හුස්ම ගන්නා අයිතිය පැහැරගත් කොළඹ

 ඡායාරූපය:

හුස්ම ගන්නා අයිතිය පැහැරගත් කොළඹ

මේ උල්ලංඝනය වී ඇත්තේ ඔබේ අයිතියයි. ඒ වෙනුවෙන් ඔබද පෙනී නොසිටී. ඔවුන්ටද වගේ-වගක් නැත. රටේ අග නගරය වන කොළඹ තත්ත්වය මෙය නම් අනෙකුත් පළාත් ගැන කවර කතාද? එහෙත් අග නගරය වීමම මේ අවාසනාවට හේතු වී තිබේ.

පිරිසිදු වාතය ආශ්වාස කිරීම සඳහා ඔබට/මට මූලික අයිතියක් ඇත. එහෙත් කොළඹ ජීවත් වන, රස්සාව කරන ඔබට/මට ඒ මූලික අයිතියවත් නැත. අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ප්‍රධාන නගරවල වායු සංයුතිය මැනීම කළ යුතුය. ඒ පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දීමටද බලධාරීන් බැඳී සිටී.

කොළඹ නගරයේද ඒ වෙනුවෙන් පිහිටවූ මධ්‍යස්ථානයක් ඇත. 1996 වසරේදී පිහිට වූ මෙය, කොළඹ අවට වායු තත්ත්ව පිළිබඳ පරීක්ෂණ මධ්‍යස්ථානය යනුවෙන් හඳුන්වයි. එහෙත් 2002  වසරේ සිට මෙම මධ්‍යස්ථානයේ ඇති වායු සංයුතිය මනින උපකරණ අබලන්ය. ක්‍රියාත්මක වන්නේ පරිසරයේ දූවිලි අංශුවල සංයුතිය මනින උපකරණය පමණි. මේ නිසා අප හුස්ම ගන්නා වාතය කොතරම් පිරිසිඳු දැයි අප දන්නේ නැත. 2002 න් පසු ඊට අදාළ විධිමත් දත්ත ලැබෙන්නේ නැත.

ලංකාවේ දැනට ධාවනය කළ හැකි මට්ටමේ වාහන ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක් තිබේ. මේ අතරින්  සියයට 60ක්ම දුවන්නේ කොළඹ අවටය. එම නිසා කොළඹ වායු දූෂණයේ ප්‍රධානතම හේතුව රථ වාහනය. එය සමස්ත වායු දූෂණයෙන් සියයට 60ත්, සියයට 65ත් අතර ප්‍රමාණයකට වග කියන බව මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි. මීට අමතරව කර්මාන්ත ශාලා, බලාගාර, සර්විස් ස්ටේෂන් මෙන්ම ජෙනරේටර් යන්ත්‍රද මේ වායු දූෂණයට වැඩි ප්‍රතිශතයකින් දායක වෙයි. කසළ ගොඩවල් පිළිස්සී‍‍මේදීද සැලකිය යුතු ප්‍රතිශතයකින් අහිතකර වායූන් පිටවේ. කොළ රොඩු පමණක් ගොඩගැසුණු කසළ ගොඩවල් වෙනුවට අද ඇත්තේ පොලිතීන්, ප්ලාස්ටික්, විවිධ තෙල් වර්ග සහිත කසළ ගොඩවල්ය. මේවා දහනයේදී පිට වන්නේ විෂ වායූන්ය.

කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමුන්ගෙන් වැඩි ප්‍රතිශතයකට ඇත්තේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බව එම රෝහල් වාර්තා පෙන්වා දෙයි. ඇදුම රෝගය මේ වන විට කොළඹ නගරයට ඇති බරපතලම තර්ජනයකි. එය එතැනින් එහාට ගොස් පිළිකා දක්වා වර්ධනය වීමේ අවදානමද වැඩිය. මෙය කුඩා ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බලපා තිබේ. අවධානයෙන් බලන්න, කොළඹ නගරයේ ඇති පාසැල්වලින්  සියයට 85ක්ම පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ග දෙපසය. ඒවාට වැඩි පහසුකම් සහිත පාසල් කියාද කියයි. එහෙත් මේ මාර්ගවල ධාවනය කෙරෙන ලක්ෂ ගණනක වාහනවලින් පිට කරන දුම් ආශ්වාස කරන්නේ ලක්ෂ දෙකකට මඳක් වැඩි කොළඹ ජීවත්වන ළමුන්ය.

මෙලෙස ඉහළ අහසේ ගොඩගැසෙන නයිට්‍රික්, සල්ෆියුරික් සහ කාබනික අම්ල නොබෝ දිනකින්ම අම්ල වැසි ලෙස කොළඹටම පාත්වනු ඇත. 2000 වසරට පෙර මෙවැනි සාන්ද්‍රණය අඩු අම්ල වැසි කිහිපයක් ඇති වූ බවට සාක්ෂි තිබේ. එය සමස්ත පරිසරයේම තුලිතතාව වෙනස්වීමට බලපාන අතර, ආහාර ජාලය විකෘතිවීමටද හේතු වේ. මෙවැනි බරපතල තත්ත්වයන් සම්බන්ධයෙන් පෙර සූදානමක සිටින රටවල් නවීන තාක්ෂණය මඟින් වායු දූෂණය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ඒවා මහා අසීරු වැඩ නොවේ. අපටද කළ හැකි, අපට වුවමනාවක් නැති දේය.

උදාහරණයක් ලෙස රථවාහන දුමෙන් සිදුවන හානිය අවම කරගැනීම සඳහා ඩීසල්වල ඇති සල්ෆර් ප්‍රතිශතය අඩු කළ හැකිය. ඩීසල්වල සල්ෆර් ප්‍රතිශතය වැඩි නම් ඒවා යොදන වාහනවලින් අධික ලෙස දුම් පිටවේ. 2004 වසරට පෙර ලංකාවේ භාවිතා කළ ඩීසල්වල සල්ෆර් ප්‍රතිශතය ඉහළ අගයකින් වාර්තා වී තිබිණි. එය ඩීසල් අංශු මිලියනයකට සල්ෆර් අංශු 10,000 කටද වැඩි විය. විවිධ පාරිසරික ආයතනවල මැදිහත්වීමෙන් එය 3,000 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබුණද, ප්‍රායෝගික තත්ත්වයේදී ලංකාවේ භාවිත වන්නේ ඊට වැඩි සල්ෆර් අගයක් සහිත ඩීසල්ය.

අසල්වැසි ඉන්දියාව මේ වන විට භාවිත කරන්නේ ඩීසල් අංශු මිලියනයකට සල්ෆර් අංශු 350ක් සහිත ඩීසල්ය. ජපානයේ එම අගය 40ක් තරම් අවම මට්ටමේ පවතී. ඔවුන් මේ තත්ත්වයෙන් යුත් ඩීසල් භාවිතා කරන්නේ විශාල වියදමක් නොයන තාක්ෂණික ක්‍රමවේද හරහාය. උදාහරණයක් ලෙස එය බොරතෙල් පිරිපහදුවේදී කළ හැකිය. අවශ්‍ය වන්නේ තාක්ෂණික දැනුමය. එහෙත් ලංකාවේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් යොමු කර ඇත්තේ අඩු අවධානයකි. ඔවුන් ඒ සඳහා මුදල් වෙන්කිරීමට සූදානම් නැත. ඊට හොඳම උදාහරණය කොළඹ කොටුවේ වායු තත්ත්ව පරීක්ෂණ මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට, පැවති සහ පවතින රජයන් මෙතෙක් උනන්දු නොවීමයි. 2002 සිට එය හරිහැටි ක්‍රියා කරන්නේ නැත. සියලු සංවර්ධන ව්‍යාපෘති සිදුකළ යුතු බව සත්‍යයකි. ඊට මුදල් වෙන් කළ යුතුය. එහෙත් ඒ සංවර්ධනයේ ඵල නෙළාගැනීමට ඉතිරි වන්නේ රෝගීන් පිරිසක් නම්, එය අඩු තක්සේරුවකින් බැලිය නොහැකි තත්ත්වයකි.

2007 වසරේදී නිකුත් කළ ගැසට් පත්‍රයකට අනුව ඩීසල්වල සල්ෆර් ප්‍රතිශතය 500ක් මට්ටමේ තබා ගත යුතුය. එහෙත් මේ වන විටත් අප භාවිත කරන්නේ එහි හත්-අට ගුණයකට ආසන්න සල්ෆර් ප්‍රතිශතයකින් යුත් ඩීසල් බව ඛනිජ තෙල් සංස්ථා විද්‍යාගාර අංශයේ නිලධාරීහු පවසති. මේ පිළිබඳ අධීක්ෂණයට තුන්වන පාර්ශ්වයක් තිබිය යුතුය. ඉන්දියාවේ එවැන්නක් තිබේ. එහෙත් අපේ මධ්‍යම පරිසර අධිකාරියට රසායනාගාර පහසුකම් නැත. ඔවුන්ට කවුරුන් හෝ කියන දෙයක් පිළිගන්නට සිදු වී තිබේ. ඊට හොඳම උදාහරණය ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ගෙන්වා, බෙදාහරින ඉන්ධනය. ඒවායේ අදාළ සියලු තත්ත්ව ඇති බව ඔවුහු කියති. එහෙත් ඔවුන් කියන දේ ඇත්ත දැයි විධිමත්ව පරීක්ෂා කරන්නට තැනක් නැත.

මීට පෙර කොළඹ නගර සීමාව තුළ මයික්‍රෝන 10ට අඩු ඉතා කුඩා දූවිලි අංශු ඝන මීටරයකට මයික්‍රො ග‍්‍රෑම් 72.7කට වැඩි ප්‍රමාණයක් තිබිණි. මෙම දූවිලි අංශුවලින් සියයට 70ක්ම පිටවන්නේ වාහන දුම මඟිනි. දුම් පරීක්ෂණ වැඩසටහන් සමඟ මෙම අගය 64ක් දක්වා අඩු වී ඇති අතර, එය සාධනීය තත්ත්වයකි. කොළඹ කොටුවේ ඇති මධ්‍යස්ථානයේ දූවිලි අංශු මනින උපකරණය තවමත් යහතින් නිසා මෙම නව අගයයන් ලබා ගත හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

සෙම්ප්‍රතිශ්‍යාව, සෙම, ඇදුම වැනි රෝගවල මූල බීජ පැළ කරනු ලබන්නේ මෙම දූවිලි අංශුය. රජය මඟින් යම් සාධනීය ක්‍රියා ආරම්භ කර තිබුණද, ඒවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක නොවීම තවත් ගැටලුවකි. අද වන විට වාහනය පරීක්ෂා නොකර මුදලට දුම් පරීක්ෂණ සහතික ලබාදෙන ආයතන රාශියක් කොළඹ අවට, ගම්පහ සහ කුරුණෑගල වැනි ප්‍රදේශවල තිබේ.

කොළඹ නගරයේ මෙලෙස වායු දූෂණය වැඩි නිසා නුවරඑළියේ ගෙයක් හදන්නට ඔබ තීරණය කරනු ඇත. එහෙත් ඵලක් නැත. කොළඹ නගරයෙන් නිදහස් වන විස දුම් කොළඹටත් වඩා එකතු වන්නේ නුවරඑළියට ඉහළ අහසේය. කොළඹ නගරය මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා මුහුද දෙසින් එන තද සුළඟ කොළඹ දුම නුවරඑළියට රැගෙන යයි. විද්‍යාඥයන් විසින් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇති ආකාරයට හෝර්ටන් තැන්නට අම්ල වැසි වැටෙන්නේ මේ නිසාය.

එසේම කොළඹ නගරයටත් වඩා වායු දූෂණය වැඩි නගරයක් වන්නේ මහනුවරයි. මහනුවර නගරය පිහිටා ඇත්තේ බේසමක හැඩයටය. එම නිසා නගරයෙන් ඉහළ නගින දුම වෙනත් ප්‍රදේශවලට යාමේ ඉඩකඩ අවමය. කොළඹටද වඩා හෙට ජීවත්වීමට නුසුදුසු නගරය මහනුවර බව පරිසරවේදීන්ගේ අදහසයි. මහනුවර නගරයේ වැව රවුම ආශ්‍රිතව පිහිටි පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයකට ඇදුම රෝගය වැළඳීමේ බරපතල අවදානමක් ඇති බව හෙළි වී තිබේ. ඒ  වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතා පවසන්නේ වායු දූෂණය නිසා වසරකට ලංකාවේ 3,500කට අධික පිරිසක් මිය යන බව තහවුරු වී ඇති බවයි.

මෙසේ සියලු කාරණා ගොඩ ගැසුවද අවසානයට කොළඹ නගරයේ, රටේ අගනගරයේ වායු සංයුතිය සැකසී ඇත්තේ කෙසේදැයි යන්න පවා නිවැරදිව ඉදිරිපත් කළ නොහැකිය. මන්ද වගකිවයුතු ආයතන සතුව ඇත්තේ මීට වසර දහයකට-දොළහකට පෙර දත්තය. ඒවා යල් පැන ගොස් වැඩිය. අලුත් තත්ත්වය ගණනය කරන්නට නව උපකරණ ගෙන එන පාටක්ද නැත. එතෙක් කැඩුණු උපකරණ දෙස බලා හීල්ලීම හැර තවත් එක් දෙයක් කළ හැකිය. ඒ ඔබේ මූලික අයිතිය වෙනුවෙන් පෙනී සිටීමයි. හඬ නැගීමයි.

මාතෘකා