලංකාවේ වන ජීවීන් මුහුණපා තිබෙන ඛේදනීය තත්ත්වය පිළිබඳ මාධ්‍ය මඟින් විවිධ අවස්ථාවලදී සාකච්ඡාවට බඳුන් කර තිබේ. අලි මිනිස්‌ ගැටුමෙන් ආරම්භ වූ මෙම අර්බුදය වර්තමානය වන විට මිනිස් කොටි (දිවියා) ගැටුමේ සිට කිඹුල් මිනිස් ගැටුම දක්වා වර්ධනය වී තිබේ. මේ නිසා රටට අහිමිවන මිනිස් ජීවිත මෙන්ම සත්ත්ව ජීවිත සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යයි.  
වාර්ෂිකව මියයන අලි ඇතුන් මෙන්ම මිනිස්‌ ජීවිත ගණනද අවම කිරීම සඳහා තවමත් සාර්ථක වැඩපිළිවෙලක්‌ ක්‍රියාවට නොනැඟේ. වර්ෂ 1990 - 2000 අතර කාලය තුළ වර්ෂයකට අලි මිනිස් ගැටුමින් අලි 150 ක් පමණ මිය යද්දී මිනිස් ජීවිත 40 ක් පමණ රටට අහිමි විය. 2000-2007 කාලය තුළ වර්ෂයකට අලි 180 පමණ මියගිය අතර මිනිස් ජීවිත 50 ක් පමණ අලින්ට ගොදුරු විය. 2007-2012 කාලයේදී වසරකට 200 ක් පමණ අලි මියයද්දී මිනිස් ජීවිත 60 ක් පමණ අහිමි විය. පසුගිය වසර පහ තුළ අලි මරණ සංඛ්‍යාව 260 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට වසරකට අලින්ගේ ප්‍රහාරයන්ට ලක්ව මියයන මිනිස් ජීවිත ගණන 80 ඉක්මවයි.   
මෙසේ වසර ගණනාවක සිට පවතින අලි මිනිස් ගැටුමට මූලික හේතුව වී ඇත්තේ වගා කටයුතු සහ සංවර්ධන කටයුතු සඳහා අවිධිමත් අයුරින් රක්ෂිත එළි පෙළෙහි කිරීමයි. හම්බන්තොට සූරියවැව ආශ්‍රිතව පසුගිය රජය සමයේ සිදුකළ විශාල ප්‍රමාණයේ සංවර්ධන යෝජනා ක්‍රම නිසා අලින්ට ජීවත්වීමට තිබූ රක්ෂිත අහිමි විය. මේ නිසා ඔවුන් ගම් වැදීම සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අලි මිනිස් ගැටුම දරුණු ලෙස වර්ධනය වන්නට විය. මේ නිසා රටට අහිමි වූ මිනිස් ජීවිත මෙන්ම අලි ඇතුන්ගේ ජීවිතද අති විශාලය. එසේම සිදුවූ වගා හානි සහ දේපල හානි ද ගණනය කළ නොහැකිය.  
අලි මිනිස් ගැටුම ගැන ඒ ආකාරයෙන් කතා කරන විට, දඩයම් හේතුවෙන් මියයන අහිංසක වන සතුන් ගැනද මාධ්‍ය මඟින් වාර්තා වේ. ඈත පළාත්වල පමණක්‌ නොව නගරබදව වල් ඌරු මස්‌, මුව මස්‌, ගෝන මස්‌ ප්‍රසිද්ධියේ විකිණෙන බව කවුරුත් දන්නා රහසකි. එසේම දඩයම්කරුවන් විසින් අහිංසක සතුන් මරා ඡායාරූපගත කොට සමාජ මාධ්‍යටද මුදාහැරීම සිදු කරති. කුමන නීති පැනවුවත් නීතියේ ඇසින් රිංගා දඩමස්‌ ජාවාරම කරන්නවුන් එය ඉතා සූක්‍ෂ්මව සිදුකරති. මස් පිණිස සතුන් දඩයම් කරන්න පෙළඹුණු නිසාම මස් පිණිස නොගන්නා සතුන්ටද සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී තිබේ. මේ හේතුව නිසා ලංකාව තුළ නැවතත් අලුත් ගැටුමක් නිර්මාණය වී තිබේ. ඒ කොටි - මිනිස් ගැටුමයි.  

 

මීට වසර කිහිපයකට පෙර නම් “කොටි” කියන වචනය නිතරම අසන්න ලැබුණා. නමුත් ඒ කකුල් හතරේ කොටි නොවේ. 2018 අවුරුද්ද ආරම්භ වෙත්දී නැවතත් කොටි මිනිස් ගැටුම පිළිබඳ පුවත් කරලියට ආවා. ඒ හැටන් පන්මූර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙ‍ෙනකුට අවුරුද්ද ලබන විටම කොටියෙක් පහරදීම නිසා රෝහල්ගත වීමයි. එම සිද්ධියේ සඳහන් ආකාරයට අදාළ කොටියා පුද්ගලයන් පස් දෙනකු පළමුව සපා කා තිබේ. එම සපා කෑම්වලට ලක් වූ පිරිස් පවසා ඇත්තේ තේ දළු නෙළමින් සිටියදී කොටියා පහර දුන් බවය. මේ සිදුවීමත් සමඟ හැටන්, නුවරඑළිය යන ප්‍රදේශවල කොටි මිනිස් ගැටුම පිළිබඳ දිගින් දිගටම කතා විය. ඒ නිසාම තේවතු ආශ්‍රිතව රැකියාවල නියුුතු වතු ජනයාගේ දෛනික ජීවිතයටද විශාල තර්ජනයක් එල්ල විය.  
විශේෂයෙන්ම ‍කොටියාගේ ප්‍රහාරයන්ට ලක් වන්නේ වතු ජනයා හා ගම්බද ජනයා වන අතර, එම ප්‍රදේශවල මිනිස් ක්‍රියාකාරකම් නිසා පසුගිය වසර පහ තුළ කොටින් 30 ක් පමණ මියගොස් තිබෙන බව පරිසරවේදීන් අනුමාන කරති. ජාත්‍යතන්තර රතු දත්ත ලේඛනයට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා දිවියා, 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක (සංශෝධන) ආඥා පනත යටතේ ආරක්‌ෂා කළ යුතු ස‍ෙතකු ලෙස නම් කර තිබෙනවා. බිලාල පවුලට අයත් කොටි විශේෂ 09 පමණ දක්නට ලැබෙන අතර, ඉන් කහපාට පසුබිමේ කළු පුල්ලි සහිත කොටියා (Panthara Pardus Kotiya) මෙලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී සිටී. මෙරට වනාන්තරවල කොටිගහනය 700ක් පමණ වේ. ඉන් 150ක් පමණ කඳුකරයේ ජීවත් වන බවටත් ගණන් බලා තිබේ. එහෙත් මිනිසුන්ගේ අවිධිමත් සංවර්ධන සහ වගා කටයුතු නිසා කොටින්ගේ මෙන්ම මිනිසුන්ගේ පැවැත්මටත් තර්ජනයක් එල්ල වී තිබේ.


අනෙක් කරුණ වන්නේ මෙවැනි කඳුකර කොටි ආහාරයට ගන්නා කුඩා ක්ෂීරපායී සතුන් සියල්ල උගුල් අටවා මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා කඳුකර කොටින් දැඩි ආහාර අහේනියකට මුහුණ පා තිබීමයි. මේ නිසා ආහාර සොයා ගම්මාන තුළට කොටින්ගේ පැමිණීම සිදුවේ. එලෙස පැමිණෙන කොටි, බල්ලන් වැනි පහසුවෙන් ගොදුරු බවට පත් කරගත හැකි විකල්ප සොයා යති. කොටි මිනිස් ගැටුම නිර්මාණය වන්නේ ඒ හරහාය. එසේම මේ වන විට කොටි ප්‍රහර නිසා පුද්ගලයන් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ. රට මැද කොටි මිනිස් ගැටුම ඇති වෙන විට රට වටා ඇති ගංගා ආශ්‍රිතව කිඹුල් ප්‍රහාර වැඩි වීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. විශේෂයෙන්

 

ගංගා ආශ්‍රිතව හරකුන් මෙන්ම මිනිසුන් කිඹුල්ලුන්ට ගොදුරු වීම නිසා ඒ ආශ්‍රිතව දිවි ගෙවන මිනිසුන්ගේ දෛනික ජීවිතයට දැඩි තර්ජනයක් සිදුවී තිබේ.   
වාර්තා වන අන්දමට කිඹුල් ප්‍රහාර වැඩි වශයෙන් සිදුවන්නේ සවස හතරෙන් පසුවය. ඒ වගේම සැලකිය යුතු ප්‍රතිශතයක් උදෑසන 6 සිට 9 දක්වා කාලය තුළ සිදුවී තිබේ. මෙහි වැඩි ප්‍රවණතාවයක් නිල්වලා ගඟ, කළුගඟ ආශ්‍රිතව සිදුවන බවත් වාර්තා වේ. වසර ගණනාවක් පුරා ගංගා ආශ්‍රිතව වැලි ගොඩ දැමීමත් සමඟ භූවිෂමතා ලක්ෂණ වෙනස් වීමත්, ගංගා තුළට කරදිය ජලය ගලා ඒමත් නිසා මෝය කට ආශ්‍රිතව ජීවත් වූ කිඹුලන් ගංගාවල ඉහළ කොටසට සංක්‍රමණය වී තිබේ. මේ වනවිට නිල්වලා ගං මෝයේ සිට කිලෝමීටර් 40කටත් වඩා රට අභ්‍යන්තරයට කිඹුල්ලු සංක්‍රමණය වී ඇති බව වාර්තා වේ. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම වැලි ගොඩදැමීමට, ධීවර කර්මාන්තයට මෙන්ම එදිනෙදා ජල පරිභෝජනය වෙනුවෙන් නිල්වලා ගඟ භාවිතා කරන මිනිසුන් දරුණු ලෙස කිඹුල් ප්‍රහාරයන්ට ලක් වේ.
මේ වන විට නිල්වලා ගඟ ආශ්‍රිතව සිදුවූ ගැට කිඹුල් ප්‍රහාර නිසා මිනිස් ජීවිත 20 පමණ අහිමි වී තිබේ. එමෙන්ම බල්ලන් සහ කිරි සහ ගොවිතැන් කටයුතු වෙනුවෙන් ඇති කරන ගවයින්ද මරණයට වේ. කිඹුල් ප්‍රහාර අවම කරන්නට කිඹුල් කොටු නිර්මාණය කළත් එයද අසාර්ථක වූ අවස්ථා බහුල ලෙස පුවත් මඟින් දැකගත හැකිය.  
මෙම වනඅලි ප්‍රහාර වැළැක්වීමට විදුලිවැටවල් ඉදිකිරීම සිදුවුවත් ඒ සඳහා අතිවිශාල මුදලක් වැයවන නිසා දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබේ. එසේම වතුකරයේ කොටි ප්‍රහාරයන් වැළැක්වීමට වතු ආශ්‍රිතව අඩි 12ක් උස මීටර් 300ක් දිග වැටක් ඉදිකිරීමට යෝජනා වී ඇතත් එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ අඩි 30ක් පමණ උස ගස් නගින කොටින්ට අඩි 12ක වැට තරණය කිරීම අපහසු නොවන බවයි. මේ නිසා මීට වඩා ප්‍රායෝගික පියවර ගන්නා මෙන් ඔවුන් ඉල්ලා සිටී.  
ඇත්තෙන්ම මේ හැම ගැටුමකටම මූලික හේතුව වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් වේ. මිනිසා විසින් අනාගතය ගැන නොසිතා ස්වාභාවික පරිසරය අනිසි ලෙස පරිහරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම ගැටුම් ඇතිවී තිබෙන්නේ. එබැවින් පරිසරයට හානියක් නොවන ආකාරයට සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් මෙවැනි ගැටුම් ඇතිවීම වළක්වාගත හැකි බව අවසාන වශයෙන් සඳහන් කරමි.  

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?