වාහනයට භාවිතා කරන එන්ජින් ඔයිල් ගැන ඔබ දැනුවත්ද?

 ඡායාරූපය:

වාහනයට භාවිතා කරන එන්ජින් ඔයිල් ගැන ඔබ දැනුවත්ද?

ඔබ වාහන හිමියෙක් නම් ඒ පිළිබඳ දැනුවත් විය යුතුමයි. නමුත් ඒ එන්ජින් ඔයිල් වර්ගය සුදුසුම එන්ජින් ඔයිල් වර්ගය බව ඔබ දැන සිටියාද? වාහනය සර්විස් කරද්දී එන්ජින් ඔයිල් දැමූ නිසා ඔබ එහි වර්ගය නොදන්නවා නම් ඔබේ වාහනය ඇත්තේ අනතුරක විය හැකියි. අද අපි කතා කරන්නේ එන්ජින් ඔයිල් පිළිබඳවයි.

 

මූලික වශයෙන් එන්ජින් ඔයිල් වර්ග මූලිකව ද්විත්වයකි. එනම්

 

1. මිනරල් ඔයිල්

2. සින්තටික් ඔයිල්

මිනරල් ඔයිල් යනු පොළොවෙන් ගනු ලබන තෙල් හෙවත් බේස් ඔයිල් පදනම් කරගෙන නිර්මාණය කරනු ලබන තෙල් වර්ගයකි. පොළොවෙන් ලබා ගන්නා බේස් ඔයිල්වලට එන්ජිමේ අවශ්‍යතාව සපුරා ගත හැකි විදියට තවත් අමතර උත්ප්‍රේරක වර්ග එකතුකර මෙම ඔයිල් නිෂ්පාදනය කරයි. මිනරල් ඔයිල්වල ආයුකාලය අඩුය. එනම් කිලෝමීටර් 3000ක් හෝ 5000ක් වැනි කාලයක් භාවිතා කිරීමෙන් පසු නැවත මාරු කිරීමට සිදුවේ.

කෘත්‍රිමව නිෂ්පාදනය කරනු ලබන ඔයිල්, සින්තටික් ඔයිල් ලෙස හඳුන්වනු ලැබේ. එන්ජිමකට වඩාත් සුදුසු වන්නේ සින්තටික් ඔයිල් බව පොදු මතයයි. එයට හේතුව සින්තටික් ඔයිල් නිෂ්පාදනය කරනු ලබන්නේ ඒ ඒ අවශ්‍යතාවලට අනුවය. නිදසුනක් ලෙස, එන්ජිමකට නම් එන්ජිමේ ක්‍රියාකාරිත්වය තුළ වෙනස්විය යුතු ගුණාංග පදනම් කරගෙන එයට ගැළපෙන ලෙස සින්තටික් ඔයිල් නිෂ්පාදනය කරයි. සින්තටික් ඔයිල් වාහනයකට දැමීමෙන් පසු එම වාහනය කිලෝ මීටර් තිස්දහසක් (30, 000) පමණ ඔයිල් මාරු නොකර භාවිතා කළ යුතුය.

නමුත් දවසකට කිලෝමීටර් සියයක් පමණ ධාවනය කරන වාහනයකට මිනරල් ඔයිල් යෙදීම සුදුසු නොවේ. හේතුව මිනරල් ඔයිල් කිලෝ මීටර් 3000ක් පමණ ඇතුළත මාරුකළ යුතු බැවින් දින දහයෙන් දහයට පමණ මිනරල් ඔයිල් මාරු කිරීමට සිදුවේ. එය ප්‍රායෝගික නොවේ. එම නිසා මිනරල් ඔයිල් භාවිතා කිරීම සිදු නොකළ යුතුය.

එහෙත් කිලෝ මීටර් දහයක් පමණ දවසකට ධාවනය කරන වාහනයකට යෙදිය යුත්තේ මිනරල් ඔයිල්ය.

එන්ජිම ක්‍රියාකාරී වෙද්දී පිස්ටන් රින්ග්ස් අතරින් කාන්දු වන ඉන්ධන වාෂ්ප සහ අනෙකුත් දෑ ඔයිල්වල එකතුවීම ඔයිල් කල් ඉකුත්වීමට බලපායි. ඒ එකතුවන සල්ෆර්, හයිඩ්‍රජන්, හයිඩ්‍රොකාබන් ඔයිල්වලට එකතු වූ විට සල්ෆියුරික්, හයිඩ්‍රොක්ලොරික් වැනි දෑ සෑදීමට හේතු වේ. ඒවා දීර්ඝ කාලීනව එකතුවීම එන්ජිමේ ඛාදනයට හේතු වේ. එබැවින් ධාවන තත්ත්වය මත ඔයිල් වර්ග මාරුවිය යුතුය.

ඔයිල්වල දුස්ස්‍රාවිතා අගයයන් තිබේ. එන්ජින් ඔයිල් නියමිත දුස්ස්‍රාවිතා අගයයෙන් තිබීම වැදගත්ය. ඒ අනුව ඔයිල් වර්ග ද්විත්වයකි.

1. මොනොග්‍රේඩ්

2. මල්ටිග්‍රේඩ්

මොනොග්‍රේඩ් ඔයිල්වල ඇත්තේ එක දුස්ස්‍රාවිතා අගයකි. එනම් 40- 50 වැනි අගයකි.

 

නමුත් මල්ටිග්‍රේඩ් ඔයිල්වල සෑම විටම සෙල්සියස් අංශක සෘණ 18 දී පවතින දුස්ස්‍රාවිතා අගයත්, සෙල්සියස් අංශක 100 හි දුස්ස්‍රාවිතා අගයයත් නිරූපණය කරයි.

 

නිදසුන්

10 W – 30

සෘණ 18 දී දුස්ස්‍රාවිතා අගය 10යි

සෙල්සියස් අංශක 100දි දුස්ස්‍රාවිතා අගය 30යි

එන්ජින් නිෂ්පාදකයා තිබිය යුතු එන්ජින් ඔයිල් එකේ දුස්ස්‍රාවිතා අගය දක්වා තිබේ. මූලිකවම එන්ජින් ඔයිල් භාවිතා කිරීමේදී දුස්ස්‍රාවිතා අගය නිවැරදිව භාවිතා කිරීම වැදගත්ය. එසේ නොවුනහොත් එන්ජිමේ ගෙවී යාමට ද ඔයිල් හේතුවිය හැකිය

මගේ මෝටර් රථය Nissan Pulzer වර්ගයේ මෝටර් රථයකි. මෙහි රේඩියේටර් කූලින් ෆෑන් සිස්ටම් එක වැඩ කරන්නේ නැත. කූලන්ට් ටෙම්ප්‍රේචර් සෙන්සර් එක ඩිරෙක්ට් කළද වෙනසක් සිදු නොවීය. රිලේ, ෆියුස් හෝ ඩයග්නෝසිස් ෆෝල්ට්ස් කිසිවක් නැත. මා කළ යුත්තේ කුමක්ද?

 

ගයාන් චාමර

මිනුවන්ගොඩ

 

එන්ජින් එක පණගන්වා ටෙම්ප්‍රේචර් සෙන්සර් (Tempreture Sensor) එකේ ෂොකට් එක ගලවා රේඩියේටර් ෆෑන් ක්‍රියාත්මක වේදැයි පරික්ෂාවට ලක් කරන්න. එසේ නොවේ නම් රේඩියේටර් ෆෑන් පරිපථයේ වයර් සම්බන්ධතා නිවැරදි දැයි පරික්ෂාවට ලක් කරන්න. ඒවා නිවැරදි නම් එන්ජින් ඊ.සී.යූ (ECU) ඒකකය අලුතින් යොදන්න. විසඳුම් ලැබේ.


මගේ මොටර් රථය Toyota Corolla (1989) වර්ගයේ මෝටර් රථයකි. එහි ඉදිරිපස ටයර් කිහිප වතාවක් එලයින්මන්ට් තැබුවද පැත්ත ගෙවෙනවා. දිගින් දිගටම මෙය සිදුවිය. කළ යුත්තේ කුමක්ද? මෙය වාහනයේ දෝෂයක්ද? එසේත් නොමැතිනම් ටයර්වල දෝෂයක්ද? ටයර්වල දෝෂයක් නම් ගැළපෙන ටයර් තෝරාගත හැක්කේ කෙලෙසද?

 

සඳුන් ගමගේ

කොච්චිකඩේ

 

වාහනයේ සස්පෙන්ෂන් සිස්ටම් (Suspention System) එකේ දෝෂයක් පැවතිය හැකිය. එයට අදාළ සියලුම යාන්ත්‍රික කොටස් දක්ෂ කාර්මිකයකු ලවා එකිනෙක පරික්ෂාවට ලක් කරන්න. අවසානයේ වීල් අලයින්මන්ට් එකක් සමග වීල් බැලන්සින් එකක් සිදුකිරීමෙන් විසඳුම් ලැබේ. ෂොකට් සෝබර්, හබ් රේසර් ආදී කොටස් පිළිබඳව පරික්ෂාවට ලක් කරන්න.


මගේ වාහනය Nissan Sunny රථයකි. චෙක් එන්ජින් ලයිට් (CHECK ENGINE LIGHT) එහෙමත් නැතිනම් මැල්ෆන්ෂන් ඉන්ඩිකේටර් ලෑම්ප් (Malfunction Indicator Lamp-MIL) එක දැල්වීම ගැටලුවක්ද? එයට හේතුව කුමක්ද?

 

චරිත් දිල්රුවන්

පේරාදෙනිය

 

ගැටලුවකි. ඔබේ මෝටර් රථයේ ඉලෙක්ට්‍රොනික පාලන ඉන්ධන විදුම් පද්ධතියේ එනම්, ඊපීඅයි (EPI) පද්ධතියේ කිසියම් සංවේදනයක (Sensor) හෝ ක්‍රියාකාරී උපාංගයක දෝෂ තත්ත්වයක් පවතී යැයි මෙයින් නිරූපණය කරයි. පරිගණක පාලන පද්ධතිය එහි මූලික පරිගනක වැඩසටහනට අනුකූලව ක්‍රියා නොකරන අතර මේ හේතුවෙන් වැඩි ඉන්ධන දහනයක් ධාවන බලයේ අඩුවීමක් සිදුවී තිබිය හැක. එබැවින් ඊපීඅයි (EPI) තාක්ෂණය පිලිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම සහිත කාර්මිකයකු ලවා ස්කෑන් පරික්ෂාවක් සිදුකර දෝෂ කේතය (Fault code) කියවා අදාළ අළුත්වැඩියාව සඳහා යොමුවන්න.


මා සතුව ඇති Nissan Atlas (1992) ලොරි රථයෙහි එනිජිම රෙපෙයාර් කළද ඔයිල් පිච්චෙයි. එන්ජිම කිහිප වතාවක් රෙපෙයාර් කර බැලුවද කිසිඳු වෙනසක් නැත. මගේ ලොරි රථයේ දෝෂයක්ද? එසේ නොමැතිනම් කාර්මිකයාගේ දෝෂයක්ද?

 

කරුණාරත්න දිසානායක

ඇඹිලිපිටිය

 

අලුත්වැඩියාව නිවැරදිව සිදු නොවී ඇති බව හැඟී යයි. සිලින්ඩර් හෙඩ් (Cylindr head) හා සිලින්ඩර් බ්ලොක් (Cylinder block) එකේ සියලු කොටස් නැවත ගලවා එකිනෙක පරික්ෂාකර අලුතින් ඕවරෝල් කිට් එකක් භාවිතා කර දක්ෂ කාර්මිකයකු ලවා අළුත්වැඩියාව සිදුකරන්න.


මා සතුව ඇත්තේ TATA බස් රථයකි. එන්ජින් එකේ අධික ලෙස කළු දුම පිටවේ. එන්ජින් එකේ ඔයිල් පිච්චෙන්නේ නැති අතර ඩීසල් පිච්චෙයි. පොම්පය රෙපෙයාර් කළද කිසිවක් සිදු නොවීය. ඉන්ජෙක්ටර් පොම්පය තුන් හතර වතාවක්ම රෙපෙයාර් කරන ලදී. ඒත් වෙනසක් සිදු නොවීය. කළ යුත්තේ කුමක්ද?

 

එච්.වීරසිරි

මීගමුව

 

එන්ජිමේ ඉන්ටේක් සිස්ටම් එකේ සියලුම කොටස් ගලවා හොඳින් පිරිසිදුකර සවිකරන්න. අළුත් එයා ෆිල්ටර් එකක් භාවිතා කරන්න. ඊ.ජී.ආර් පද්ධතිය ගලවා පිරිසිදු කරන්න. දක්ෂ කාර්මිකයකු ලවා ඉන්ජෙක්ටර් පම්ප් එකේ ස්පිල් ටයිමින් නිවැරදි දැයි පරික්ෂාවට ලක් කරන්න. සමීකරණ පද්ධතියේ විදුලි පරිපථයේ ක්‍රියාකාරීත්වයත් ඒ/සී කූලින් ෆෑන් (කන්ඩෙන්සර් ෆෑන්) ක්‍රියාකාරීත්වයත් එන්ජිමේ සිසිලන පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් කාර්මිකයෙකු ලවා පරික්ෂා කරවා ගන්න.


Suzuki swift

( 2017,1000 CC) කාරය අයිඩ්ල් අවස්ථාවේදී සුලු දෙදරීමක් තියෙනවා. A/C දාලා තියෙද්දි සෙමෙන් ඇක්ස්ලේටර් එක නිදහස් කළහම නැවත දෙදරනවා. මෙයට හේතුව කුමක්ද?

 

රාණි විජේරත්න

කලුබෝවිල

 

නිවැරදිව එන්ජින් ටියුන්අප් (Engine tune-up) එකක් කරන්න. අවසානයේ ඉලෙක්ට්‍රොනික් වැල්ව් එකක් (Electronic throttle valve) පවතීනම් ස්කෑනින් ටෙස්ට් (Scanning Test) එකක් හරහා එය ලර්න් (Learn) කරන්න. මැප් සෙන්සර් (Map sensor), ටීපීඑස් සෙන්සර් (TPS Sensor), ඉන්ජෙක්සන් පල්ස් (Injection pulse) ආදී දත්ත හා ඉග්නේෂන් ටයිමින් (Ignition timing) නිවැරදි දැයි අයිඩ්ල් (Idle) අවස්ථාවේ පරික්ෂණයක් කරන්න. ස්පාක් ප්ලග්වල (Sparke plug) ස්වභාවය පරික්ෂාකර ගෙවී ඇත්නම් අළුතින් යොදන්න. ෆුවෙල් ෆිල්ටර් (Fuel Filter) හා ෆුවෙල් පම්ප් ප්‍රෙෂර් (Fuel pump pressure) පරික්ෂාවට ලක්කරන්න.

ආචාර්ය

නුවන් මදනායක

ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු/ තාක්ෂණ උපදේශක (හයිබ්‍රිඩ් මෝටර් රථ පිළිබඳ විශේෂඥ)

 

රථවාහන ගැටලු සඳහා අපෙන් පිළිතුරු

(බදාදා දිනවල පමණයි.)

ආචාර්ය නුවන් මදනායක

 

ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු/ තාක්ෂණ උපදේශක

(හයිබ්‍රිඩ් මෝටර් රථ පිළිබඳ විශේෂඥ)

යොමුව | නදී මාණික්කගේ

35. ඩී. ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ.

දුරකතනය - 2429429 ෆැක්ස් - 2429290

ඊ මේල් - [email protected]

සංස්කරණය [නදී මාණික්කගේ]

මාතෘකා