බලශක්ති අර්බුදයට පිළියම් සොයමු

 ඡායාරූපය:

බලශක්ති අර්බුදයට පිළියම් සොයමු

මහ දවල් පවා විදුලි බුබුළු දල්වමින් අනවශ්‍ය ලෙස විදුලිය පරිහරණය කරන රජයේ කාර්යාල, පෞද්ගලික ආයතන අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඇතැම් විට මහා මාර්ගයන්හි සවිකර ඇති විදුලි බුබුළුද රැයක් දවාලක් නැතුව දැල්වෙන අවස්‌ථා පවතී. එහෙත් රජයේ කාර්යාලයක හෝ වේවා වෙනත් ආයතනයක හෝ නිවසක විදුලි බලය මෙසේ අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමෙන් සිදුකරන්නේ මුළු දිවයිනේම අනාගතය කෙරෙහි අහිතකර බලපෑමකි.

වර්තමානය තුළ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැඩි නියඟය නිසාම ඉදිරියේදී රුපියල් කෝටි 250ක මුදලක් වැය කරමින් විදුලිය මෙගාවොට් 100ක්, පෞද්ගලික විදුලි බලාගාරවලින් මිලදී ගැනීමට නියමිත බව ඉකුත් පෙබරවාරි 28 වෙනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එසේ මිලදී ගැනීමට හේතු වී ඇත්තේ පවතින වියළි කාලගුණය නිසා බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ වැටීමයි.  
මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාවන්ට අනුව සෑම වර්ෂයකම මෙරට තුළ මෙගාවොට් 150 – 200 විදුලි පරිභෝජනය වැඩි වේ. එයට හේතුව වී ඇත්තේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වීමයි. ඒ නිසා සෑම වර්ෂයකම විදුලි අවශ්‍යතාවය සියයට 5කින් පමණ වැඩි වේ. මේ වැඩිවීමට සාපේක්ෂව රට පුරා විදුලි ජනනය කිරීමේ බලාගාර ඉදි නොවුණේ නම් දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිරි මහතා පැවසීය. “මහජන උපයෝගිතා කොමිසම විදිහට අපි 2017 ජූලි මාසේ 19 වෙනිදා, 2018 – 2037 යන වසර 20 සඳහා අවශ්‍ය විදුලි බලාගාර ඉදිකිරීමේ ජනන සැලසුමක් අනුමත කළා. ඒ ජනන සැලසුමේ වැඩිපුරම තියෙන්න ස්වාභාවික බලශක්තිය උපයෝගී කරගෙන විදුලිය නිපදවිය හැකි බලාගාර. ඒ කියන්නේ සුර්ය ශක්ති, සුළං බලාගාර වගේ ඒවා. ඒ සැලසුමට අනුව බලාගාර ඉදිකරේ නම් ලංකාවේ විදුලිබල අර්බුදයක් ඇතිවෙන්නේ නැහැ. මේ සැලසුම් අනුමත කිරීමේදී මහජන උපයෝගීතා කොමිසම මහජනතාවගෙන්, රාජ්‍ය නිළධාරීන්ගෙන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් පවා අදහස් විමසුවා. මේ සැලසුමට අනුව 2018 වර්ෂය තුළ මෙගාවොට් 480ක විදුලි බලාගාර පද්ධතියකට අනුමැතිය හිමිවෙලා තිබෙන අතර 2019 වන විට මෙගාවොට් 450ක නව විදුලි බලාගාර ඉදිවෙන්න ඕන. ඒ බලාගාර හදන එක විදුලිබල මණ්ඩලයේ වගකීමක්. අපි අනුමත කළ සැලසුම් අනුව 2021 සිට 2026 දක්වා ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හදන්න මේ වන විටත් වැඩ පටන් අරගෙන තිබෙනවා. ඒ බලාගාරය හැදුවොත් 2026දී ජාතික විදුලි සැපයුමට මෙගාවොට් 1350ක් එකතු වෙනවා. ඒත් මේ විදුලි අර්බුධය ඇතිවෙලා තියෙන්නේ 2017, 2018 සහ 2019 යන වසර තුළ වැඩ නිමවිය යුතු විදුලි බලාගාරයන් හදපු නැති නිසා. අපි 2015 දී බලාගාර 21ක් සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒවා 2020 වන විට අවසන් වෙන්න ඕන. ඒත් ඒවා ඉදිවුණේ නැති නිසායි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. මේ තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරියේදී පෞද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීමක් වෙනුවෙන් රජයට රුපියල් බිලියන 50.62ක් පමණ වැයවන බව අපි ඇස්තමේන්තු කරලා තියෙනවා.”  
සෑම වර්ෂයකම රටේ ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව විදුලි පරිභෝජනය ඉහළ යාම සාමාන්‍ය සිදුවීමකි. දිවයිනේ විදුලිබල අවශ්‍යතාව වැඩි දියුණු වූ අන්දම පිළිබඳව දශක කිහිපයක දත්ත විමසීමේදී ඒ බව පැහැදිලිව අවබෝධ කරගත හැකිය. 1939 දී දිවයිනේ උපරිම විදුලිබල අවශ්‍යතාව මෙගාවොට් 35 කි. එසේම 1977 වර්ෂයේදී මෙගාවොට් 402ක්, 1980දී මෙගාවොට් 422ක්, 1982දී මෙගාවොට් 522ක්, 1985දී මෙගාවොට් 949ක්, 1986දී මෙගාවොට් 1065ක්, 1990දී මෙගාවොට් 1208ක් සහ 2007 වර්ෂය වන විට මෙගාවොට් 1758ක් ලෙස විදුලි ඉල්ලම වැඩි වී තිබේ. එසේම ලංකා විදුලිබල මණ්‌ඩලයේ තක්‌සේරුවට අනුව ඉදිරි වසර 20 ඇතුළත ශ්‍රී ලංකාවේ විදුලි‍ ඉල්ලුම සියයට 7 සිට 10 දක්වා ප්‍රමාණයෙන් ඉහළ යනු ඇත.   
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරී සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගත්තත් එය ජනතාවට බරක් නොවීමට කටයුතු කරන බවයි. “මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත දිගුකාලීන ජනන සැලසුමට අනුව බලාගාර ඉදිකරන්න මේ වන විටත් ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියට ටික කාලයක් යන්න හේතුව තමයි තාක්ෂණික පරීක්ෂාවන් කරන්න, පරිසර ආරක්ෂණ උපායමාර්ග අනුගමනය කරන්න වගේ දේවල් සඳහා කාලයක් යන එක. එහෙම නැතුව බලාගාරයක් ඉදි කළොත් පරිසරයට හානි සිදුවෙනවා. එසේම මේ වන විටත් මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ශක්‍යතා වාර්තාව ආසියානු සංවර්ධන බැංකුවට යවා අවසන්. එහි ඉදිකිරීම් කටයුතු 2020 වර්ෂයේදී අවසන් වෙනවා. ඒ වගේම පුනරීන් සහ සියඹලාන්ඩුව ප්‍රදේශවලත් මෙගාවොට් 100ක සූර්ය බලාගාර ඉදි කරනවා.”  
1950 සිට 1990 දක්‌වා දශක හතරක කාලය තුළ විදුලි උත්පාදනය කිසිදු අර්බුදයකින් තොරව පවත්වාගෙන යෑමට හැකිවූයේ ප්‍රමාණවත් ලෙස ජල විදුලි බලාගාර තිබූ නිසාය. එහෙත් ජල විදුලි බලාගාරයක්‌ ඉදිකර ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීම සඳහා අවම වශයෙන් වසර පහක පමණ කාලයක්‌ ගතවූවත් ඉඩෝර සමයේදී ජලය සිඳී යාමෙන් අපේක්ෂිත විදුලිය බලය නිපදවා ගැනීමට නොහැකි නිසා විදුලි හිඟයක් ඇතිවේ. මේ විදුලි අර්බුදයේ පළමු ගැටලු සහගත තත්ත්වය ඇතිවූයේ මහවැලි විදුලිබලාගාරය නිර්මාණය කරන අවස්‌ථාවේ දීය. එවක රජයට විශේෂඥයින් ලබාදුන් උපදෙස්‌ වූයේ විදුලිබල මණ්‌ඩලයේ විදුලි පද්ධතිය යහපත් ලෙස ක්‍රියාත්මක වීම සඳහා ජලවිදුලි බලාගාර සහ ගල් අඟුරු විදුලි බලාගාර ඒකාබද්ධ විය යුතු බවයි. එයට හේතුව වියළි කාලයේදී ජලාශවල ජලය සිඳී ගියත්, ගල් අඟුරු බලාගාර පැවතීමෙන් ඒ තත්ත්වයට විසදුම් සෙවිය හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මහවැලි ව්‍යාපාරය යටතේ වික්‌ටෝරියා බලාගාරය සැලසුම් කළේ මෙගාවොට් 300 ක ගල් අඟුරු බලාගාරයක්‌ සමඟිනි. නමුත් 2050 වන විට පොසිල බලශක්තිය අවසන් වන නිසා වර්තමානය සඳහා එය කොතෙක් දුරට ගැලපේ දැයි ගැටලුවක් පවතී. එම නිසා විකල්ප බලශක්තිය කෙරෙහි යොමු වන්නේ නම් වඩාත් යෝග්‍ය වේ.   
පෘථිවි තලයට පතිතවන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ එක්රැස් කළ හොත් එමඟින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පර්යේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි. එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවිකළහොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නිවාස 4000ක පමණ වහල මත සවිකර ඇති සූර්යකෝෂ මඟින් උත්පාදනය කරන විදුලිබල ධාරිතාව මෙගාවොට්‌ 30ක්‌ පමණ වේ. මේ ප්‍රමාණය වැඩි කිරීමට හැකිනම් ඉදිරියේදී ඇතිවීමට නියමිත බලශක්ති අර්බුධයට පහසු විසඳුම් සෙවිය හැකිය. 

මාතෘකා