මිහින්තලාව සිංහල ශිෂ්ටචාරයේ උල්පතයි

 ඡායාරූපය:

මිහින්තලාව සිංහල ශිෂ්ටචාරයේ උල්පතයි

මහින්දාගමනය ලක්දිව ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගැනේ. මිහින්තලා ඓතිහාසික ස්මාරක, එම ශිෂ්ටාචාරයේ සලකුණුය. මහැදුරු අනුරාධ සෙනෙවිරත්න ලියූ “බෞද්ධ ශිෂ්ටාචාරයේ උදාගිර මිහින්තලාව” මිහින්තලා පුරාණය සම්බන්ධයෙන් ලියැවුණු විශිෂ්ට නිබන්ධයකි. මේ එයින් උපුටා ගත් ඡේදයකි.

සිංහල ශිෂ්ටාචාරයේ උල්පත මිහින්තලාවයි. අපේ වංශ කතාව පවසන පරිදි මීට අවුරුදු දෙදහස් තුන්සියයකට පෙර එනම් බුදුන් පිරිනිවී වසර දෙසිය තිස්හයක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ පුමුඛ මහා සංඝයා වහන්සේ ගෞතම බුදුන්ගේ දහම් පණිවිඩය ගෙන දඹදිව සිට මිස්සක පර්වතයට පැමිණීමෙන් පසුව ජීවත්වීම උදෙසා සිංහලයන්ට නව ජීවන මාර්ගයක් මෙන්ම දර්ශනයක් ද හිමි වූයේ ය. එදා මිස්සක පර්වතය නම් ලත් වර්තමාන මිහින්තලාවේ කඳු මුදුනින් සිංහලයන්ගේ දීර්ඝවූත්, ප්‍රෞඪවූත්, ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ගමන් මඟ ඇරඹුණේය. මෙය මානව වංශ කථාවේ සුවිශේෂ සිද්ධියකි. එම අසිරිමත් සිදුවීම හේතුකොට ගෙන ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේත්, බෞද්ධ ශිෂ්ටාචාරයේත් කේන්ද්‍රස්ථානය බවට පත් විය. මේ පිළිබඳ පූර්ණ ගෞරවය දඹදිව අශෝක මහා අධිරාජයාණන්ගේ පුත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට නොමඳව හිමි වෙයි.

අපගේ වංශ කථා අනුව ධර්ම දූත මෙහෙයෙහි මූලිකත්වය ගත්තේ අන් කිසිවකු නොව මිහිඳු මහ රහතන් වහන්සේමය. උන් වහන්සේ සමඟ එම ධර්ම දූත මෙහෙයෙහි යෙදුණේ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේලා සිව් නමක්ද සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නම් උපාසකයාද බව සඳහන්ය. එසේ වුවද මහාවංශයේ වෙනත් තැනක සඳහන් වන පරිදි එම දූත ගමනෙහි යෙදී ඇත්තේ මිහිඳු මහ තෙරුන් ප්‍රමුඛ තෙරණුවන් පස් නමකි. මිහින්තලාවේ ඇති සෙල් ලිපියකින් ද මේ බව තහවුරු වේ. මිහිඳු මහ හිමියන්ගේ ලංකා ගමනින් සිදුවූ ප්‍රතිඵලය විශිෂ්ටය. ඒ පිළිබඳ ඉතිහාසඥයින් සඳහන් කරන්නේ මෙසේය.

“බුදු සමයෙහි ආභාසයට ලක් වූයේ සිංහල ජනයාගේ හුදු ආගමික ජීවිතය පමණක් නොවේ. එහි බලපැම ඊට වඩා බෙහෙවින් තියුණු එකක් විය. බුදුසමය සිංහල ජනයාගේ සංස්කෘතික ජීවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලීය. එබැවින් එහි බලපෑම කලාත්මක හා සාහිත්‍ය කෘතීන්හිද පිළිබිඹු විය. සිංහලයන්ට අලුත් ජීවන මාර්ගයක්ද, ජීවත් වීමේ අලුත් පරමාර්ථයක්ද බුද්ධාගම නිසා ලැබුණේය.”

එදා මිහිඳු හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ වැඩියේ මිස්සක පර්වතයේ අම්බස්ථල හෙවත් අඹතලයටය. එකී නාමය එම ස්ථානයට භාවිත වන්නට ඇත්තේ එම පෙදෙස අඹ තුරින් පිරී පැවති නිසා විය යුතුය. මිස්සක පර්වතය පසුව චේතිය පබ්බත හෙවත් චේතිය ගිරි හෙවත් සෑගිරි යනුවෙන් භාවිතයට පැමිණියේ කරුණු දෙකක් හේතු කොට ගෙනය. පළමුවැන්න කඳුගැටය මත ස්තූප කිහිපයක් පිහිටිම නිසා චේතිය පබ්බත හෙවත් චේතිය ගිරි (සිංහල - සෑගිරි) යන නාමය ලැබීමය. දෙවැන්න නම් මිහිඳු මාහිමියන්ගේ උපන් ගම වූ උජ්ජේනියෙහි පිහිටි චේතිය ගිරි නිසා එසේ නම් කරනු ලැබීමය. තවත් කල්ගිය පසු මිහිඳු මාහිමියන්ගේ ඇසුර නිසා මෙම කඳු වැටිය මිහින්තලේ - මිහින්තලාව ලෙස භාවිතයට පැමිණි බවද කියනු ලැබේ. එසේ වුවද වෛදික මහේන්ද්‍රන් දෙවියන් උදෙසා මිස්සක පර්වතය මුදුණේ එදා පැවති දේව ඇදහිලි හේතුවෙන් ඒ නම භාවිතයට පැමිණියාද යන්න කල්පනාවට භාජනය විය යුතුය. කලට වැසි පතා දනන් ඉන්දු දෙවියන්ට පුද පූජා පැවැත්වූයේ මේ කඳු මුදුනත සිට බව සිතන්නට ජෙට්ඨමූල නැකැත් කෙළිය සාධක විය හැකිය. ඉන්දු දෙවියන් වූ කලී ආකාස්ථ දෙවියන් කෙරෙන් ප්‍රධාන වේ. වෛදික ආර්යයන් විසින් ඉන්දු දෙවියා වර්ෂාපතනයත්, කාලගුණයත් යන දෙක පාලනය කළ අධි දේවයා ලෙස සැලකූ බව උගතුන්ගේ පිළිගැනීමයි.ලක්දිව පැවති ජෙට්ඨ මූල නැකැත් කෙළියේ විශේෂාංගය වූයේ සශ්‍රීකත්වය හඟවන දිය කෙළිය බව වංශ කථාවලින් පෙනේ.

ශත වර්ෂ ගණනාවක්ම නිහැඬියාවෙන් හා ගණ කැලෑවෙන් අතීත ශ්‍රී විභූතිය වැසී ගියායින් පසු යළි සෑගිරිය හෙළි පෙහෙළි වූයේත්, හඬ නැගුයේත් විසිවන සියවස් මුල් භාගයේදී පමණය. මීට අවුරුදු සියයකට පමණ පෙරදී එනම් වර්ෂ 1891 දී එච්. සී. පී බෙල් (1890-1912) නැමැති ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥයාගෙන් ඇරඹූ මිහින්තලා උදාව ඉන්පසු ඒ. එම්. හෝකාට් (1922-1927) හා සෙනරත් පරණවිතාන (1931-1956) යන පුරාවිද්‍යාඥයන් දෙදෙනා යටතේ ඉදිරියට ගියේය. යටගිය සෑගිරියේ ඉතිහාසය මෙන්ම මිහින්තලාවේ ශ්‍රී විභූතියද අපට පාදා දුන්නේ විශේෂයෙන් ඒ විද්වතුන් තිදෙනා බව කෘතවේදීව සඳහන් කළ යුතුය. ජරාජීර්ණව තිබූ සියලුම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් ද පසින් හා කාලයෙන් යටවී ගොස් තිබූ ඓතිහාසික ස්මාරක යළි පාදා ගැනීමෙන් ද ඔවුහු එම උදාව ඇති කළෝය.

මිහින්තලාව යළි හෙළි පෙහෙළි කොට සංරක්ෂණ කටයුතු සිදුකළ ආරම්භක අවධිය පිළිබඳ වැදගත් තොරතුරු එච්. සී. පී. බෙල් මහතා විසින් වර්ෂ 1910 – 1911 සඳහා නිකුත් කළ පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් වේ. වර්ෂ 1910 – 1911 මුදල් වර්ෂය අවසන් වීමට පෙර මිහින්තලේ කන්දේ උතුරු බෑවුමේ ඇති සියලුම ගොඩනැගිලි ද, ඇත් වෙහෙර, කන්ද හා මිහින්තලේ උස් බිම්හි පිහිටි ගොඩනැගිලිද කැණීම්වලට භාජනය වූ බව දැක්වේ. මේ කටයුතු මෙසේ ආරම්භ වීමේදී මිහින්තලේ බෞද්ධ සමිතියේ විරෝධතා ගණනාවකට එච්. සී. පී බෙල් මහතාට මුහුණු දීමට සිදුවිය. එම සමිතියේ ප්‍රධාන තැනක් ගෙන ක්‍රියාකළේ වලිසිංහ හරිස්චන්ද්‍ර මහතායි. එතුමාගේ එක් විරෝධතාවකට හේතු වූයේ වර්ෂ 1910 මාර්තු මාසයේදී බෙල් මහතා විසින් ජා මිනිසුන් 123 දෙනෙකු කැටුව මිහින්තලේ පැමිණ අතරින් පතර කැණීම් කටයුතු ආරම්භ කිරීමය. හෙන්රි මැකලම් ආණ්ඩුකාරතුමාට යැවීමට පිළියෙල කර තිබූ පෙත්සමේ සඳහන් කරුණු අතර මිහින්තලේ විහාරාධිපති පදවිය පිළිබඳ ආරවුල වැදගත් තැනක් ගෙන තිබූ බව පෙනේ. එසේම කැණීම් මඟින් සොයා ගත් පුරාවිද්‍යා වස්තු ද, විහාර භූමිය තුළම තැන්පත් කළ යුතු බවද ඉල්ලීම් අතර විය. මේ සියලු කටයුතු කෙරීගෙන යන අතර බ්‍රිතාන්‍ය රජය මුඩුබිම් පනත යටතේ 1911 ජනවාරි 27 වන දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් අක්කර දෙකක් හැරුණු විට මිහින්තලේ සම්පූර්ණ භූමි භාගය රජයට පවරා ගත්තේය. මේ ක්‍රියාව සම්බන්ධයෙන් විරෝධය පළකිරීමේ මහා සභා රැස්වීමක් කොළඹ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ දී 1911 පෙබරවාරි 19 වනදා පැවැත්වුණු අතර යටත් විජිත මහා ලේකම්තුමන්ට ඉදිරි කටයුතුවලින් වැළකෙන ලෙස ඉල්ලීමක් ද කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ මිහින්තලේ පුරාවිද්‍යා කටයුතු ආණ්ඩුකාරතුමා විසින් තාවකාලිකව නතර කිරිමය. එසේම ආගමික හා පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා අක්කර 97ක ප්‍රමාණයක් නැවත අත්පත් කර ගැනීමටද මිහින්තලේ බෞද්ධ සමිතියට හැකි විය. මේ හා වෙනත් හේතූන් නිසා මිහින්තලේ කැණීම් හා සංරක්ෂණ කටයුතු යළිත් ආරම්භ කිරීමට හැකිවී ඇත්තේ හෝකාර්ට් මහතාගේ මගපෙන්වීම යටතේ වර්ෂ 1922 දීය.

මිහින්තලේ වර්තමාන තත්ත්වය දකින අපට සිහිපත් විය යුත්තේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතායි. ඔහු 1940 දී පුරාවිද්‍යා අධිකාරී තනතුරට පත් වූවායින් පසුව කළ මුල් කාර්යයන් ගෙන් එකක් වූයේ ඓතිහාසික මිහින්තලේ භූමිය හෙළි පෙහෙළි කොට නටබුන් සංරක්ෂණය කිරීමයි. ඒ අනුව කණ්ටක චේතිය වෙත ඔහුගේ නෙත ගැටුණේය. එහි වාහල්කඩ යළි යථා තත්ත්වයට පත් කළේය. ඔහු අතින් කටු සෑය සංරක්ෂණය විය. මේ කටයුතු සඳහා මිහින්තලා සෑය සංවර්ධන සමිතියෙන් ද ඔහුට ආධාර ලැබුණේය.

ආරම්භය මෙසේ වූ අතර එවක් පටන් මිහින්තලාවේ පුරාවිද්‍යා හා සංරක්ෂණ කටයුතු ඉදිරියටම කෙරී ගෙන ගියේය. අද දින අක්කර එකසිය හතළිස් පහක් වූ භූමි භාගයක විසිරී ඇති ඓතිහාසික ස්මාරක රැක බලා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටය.

මහාචාර්ය [අනුරාධ සෙනෙවිරත්න]

මාතෘකා