කිරිල්ලියකගෙන් ජීවිතය ලද ගැහැනියක ගැන කතාව

 ඡායාරූපය:

කිරිල්ලියකගෙන් ජීවිතය ලද ගැහැනියක ගැන කතාව

කිරිල්ලිය වැටී සිටි ගැහැනියගේ නළල සෙමෙන් හොටයෙන් පිරිමදිමින් ඇගේ ආත්මයට මෙසේ මිමිනීය: ‘‘සෑමි නැගිටින්න”

සමන්තා බ්ලූම්ට ගෙදර අය ආදරයට කීවේ සෑම් කියාය. ඇය වෘත්තියෙන් හෙදියකි. ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා කැමරන් බ්ලුම් වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකි. ඔවුනට දඟකාර වයස 9, 10, 12 වයසේ වූ කොල්ලෝම තිදෙනෙක් වූහ. මෙනිසා ඔවුන් අතිශය ප්‍රීතිමත් පවුලක් විය. ඔවුන් ජීවත් වූයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උතුරු වෙරළ තීරයේ ගම්මානයකය. 2013 වසරේ ඔවුහු නිවාඩුවට තායිලන්තයේ රමණීය Gunnam Chian ගම්මානයට ගිය අතර එහි හෝටලයක නවාතැන් ගත්හ. දිනක් රාත්‍රියේ හෝටලයේ සඳලුතලයෙන් සමන්තා බිම ඇදවැටුණු අතර එය මාරාන්තික හදිසි අනතුරක් විය. ඇගේ කොඳුඇටපෙළට දැඩි හානි සිදු වී ඇති බැවින් ඇය ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර මාස 7කට පසු රෝහලෙන් එළියට එවූයේ රෝද පුටුවක වැතිරුණු අයෙකු ලෙසය. එනම් ශරීරයේ එක් අංශයක් අකර්මණ්‍ය වූ සමන්තා කෙනෙකු ලෙසය. ඉතිං ඇය නැවත ගෙදර ගියේ මේ රෝද පුටුවෙනි.

සිය නිවෙසට ඇතුළු වූ දින සිටම ඇය සිටියේ කඩාවැටුණු මනසකින් යුතුවය. කිසිවෙකු හා කතාබහට නොගිය සමන්තා සිනහව අමතක කර දැමුවාය. විසිත්ත කාමරයේ ජනේලය ළගට සිය රෝද පුටුව ළං කරගන්නා ඇය අනන්ත වූ අවකාශය දෙස හිස් දෑසින් බලා සිටින්නීය. ටික දවසකින් ඇය දුර්වල වීමට පටන් ගත්තාය. ඒ වන විට ඇයට අවුරුදු 46 කි. දැන් ඇගේ දෑස් ඉදිරියේ මරණයේ සෙවණැලි ඇවිත් නෑවිත් යනවා වන්නටද පුළුවන. මවගේ මේ හැසිරීමෙන් භීතියට පත් දරුවෝ පාසැල් වැඩ අතපසු කළහ. කැමරන්ට සිත එකලස් කරගෙන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වැඩ කළ නොහැකි විය. ඔහුට මේ නිවෙස දැන් දැන් අපායක් සේ පෙනේ.

එහි මෘත ශරීරාගරයක භීතියද, සොහොන්ගෙයක නිෂ්ශබ්දතාවෙන්ද පිරී තිබිණි.

2014 වර්ෂයේ යම් කිසි දිනෙක සෑම්ගේ බාල පුතා ඔලිවර් සිය නිවෙස අසල රථ ගාලේ වැටී සිටි කිරිල්ලියක් ගෙදර ගෙන ආවේය. වැටීමෙන් උගේ දෙපා අප්‍රාණිකව තිබිණි. ඇවිද ගන්නවත් බැරි නිසා කුඩුවක් සොයා වෙහෙස නොවූ ඔහු කිරිල්ලිය නිවසේ විසිත්ත කාමරයේ බිම තැබුවේය. පෙන්ගුවින් කුරුල්ලෙකුගේ දීප්තිමත් කළු සහ සුදු වර්ණයෙන් යුතු නිසා හේ ඌට පෙන්ගුවින් යනුවෙන් නමද තැබීය.

දින කිහිපයකට පසු කිරිල්ලිය නැගිට සිටීමට දරන ප්‍රයන්තය විසිත්ත කාමරයේ කෙළවරක රෝද පුටුවේ වැතිර සිටි සමන්තා දුටුවාය. කිරිල්ලිය එක් වරක්, දෙවරක් සහ කිහිප වාරයක් නැගිටීමේ අසාර්ථක උත්සාහයේ යෙදිණි. මෙසේ වැටි වැටී නැගී සිටීමට උත්සාහ ගත් කිරිල්ලිය එක් වරම සිය දෙපා මත සිටගෙන ඇගේ සිරුර සමබරව තබා ගත්තාය. කිරිල්ලිය දෙසම බලා සිටි සමන්තාගේ මුවගට තෘප්තිමත් සිනහවක් නැගිණි. එය පුරා අවුරුද්දකට පසු ඇගේ මුහුණේ නැගුණු ප්‍රථම සිනහවේ රේඛාය. එය හරියටම තද ශීත සෘතුවකට පසු පොළොවට පතිත වන ප්‍රථම හිරු කිරණ සේ විය.

තවත් දින කිහිපයකට පසු කිරිල්ලිය පියාඹාවිත් සමන්තාගේ රෝද පුටුවටත් පසුව ඇගේ උකුලටත් ඒමට පුරුදු විය. බැඳීම ආරම්භ විය. දැන් පෙන්ගුවින් සෑම්ගේ පපුව මත නැගී නිදහසේ ඇගේ නළල සිය හොටෙන් පිරිමදියි.

ඇගේ හිසමතට නැඟ ඇගේ පිළිවෙලට පීරා ඇති කොණ්ඩය අවුල් කර දමයි. පසුව සෑම්ගේ පපුව උඩම නිදියයි. දිනක් සෑම්ගේ පපුව මත වසා සිටි පෙන්ගුවින් සමන්තාගේ ලොකු පුතාගේ පපුව මත වසා ඔහුගේ මුව තුළට හොට දමා දත් සුද්ද කරන්නට පටන් ගත් විට සමන්තාට බකස් ගා හිනා ගියේය. අම්මාගේ සිනා හඬ ඇසුණු තාත්තා සහ දරුවෝ අම්මා වට කරගෙන අත්පුඩි ගැසූහ. දැන් නිවෙස ජීවයෙන් උතුරයි. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නැවත සුන්දර නිවෙසක් බවට පරිවර්තනය වී තිබේ. සමන්තා දැන් ව්‍යායාම කරන්න පටන් ගත්තාය. කිරිල්ලියද ඇඳ මත හිඳ සමන්තා අනුකරණය කරමින් ව්‍යායාම කරන්නීය. සමන්තා විසිල් ගසමින් සිය ප්‍රීතිය පළ කර සිටියාය. තවත් වසරක් ඇවෑමෙන් විස්මයජනක ලෙස සමන්තා රෝද පුටුව අතැර දෙපයින් සිට ගත්තාය.

මේ කාලය තුළ සමන්තා හා කිරිල්ලිය එකිනෙකාට සිය ආත්මයෙන් බැඳී සිටියෝය. හරියට නිවුන් සොයුරියන් මෙන්ය. රෝගියා සහ උපස්ථායිකාව මෙන්ය. දැන් සමන්තා නිවසේ සියලු කටයුතු තනිවම කරයි. ඇය පලතුරු අඹරන විට ඇයට උදව් කරන්නේ පෙන්ගුවින්ය. සෑම දිනකම සමන්තා නිදියගත් පසු නිවෙසින් පිට ගහක රාත්‍රිය ගෙවන පෙන්ගුයන් පසුවදා උදෑසනම සමන්තාගේ ඔඩොක්කුවට පැන සිංදු කියයි. දැන් සමන්තා තනිවම නිවසේ සියලු කටයුතු කරයි. නිවෙස දැන් තව තවත් ජීවයෙන් උතුරා යයි

දැන් මුහුදේ තනිවම පිහිනිමට තරම් සමන්තා ශක්තිමත්ය. කිරිල්ලිය නිවෙසට පැමිණ වසර තුනකින් දවසක් සමන්තා මුහුදේ පීනන අයුරු බලා සිටි කිරිල්ලිය නැවත නොඑන්නටම සමන්තලා හැර ගියාය. කිරිල්ලිය ගියා පසු සමන්තලා හඬා වැටෙන්නට ඇත. එහෙත් බුද්ධිමත් සමන්තා මෙසේ සිතන්නට ඇත.

‘‘එයාටත් කුරුල්ලෙක් නැතිව පාළු ඇති. එයත් ආස ඇති කුරලු පැටවුන්ගේ අම්මෙක් වෙන්න. එයත් ආසා ඇති කුරුලු පැටව් එක්ක නිදහසේ පියඹාන්න. හරියට මේ දැන් මම පියාඹනවා වගේ.”

පෙන්ගුවින් නැමති මේ ආදරණිය කිරිල්ලිය ගැන මිනිසෙකු නොලියනවා නම් පුදුමයකි. එහෙයින් සමන්තාගේ ස්වාමිපුරුෂයා වන කැමරන් බ්ලූම් තම පවුලම ජීවිතයෙන් පිර වූ මේ කිරිල්ලිය ගැන පොතක් ලීවේය. එයට නම වශයෙන් ඔහු කිරිල්ලියට ඔවුන් තැබූ නම හා සිය වාසගම යෙදුවේය. එනම් Penguin Bloom ලෙසය. ඉතින් මේ කෘතිය 2017 වසරේ ඕස්ට්‍රේලියාවේ වසරේ හොඳම පොත ලෙස වූ Book of the Year at the 2017 Australian Book Industry Awards සම්මානයෙන් පිදුම් ලැබුවේය.

පොත් වූකලී පූර්වාපර සන්ධි ගළපා බිහි වන දේ නොවේ. පොත අහම්බයක්ය. එය කිසිවකු නොසිතූ නොපැතූ මොහොතක ප්‍රාදූර්භූත වන දෙයක්ය. Penguin Bloom කෘතිය කෙසේ ප්‍රාදූර්භූත වූවක්දැයි අපට මින් සිතාගත හැකිය. එහෙත් එය ප්‍රාදූර්භූත වූයේ ගැහැනියකට ජීවිතය දුන් ආශ්චර්මත් සිද්ධියක් වටා වීම අප විස්මයට පත් කරනු ඇත.

[උපාලි ජයසිංහ]

 

මාතෘකා