බේරේ කුණු රෝහල් රෙදි වලින් බේරේ?

 ඡායාරූපය:

බේරේ කුණු රෝහල් රෙදි වලින් බේරේ?

රෝහලක් යනු මිනිසුන්ට රෝගකාරක වැළඳුණු පසු ඒ සඳහා ප්‍රතිකාර ලබාගත හැකි ස්ථානයකි. එවන් ස්ථානයක් පවත්වාගෙන යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට යටත්ව විෂබීජ හරණය කොට පවත්වාගෙන යෑම අතශ්‍යවශ්‍ය කාරණයකි. මන්දයත් රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත් වූ විට රෝහල තුළින්ම තවත්  රෝගයක් ඇති නොවිය යුතු නිසාය. නමුත් පසුගිය දිනෙක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කළ එක් ප්‍රකාශයක් නිසා බස්නාහිර පළාතේ රෝහල් තුළ පවතින සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අභියෝගයට ලක් වී ඇත.  


 බස්නාහිර පළාතේ ඇතැම් රෝහල්වල සුදුපාට ඇතිරිලි දුඹුරු පාට වී ඇත්තේ බේරේ වැවේ ජලයෙන් එම ඇතිරිලි සෝදන නිසා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉකුත් පෙබරවාරි 22 පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. බස්නාහිර පළාතේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා සහ රෝගීන් භාවිත කරන රෙදි, නවීන තාක්ෂණය ඔස්සේ විෂබීජ විනාශ කරමින් පිරිසිදු කිරීම සඳහා ඉන්දියාවේ සුග්‍රාම් හොස්පිටල් සොලුෂන් පෞද්ගලික සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇමරිකානු ඩොලර් මිලියන් 7.5 ගිවිසුමක් ඇතිකරගත් අවස්ථාවේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර සිටියේය.   
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමඟ රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල්ගතවන රෝගීන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ යම් ගැටලුවක් මතු වේ. මක්නිසාද යත්, බේරේ වැව යනු අධික දුර්ගන්ධයක් ඇති ජලාශයක් ලෙස කොළඹට එක් වරක් හෝ පැමිණි පුද්ගලයෙකු පවා හොඳින් දන්නා කරුණකි. ජලය කොළ පැහැයෙන් යුතු  වීමත් සහ මුළු කොළඹ ප්‍ර‍ෙද්ශයේම මළ ප්‍රවාහන පද්ධතිය සම්බන්ධ වන්නේ බේරේ වැවට බවට සමාජය තුළ මතයක් පැවතීමත්,  බේරේ වැවේ ජලය අපිරිසිදුයැයි මතයක් පැවතීමත් නිසා මේ ප්‍රකාශයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැළඹෙමින් පවතී.  ඩී. ආර්. විජයවර්ධන මාවතේ සිට කොළඹ කොටුව දක්වා ඇවිද යන අයෙකුට බේරේ වැවේ පවතින කුණු සියැසින්ම දැකගත හැකිය. මෙවැනි වාතාවරණයක් පවතින බේරේ වැවෙන් රෝහල්වල රෙදි සෝදනවා කියන්නේ අධික විෂබීජ කන්දරාවක් රෝහල් තුළට ගෙන යාමය.


රෝහල් තුළ නිසි පිරිසිදු බවක් නොමැති වීම නිසා රෝගාබාධ ඇතිවන බව බොහෝ පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ. සමහර අවස්ථාවල ශල්‍යකර්මයකට බඳුන් වූ රෝගීන්ගේ අදාල ශල්‍යකර්මය සාර්ථක ලෙස අවසන් වුවත් විෂබීජයක් ශරීර ගත වීම නිසා අදාල රෝගියා මිය යැමේ සිදුවීම් අනන්තවත් මාධ්‍ය තුළින් වාර්තා විය. එයට හේතුව සමහර රෝහල් තුළ නිසි පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීමයි. ප්‍රතිජීවකවලින් පවා සුවයක් ලබා ගත නොහැකි රෝගාබාධ, රෝහල් භූමියේ පවතින විෂබීජ නිසා ඇතිවන බව ඇමරිකාවේ ක්ලිව්ලන්ඩ් හි කේස් වෙස්ටර්න් රිසව් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් එරට රෝහල් පහක් ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණයකදී පෙන්වා දී තිබේ. මෙය රෝහල් තුළ පවතින සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අභියෝගයට ලක්කිරීමක් ලෙස දැක්විය හැකිය. එසේම දියුණු රටක් වන ඇමරිකාව තුළත් එවැනි තත්ත්වයක් පවතින්නේ නම් ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය ගැන කුමන කතාද?   
සෙසු පළාත්වලට සාපේක්ෂව වැඩි ජනගහනයක් ජීවත්වන පළාතක් ලෙස බස්නාහිර පළාත තුළ රෝගීන්ට ප්‍රතිකාර ගත හැකි රජය විසින් මෙහෙයවනු ලබන රෝහල් 167ක් පමණ පවතී. ඒ අතර දිස්ත්‍රික් මහ රෝහල් 02ක්, දිස්ත්‍රික් මූලික රෝහල් 05ක්, දිස්ත්‍රික් රෝහල් 14ක්, පර්යන්ත රෝහල් සහ ග්‍රාමීය රෝහල් 22ක්, මාතෘ නිවාස හා මධ්‍යම බෙහෙත් ශාලා 09ක්, මාතෘ නිවාස 01ක්, මධ්‍යම බෙහෙත් ශාලා 68ක්, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල 37ක්, බරවා රෝග මර්ධන ඒකක, ශ්වසන රෝග මර්ධන ඒකක සහ ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකක 03ක් පිළිබඳ බස්නාහිර පළාත් සභාව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. සෙසු පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ දියුණු සෞඛ්‍ය උපකරණ භාවිතයක් ද දක්නට ලැබේ. එහෙත් රෝහල් තුළ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව විධිමත් පියවර අනුගමනය කරන්නේද යන්න පිළිබඳ අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමග ගැටලුවක් මතු වේ.   


වාර්තා වන අන්දමට සෞඛ්‍ය ආරක්ෂණය හා සම්බන්ධ ආසාධන බොහෝවිට සිදුවන්නේ මුත්‍ර බට, හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයින්ට යොදන ආධාරක බට හරහා විෂබීජ ආසාධනය වීම හේතුවෙනි. එසේම ශල්‍යකර්ම සිදුකරන‍ ස්ථානයන් නිසි සනීපාරක්ෂක පිරිසිදු කිරීම්වලින් තොර වූ විටද රෝගීන්ගේ ශරීරයට දරුණු රෝගකාරක ඇතුළත් වේ. වාර්ෂිකව අයවැය මඟින් බිලියන ගණනින් මුදල් වෙන් කරන්නේ ජනතාවට වඩාත් පහසු, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහාය. එසේ වුවත් කිසියම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගියාට තවත් භයානක රෝගයක් රෝහල තුළින්ම වැළදෙන්නේ නම් මෙරටට රෝහල් පද්ධතියේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටලුවක් මතු වේ. මේ සම්බන්ධයෙන් ජාතික රෝහල් වගකිවයුතු ප්‍රකාශකයෙකු ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ කොළඹ ජාතික රෝහල, ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍ය නිළධාරියෙකුගේ අධීක්ෂණයට යටතේ නිසි පිරිවිතරයන්ට යටත්ව, විධිමත්ව ඇතිරිලි පිරිසිදු කිරීමට විශේෂිත රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවයි.   


එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය දා අත්සන් කරන ලද ගිවිසුම මඟින් ඉදිරියේදී බස්නාහිර පළාතේ රෝහල් සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට යටත්ව පිරිසිදු කිරීමේ කටයුතු සිදුකිරීමට පහසුකම් සැලසුවත්, මෙම ගිවිසුමට විරුද්ධව අදහස් දක්වන පාර්ශවයන්ද සිටිති. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ඉන්දියාවේ බලපෑම සිදුවන බවත්, එට්කා ගිවිසුම පැමිණීමටත් පෙර සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල්වල රෙදි සෝදන කටයුත්ත ඉන්දියාවට පවරා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරනවා.
 “මෙතෙක් කලක් රෝහල් තුළ, රෝගීන්ගේ සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන රෙදි පිරිසිදු කළේ ශ්‍රී ලාංකිකයන්. ඒත් මෙම ගිවිසුම හරහා කිසිදු සොයා බැලීමකින් තොරව රෝහල්වල රෙදි සේදීමේ කටයුත්ත ඉන්දියානු සමාගමකට පවරනවා. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යන එට්කා වෙ‍ළෙඳ ගිවිසුම පැමිණීමටත් පෙර මේ ආකාරයේ සිදුවීම් සිදුවෙනවා නම් ගිවිසුම අත්සන් කළාට පස්සෙ ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක්ම බරපතළ අනතුරකට ලක් වේවි.”   අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියා. “මෙම ව්‍යාපෘතිය පිළිබදව විවිධ පාර්ශව විවේචන එල්ල කරනවා. නමුත් මම කියන්න කැමැතියි වර්තමානයේ රෙදි පවිත්‍ර කිරීම සඳහා රෝහල්වලින් වැය කරන මුදලට වඩා අඩු මුදලක් තමයි නව ව්‍යාපෘතිය යටතේ වැය වන්නේ. වසර 03 ක කාලයක් මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව එකම මුදලකට අනුව සිදුකරනවා. නමුත්, ව්‍යාපෘතිය අනුමත කිරීමට වසර 2ක පමණ කාලයක් ගතවුණා. බස්නාහිර පළාතෙන් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී දිවයිනේ අනෙකුත් පළාත්වල ද ක්‍රියාත්මක කරනවා.”   


විවිධ පාර්ශවයන් මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ අදහස් පලකළත් මහජනතාවගේ අපේක්ෂාව වන්නේ හොඳ සෞඛ්‍ය සේවාවකි. රජයක වගකීම වන්නේද හොඳ සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමය. රටක ජනතාව නිරෝගීමත් ජනතාවක් වන්නේ නම් එම රට සංවර්ධනය කිරීම අපහසු නොවේ. එමනිසා වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සෑම පාර්ශවයකම කැපවීම අත්‍යවශ්‍ය බව සටහන් කර තැබීම කාලෝචිතය.  

මාතෘකා