සෙක්කුපිටියෙන් හමා එන තලතෙල් සුවඳ

 ඡායාරූපය:

සෙක්කුපිටියෙන් හමා එන තලතෙල් සුවඳ

කැකිරාව නගරයට පිවිසෙන විට අවටින් තල තෙල් සුවඳ හමන යුගයක් විය. වත්මනෙහි එය මැකී යමින් පවතී. සුවඳ පැන නගින්නේ නගරයට යාබද සෙක්කුපිටියෙනි.


සෙක්කුවෙ  බැන්ද ගොනා ගැන කව්රුත් දනිති


සෙක්කුව ගොනාට සම්බන්ධ වන්නේ විය ගසෙනි. සෙක්කුව වටා කවාකාරව ගොනා කැරකෙන විට මෝල් ගස ද කැරකීම නිසා, සෙක්කු කුහරයෙහි ඇඹරෙන තල ඇටවලින් තෙල් ශ්‍රාවය වෙයි.
සෙක්කුවෙහි බැඳි ගොනාගේ දුක්බර ගමනෙහි අවසානයක් නැත. තෙල් නිෂ්පාදනයෙන් ලාබය ගන්නේ සෙක්කු හිමියාය. අපේ රටේ හොඳම තල තෙල්,
මී තෙල් සහ කොහොඹ තෙල් නිෂ්පාදනය කරන වැදගත් මධ්‍යස්ථානය හැටියට සෙක්කුපිටියට හිමි අනන්‍යතාව තවමත් පළුදු වී නැතැයි එහි ජන දිවිය නිරීක්ෂණය කරන්නකු හට හැඟේ. කැකිරාව නගරය මධ්‍යයෙන් සෙක්කුපිටිය ග්‍රාමයට පිවිසිය හැකිය. නගරය පෙනෙන තෙක් මානයේ එය පිහිටියේය. මීට දශක දෙකකට පමණ පෙර එහි තිබූ තත්වය වෙනස් වී ගොනුන් වෙනුවට අත් ට්‍රැක්ටරය ආදේශ වී තිබේ. සෙක්කුව ක්‍රියාත්මක කරවීමේ දී ගොන් බාන් තුනක් දිනකට අවශ්‍ය වේ. ඔවුන් නඩත්තු කිරීමට යන වියදමෙන් 1/3ක් අත්ට්‍රැක්ටරය නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් ය. එහෙත් සෙක්කුපිටිය වැසියන්ට තිබෙන ප්‍රධාන අභියෝගය එය නොවේ.


මහවැලියේ බලපෑම


මහවැලි ජනපදකරණයත් සමඟ රාජ්‍ය මට්ටමින් දෙන ලද උපදෙසක් වූයේ තල වගාව සඳහා හේන් කෙටීම පරිසරයට හානි පමුණුවන්නක් හෙයින් ගොවීන් වී වගාව නොකරන කන්නවල කුඹුරු තල වගාව සඳහා යොදා ගැනීම උචිත බවය. එහෙත් හේන් ගොවීන් කුඹුරුවල තල වගාව කෙරෙහි දැක්වූයේ අඩු නැඹුරුවකි. මේ නිසා තල තෙල් නිෂ්පාදනය සඳහා තල සපයා ගැනීම වියදම් අධික කටයුත්තක් බවට පත්ව ඇත. සෙක්කුවක් නිර්මාණය කර ගැනීමේදී දැව සපයා ගැනීම දුෂ්කර කටයුත්තකි. වනගහණයෙන් විශාල ප්‍රමාණයක් මහවැලි ජනපද ඉදිකිරීම සඳහා හෙළි පෙහෙළි කිරීම ඊට හේතුවකි. සෙක්කු බඳ ඇතුළුව සෙක්කුවෙහි විවිධාංග නිර්මාණය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සෙක්කු හිමියන්ට සිදුවෙයි.
සෙක්කුව නිෂ්පාදනය කිරීම සඳහා, පළු, කෝන්, සියඹලා, දඹ, මයිල සහ බුරුත යනාදී ශාකවල දැව අවශ්‍ය වෙයි.
දැව සපයා ගැනීම දුෂ්කර නොවූ එකල සෙක්කු නිර්මාණකරුවා එම කාරියට බැස්සේ වතාවත් අනුව පේවීමෙනි. සෙක්කු වංගෙඩිය, මොල්ගහ, කොත්තාලිය (වහලය) කොක්කි ගැටය, තෙරි කොටය, අඩුපලය සහ කදන් කාල් යනාදී අංග සහිත සෙක්කුව අසිරිමත් නිර්මාණයකි. සෙක්කුව නිර්මාණය කිරීමෙන් පසුව තෙල් සිඳීම ආරම්භ කරන්නේ පොල්, සාම්බ්‍රානි සහ බුලත් තබා කෙරෙන පූජාවකින් පසුව එළඹෙන සුබ නැකතිනි. පළමු තෙල් සිඳීමෙන් පසුව කුකුඵ බිල්ලකින් ලේ තැවරීම සිදු කරති.  
“මහවැලි ව්‍යාපාරය පටන්ගත්තට පස්සෙ අපි දැව ලබා ගන්නෙ දැව සංස්ථාවෙන්. සෙක්කුවක වැඩ ඉවර කරන්න රුපියල් ලක්ෂ තුනක් විතර අවශ්‍ය වෙනවා. සෙක්කුවෙ මෝල් ගහ මාසයකට වරක් ඉවර කරන්න වෙනවා. මේ නිසා සෙක්කුවෙන් තෙල් හිඳින එක වියදම් අධික දුෂ්කර කටයුත්තක් බවට පත් වෙමින් තිබෙනවා.” සෙක්කුපිටියෙහි ප්‍රධාන තෙල් නිෂ්පාදකවරයකු වන
කේ. සුබ්‍රමනියම් (අවු 49) පැවසීය.


තල වැස්ස


ඌව බින්තැන්න, මාගම් පත්තුව, හත් කෝරළය සහ රජරට ප්‍රදේශවල ගොවි ජනතාවගේ බව බෝග සම්ප්‍රදායෙහි තල වගාවට හිමි ව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. ‘තල වැස්ස’ යනු එම ගොවීන් ගේ වාක්කෝෂයට අයත් අපූර්ව යෙදුමකි. තල බීජ වැපිරීම සිදුකරනු ලබන්නේ වැස්ස තුනී වන සමයෙහිය. තල වැස්ස යනු තුනී වූ වැස්සය.
ගැමි ගෙදර මුළුතැන්ගෙයි රාක්කයෙහි පොල් තෙල්, මීතෙල් සහ එලගි තෙල් හිඟ නොවීය. එකල තෙල් හිඳීම සුලබ වශයෙන් සිදු කෙරුණේ ගෘහ කර්මාන්තයක් වශයෙන් පැසක ආධාරයෙනි.
ගැමි ගෙවල ආහාර සංස්කෘතිය පරිවර්තනයට ලක් වීමේ දී තල තෙල්, මී තෙල් සහ එලඟි තෙල්  බෝතල් රාක්කයෙන් සමු ගත්තේය. වත්මනෙහි එහි ඇත්තේ පොල් තෙල් හෝ ෆාම් ඔයිල් පමණි.
ව්‍යාපාරිකයෝ
සෙක්කු භාවිත කරන ගම සෙක්කුපිටිය හැටියට භාවිත වුවද තෙල් සිඳීමට අමතරව විවිධ වෘත්තීන්හි යෙදෙන මිශ්‍රිත ජන සංයුතියක් එහි ඇත. යාපනයේ වංශවත් දෙමළ ප්‍රජාව මෙන්ම කුලහීන ගැමි සම්මත ප්‍රජාවක්ද මෙහි ජීවත් විය. එමෙන්ම මුස්ලිම් හා සිංහල පවුල්ද මෙහි වෙති. 1977ට පෙර කැකිරාව නගරයෙහි වානිජ බලය තිබුණේ යාපනය ජන්ම භූමිය කරගත් වංශවත් දෙමළ පවුල් කීපයකටය. තල තෙල් කර්මාන්තය පැවතුණේද ඔවුන් සතුවය. සෙක්කුපිටියෙහි ජීවත්වූයේ ඔවුන්ගෙන් අමුද්‍රව්‍ය ලබා ගෙන සෙක්කුවලින් තෙල් සිඳින කුලී කරුවන් පිරිසකි. 1977 දී ඇවිළගිය ජාතිවාදී ගැටුමෙහි දී කැකිරාව නගරයෙහි දෙමළ ව්‍යාපාරිකයන් සතු දේපල කොල්ලකා ඔවුන්ගේ කඩ සාප්පු ගිනි තබන ලදි. දෙමළ ව්‍යාපාරියෝ යාපනයට ගියහ. ඉන්පසු ඔවුනට ආපසු පැමිණීමේ වාතාවරණයක් රට තුළ නොවූයෙන් ඔවුහු තම දේපල සිංහලයන්ට විකුණූහ. පසුව මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් එම ඉඩම් සහ කඩසාප්පු මිලදී ගන්නා ලදි. අමුද්‍රව්‍ය සපයන ව්‍යාපාරික පිරිස නගරය හැරයෑම ඔස්සේ ඒවා සපයා ගැනීමේ දුෂ්කරතාව මතුව ඇතත්, වත්මනෙහි සෙක්කුපිටියෙහි කරකැවෙන සෙක්කුවල හිමිකරුවන් සිටින්නේ එම ගමෙහිමය.

 


 විචිත්‍රයි


ග්‍රාමීය රෝහලේ මෙන්ම නගර සභාවේ කසළ ශෝධක කම්කරුවන් ලෙස කටයුතු කරන පිරිසක් ද සුළු වෙළෙඳාම සහ විවිධ කම්කරු වෘත්තින්හි නියැලෙන පිරිස්ද මෙහි හඳුනාගත හැකිය. එමෙන්ම මැද පෙරදිගට සහ කොරියාවට ශ්‍රමිකයන් ලෙස රැකියාව සොයාගෙන ගිය පිරිස්ද වෙත්.
සෙක්කුපිටිය ග්‍රාමයෙහි සෙක්කුවෙන් තෙල් සිඳීම ඇරඹුණේ 1930 දශකයේදී පමණය. දකුණු ඉන්දීයාවෙන් සංක්‍රමණය වූ චන්දර්වරුන් ගෙන් පැමිණි ශිල්පයකි එය.
තල තෙල් සහ මී තෙල් ගැමි ගෙවල ආහාර සංස්කෘතියෙන් වියෝවෙමින් පැවතිය ද ඖෂධ නිෂ්පාදනය සඳහා එම තෙල් වර්ග අවශ්‍ය වන හෙයින් සෙක්කු පිටියට ගැනුම් කරුවන්ගෙන් හිඟයක් නැත. සෙක්කුවෙන් සිඳින ලද තෙල් නිසි ප්‍රමිතියකින් යුක්ත නිසා ඖෂධ නිෂ්පාදනයේ දී ඒවා වැදගත් වන බවට විශ්වාසයක්  පවතී. මේ නිසා යන්ත්‍රානුසාරයෙන් සිඳින තෙල්වලට වඩා සෙක්කුවෙන් සිඳින තෙල් මිලදී ගැනීමට ඖෂධ නිෂ්පාදකයෝ වැඩි කැමැත්තක් දක්වති.
එහෙත් මේ තත්වය වෙනස් වන ලකුණු සෙක්කුපිටියෙහි ද පෙනෙන්නට තිබේ.
’‘සෙක්කු අලුත්වැඩියා කරන්න දන්න අය තව එක්කෙනයි ඉතුරු වෙලා ඉන්නේ. සෙක්කු පනහක් තිබුණු ගමේ දැන් සෙක්කු කීපයයි තියෙන්නේ. තව ටික කාලයක් යනකොට ඔක්කොම මැෂින්වලින් තෙල් හිඳියි. නඩත්තුව දුෂ්කර නිසා සෙක්කුව අයින්කරපු අයත් ඉන්නවා. ඒ අය දැන් සෙක්කු තියෙන අය ළඟ කුලියට වැඩ කරනවා.”
අල්ලිරාණි ජෝර්ජ් (අවු 55) කීවාය. යන්ත්‍රානුසාරයෙන් සිඳින තල තෙල් සෙක්කුවෙන් සිඳිනු ලබන ඒවා හැටියට හඳුන්වා ඖෂධ නිෂ්පාදකයන්ට අලෙවි කිරීමට ඇතැමෙක් පෙළඹී තිබීම කණගාටුවට කරුණක් බව පවසා සිටියේ සෙක්කු කර්මාන්තයෙන් සමුගෙන සිටින අයෙකි.
අත්ට්‍රැක්ටරයෙන් ක්‍රියාත්මක වන සෙක්කුව නුදුරු අනාගතයෙහිදී විදුලියෙන් ක්‍රියාකරන යන්ත්‍රයට මාරු වූ විට ඖෂධ නිෂ්පාදනය සඳහා හොඳම ප්‍රමිතියෙන් යුක්ත තෙල් නිෂ්පාදනය කරන ගමක් හැටියට සෙක්කුපිටියට තිබෙන කීර්තිනාමයට කුමක් වේදැයි සිතා ගත නොහැක.


රජරට එක ම දෙමළ විදුහල


සෙක්කුපිටියෙහි දෙමළ දරුවන්ට දෙමළ මාධ්‍ය අධ්‍යාපනය සඳහා ඇති එක ම පාසැල වන්නේ බැප්ටිස්ට් මීෂම් දෙමළ විදුහලයි. පාසැලේ අඩුපාඩු රැසක් ඇති බවත් අනුරාධපුරයේ පිහිටි එකම දෙමළ විද්‍යාලය වන විවේකානන්ද විදුහලට තම දරුවන් යැවීම දුෂ්කර  වී ඇති බවත් සෙක්කුපිටිය පදිංචි සුසිලා කුගනේෂ්වරන් පැවසුවාය.
 “දෙමළ පාසැලේ සාමාන්‍ය පෙළ දක්වා පමණයි පන්ති තියෙන්නේ. ඊට පස්සේ මුස්ලිම් පාසැලට හරි අනුරාධපුරේ විවේකානන්ද පාසැලට හරි යන්න වෙනවා. නමුත් අපේ පාසැලේ උසස්පෙළ තියෙනවා. හින්දු ආගම සහ දෙමළ උගන්වන ගුරුවරු නැතත් අනෙක් විෂයන්වලට ඉන්නවා. මගේ අයියලා සෙක්කුවෙ වැඩවලට තාත්තට උදව් කරනවා. මම කැමති අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න.”සුරේෂ් පවසයි.
1940-1950 දශකවල උසස් මට්ටමකට තිබූ මේ විදුහල පිරිහීමට ලක් වීමේ ප්‍රධාන හේතුව වුූයේ 1977-1983 වාර්ගික ගැටුම් හේතුවෙන් දෙමළ ගුරුවරුන් ඉවත්ව යෑම බව සෙක්කුපිටිය වැසියන්ගේ අදහසයි. අනුරාධපුර විවේකානන්ද දෙමළ විදුහලෙහි ඇත්තේ මුස්ලිම් පරිපාලනයකි. හින්දු සංස්කෘතියට අයත් අනුරාධපුරයේ එකම දෙමළ පාසැල වන කැකිරාවේ දෙමළ විදුහල ප්‍රදේශයේ අවශ්‍යතා අනුව දියුණු කළ යුතු බවට නැඟෙන මැසිවිලි සාධාරණ බව පෙනේ.
සෙක්කු නිර්මාණය දන්නා එකම ශිල්පියා වන කේ. සුදාකරන්ගේ පුත් එස්. කුමාර් තම පියාගෙන් එම ශිල්පය උගත්තේ ය. එහෙත් දැව සපයා ගැනීමේ දුෂ්කරතාවත් අධික වියදම් දරන්නට වීමත් නිසා ඔහු එම වෘත්තියට පිවිසියේ නැත. කොළඹ ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයෙන් කැටයම් ශිල්පය සහ වඩුවැඩ උගත් ඔහු සෙක්කුපිටියෙහි තමන්ගේම ආයතනයක් ආරම්භ කළේය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු අනුව මෙය නාගරික සංවර්ධන බල  ප්‍රදේශයකි. දීර්ඝකාලීන බදු පදනමක් යටතේ ඉඩම් ලබා දී ඇත. නමුත් බහුතරයක් දිළිඳු නිසා බදු ලැබෙන්නේ අඩුවෙනි. මේ නිසා බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී තිබේ. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේද බලපත්‍ර ලබා දුෂ්කර වී ඇත. දැනට ඔවුන්ට ඇත්තේ වාර්ෂික බලපත්‍ර ය.


 කුඩා දරුවන් නිවෙස්වල තබා මව්වරු කුලීවැඩට යති.  මේ නිසා දරුවන්ගේ පෝෂණ මට්ටම පහළ ගොස් ඇත.
සෙක්කුපිටයෙහි ‘තෙල් මුද්‍රාව’ ජනපදකරණය හා නවීකරණය අනුව අහෝසි නොවීය. එය සිංහල දෙමළ සංස්කෘතීන්හි අන්‍යොන්‍ය පෝෂණය හා සංහිඳියාව සංකේතවත් කළ විශිෂ්ට මුද්‍රාවකි. එ බැවින් එය ලාංකීය මුද්‍රාවකි.

මාතෘකා